සිය­ලුම ශ්‍රී ලාංකි­ක­යන් දිනා­ගත හැකි මැති­ව­රණ මොඩ­ල­යක් නිර්මා­ණය කළ යුතුයි | සිළුමිණ

සිය­ලුම ශ්‍රී ලාංකි­ක­යන් දිනා­ගත හැකි මැති­ව­රණ මොඩ­ල­යක් නිර්මා­ණය කළ යුතුයි

 

මෙරටට 1948දී නිදහස ලැබීමට පෙර සිටම සර්වජන ඡන්ද බලය ලැබී තිබිණි. අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැතීම හේතු කොටගෙන මැතිවරණ ක්‍රමවේද නිර්මාණය වී තිබුණේ ද එරට ක්‍රමවේදවලට අනුකූලවය. 1936-1977 දක්වා මෙරට අනුගමනය කරනු ලැබූයේ බ්‍රිතාන්‍යයේ අනුගමනය කළ කේවල ඡන්ද ක්‍රමයයි. අනතුරුව 1978 වර්ෂයේ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී. ඒ ව්‍යවස්ථාවට අදාළව ඡන්ද ක්‍රමයන්ද වෙනස් විය. ඔහු විසින් සකසන ලද ව්‍යවස්ථාවේදි එක් පක්ෂයකට ලැබෙන ප්‍රතිශතය සහ පාර්ලිමේන්තුවේ නියෝජනය අතර විශාල වෙනසක් වෙයි. ජයග්‍රහණය කරන ලද පුද්ගලයාට වටිනාකමක් හිමි වුවද පැරදුණ පුද්ගලයාට වටිනාකමක් හිමි නොවිණි.

මේ රටේ ජනාධිපති ක්‍රමවේදය සකස් කිරීමේදී සමානුපාතික ඡන්ද ක්‍රමවේදය සකස් කරන ලදී. මේ සමානුපාතික ක්‍රමවේදයේ ඇති ගැටලුව නම් ඡන්දය ලබාදීම සිදු වන්නේ පක්ෂවලට වීමය. ඒ අනුව පක්ෂවලින් නියෝජිතයන් ප්‍රමාණය තීරණය කරණු ලබයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී මනාප ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දෙන ලදී. මුල්කාලීනව පැවැති එක් මනාපය පසුකාලීනව මනාප තුනක් දක්වා වැඩි කරනු ලැබිණි. මෙයින් මහා විශාල මනාප තරගයක් මේ රටේ නිර්මාණය විය. සමානුපාතික ඡන්ද ක්‍රමයේදී ආණ්ඩු බොහෝ අස්ථාවර බව ඉතා පැහැදිලි කරුණකි. ඡයග්‍රහාකයන්ට හා පරාජිතයන්ට එක හා සමාන බලයක් ලබාදීමට උත්සාහ කිරීමේදි අස්ථාවර ආණ්ඩු නිර්මාණය වෙයි. කුඩා පක්ෂ මඟින් මහ ආණ්ඩුව යටවීම සිදුවෙයි. මේ මනාප ක්‍රමවේදය අනුව මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරයකු නොමැති අවස්ථාද වෙයි.

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මුල්වරට 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයා මේ සඳහා මැතිවරණ තේරිම් කාරක සභාව පත් කරනු ලැබිණි. එහිදී විපක්ෂයේ සිටි දිනේෂ් ගුණවර්ධනයන් සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිණි. ඒ මැතිවරණ තේරිම් කාරක සභාව බොහෝ කාලයක් සාකච්ඡා කරමින් 2007 දි එහි අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දුන්නේය. එහිදී මිශ්‍ර සමානුපාතික ක්‍රමවේදයකට යා යුතුය යන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කෙරිණි. ඒ සඳහා මූලික යෝජනාව එවකට ඉදිරිපත් කරනු ලැබුවේය. ඉදිරිපත් කළ ඒ යෝජනාව තවදුරටත් සාකච්ඡා කරමින් 2007 දී වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඡන්ද ක්‍රමවේද මූලිකව වෙනස් විය යුත්තේ පළාත් පාලන ආයතනවලින් බවත් ඉන් පසුව, පළාත් සභා සහ මහමැතිවරණ ඒ අනුව වෙනස් කළ යුතු බව නිර්දේශ කෙරිණි.

