විරැකියාවට කදිම විසඳුම් | සිළුමිණ

විරැකියාවට කදිම විසඳුම්

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ තරුණයෙකුට පත්වීම් ලිපියක් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතින් සිදුවූ අවස්ථාව.

- සා/පෙ අසමත් ලක්ෂයකට ‘විශ්‍රාම වැටුප් හිමි’ රජයේ ස්ර රැකියා
- වසර ගණනාවකට පසු උපාධිධාරින් 60,000කට එකවර රැකියා
- තරුණ ව්‍යවසායකයන් 50,000කට පුහුණුව
- තරුණයින් 25,000කට රට රැකියා

මොන ප්‍රශ්න මධ්‍යයේ වුවද වත්මන් රජය තරුණ පරපුරේ විරැකියාව අවම කිරීමට තරුණ අසහනය වැළැක්වීමට මෙරට කවදාවත් ක්‍රියාත්මක නොවුණු වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. 

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අදහසක් අනුව අගමැතිතුමාගේ අධීක්ෂණය යටතේ මෙරට සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමටත් තවත් උපාධිධාරින් 50,000කට රජයේ උසස් රැකියාවක් දීමටත් කටයුතු යෙදිණි.

ඒ සමඟම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් තරුණ තරුණියන් 25,000කට වසරක් ඇතුළත රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුප් ලබන රට රැකියා ලබා දීමටත් තවත් තරුණ තරුණියන් 50,000ක් ව්‍යවසායකයින් ලෙස ඉදිරියට ‍ගැනීමටත් කටයුතු කර ඇත.

එසේම කෝවිඩ් 19 රටපුරා පැතිරුණත් කිසිම ස්ථිර රැකියාවක නිරත වූවකුට කිසිම සිය වේතනය අඩු නොකර තිබුණු වැටුප සම්පූර්ණ ලෙසම ලබාදීමට රජය කටයුතු කළේය. අපේ රටේ තරුණ අසහනය සමනය කිරීමට නම් තරුණ විරැකියාවට විසඳුම් සෙවිය යුතුය. ඒ පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගත් වත්මන් රජය මුලින්ම කළේ අපොස සාපෙ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදිම ආරම්භ කිරීමයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කර ගනිමින් දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා එක් තිරසර මාර්ගයක් ලෙස ජනපතිගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකය. අපේ සියලු ග්‍රාම නිලධාරි වසම්වල සිටින දුප්පත්ම පවුල්වල රැකියා විරහිත තරුණ තරුණියන්ට මේ වැඩපිළිවෙළ අනුව රැකියා ලබාදුන් බව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ ජනාධිපති බහුකාර්ය සංවර්ධන බළකායේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි අප සමඟ පැවසීය.

ඒ අනුව අඩු අධ්‍යාපනයක් ඇති අඩු ආදායම් ඇති ගමේ දුප්පත් දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදී තම ගම් ප්‍රදේශයේම හෝ ඒ අවට පිහිටි රජයේ ආයතනයක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබා දිමට කටයුතු කර ඇත.

මෙම පත්වීම් දීමේදී සමෘද්ධි ආධාර ලබන, වයස්ගත හා ආබාධිත මවුපියන් ඇති තරුණ තරුණියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ලැබිණි. මේ අයට මුලින්ම පදිංචි ප්‍රදේශයේ ආසන්නයේම පුහුණු මධ්‍යස්ථානවලිදි පුහුණුව ලබාදී ඇත. පුහුණුව සාර්ථකව අවසන් කරන අයට NVQ III සහතිකයත් සහිත රැකියාවත් ලබා දෙයි. පුහුණු කාලය ඇතුළත රුපියල් 22,500 ගෙවන අතර පුහුණුව අවසන් වීමෙන් පසු රජය අනුමත ප්‍රාථමික ශිල්පීන් නොවන PL 1 මට්ටමේ වැටුප් තල ඇති ස්ථිර රජයේ රැකියාව ල‍ැබේ. වසර 10ක පූර්ණ සේවයකින් පසු මේ සියලු දෙනාට රජයේ සියලු වරප්‍රසාද හා විශ්‍රාම වැටුප් ද හිමි වේ. මෙම වැඩසටහන වත්මන් රජය මෙරට ප්‍රථම වරට ක්‍රියාත්මක කළ සුවිශේෂි වැඩසටහනකි.

මෙම වැඩසටහන අනුව ප්‍රතිලාභ ලැබූ කහතුඩුවේ මලිෂා මධුභාෂිනි අප සමඟ පැවසුවේ මේ අලුත් රැකියාව නිසා තමන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් ඇතිවූ බවයි. “අපට රජයේ රැකියාවක් කවදාවත් ලැබෙයි කියා සිතුවේ නැහැ. මේ වැඩපිළිවෙළ පිළිබඳව අපි රජයට තුති පුදනවා.” ඇය පවසන්නීය.

විශ්වවිද්‍යාල සිසුන් මහපාරේ තවමත් කොතරම් කෑගැසුවත් විශ්වවිද්‍යාල උපාධිධාරි සිසුන් වැඩිම පිරිසකට එකවර රැකියා ලැබුණේ වත්මන් රජයෙනි. ඒ ජනපතිගේ උපදෙස් අනුව මෙරට රැකියා විරහිත උපාධිධාරින් 60,000කට පසුගිය වසරේ රැකියා ලබාදීම මගිනි. ‍ෙම් සඳහා ඉල්ලුම්පත් එවූ උපාධිධාරින් 76,000 අතුරින් 49050කට මුල් පත්වීම් ලබා දුන් බව පළාත් සභා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසයි.

