කාන්තාවක් නම් ඇය ආර්ථිකව ස්වාධීන විය යුතුයි | සිළුමිණ

කාන්තාවක් නම් ඇය ආර්ථිකව ස්වාධීන විය යුතුයි

 

ඇය ශිරෝමාල් කුරේය. ශිරෝමාල් මේ රටේ ව්‍යාපාර සමාජය හොබවන ප්‍රභූ කාන්තා චරිතයකි. මේ රටේ දිදුලන සන්නාමයක් සහිත ජෙට්වින් හෝටල් සමූහයේ සභාපතිනිය ඇයය. ජෙට්වින් ට්‍රැවල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇයය. මහා ව්‍යාපාරක කළමනාකාරිනිය ලෙස ඇය ලෝකය දිනාගෙනය.

 

තරගකාරී වෙළෙඳ සමාජයක ගැහැනියකගේ ඒ අත්දැකීම බොහෝ සේ විචිත්‍ර නැත. ඒ ජීවන මතක අතර සරමින් මේ ඇය අපට ජීවිතය ගැන ගැඹුරු කතාවක් කියන්නීය. චින්තන විහීන මේ පසුගාමී සමාජයේ පොදුවේ කාන්තාව පෙළා දමන චණ්ඩ පීඩාව දරාගන්නා ආකාරය ගැන ඇය කියන්නීය. හුදෙකලා ගැහැනියකට මුහුණ දීමට සිදුවන දුර්දාන්ත දරාගෙන ජීවිතය අභියෝග දිනා ගන්නා ආකාරය ගැන ඇය කියන්නීය.

ඇයට ඒ මතක පෙළ අතර සැරිසරන්නට ඉඩ දී අසා සිටියෙමි.

“මා සම්ප්‍රදායික පවුලක දරුවෙක් ලෙසයි ඉපදුණේ. අම්මා ගෘහ­ිණියක්. තාත්තා ව්‍යාපාරික සමාජයේ යම් ශඛ්‍යතා සහිතව ගොඩනැඟුණු කෙනෙක්. ඒත් අම්මා සහ තාත්තා අපව ගොඩනඟන්න උත්සාහ කළේ සාමාන්‍ය ජීවිතයට සමීප කරලා. මට එක මල්ලි කෙනෙක් ඉන්නවා. අපේ ළමා කාලය සතුටින් ගත වුණා කියන මතකය මට තිබෙනවා.“

“ දරුවෙක් විදිහට ඒ අවධියෙ මා ටිකක් දඟයි. ඒ දඟකාරකම් මගෙ මවුපියන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට්ටමේ වුණා. මා අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙ. බොහෝ දවස්වල මා රණ්ඩු කරනවා පාසල් යන්න බෑ කියලා. පාසලට ගියාට පස්සේ මට අනික් ළමයි වගේ ජීවත් වෙන්න ඕන. ඒ දවස්වල මා ඉස්කෝලෙට යන්නෙ එන්නෙ රියදුරු එක්ක එවන වාහනේ. ඒත් අනික් ළමයි බස්වල යනවා. ඒක හරිම ෂෝක් අත්දැකීමක්. මට බස් එකේ යන්න ඕන වුණා. ඒත් ගෙදරින් ඒකට ඉඩ දුන්නෙ නෑ. මං හිතුවා මේ වැඩේ හරියන්නෙ නෑ. බස් එකේ කොහොම හරි යන්න ඕනෑ කියලා. දවසක් මම මාව ගෙනියන්න ආපු රියැදුරාව මඟ ඇරලා හොරෙන් බස් එකට නැග්ගා. මේක දැනගත්ත ගමන් රියැදුරු තැන බයවෙලා කොහොමින් හරි බස් එක පස්සෙන් වාහනේ අරන් ඇවිත් බස් එක නවත්වලා මාව ගෙනිහින් වාහනයට දැම්මා. ඇත්තටම එදා මට හරිම ලැජ්ජත් හිතුණා.

