කාබ­නික පොහොර හා සිලෝන් ටී | සිළුමිණ

කාබ­නික පොහොර හා සිලෝන් ටී

 

ශ්‍රී ලංකා තේ, ලෝක ආහාර සංස්කෘතියේ මිල කළ නොහැකි අංගයකි. එහෙත් එක්වරම ‘කාබනික තේ‘ හඳුන්වා දීමේ අටියෙන් පසුගියදා ගහෙන් ගෙඩි එන්නා සේ රසායනික පොහොර ආනයනය නැවතීමට රජය තීන්දු කළ නිසාවෙන් මේ රන් සලකුණට හිමි තැන අහෝසි වී යාමේ අවදානමකට මුහුණ දෙන්නට සිදුවේයැයි ඒ පිළිබඳ විද්වතුන්ගේ මත පළ කරති. ලංකාවේ තේ හෙක්ටයාර 265,000 ක් ඇති අතර තේ හෙක්ටයාරයකට පොහොර ටොන් 1.2 සිට 1.5 දක්වා යෙදිය යුතු බවට නිර්දේශිතය. ඒ අනුව තේ සඳහා අවම පොහොර අවශ්‍යතාව ටොන් ලක්ෂ 3.1 කි. ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 310 ක් පමණ වේ. එයින්, 75% ක් කුඩා තේ වතු හිමියන්ගේ රිකිලි තේ වගාය. රිකිලි තේ ගස සකස් කොට ඇත්තේ නිශ්චිත කාල රාමුවකට පොහොර ලබාදී උපරිම අස්වැන්නක් ලැබීමට ය. එහෙත් එදා රසායනික පොහොර වලින් පෝෂිත වූ මේ තේ අස්වැන්නට කාබනික පොහොර යෙදීමෙන් ශ්‍රී ලංකා තේ සන්නාමයට මෙතෙක් හිමිව තිබූ ස්ථානයත්, වාණිජ පරමාර්ථත් ලබා ගැනීමට හැකිවේද යන්න තවමත් නිශ්චිත නැත.

 

අපේ තේවලට විදේශයෙන් ඇති ඉල්ලුම සිත් ගන්නා සුලුය. ගෝලීය වශයෙන් තේ නිපදවන සිවුවැනි විශාලතම රට ශ්‍රී ලංකාවයි. ලංකාවේ තේ අලෙවි ආදායම රු. බිලියන 320 ඉක්මවයි. 2021 ජනවාරි - අප්‍රේල් තේ ආදායම රු. බිලියන 81.27 කි. එහෙත් පසුගිය කාලයේ වස විස රසායනික පොහොර සංකල්පය ජනප්‍රිය වීමෙන් පසුව බොහෝ විදේශිකයන් තුළ මතුවූ ගැටලුවක් වූයේ මෙතෙක් තමන් පානය කළේ වස තේ ද යන්නයි. විද්වතුන්ගේ මතය වී ඇත්තේ එවන් ආකල්ප ජනිත වීම තේ වගාවේ අනාගතයට අහිතකර බලපෑම් එක් කිරිමට සමත් වී ඇති බවකි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරිමටත්, වගා සඳහා කාබනික හෙවත් කොම්පොස්ට් පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට සිදුවීම නිසාත් මේ වන විට තේ වගාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයක ගොවීහු දැඩි පීඩනයකට පත්ව සිටිති. ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ මට්ටමක තිබුණද පසුගිය වසරේ අපේක්ෂිත තේ නිෂ්පාදනය කිලෝ ග්රූම් මිලියන 278 දක්වා පහත වැටුණේ දැඩි නියඟය නිසාය. ඒ නිසාවෙන් මේ වසරේ අප්‍රේල් මාසයට පෙර අදාළ අංශවල වගකීම වී තිබුණේ නිෂ්පාදනය වැඩිකරමින් අපනයනය වේගවත් කිරිමය. එහෙත් අනපේක්ෂිත ලෙස පරිබෝධ නාශකවලින් තොර හා රසායනික පොහොරවලින් තොර පරිසරයක් හමුවේ මේ සියලු කටයුතු බිඳ වැටෙන්නට විය.

