ගැමි තාරු­ණ්‍යයේ මාන­සික පිළි­බි­ඹුව ගැන කියන | සිළුමිණ

ගැමි තාරු­ණ්‍යයේ මාන­සික පිළි­බි­ඹුව ගැන කියන

 

 

යොවුන් රංගන ශිල්පියෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිස රසික ආදරය දිනාගත් ගත් රනිල් කුලසිංහ දැන් අප අතරෙ කතාබහට ලක් වෙන්නේ අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඔහු මුලින්ම අධ්‍යක්ෂණයට යොමුවන්නේ ‘පූරී‘ ටෙලි නාට්‍ය නිර්මාණය කරමින්. ඔහු අතින් නිර්මාණය වන අලුත්ම ටෙලි නාට්‍ය දෙකක් මේ දිනවල විකාශනය වනවා. ඒ තමයි ‘පානාමංකඩ‘ සහ ‘වලවෙට්ටුවා‘. මේ අතරින් අද බොහෝ රසික අවධානයට යොමු වූ නිර්මාණයක්වන ‘වලවෙට්ටුවා‘ පිළිබඳ කතාබහ කරන්න අප රනිල්ව මුණගැහුණා.

 

‘වලවෙට්ටුවා‘. ඒක වෙනස් විදිහෙ නමක්. ‘වලවෙට්ටුවා‘ මේ ටෙලි නාට්‍යයේ වන්නේ කොහොම ද කියන තැනින් අපි කතාබහ පටන් ගත්තා.

‘ ටෙලි නාට්‍යය නිර්මාණය වන්නේ ගැමි පරිසරයක් තුළ. අතීතයේ අපේ ජන සමාජයේ ශේෂයන් එකතු කරගනිමින් තමයි මේ නිර්මාණය වුණේ ගමේ ජීවත්වන තරුණ තරුණියන් මුහුණ දෙන ඉච්ඡාභංගත්ව මේ කතාවට මුල්වෙනවා.

එදා ජනවහර තුළ භාවිත වූ ‘වලවෙට්ටුවා‘ කියන වචනය හිතුවක්කාර දඩබ්බර තරුණයන් හඳුන්වපු වචනයක්. මේ ටෙලි නාට්‍යයේ පුරාම වැටිලා තියෙන්නේ ගැමි තරුණ තරුණියන්ගෙ මානසික පිළිබිඹුවක්. මේ මනඃකල්පිත ගම නිර්මාණය වෙන්නෙ සමාජ යථාර්ථයෙ යටි පෙළ විදිහට. “

මේ ටෙලි නාට්‍යයේ තිර රචනය ලියවෙන්නෙත් අධ්‍යක්ෂවරයා අතින්. නිර්මාණය යථාර්ථයක් බවට පත් කර ගන්න රංගන ශිල්පීන් ලබාදුන් දායකත්වය පිළිබඳ ඔහු පැහැදිලි කළා.

‘අභියෝගවලට මුහුණ දෙන්න මම කැමතියි. මේ නිර්මාණය වෙනුවෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ටීනා තෝරගත්තා. ඇයට මේ චරිතය පිළිබඳ පැහැදිලි කළාම ඇය කැමැත්තෙන් බාර ගෙන උපරිම කැපවීමකින් ඇය චරිතය නිරූපණය කරනවා.“

“චමීර ලියනගේ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතාමත් කැපවීමකින් හැදෑරීමකින් රංගනයේ නියැළෙන කෙනෙක්. ඩබ්ලිව් ජයසිරි, දමිතා අබේරත්න, මාදනි මල්වත්තගේ, දිලිනි ලක්මාලි, කුමාර තිරිමාදුර, ඇතුළු සියලුම රංගන ශිල්පීන් අපට ලබාදෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න බැහැ.‘ ‘වලවෙට්ටුවා‘අත්දැකීම ඔහු තවදුරටත් විස්තර කළේ තෘප්තියකින්.

‘මේ නිර්මාණයෙ කුකුළු පොර තිබෙනවා. මේ දර්ශන නිර්මාණයට යොදා ගැනීම අපට පහසු වුණේ නැහැ. සතුන්ගේ හැසිරීම රූගත කිරීමකදී අඛණ්ඩව රඳවා ගැනීම පහසු නැහැ. එය දීර්ඝ ටෙලි නාට්‍යයකදී කොහොමත්ම අභියෝගාත්මකයි.“

“කබඩි වගේ ක්‍රීඩාවක් යොදා ගැනීමේදී දෙපිලක බොහෝ පිරිසක් රූගත කිරීම්වලට සම්බන්ධ කරගන්න වෙනවා. එවැනි තත්ත්ව මේ නිර්මාණයදී අපිට අභියෝගයක් වුණා. දීර්ඝ ටෙලි නාට්‍යයක් වූවත් නිර්මාණාත්මක පසුබිම පිළිබඳ මගේ අවධානය ආරක්ෂා කරගන්නට මා මෙහිදී උත්සාහ කළා.

