සුද්දන්ගේ වාහනවල අමතර කොටස් හදන ගාල්ලේ මොරිස් මයිනර් සෙන්ටර් | සිළුමිණ

සුද්දන්ගේ වාහනවල අමතර කොටස් හදන ගාල්ලේ මොරිස් මයිනර් සෙන්ටර්

 

මොරිස් මයිනර් කාර් රථ වලට ඇත්තේ දිගු ඉතිහාසයකි. කොටින්ම කිවහොත් මෙකී කාර් රථය වර්තමානයේ වුවද කොයි කාගෙත් ආකර්ෂණයට ලක්ව ඇති කාර් රථයකි. ඒ කාලයේ සාමාන්‍ය ජනතාවගේ දුකට සැපට පිහිට වූයේ මොරිස්‌ මයිනර් මෝටර් රථයයි. කුලී ගමන් සඳහා ද මෙම මෝටර් රථය එකල යොදාගනු ලැබීය. දැන් කාලයේ ත්‍රීරෝද රථ ගාල් පිහිටා තිබෙන අයුරින් ඒ කාලයේ නගරයේ මෙන්ම ගම්බද තැනින් තැන මොරිස්‌ මයිනර් කාර් රථ ගාල් දක්‌නට ලැබුණි. ඒ කාලයේ මොරිස්‌ මයිනර් ටැක්‌සි කහ පැහැති වහලයකින් හා කළු පැහැති බඳකින් හැඩගැන්වී තිබුණි. ඒ විතරක්‌ නොව, ටැක්‌සියේ කැරකෙන මීටර්යක්‌ ද සවිකොට තිබුණි. කුලී ගමනක්‌ ගියවිට මුදල් අය කරනු ලබන්නේ මීටරය කැරකෙන දුර ප්‍රමාණය අනුවය. එකල මංගල ගමන් බිමන් සඳහා ද මොරිස්‌ මයිනර් කාර් රථ යොදා ගනු ලැබීය.

මඟුල් සවාරිවලදී මංගල ජෝඩුව කැන්දාගෙන ආවේ මොරිස්‌ මයිනර් කාර් රථ පෙළකිනි. එමෙන්ම මේ කාර් රථය පැදවූ රියදුරන් බුෂ් කෝට්‌ එකකින් හා පටි සරමකින් සැරසීගෙන කළු සුරුට්‌ටුවක්‌ පත්තු කරගෙන හරි උජාරුවෙන් කාර් රථය පැදවීය. සැබැවින්ම මේ කාලයේ පවුලේ වාහනය බවට පත්වී තිබුණෙ ද මොරිස්‌ මයිනර් කාර් රථයයි. . යාපනයේ ද්‍රවිඩ ජනතාව තුළ මෙකී මෝටර් රථය පිළිබඳ දැඩි විශ්වාසයක්‌ද පවතී. මෙම මෝටර් රථය තමන්ට වාසනාව කැන්දාගෙන එන බවටද මෙම ජනතාව අතර මතයක්‌ පවතී. ඒ නිසා යමක්‌ කමක්‌ ඇති ද්‍රවිඩ ජනතාව මොරිස්‌ මයිනර් මෝටර් රථය තම ගේ මිදුලේ ගාල්කොට කෞතුක වස්තුවක් වශයෙන් තබාගෙන සිටිති..

දැනටත් අපේ ඇත්තන් මොරිස්‌ මයිනර් මෝටර් රථ කෞතුක භාණ්ඩයක් වශයෙන් තබාගෙන සිටිති. දිවංගත හිටපු ඇමති ගාමිණි දිසානායකත් හැත්තෑව දශකයේ මුල් භාගයේ දී පමණ මොරිස් මයිනර් කාර් රථයක් භාවිත කොට ඇත්තේය. නුවරඑළිය වත්තක හිටපු සුදු ජාතිකයකුගෙන් එම මෝටර් රථය මිලදී ගෙන ඇත.