එහෙත් තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ රසායනික පොහොර හා පළිබෝධ නාශක භාවිතයෙන් තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ කිසිවකුගේත් සෞඛ්‍යයට හානිකර වූ ලේඛනගත සාක්ෂි කිසිවක් නැති බවකි. එසේම වසර ගණනාවක් පුරාවටම ලංකාවේ තේ දෙස් විදෙස් අතර ජනප්‍රිය වී ඇත්තේ සෞඛ්‍යයට හිතකර පානයක් වශයෙනි.

“තේ වගාවේ තවාන් පැළ සඳහා T 65 ත්, තරුණ පැළ සඳහා T 200 ත්, නොමේරු පැළ සඳහා T 750 ත් යෙදිය යුතු වෙනවා. මේ වන විට පොහොර තහනම නිසා තේ වගාවේ යම් පසුබෑමක් සිදුවුණා. තේ අක්කරයකට පොහොර කිලෝ ග්රූම් 150 ක් මාස තුනකට වතාවක් දැමිය යුතුයි. තේ දලු අවස්ථා තුන හතරකදි කැඩීම සිදු කෙරෙනවා. ඒ සැම අවස්ථාවකදීම පොහොර යෙදිය යුතු වෙනවා.

කිසිදු සූදානමකින් තොරව සිදු කළ දෙයක් නිසා මේ වන විටත් තේ වගාවේ 40% කට මේ ප්‍රශ්නය දැඩිව බලපාලා තියෙනවා. මැයි මාසයේ සිට පැවතගෙන ආ මේ පසුබෑම ඉදිරි මාස දෙක, තුන තුළ දැඩිව බලපාන්න පුළුවන්. අපිට කාබනික පොහොර භාවිතය ආරම්භ කරන්නට කිව්වත්, එය විකල්පයක් ලෙස සාර්ථක නැහැ. කාබනික පොහොර සම්බන්ධව අදාළ ආයතන කිසිදු පර්යේෂණයක් පවා සිදු කර නැහැ. සමහර කාබනික පොහෙර වල බැර ලෝහ පවතිනවා. ඒවා තේ ගසට හානිකර විය හැකියි. මේ නිසා අපට ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර හෝ හඳුන්වා දිය යුතුයි. ඒ වගේම රසායනික පොහොර කිලෝ එකක් දාන තැනකට ඉදිරියේදී කාබනික පොහොර කිලෝ 10 ක් පමණ යෙදිය යුතු වෙනවා. .......“ ඒ තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරියකුගේ අදහසයි.

රසායනික පොහොර පමණක් නොව මේ වන විට තේ ගසට අවශ්‍ය පළිබෝධ නාශකද අහිමි වී ඇත. මෙම සංගමය පවසන්නේ පළිබෝධනාශක භාවිතය තේ ගසට එතරම් අවශ්‍ය නොවන අතර උඩරට පවතින මීදුම හේතුවෙන් උඩරට තේ වගාවට ඇතිවන ‘බ්ලිස්ටර් බ්ලයිට්‘ නම් දිලීර රෝගයට පමණක් පළිබෝධ නාශක භාවිත කිරිමට සිදුව ඇති බවකි. කාමිනාශක අඩුවෙන් භාවිත කළ ද වල්නාශක භාවිතා කිරිමට සිදුවන හෙයින් මේ තහනමද තේ වගාවට යම් බලපෑමක් කරන බව ඔවුන්ගේ අදහසයි.

“ කෘමිනාශක තේ වගාවට භාවිත කරන්නේ නැහැ. නමුත් වල් නාශක භාවිත නොකර බැහැ. කම්කරුවන් හරහා වල්පැළ ගලවන්න ගියොත් වියදම විශාලයි. ඒ වගේම අපිට තියෙන්නේ අඩු ශ්‍රමයක්. වල් නාශක ලබා නොයෙදීම තුළ තේවතු හිමියන් විකල්ප භාවිත කරන්නට ගියොත් සිදුවන්නේ ඊට වඩා හානියක්. මේ නිසා රජය විසින් සම්මත වල්නාශක ලබා දිය යුතුයි. “

80 දශකයේ ලංකාව කාබනික තේ වගාවේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ද අදටත් එය පවතින්නේ අවම මට්ටමකය. මේ නිසා අදාළ විද්වතුන් ප්‍රශ්න කරන්නේ මේ උත්සාහය කාබනික තේ වගාවක් ඇති කිරිමක් බවද? එසේනම් එය කොතරම් දුරට සාර්ථකද? යන බවකි.

