කොවිඩ් මැද යළි සක්‍රීය වූ රාජ්‍ය සේවය | සිළුමිණ

කොවිඩ් මැද යළි සක්‍රීය වූ රාජ්‍ය සේවය

 

මෙරට කොවිඩ් තෙවැනි රැල්ලක්ද ඇතිවීමත් සමඟ කොවිඩ් 19 වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවිධ වාරණ, තහංචි, සීමාමායිම් අතර රටේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමට සිදු විය. වසංගත රෝගී තත්ත්වයක් රට තුළ ව්‍යාප්ත වන අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පළමු චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ඉකුත් වසරේ මාර්තු 19 වැනිදාය. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2020 මාර්තු 30 වැනිදා නැවත නිකුත් කළ අංක 18/220 දරන චක්‍ර ලේඛය මඟින් නිවෙසේ සිට රාජකාරී කටයුතු කිරීමේ ක්‍රමය මෙරට රාජ්‍ය සේවයට හඳුන්වාදෙනු ලැබිණි. එතැන් සිට පසුගිය 30 වැනිදා දක්වා වසංගත අවදානම අතර රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චක්‍රලේඛ කිහිපයක්ම රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වරින් වර නිකුත් කරනු ලැබිණි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට එන්නත්කරණය සිදුකර තිබීම සහ රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින් කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් සියලුම රාජ්‍ය සේවකයන් ඉකුත් 2 වැනිදා සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට අදාළ චක්‍රලේඛය පසුගිය 30 වැනිදා නිකුත් කළේය. ඒ අනුව සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීමට සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර තිබූ සියලුම චක්‍රලේඛද එමඟින් අවලංගු කරනු ලැබීය.

යළි සක්‍රීය වූ රාජ්‍ය සේවය පිළිබඳ අප කළ විමසීමකදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසුවේ රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බවයි. රාජ්‍ය සේවය අඛණ්ඩව සක්‍රීය පවත්වාගෙන යෑම සඳහා රජයේ නිලධාරීන් මෙන්ම මහජනතාවද නිරන්තරයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය.

කම්කරු දෙපාර්තමේන්තුව යනු රටේ වැඩකරන ජනතාවට සේවා සපයන ප්‍රධාන ආයතනයකි. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල 40ක් සහ කලාප කාර්යාල 17ක් පුරා ව්‍යාප්ත වූ සේවාවක් සපයන කම්කරු දෙසපාර්තමේන්තුව සමඟ මහජනතාව ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිපාදන ලබාගැනීම සඳහාය. රාජ්‍ය සේවය යළි සක්‍රීය වීම තුළ එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ අප කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගෙන් විමසීමක් කළේ එම දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවගේ දැනුම්වත් වීම සඳහාය.

“පසුගිය කාලයේ නිකුත් කර තිබූ රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රාජකාරී කටයුතු සඳහා කාර්යමණ්ඩල කැඳවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාට බලය පවරා දී තිබුණා. ඒ අනුව අපේ දෙපාර්තමේන්තුවට නිලධාරීන් කැඳවීම සිදුකළා. පිට පළාත් සඳහා සංචරණ සීමා පැවතියත් අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා මත අවශ්‍ය නිලධාරින් රාජකාරී කටයුතු සඳහා ගෙන්වා ගැනීම සිදු කළා. පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාතේ සිටින ජනතාවත් විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්, මෙරට සේවය කරන විදේශිකයන් විශේෂයෙන් ඉන්දියානු සහ චීන ජාතික ශ්‍රමිකයන් නිරන්තරයෙන්ම අපගේ සේවය ලබාගැනීමට පැමිණියා. මාර්ගගත ක්‍රමයට එම ජනතාවට දින ලබාදී පසුව ඔවුන් දෙපාර්තමේන්තුවට කැඳවා අවශ්‍ය සේවය සලසා දුන්නා. ඇඳිරි නීතිය පැනවූ කාලය හැරෙන්නට පසුගිය කාලය පුරාම අප සියයට 70-75ත් අතර සේවයක් දෙපාර්තමේන්තුවෙන් සලසා දුන්නා. මේ වන විට අප දෙපාර්තමේන්තුවේ කටයුතු සියයට 100ක් සක්‍රීයව සිදුවනවා. ඒ අනුව ප්‍රධාන කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් කාර්යාලවල ඕනෑම අංශයකින් තමන්ට අවශ්‍ය සේවය ලබාගැනීමට මහජනතාවට දැන් අවස්ථාව තිබෙනවා. ප්‍රතිලාභ ගෙවීම් මෙන්ම කම්කරු පරීක්ෂණ පැවැත්වීමත් නිලධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යෑමත් මේ දිනවල සිදු කෙරෙනවා.” තැපෑල යනු උස් පහත් භේදයකින් තොරව මහජනතාවට ඉතා සමීප සේවාවකි. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැඩිව පැවති සමයේදී පවා තැපැල් සේවය මහජනතාවට ඉතා ප්‍රශස්ත සේවයක් සැලසීය. රට පුරාම නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී පවා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම සැපයීමට සෞඛ්‍ය අංශවලට හැකි වූයේ තැපෑලට පින්සිදු වන්නටය. තැපැල් සේවකයන්ගෙන් ඉටු වූ ඒ අනගි සේවය ඇගයීමට ලක්කරමින්ම අප තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් විමසුවේ මේ වන විට තැපෑලේ වැඩ කෙරෙන හැටි ගැනයි.