ඉන් අනතුරුව 2012දී තේරිම් කාරක වාර්තාව අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කළ හැකි මිශ්‍ර සමානුපාතික ඡන්ද පනතක් ගෙන එනු ලබයි. වත්මන් අගමැති එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ කාලවකවානුව තුළදී 2012 මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව ඡන්දයක් පැවැත් වීමට නොහැකි විය.

ඉන්පසු යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව 2012 මේ පළාත් පාලන ඡන්ද විමසීමේ පනත ඉතාමත් විකෘති වන ආකාරයට වෙනස් කරනු ලැබිණි. 2017 සංශෝධන පනතක් පැමිණීම සිදු වෙයි. 2018 පළාත්පාලන ඡන්ද විමසීමේ දී ඉතා විකෘති ප්‍රතිඵලයක් අත්විය. 4500 පමණ වූ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 8500 දක්වා වැඩි විය. මේ අනුව සකසන ලද පළාත් පාලන ආයතන සියල්ල අස්ථාවර විය. ඒ නිසා 2017 ඡන්ද ක්‍රමය සකසන ලද ක්‍රමවේදයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමයට වඩා නැඹුරු වීම විකෘතිය වැඩි වීමට හේතුවිය.

ඉන් අනතුරුව එකල පළාත්පාලන ඇමැතිවරයාවූ ජනක බණ්ඩාර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී. එහි එක් සමාජිකයෙකු ලෙස මාද සහභාගී විය. එහිදි පළාත් පාලන මැතිවරණය පැවැත් වීමට ඉතාමත් සුදුසු ප්‍රතිසංස්කරණ වාර්තාවක් ලබා දීමට කටයුතු කරන ලදී.

ඉන්පසු 2018දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනස් කර පනතක් ගෙන එනු ලබන අතර, පළාත් සභා මැතිවරණ ඒ අනුව සැකසිය යුතු යැයි මතයක් නැඟිණි. ඒ පනත විශේෂයෙන් සුළු ජාතික පක්ෂ සහ සුළු පක්ෂ කණ්ඩායම් විසින් යහපාලන ආණ්ඩුව සිර කර තබන පනතකි. මෙහිදී සීමා නිර්ණයක් කළ යුතු බවත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු බවටත් මතයක් ගොඩනැඟිණි. කෙසේවෙතත් යහපාලන ආණ්ඩුව පරාජයට පත් වී ගියද මේ රටේ පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමවේදයක් යෝජනා නොවිණි. අදටත් පළාත් සභා සඳහා ජන්දය පැවැත්වීමට නොහැකි වීමට හේතුව පසුගිය රජයෙන් සිදු වූ එ් වරදයි.

මෑතකදී නැවත මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද වත්මන් ආණ්ඩුව මැතිවරණ තේරීම් කාරක සභාවක් පත් කරන ලදී. එය මන්ත්‍රිවරුන් 15කින් සමන්විත විය. එම කාරක සභාවේ යෝජනාවක් ලෙස මේ මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් හැදෑරීමක් කර උපදේශකවරුන් පත් කළ යුතු බවට යෝජනා කෙරිණි. එම පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිවරයා ලෙස මා නිර්දේශ කිරීමට ප්‍රධාන හේතුව වූයේ 2003 වසරේ සිට මැතිවරණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි.

තනි පුද්ගලයකුට මෙය කළ නොහැකි නිසා රටේ පක්ෂවල, මහජන සංවිධානවල උපදේශකවරුන් ඇතුළත්ව පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරන ලදී. මීට සමගාමීව රටේ පුවත්පත් සහ විද්යුත් මාධ්‍ය දැනුම්වත් කිරීමෙන් පසුව මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ මොනවාද යන්න පිළිබඳව මහජනතාවගෙන් සහ පිළිගත් දේශපාලන පක්ෂ සංවිධානවලින් කරුණු විමසන ලදී. ඒ සඳහා යෝජනා එකසිය හැටපහක් පමණ ලැබුණු අතර කරුණු වශයෙන් ගොනු කරනු ලැබූ විට ඉතා සීමිත විය. එහි කරුණු දහයකට වඩා අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය.