යුද්ධය පැවති කාලයේ මෙකී මෝටර් රථය යාපනයේ ජනප්‍රිය වාහනයක්‌ බවට පත්ව තිබුණි. මක්‌නිසා ද යත් ඉන්ධනයක්‌ විදියට භූමිතෙල් දමා හෝ මෝටර් රථය ධාවනය කිරීමට හැකි බැවිනි. ඒ කොයිහැටි වුවද දැන් නම් මොරිස්‌ මයිනර් මෝටර් රථ ලෝකයේ කිසිදු රටකවත් නිෂ්පාදනය කරන්නේ නැත. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ පළමු මොරිස්‌ මයිනර් රථය නිපදවා ඇත්තේ එංගලන්තයේ මෝටර් රථ සමාගමක්‌ විසිනි. ඒ 1948 ඔක්‌තෝබර් මාසයේදීය. 1953 පෙබරවාරි මාසය වන විට මොරිස්‌ මයිනර් මෝටර් රථ එක්‌ ලක්‌ෂ හැත්තෑ එක්‌දහස්‌ විසිඑකක්‌ නිෂ්පාදන කොට ඇත්තේය. 1956 හා 1963 අතර කාලයේ දී නිෂ්පාදනය කොට ඇති මොරිස්‌ මයිනර් මෝටර් රථ සංඛ්‍යාව දාසය ලක්‌ෂ දහනවදහස්‌ නවසියපනස්‌අටකි. දැනට ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ විවිධ රටවල මොරිස්‌ මයිනර් කාර් රථ හැට දහසක්‌ පමණ තිබෙන බැව් සඳහන් වේ.

කෙසේවුවද 1971න් පසු මොරිස්‌ මයිනර් මෝටර් රථ නිෂ්පාදනය කෙරුණේ නැත. මේ කාලයේ අපේ රටටත් මොරිස්‌ මයිනර් වර්ගයේ මෝටර් රථ විසි දහසක්‌ පමණ ආනයනය කොට ඇති බව පැවසේ.

දැනටත් අප රටේ මොරිස්‌ මයිනර් මෝටර් රථ තුන් දහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක්‌ තිබෙන බව සඳහන් වේ. ඒ කාලයේ මෙරටට ගෙනවිත් තිබුණේ මොරිස්‌ මයිනර් වර්ගයේ දොර දෙකේ කාර් රථ, දොර හතරේ කාර් රථ, මොරිස්‌ මයිනර් ටුවර්, මොරිස්‌ මයිනර් ට්‍රැවල්ස්‌ වෑන්, හා පිකප් රථයි. ඒ කාලයේ මොරිස්‌ මයිනර් වර්ගයේ කාර් රථයක වටිනාකම රුපියල් 8.500 කි. මුල් කාලයේ දී මෙම මෝටර් රථය ප්‍රයෝජනයට ගනු ලැබුවේ යමක්‌ කමක්‌ තියෙන පුද්ගලයින්ය. එකල වලව්වල මෙකී මෝටර් රථය නතර කොට තැබීම සුලබ දසුනකි.

ඒ කොයි හැටි වුවද පනහ සහ හැටේ දශකය වන විට මොරිස්‌ මයිනර් මෝටර් රථය සමාන්‍ය ජනතාව අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබුණි. ඒ කාලයේ දුප්පතාගේ හිතවතා බවට පත්ව තිබී ඇත්තේ මෙකී මෝටර් රථයයි. මේ කාලයේ හිල්මන්, වුල්ස්‌ලි, වොක්‌ස්‌වෝල්, ප්‍රිපඩ්, ෆෝඩ්, ඔපෙල්, වොක්‌ස්‌වැගන් යන මෝටර් රථ තිබුණත් සමාන්‍ය ජනතාවගේ දුකට සැපට පිහිට වූයේ මොරිස්‌ මයිනර් මෝටර් රථයයි.

ඒ කොයිහැටි වුවද සුද්දා නිෂ්පාදනය කරනු ලැබූ මොරිස්‌ මයිනර් මෝටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්‌ දැන් නිෂ්පාදනය කරනු ලබන්නේ අපේ ඇත්තන්ය. අපේ රටේ ශ්‍රමිකයින් විසින් මොරිස්‌ මයිනර් මෝටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්‌ නිෂ්පාදනය කොට සුදු ජාතිකයන්ගේ රටවලට යවති. මේ කම්හල පිහිටා ඇත්තේ අක්‌මීමන පින්නදූවේය.

මෙකී කම්හල මඟින් මොරිස්‌ මයිනර් මෝටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්‌ 650ක්‌ පමණ නිෂ්ෂාදනය කරයි. එම නිෂ්පාදන යවනු ලබන්නේ ඩෙන්මාර්ක්‌ රටට ය. මෙකී අමතර කොටස්‌ අනිකුත් රටවලට බෙදා හරින්නේ ඩෙන්මාර්ක්‌ රටින්ය. මින් අපේ රටට ලැබෙන විදේශ විනිමය කෝටි ගණනකි. එමෙන්ම අමතර කොටස්‌ සොයා ගැනීමේ අපහසුව නිසා ගරාජවල ගොඩගසා ඇති මොරිස්‌ මයිනර් මෝටර් රථ මෙම සමාගම මඟින් අලුත්වැඩියා කරයි.

