ඉෂා­ලි­නීගේ මර­ණයේ නොවි­ස­ඳුණු අබි­ර­හස | සිළුමිණ

ඉෂා­ලි­නීගේ මර­ණයේ නොවි­ස­ඳුණු අබි­ර­හස

 

රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසේ සේවයේ නියුක්තව සිටි ඉෂාලිනී මිය යාම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පසුගිය සතියේ හෙළිකර ගන්නට විමර්ශන කණ්ඩායම්වලට හැකි විය. එම විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ පැවැත්වේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස මියගිය ඉෂාලිනී ගිනි තබා ගත් බවට හෝ රිෂාඩ්ගේ නිවසේ අය ගින්න නිවා දැමීමට කටයුතු කළ බවට කිසිදු දර්ශනයක් බදියුද්දීන්ගේ නිවෙසේ ඇති සීසීටීවී කැමරාවල සටහන්ව නැති බව විමර්ශනය කරනු ලබන පොලිස් කණ්ඩායම් විසින් අනාවරණය කර ගෙන තිබේ.

 

නිවසේ ඇති කැමරා 16න් ක්‍රියාත්මකව තිබී ඇත්තේ 14ක් වන අතර අත්‍යවශ්‍ය දත්ත සපයා ගැනීමට හැකියාව තිබෙන ඉතිරි කැමරා දෙක අක්‍රිය වූයේ කෙසේද යන්න ගැන ද මේ වන විට විමර්ශනය කරමින් පවතී. දැරිය ගිනි තබා ගත් අවස්ථාවේදී එම ගින්න නිවා දැමීමට නිවැසියන් කටයුතු කළ බවට මුලින් දැනුම් දී තිබුණද මේ වන විට හෙළිව ඇත්තේ දැරියගේ සිරුරට ගිනි ඇවිළී තිබෙනු දුටු අසල්වාසී නිවෙසක කිහිප දෙනකු ගින්න නිවා දැමූ පසු ඇය නිවෙස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මඳ වේලාවක් එහි බැස සිටි බවයි.

එම පොකුණ ඇති ස්ථානයේ සීසීටීවී කැමරාවද ක්‍රියා විරහිත වී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. දත්ත අවශ්‍ය එම කැමරාව අක්‍රීය වී තිබීමට හේතුව මේ වන විට විමර්ශනය කරමින් පවතී.

ඒ අනුව බද්යුද්දීන්ගේ පවුලේ අය විසින් ලබා දී ඇති මූලික ප්‍රකාශයන්ගේ පරස්පරතාවයක් තිබෙන බව මේ වන විට පැහැදිලිය.

බද්යු­ද්දීන්ගේ නිවසේ දැරි­යක් මිය යාමට එරෙ­හිව මන්නා­රමේ කාන්තා  ව්‍යාපා­ර­යක් විසින් විරෝ­ධතා පැවැත්වූ ආකා­රය. මෙය මුස්ලිම් මන්ත්‍රී­ව­ර­යකු සම්බන්ධ සිද්ධි­ය­කට එරෙ­හිව එහි පැවැති ප්‍රථම කාන්තා විරෝ­ධ­තා­ව­යි
 

එසේම මිය ගිය ඉෂාලිනී සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණයන්ට සමගාමීව පොලිස් ඇස වඩාත් යොමුව ඇත්තේ රිෂාඩ්ගේ බිරිය ඇතුළු පිරිසගේ පැටිකිරිය සෙවීම සම්බන්ධයෙනි. රිෂාඩ් බද්යුද්දීන්ගේ බිරිය වන ශ්‍යාබ්දීන් අයේෂා ඇතුළු සැකකරුවන් විසින් මේ වන විට කටයුතු කර තිබෙන ආකාරය දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන්ට ඉෂාලිනී තවත් සෙල්ලම් බෝනික්කියක් පමණක් වන්නට ඇති බවයි. බෝනික්කියකගේ අත පය තමන්ට අවශ්‍ය පරිදි ගලවා දමා තමන්ට රුචි පරිදි හසුරුවන්නට හැකියාව ඇත්තා සේ ඉෂාලිනීටද ඔවුන් කටයුතු කළා විය හැකිය.