මේ අයට හමුදා කඳවුරුවල රජයේ ආයතනවල පෞද්ගලික ආයතනවල වසරක කාලයක සුවිශේෂි පුහුණුවක් දී ඇත. ඔවුන්ට ඉන් පසුව විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලබාදෙයි. පළමු පත්වීම් ලැබූ දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ පිළිබඳව කරුණු දැක්වූ දොම්පේ රෂ්මි වෛද්‍යතිලක අප සමඟ පැවසුවේ උපාධිය ලැබි වැඩි කලක් යන්නට පෙරම රජයේ රැකියාවක් ලැබීම පිළිබඳ සතුටු වන බවයි. “අපිට හොඳ පුහුණුවක් ලැබුණා. දැන් අපට බිය නැතිව සබකෝලය නැතිව ඕනෑම ආයතනයක වැඩ කරන්න පුළුවන්.” රෂ්මි වෛද්‍යතිලක පවසන්නීය.

අද අපේ රටේ පවතින විරැකියාවට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ‍යම් වෘත්තියක නිපුණත්වයක් හෝ ව්‍යවසායකයෙක් වීමට මුදල් හා පුහුණුවක් නොමැති වීමයි. මේ පිළිබඳව අවධානය යොමු කළ වත්මන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාව ඔස්සේ නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ ව්‍යවසායකයන්ට 50,000ක් බිහි කිරීම සඳහා දැන් වයස 18 - 45 අයට ඉල්ලුම් කළ හැකියි. තමාගේම ව්‍යාපාරයක් ඇති හා ව්‍යාපාර කිරීමට උනන්දුවක් ඇති නියමිත අධ්‍යාපන සුදුසුකම් ඇති අයට මෙහිදී ප්‍රමුඛත්වයක් දක්වයි. මේ පිළිබඳව කරුණු දක්වන ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ පවසන්නේ දින 5ක ව්‍යවසායක පුහුණුවකින් පසු මේ සඳහා සුදුසු අය තෝරා ගන්නා බවයි.

“විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ණය ලබා ගැනීම, වෙළෙඳ පොළ සොයා ගැනීම ආදිය පිළිබඳව මෙන්ම, ආර්ථික හා සමාජයීය අවපාතවලදී ඒවා මුහුණ දිය යුතු අයුරු පිළිබඳව අපි ඔවුන්ට දැනුම දෙනවා.” ඔහු කීය. අලුත් ව්‍යවසායකයන්ට මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු අපි සම්බන්ධ කර දෙනවා. මෙම වැඩසටහනේ සුවිශේෂි අපේක්ෂාව වන්නේ නව ව්‍යවසායකයන් මගින් රටේත් ඔවුන්ගේත් ආර්ථිකය ඉහළ නංවා රට ඇතුළත ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම බවත් තරුණ සේවා සභාවේ සභාපතිවරයා පවසයි.

වසරකට විදේශ රැකියා 25,000ක් ලබාදීමේ වැඩපිළිවෙළ මෙහෙයවන ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ හර්ෂණ කුසුම්සිරි පවසන්නේ මෙහිදී ජාතික තරුණ සේවා සභාව මගින් මුලින්ම වසරකට තරුණ තරුණියන් 78,000කට එක් එක් විෂයට අනුකූලව ප්‍රායෝගික පුහුණුවක් දෙන බවයි.

සෑම යෞවන සමාජයකින්ම සාමාජිකයන් දෙදෙනකු මීට යොමු කෙරේ. ඊට අමතරව NVQ සහතික ඇති රැකියා නැති තරුණයන් 50706ක් මෙයට බඳවා ගැනීමට අපේක්ෂිතය. මේ පිරිසට ජාතික තරුණ සේවා සභාව මගින් ක්ෂේත්‍ර 7ක් පිළිබඳව මනා පුහුණුවක් ලබා දෙයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පුහුණුවක් ද ලබා‍ දෙන අතර පුහුණුව සාර්ථකව නිම කරන අය පමණක් ලියාපදිංචි විදේශ රැකියා ආයතනවල සම්මුඛ පරීක්ෂණ වලට යොමු කරනු ලැබේ. ඒ සම්මුඛ පරීක්ෂණවලින් සමත් අයට විදේශ රැකියා ලැබෙන අතර අන් අයට ද යළි වෘත්තීය හා භාෂා පුහුණුව ලබාදී යළි රැකියා ලබාදීමට කටයුතු කෙරේ.

මේ යටතේ මැදපෙරදිගට, ජපානයට, යුරෝපීය රටවලට තරුණ තරුණියන් යොමු කරන අතර ඒ අයට රුපියල් ලක්ෂයකට අධික වැටුප් ලැබෙනු ඇතැයි ද තරුණ ප්‍රශ්න විසඳීමට ඇමැති නාමල් රාජපක්ෂයන්ගේ කැපවීම අගය කළ යුතු බවද තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහ පවසයි.

Comments