මොරිස් මයිනර් කාර් රථය මෙරට හිටපු සුදු ජාතිකයන් තමයි මුලින්ම පාවිච්චි කළේ. හැට හැත්තැව වන විට මොරිස් මයිනර් කාර් රථය සාමාන්‍ය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙලා තිබුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, හිටපු අගමැති ආචාර්ය විජයානන්ද දහනායක යන මහත්වරු මොරිස් මයිනර් කාර් රථ පාවිච්චි කරලා තියෙනවා. මහින්ද අගමැතිතුමා ඇතුළු රාජපක්ෂ පවුලේ අයත් මොරිස් මයිනර් කාර් රථ පාවිච්චි කරලා තියෙනවා. දැනටත් රාජපක්ෂ පවුල සතුව ඒ මොරිස් මයිනර් කාර් රථය තියෙනවා. ඒ විතරක් නොව තාත්තා හෝ සියා හරි පාවච්චි කරපු මොරිස් මයිනර් රථ හොයාගෙන එ්වා අලුත්වැඩියා කොට තබා ගැනිමේ අලුත් රැල්ලක් තරුණයන් අතර නිර්මාණය වෙලා තියෙනවා.

අමතර කොටස් නිපදවන කම්හලේ සේවකයෙක්

මොරිස් මයිනර් මෝටර් රථ සඳහා අමතර කොටස් තමයි අපේ කම්හල මඟින් නිෂ්පාදනය කරන්නේ. 95 වර්ෂයේ තමයි මෙම කම්හල ආරම්භ කළේ. ප්‍රධාන වශයෙන් කාර් රථයේ බෝඩියේ අමතර කොටස් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මිට අමතරව රබර් බුෂ්, රබර් මවුස්, නිෂ්පාදනය කරනවා. මේ කම්හලේ අය­ිතිකරු ඩෙන්මාර්ක් ජාතික ඇන්ටන් සෑම් කිල්ස් මහතා. ඩෙන්මාර්ක් රටට තමයි අමතර කොටස් යවන්නේ. ඩෙන්මාර්ක් රටින් තමයි එංගලන්තය ඇතුළු ලෝකයේ අනිකුත් රටවලට අමතර කොටස් අපනයනය කරන්නේ. නමුත් අමතරකොටස් නිෂ්පාදනය කරන්නේ අපේ රටේ. පළපුරුදු බාස්වරු. ඇත්තටම කොරෝනා වසංගතයත් සමඟ මොරිස් මයිනර් අමතර කොටස් සඳහා ඇති ඉල්ලුම වැඩිවුණා. එංගලන්තය වසා දමා තිබූ නිසා. නිවෙස්වල හිටපු අය මොරිස් මයිනර් පරණ කාර් රථ අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. ඒ සමඟ තමයි අමතර කොටස් සඳහා ඉල්ලුම වැඩිවුණේ යැයි මෙකි කම්හලේ කළමනාකරු ඩි. ඒ. රවීන්ද්‍ර කීවේය.

මොරිස්‌ මයිනර් මෝටර් රථවල වටිනාකම තීරණය වන්නේ මෝටර් රථය මිලදී ගන්නා පුද්ගලයාට ඒ සඳහා ඇති අවශ්‍යතාව, වටිනාකම, තම පවුලට ඇති සම්බන්ධතාව මතයි. සාමාන්‍යයෙන් රුපියල් පනස්‌ දහසේ සිට ලක්‌ෂ පහළොව දක්‌වා මිල ගණන්වලට මොරිස්‌ මයිනර් මෝටර් රථ අලෙවි වේ. ඒ විතරක්‌ නොව විදේශිකයන් ඉලක්‌ක කරගෙන දැනට වසර කිහිපයක සිට මෙකී ආයතනය මඟින් මොරිස්‌ මයිනර් මෝටර් රථ රැළියක්‌ ද පවත්වයි.

අපේ රටේ ඇත්තන්ට පාපැදියක්‌වත් හදා ගන්න බැරි බව සුද්දන් කියන්නේ මහත් උජාරුවෙනි. නමුත් සුද්දන්ගේ රටවලට මෙවැනි අමතර කොටස්‌ නිෂ්පාදනය කොට යැවීමට අපේ ඇත්තන්ට හැකිවීම ගැන අගය කළ යුතුය.

Comments