එවන් තිරස්චීනයන් පිරිසකට ඉෂාලිනී තවත් එක් අයෙක් පමණකි. රිෂාඩ් බද්යුද්දීන්ගේ හා ඔහුගේ බිරියගේ මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ගේ ගිණුම්වලට රුපියල් කෝටි ගණනක් වැටුණේ කෙසේද යන්න තවමත් නිසි ලෙසින් විමර්ශනය වී නැත. මන්නාරමෙන් ත්‍රස්තවාදීන් පහර දී එළවද්දී රිෂාඩ් සරණාගත කඳවුරකට යන්නේ වයස අවුරුදු 15 ක කොලු ගැටයෙක් ලෙස තමන්ගේ ඇඳුම් පැලඳුම් ටික සිලි සිලි මල්ලක දමාගෙනය. එහෙත් මන්නාරම් දූපත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසුව රිෂාඩ් බද්යුද්දීන්ගේ බිරිය විසින් සරණාගතයන් බෝට්ටු මඟින් විදෙස් රටවලට යවන මුවාවෙන් මිනිස් ජාවාරමක නියැළී තිබෙන බව වාර්තා වේ. එයින් ලද අතිවිශාල මුදල් යොදවා ඇය කෙසේ හෝ ඒ ජාවාරමට තම නම නොගෑවෙන සේ කටයුතු කරන්නට සමත්ව තිබේ. නමුත් නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු ඔස්සේ කළ විමර්ශනයකදී අල ගිය වැල ගිය තොරතුරු හෙළි කර ගන්නට හැකි විය. එයින් පැන යන්නට රිෂාඩ් බිරියට බැරි විය. මිනිස් ජාවාරමට එරෙහිව ඇයට නඩු පැවරුණි. ඒ මන්නාරම මහාධිකරණයේය.

එම නඩුව විභාග වෙද්දී මන්නාරමේ විනිසුරුවරයාට බැණ තර්ජනය කරන්නට මෙන්ම මහේස්ත්‍රාත් නිල නිවෙසට මෙන්ම අධිකරණයට යම් පිරිසක් ගල් ගැසූහ. එයට හේතුව කිසිවෙක් නොදනී. මන්නාරමේ සාමාන්‍ය ජනතාවට මහේස්ත්‍රාත්වරයාට බණින්නට හෝ අධිකරණයට ගල් ගසන්නට අවශ්‍යතාවක් නැත. මෙහි වඩාත් සිනහ උපදවන කරුණ වන්නේ ඊට පෙර දින බද්යුද්දීන් කොළඹට පැමිණීමයි.

බද්යුද්දීන්ගේ බිරියට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගය කුමක් වූවාද යන්න ගැන දන්නේ යහපාලන නීති විශාරදයන්ම පමණි.

යුද්ධය අවසන් වීමෙන් පසුව කොළඹම වැඩි හරියක් ගත කළ බද්යුද්දීන් එතැන් සිට තම නිවසට මෙහෙකාරියන් සොයාදීම ඩයගම වත්තේ තැරැව්කරුවකුට පැවරුවේ සේවකයකු මාර්ගයෙන් ලත් තොරතුරක් මතය.

ඒ අනුව 2009 වසරේ සිට ඩයගම වත්තේ සිට මේ දක්වා මෙහෙකාරියන් 11 දෙනකු සපයා දෙන්නට අදාළ තැරැව්කරු විසින් කටයුතු කර තිබේ. එම මෙහෙකාරියන්ගෙන් එක් මෙහෙකාරියක දැඩි අසනීප වීම නිසා නිවෙසින් යවා ඇති අතර පසුව ඇය මියගොස් ඇත. එමෙන්ම තවත් එක් මෙහෙකාරියක් බම්බලපිටියේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ. ඒ කිසිවකට හේතු අනාවරණය නොවීය. මේ පිළිබඳ විමර්ශනය කරන පොලිස් කණ්ඩායම් විසින් ඉතිරි 8 දෙනාගෙන්ම මේ වන විට ප්‍රකාශ ලබා ගෙන තිබේ. අනෙක් මෙහෙකාරිය වන්නේ ඉෂාලිනීය. ඇයද දැන් ජීවතුන් අතර නැත.

මේ වන විට පොලිස් කණ්ඩායම් විසින් ඉෂාලිනීගේ මරණය සම්බන්ධ විමර්ශනය පිණිස 44 දෙනකුගෙන් විශේෂ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අදාළ මෙහෙකාරියන්ගෙන් එක් අයකු පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් බද්යුද්දීන්ගේ මස්සිනා විසින් තමාට ලිංගික අපයෝජනයක් කළ බවයි.

මියගිය ඉෂාලිනී කාලයක් තිස්සේ අතවරයට ද ලක්වී තිබෙන බව අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නිසි ලෙසින් කරුණු විමර්ශනය වූවාදැයි සැක සහිතය.

එමෙන්ම ඇයගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය ගැනද සැක කෙරිණි. විශේෂයෙන්ම එම මරණ පරීක්ෂණය සිදු කළ අය සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ.