“රාජ්‍ය සේවය සාමාන්‍යකරණය වීමට පෙර සිටම අවම කාර්ය මණ්ඩලයක් යොදාගනිමින් සාමාන්‍ය තැපැල් කටයුතු වගේම ඖෂධ බෙදාහැරීම් කටයුතුත් සිදු කළා. ඒ අනුව මේ වන විට මිලියන 2කට අධික ඖෂධ පැකට් සංඛ්‍යාවක් අප නිවෙස්වලට බෙදාහැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම අපේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.පසුගිය කාලයේ අප දේශීය සහ විදේශීය කූරියර් සේවා තුළින් වෙනදාටත් වඩා විශාල භාණ්ඩ ප්‍රමාණයක් රට පුරාම බෙදාහැරියා. පසුගිය 21 වැනිදා රට විවෘත කිරීමෙන් පසු බිල්පත් ගෙවීම සඳහා විශාල ජනතාවක් තැපෑල වෙත පැමිණියා. ඒ නිසාම අපේ ආදායම මිලියන 250-300 වැනි ඉහළ අගයක් ගත්තා. ඒ වගේම තැපෑලේ සේවය ලබාගැනීම සඳහා දිනකට පැමිණි මහජනතාව සියයට 35-40ක් වැනි අගයක් ගත්තත් දැන් එම ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබෙනවා. අපි සියලුම සේවා සපයන්නේ කාර්ය මණ්ඩලයේ 1,600ක පමණ පුරප්පාඩු ඇතුළු දුෂ්කරතා කිහිපයක් මැදයි. දුර පළාත් දුම්රිය ධාවන කටයුතු සිදුනොවීම නිසා යම් යම් ප්‍රමාද වීම් සිදුවෙනවා. නමුත් අපි උපරිම සේවයක් සැලසීමට කැපවී ක්‍රියා කරනවා. ”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ද දැන් සක්‍රීය වී තිබුණද එම දෙපාර්තමේන්තුවෙන් දෛනිකව සැලකිය හැකි සේවය සීමා සහිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේය.

“ මේ වන විට අපේ දෙපාර්තමේන්තුවෙන් සේවය සපයන්නේ කලින් දින වෙන්කරවා ගත් අය සඳහා පමණයි. මාස දෙකක් රට වසා තිබීම නිසා කලින් දින වෙන්කරවා ගත් අයගේ සේවාවන් ඉටු කිරීමට ප්‍රමුඛතාව දී තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 දක්වා දින දැනටමත් වෙන්වී අවසන්. දින වෙන්කරවා ගැනීමේ ක්‍රමය නිසා පෝලිම් සහ ජනතාව ඒකරාශීවීමකින් තොරව සේවය ලබාගැනීමේ අවස්ථාව ජනතාවට සලසා තිබෙනවා. මේ වන විට 0112 677877 අංකය ඇමතීමෙන් දින වෙන්කරවා ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ වේරහැර සහ නාරාහේන්පිට පමණයි. අගෝස්තු මාසය ඇතුළත සියලුම දිස්ත්‍රික් කාර්යාල සඳහාත් එම ක්‍රමය හඳුන්වා දීමට බලාපෙරොත්තු වනවා. වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම ක්‍රමවේදය ගැළපෙන බවත් එය සාර්ථක බවත් පෙනී ගොස් තිබෙනවා.”

රාජ්‍ය සේවය යළි සක්‍රීය වීමත් සමඟ රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මවුවරුන් සේවයට කැඳවීමේ තීරණය ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්වූ අතර, ඉකුත් 5 වැනිදා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ නිරත ගැබිනි කාන්තාවන් සේවයට නොකැඳවා නිවෙසේ සිට ඔවුන්ගේ සේවය ලබාගැනීමට තීරණය කළ බවයි. එමෙන්ම රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව සතියකට සේවා මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Comments