විධායක ක්‍රමය තබාගත යුතුයි සහ වෙනස් විය යුතුයි; කේවල ඡන්ද ක්‍රමය සහ සමානුපාතික මිශ්‍ර ඡන්ද ක්‍රමයන් ගැන නොයෙක් මතවාද ඉදිරිපත් කරනු ලබයි. වැඩි ප්‍රතිශතයක් අදහස් දක්වනු ලබන්නේ මිශ්‍ර සමානුපාතික ක්‍රමවේද පිළිබඳවයි.

කෙසේවෙතත් තිත්වැල්ල වාර්තාව අනුව දැනටමත් අපිට 1976 සීමා නිර්ණයෙන් ලබාගත් මැතිවරණ කොට්ඨාස 160 ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන් 160ක් බහු මන්ත්‍රී ආසනත් සමඟ තේරීමක් කර ඇත. මේ ප්‍රමාණය අදට වලංගුද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

1976 වර්ෂයේදි මෙරට ජනගහනය මිලියන අටක් විය. අද වන විට ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය දෙගුණ වී ඇත. ජනගහන ව්‍යාප්තිය සහ විසිරීම වෙනස් වී ඇත. පවතින මැතිවරණ කොට්ඨාස ප්‍රමාණය සමඟ ඉදිරියට යාමට නොහැකි බව ඉතා පැහැදිලි කරුණකි. තවද ජාතික අනුපාතයකට සහ දිස්ත්‍රික් අනුපාතයකට බෙදීමට යෝජනා වී ඇත.

දිස්ත්‍රික්ක අනුපාතවලට බෙදිම සුළු ජාතික පක්ෂවලට යම් වාසිදායක තත්ත්වයක් අත්වෙයි. ජනගහනය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත වී ඇති හෙයින් ඒ අයගේ ජනගහනයේ බහුතරය ඇත්තේ දිස්ත්‍රික්ක කිහිපයක පමණි. රටේ සමස්තය මත ඒ ජනගහන ප්‍රමාණය විසිරී නැත. ඒ නිසා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමවේද පවත්වා ගෙන යාම වැදගත් වෙයි. එසේ නොවන්නට සුළු ජාතික බලවේගවලට යම් අසාධාරණයක් වෙයි. එසේ කළහොත් දකුණේ තුන්වැනි, හතරවෙනි,

පස්වැනි බලවේගයන්ට යම් අසාධාරණයක් වෙයි. ඒ අය සමස්ත රට තුළම තරග කර යම් ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්ත ද ඒ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව මන්ත්‍රී ප්‍රමාණයක් ලබාදීම අසීරු ය. මේ සඳහා කටයුතු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව විමසා බලන්නේ පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාව විසිනුයි. මිලියන පහළොවක් පමණ ජනතාව ජන්දය ප්‍රකාශ කර නිර්මාණය වන්නේ කුමන ආණ්ඩුවක් ද යන්න අපි සෙවිය යුතුයි.

රට දේශපාලනිකව අස්ථාවර වුවහොත් ඒ රට ආර්ථික වශයෙනුත් කඩා වැටීමකට ලක්වෙයි. ඒ රටේ ස්ථාවර ආර්ථිකයක් ස්ථාවර ආණ්ඩු නොමැති වූ විට ස්ථාවර ආයෝජකයන් ආයෝජනය සඳහා මැළි වෙයි.

එනිසා සරල බහුතරයක් සහිත ආණ්ඩුවක් පහසුවෙන් දිනා ගත හැකි මැතිවරණ ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. 115ක් 120ක් දිනන මන්ත්‍රීන් සංඛ්‍යාව 45% ඉක්මවා ගන්නා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබිය යුතුයි යන ස්ථාවරයේ අපි සිටිය යුතුයි. මෙරට සමානුපාතික ක්‍රමය යටතේ පැවැති කාලවකවානුව තුළ 1989 පසු දිගටම අස්ථාවර ආණ්ඩු නිර්මාණය විය. ඒ ඡන්ද ක්‍රමයේ වෙනස්කම් නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වයයි.

මේ සඳහා තවත් ඉදිරිපත් වූ කරුණක් නම් ඡන්ද ක්‍රමයේදී ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන්ගේ නියෝජනය වැඩි විය යුතු බවයි. සියයට අනුවකට වඩා මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පිරිමින් වන නිසා කාන්තාවන්ට අසාධාරණයන් වන බවට හඬ නඟයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීවරියන් 25% පළාත් පාලන ඡන්දයේදී පත් කිරීමෙන් මේ සඳහා යම් උත්සහයක නිරත වු බව සිතිය හැකිය.