එහිදී ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රසන්න තෙන්නකෝන්ය. ඔහු තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අය සම්බන්ධ වන සේ සාක්ෂ්‍ය නිර්මාණය කළ අයෙකි. එමෙන්ම මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ රූල් හක් විසිනි. සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේ මුරමාරු ක්‍රමයක් යටතේය. අද උදෑසන එක් අයකු විසින් එය සිදු කෙළේ නම් දහවල් මරණය සිදු කරන්නේ තවත් අයෙකි. ඉන් පසුව එය සිදු කරන්නේ තවත් අයෙකි. මේ ලෙසින් එක් එක් තැනැත්තාට අදාළ වාරයකදී එම පරීක්ෂණය සිදු කරන නමුත් අපට වාර්තා වන අන්දමට රූල් හක් අදාළ වාරයෙන් පිට පැන මේ පරීක්ෂණය සිදු කර ඇති බවයි. එය සත්‍යය නම් ඒ සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් කළ යුතුය. කෙසේ හෝ එම වාර්තාවෙන් සෑහීමකට පත් වන්නට නොහැකි නිසා පේරාදෙණිය රෝහලෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේ පළමු වාර්තාවට කනේ පාරක්ද ගසමිනි.

එමෙන්ම ඉෂාලිනී මියගිය පසු මව සොහොයුරා ඇතුළු පවුලේ අය බද්යුද්දීන්ගේ කොළඹ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියෙක් ඇමැතිවරයාට එරෙහිව පොලිසි ගොස් වැඩක් නැති හෙයින් වැඩේ ගොඩින් බේරා ගන්නැයි කියමින් අල්ලසක් ලබා දීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මූලස්ථානය විසින් විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබයි.

ඩයගම වත්තේ තොරතුරු විමර්ශනය කළ පොලිසියට ප්‍රකාශයක් දුන් එක් මෙහෙකාරියක පවසා තිබුණේ ඇය බද්යුද්දීන්ගේ නිවසේ සේවය කරන කාලයේ නිවසේ වැසිකිළිය නිසි පරිදි සෝදා නැතැයි කියමින් මැඩම් (රිෂාඩ්ගේ බිරිඳ) තම හිස වැසිකිළි පෝච්චියේ ඔබා එම ජලයෙන් නහවා දැමූ බවයි.

කෙසේ වුවත් තවමත් විමර්ශකයන්ට සොයා ගැන්මට නොහැකි වී ඇති කරුණකි. ඒ ඉෂාලිනීට ලිංගික අතවර කෙළේ කවුරුන්ද යන්නයි.

එහෙත් පොලිසියට එය සොයා ගැනීම අපහසුම නොවනු ඇත. ඒ ඉහත අප සදහන් කළ පරිදි මේ අයගේ පැටිකිරියම දන්නා බැවිනි. ඒ අතර තවත් කරුණක් අපට ගෙන හැර දක්වන්නට තිබේ. ඒ යුද්ධය අවසන්වීමටත් පෙර එනම් 2007 වසරේදී රිෂාඩ්ගේ මස්සිනා කෙනකු වන මොහොමඩ් හනීෆා නම් අයකු තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට කොළඹ මහාධිකරණයේදී වරදකරු වී වසර 15 සිර දඬුවම් ලැබීමයි.

වැලිකඩ බන්ධනාගාරයේ L 17462 සිරකරු ලෙසින් හිරබත් කෑ ඔහු යහපාලන නීතියට පින්සිදුවන්නට දඬුවම් කාලය නොවිඳ 2016 වසරේදී නිදහස ලැබුවේය. මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඇමැතිවරයාගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැගෙන ආ තැරැව්කරු සිටින අතර ඉහත යහපාලනයෙන් නිදහස ස්ත්‍රී දූෂක මස්සිනා කොහේ සිටින්නේදැයි සොයා බැලිය යුතුය.

බද්යුද්දීන්ගේ බිරිඳ මෙන්ම නිවසේ අනෙක් අයද මෙහෙකාර දැරියන්ට වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මියගිය ඉෂාලිනී සිටි කුඩා කාමරයේ ජනේලයක් පවා තිබී නොමැති අතර රාත්‍රී 10.30ට එම කාමරයේ දොර වසා දමන බවත් පසුදා අලුයම 5.30ට එම කාමරය විවෘත කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. අවම වශයෙන් හදිසියේ වැසිකිළියට යාමට පවා එය විවෘත කර නොමැති බවද වාර්තා වේ.

එමෙන්ම මේ වන විට තවත් නිල නොවන වාර්තාවකින් දැන ගන්නට ඇත්තේ ඉෂාලිනී තමන් දිවි නසා ගන්නා බවට ඉංග්‍රීසියෙන් ලිපියක් ලියා ඇති බවයි.

Comments