“තේ පැළය හුරු වෙලා තියෙන්නේ රසායනික පොහොරවලට. නිසරු පස සරු කරගන්න කාබනික පොහොර හොඳ වුවත්, වගාවක් ලෙස ඉදිරියට යන්නට නම් කාබනික රසායනික පොහොර දෙවර්ගයම යෙදිය යුතු වෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයට නිවැරදි දත්ත පද්ධතියන් නොමැති වීම විශාල අඩුවක්. කොම්පෝස්ට් පොහොර භාවිත කරනවා නම් අක්කරයකට පොහොර මිටි 40 ක් අවශ්‍ය වෙනවා. මේ නිසා මාස තුනකට වැඩිපුර රුපියල් 40,000 ක් වැය වෙනවා. තේ දලු කිලෝ එකකට වැඩිපුර රුපියල් 54 ක් වැය වෙනවා.

ඒ වගේම මිනිස් ශ්‍රමය, ප්‍රවාහනය, ගබඩා කිරීමේ ගැටලු මතු වෙනවා. තේ නිෂ්පාදනය කරන රටවල් අතර තේ සඳහා වැඩිම වියදමක් යන්නේ අපේ රටටයි. වසරකට සේවකයෝ 8000 ක් පමණ මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. මේ නිසා මේ තහනමත් සමඟ ඉදිරියේදි තේ නිෂ්පාදනය 50% අඩුවේතැයි අපි අපේක්ෂා කරනවා. .......“ ඒ මධ්‍ය පරිමාණ වගා කරුවන්ගේ සංගමයේ ආරම්භක ලේකම් උශාන් සමරසිංහගේ අදහසයි.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ තේ වගාවට අවශ්‍ය මෙතරම් කොම්පොස්ට් පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්නයි. එසේම කාබනික පොහොරවලට ගස හුරු කිරීමට අමතර වසර 3 ක කාලයක් වැයවීම හා ඒ කාලය නිෂ්පාදනයට දරා ගැනීමට කෙසේ හැකිවීද යන්න තවත් ගැටලුවක් බවයි. එසේම ඔවුන් තර්ක කරන්නේ මේ කාබනික තේවලට ද අපේක්ෂිත ඉහළ මිලක් ලැබෙන බවට කෙසේ නම් සහතික විය හැකිද යන්නයි. එහෙත් මේ සියලු ප්‍රශ්නවලට බලධාරීන්ගේ පිළිතුරක් නැති බව මොවුන්ගේ චෝදනාවය.

“ මේ වන විට රටේ පොහොර මෙට්රික් ටොන් 50,000 ක පමණ ඉතිරි වී තිබුණා. එයින් මෙට්රික් ටොන් 25,000 ක් පමණ අපි ක්‍රමානුකූලව බෙදා දුන්නා.ඒ වගේම අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා, ලෝකයේ පවතින කාබනික පෝෂක ගෙන්වා දෙන ලෙස. තුන්වැනි පියවර ලෙස අපිට හදිසියේ කාබනික පොහොර ලබා දීමේ හැකියාවක් නොමැති නම් තහනම් නොකළ රසායනික පොහොර හෝ තාවකාලිකව ලබා දෙන ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

මේ වන විට සමාගම් 33 ක් කාබනික පොහෙර නිෂ්පාදනයට කැමැත්ත පළ කර තියෙනවා. එයින් සමාගම් 18 ක් තේ වගාවට අවශ්‍ය කාබනික පොහොර සකස් කිරීමට කැමැත්ත පළ කළා. මේ නිසා අපි එක් අයකුට අක්කර භාගය බැගින් ස්ථාන 6 ක ආදර්ශ 60 ක් ලබා දුන්නා. මාස 6 ක කාලයක් තුළ තමන්ගේ හැකියාව පෙන්වන ලෙස .....“ ඒ වැවිලි කර්මාන්ත, වෛද්‍ය රමේෂ් පතිරණ ය .

 

Comments