කෙසේ වෙතත් මේ වනවිට විශ්වවිද්‍යාල සහ සෑම ආයතනයක්ම කාන්තාකරණයට භාජනය වෙමින් ඇති බව දක්නට ලැබෙයි. විධායක ක්ෂේත්‍රයේ නිලධාරිනියන් අතිබහුතරයක් කාන්තාවන් වන අතර බලය ලබා දුන්න ද නොදුන්න ද තව වසර දහයක කාලයක් තුළ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව තුළ ස්වභාවිකවම කාන්තා නියෝජනය වැඩි වෙතැයි අනුමාන කළ හැකියි. මේ සඳහා උත්තේජනයක් ලෙස කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. ජාතික ලැයිස්තුව සම්පූර්ණයෙන් කාන්තාවන් සඳහාම වෙන් කළ යුතු යැයි යන අදහස දැනට අපට ඉදිරිපත් කළ හැකිය.

එමෙන්ම තරුණයන්ට යම් ඉඩක් ආණ්ඩුකරණයේදි තිබිය යුතුයි. අපේ රටේ මිනිසුන් පරිණතභාවයට පත්වීමට අවුරුදු 55කට වැඩි කාලයක් ගත වෙයි. අපේ රට වැනි රටක අවුරුදු 45ක ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ගැනීම අසීරු කටයුත්තකි. අපේ රටේ දේශපාලඥයන්ට විශ්‍රාම වයසක් නැත. තරුණයන්ට කාන්තාවට ඉඩ ලබාදීමේදි මන්ත්‍රීවරුන්ගේ තේරීපත් වන වයස සීමා කළ යුතුයි. මෙතෙක් අපේ මැතිවරණ ක්‍රමවේද වෙනත් රටවල ක්‍රමවේද අනුකරණය කර සැකසිණි.

කෙසේ වුවද රටක් ලෙස අපි අපට අවේණික ඡන්ද ක්‍රමවේදයක් සැකසිය යුතුය. අප යා යුත්තේ එවැනි තැනකටයි. නව මැතිවරණ ක්‍රමවේදයක් කඩිමුඩියේ සැකසීම ඉතා අසීරු කාර්යයකි. මැතිවරණ ක්‍රමවේදයක් සකසන පිරිසට වසර 20 පමණ අනාගත දේශපාලනික සමාජ ආර්ථික වටපිටාව පිළිබඳ දැක්මක් තිබිය යුතුයි.

1978 ව්‍යස්ථාව අනුව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩුකම් සකස් කරගෙන අපි ඉදිරියට යා යුතුය. මැතිවරණය ක්‍රමයක් යනු ගණිතමය සමීකරණයකි. එයින් ලැබෙන්නේ ප්‍රථිඵලයකි. ඒ සමීකරණයට හදවතක් දිය යුතුයි. අපේ රටේ සොඳුරු ආඥාදායකත්වක් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංස්කෘතිය මිනිසුන්ට ගැළපෙන ආකාරයට එය සිදුවිය යුතුයි. ආණ්ඩුකරණයේදි යම් උපාය මාර්ග තේරීමේදී දුර්වලතා පෙන්නුම් කරයි. එය මෙරට සියලු ආණ්ඩුවලට පොදු කරුණකි. ජනතාව ආණ්ඩුවේ උපායමාර්ග පිළිබද දැනුම්වත් විය යුතුය. මේ පිළිබඳව ආණ්ඩුකරණයේදී අදාළ ආණ්ඩු කරන්නන් දැනුම්වත් විය යුතුය.

කෙසේවුවද 1976 සීමා නිර්ණය මූලික වශයෙන් රඳා පවතින්නේ කුල වාදය ජාතිකවාදය සහ ආගම්වාදය පදනම් කරගෙනය. මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කරනු ලැබ ඇත්තේ එලෙසිනි.

මේ ක්‍රමය අදටත් වලංගු ද යන්න ගැටලුවකි. උතුරේ මේ තත්ත්වය ඉතා විශාල අයුරින් වෙයි; දකුණේ ද ඇතැම් ප්‍රදේශවල වෙයි. මේ සියල්ල සමබරව කළ යුතුයි. මේ රටේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිනාගත හැකි මැතිවරණ මොඩලයක් අපි ගොඩනැඟිය යුතුයි.

Comments