මේ නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණයෙන් ඉන්දික ලක්මාල් කටයුතු කළා. දෙවැනි අදියරේදී සජිත් වීරප්පෙරුම ප්‍රධාන කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ.

ටෙලි නිර්මාණයකදී අනන්‍යතාවක් ගොඩනඟා ගන්න අපිට හැකි වෙන්නේ නිර්මාණාත්මක රූපරාමු හරහා කතාවට අනුකූලව කැමරාකරණ භාවිතව සහ සංස්කරණයෙන්.“

“මගේ සියලුම නිර්මාණ සංස්කරණයෙන් දායක වෙන්නේ විරංග කැටපෙආරච්චි. මේ නිර්මාණයෙත් ඔහු ලබා දෙන දායකත්වය අමතක කරන්න බැහැ.“

ටෙලි නාට්‍යයක පසුතලය ලබා දෙන්නේ සුවිශාල ආලෝකයක්. මේ ටෙලි නාට්‍යයේ දර්ශන තල තෝරා ගත්තෙ කොහොමද? මා රනිල්ව විමසුවා. ‘පොල්ගහවෙල හිදැල්ලවත්ත මේ නිර්මාණයේ දර්ශන තලය විදිහට මම තෝර ගන්නේ. මේ ගමට කලකට පෙර මා ඇවිල්ලා තිබුණා. ඒ නිසාම තිර රචනය ලියද්දී ඒ අවට පරිසරය සහ දර්ශන තල පිළිබඳ අවබෝධයකින් මට වැඩ කරන්න හැකි වුණා.

ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂවරයා විදිහට බුද්ධි සංජය කටයුතු කරනවා. දර්ශන තල තුළ අලුතෙන් ලොකු වෙනස්කම් කරන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍යම දෙයක් පමණයි අපි නැවත ගොඩනඟා ගත්තේ. විශේෂයෙන්ම මෙම නිර්මාණයේ වේශ නිරූපණය සම්බන්ධයෙන් මනනුවන් රූපසිංහ සමඟ මා කතා බහ කළා. මට අවශ්‍ය වුණේ මේ නිර්මාණයට අනන්‍ය සජීවී චරිත ගොඩනඟන්න. ප්‍රේක්ෂකයන් මේ නාට්‍යයෙන් ජීවිත යථාර්ථය දැකලා එය හඳුනා ගනීවි.‘

කතාබහ අතරතුර ‘වලවෙට්ටුවා‘ රූ ගත කරද්දී අමතක නොවන සිදුවීම් ගැනත් කතා කළා‘

මේ නිර්මාණයේ නිෂ්පාදන කණ්ඩායම මගේ සම වයසේ පිරිසක්. කවිදු පෙරේරා නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කරනවා. සහය අධ්‍යක්ෂවරයා වන්නේ නලින්ද ධර්මසිරි. මේ නිර්මාණය පිටුපස හැම සිදුවීමක්ම අපිට අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීම් පොදුවේ අපි හැමෝම විඳිනවා. කබඩි ක්‍රීඩාව අතරතුර රසවත් සිදුවීම් අනන්තවත් සිදු වෙනවා. කිහිප වරක්ම බයිසිකලෙන් ඇද වැටීම් වගේ අවස්ථා අමතක වෙන්නේ නැහැ.

මේ නිර්මාණය කරද්දි විශේෂ ස්තුතිය පිරිනැමිය යුතු සහෘද පිරිසක් ගැනත් රනිල් කතා කළා.

‘වලවෙට්ටුවා‘ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ චාමින්ද ගුණතිලක සහ එහි ප්‍රධානීන්ට මම ස්තූතිවන්ත වෙනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් වලවෙට්ටුවා වෙනස් නිර්මාණයක් කියන අදහස අහන්න ලැබීම මට සතුටක්. මට අවශ්‍ය වුණේ වෙනසක් කරන්න. වෙනස තුළ හොඳ නිර්මාණකරුවෙක් වෙන්න මට බලාපොරොත්තුවක් තිබෙනවා.

Comments