ඒත් වැඩේ කියන්නෙ පොඩි කාලෙ මට මොනව හරි කරන්න එපා කිව්වොත් මට ඒක කරන්නම හිතෙනවා. මට අවුරුදු 09 දි විතර අම්මලා මාව පාසල් නේවාසිකාගාරයෙ නැවැත්තුවා. එක අතකට මට හොඳයි. මගෙ වයසෙ ළමයි හිටපු නිසා සෙල්ලම් කරන්න. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට හොස්ටල් එන්න කැමැත්තක් හිතුනෙම නෑ. මේ අකමැත්ත මම හිතන්නෙ ප්‍රකාශ වුණේ හරිම භයානක විදිහට. එක දවසක් මට මතකයි මම සෙල්ලම් කරනකොට මගෙ ඔළුව නෙට් බෝල් පෝස්ට් එකේ වැදිලා මාව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. දෙපාරක් විතර මාව එහෙම රෝහල්ගත කරන්න වුණා. දැන් කල්පනා කරනකොට ඒ විදිහට ප්‍රකාශ වෙලා තිබුණෙ නේවාසිකාගාර ජීවිතයට මගෙ තිබුණු අකමැත්ත කියලා හිතෙනවා. කොහොම හරි අන්තිමට සීයා කිව්වා “මෙයාව හොස්ටල් තියලා හරියන්නෙ නෑ . ගෙදර එක්ක එන්න ඕන කියලා.“ ඇය කියන්නී සිනාසෙමිනි

එහෙත් මේ දඟකාර දැරිය පාසල් අධ්‍යාපන කටයුතුවල ප්‍රශස්ථ ලෙස නිරත වූවාවය. ඇය පාසල් විවාද කණ්ඩායම නියෝජනය කළාය. විෂය බාහිර ක්‍රියාකාරකම්හි නිරත වූවාය. එහෙත් ඇය අධ්‍යාපනය ලබා තිබුණේ ස්වකීය පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් නොවේ. ඇය ප්‍රාර්ථනා කළේ නිදහස් වෘත්තීය පරිසරයකි.

“ ඇත්තටම මට පොඩි දවස්වලත් ගෙදරින් කවදාවත් කියලා නෑ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. මට මතකයි තාත්තා කියනවා පුතේ...මේ රටේ අසරණ මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් රෝගීව බෙහෙත් නැතිව මැරෙනවා. වෛද්‍යවරියක් වෙලා මේ මිනිස්සුන්ව සුවපත් කරන්න කියලා. තාත්තා කියපු හින්දා පොඩි කාලෙ වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන හිටියා. ඒ සල්ලි නැති අයට නොමිලයේ බෙහෙත් කරන්න. එහෙම හිතාගෙන උසස්පෙළ විද්‍යා විෂයන් කරද්දී තමයි තේරුණෙ මේ වැඩේ මට කරන්න බෑ කියලා. විද්‍යාගාරයෙදී ගෙම්බො කැරපොත්තො කපන්න වෙනවා. ඉගෙනගන්නවත් මට සත්තු කපන්න ඕන වුණේ නෑ. සතියෙන් වාණිජ විෂය ධාරාවට මාරු වුණා.“

“ උසස්පෙළ හදාරලා ඉවර වුණ ගමන් මා සී.අයි.එම්.ඒ විභාගයට පෙනී ඉන්න කල්පනා කළා. ගෙවල්වලින් අපව හදපු විනය එක්ක මට පවුලෙ ගෙවන මේ ජීවිතෙන් පොඩි නිදහසක් අවශ්‍ය වුණා. ඒ හින්දා සී. අයි. එම්. ඒ විභාගයට පිටරටකට යන්න තිබුණු අවස්ථාව ගත්තා.“

මා ඉගෙන ගත්තෙ එංගලන්තයෙ. පැනගෙන ආවට මුලදී නම් හිතුණේ අපරාදෙ මම මේ සීතලේ දුක් විඳින්න ආවේ කියලා. ඒත් දැන් කල්පනා කරනකොට මගෙ ජීවිතෙ මට ලැබුණු වැදගත්ම නිරාවරණයක් තමයි විදෙස් සමාජයෙදී ලැබුණෙ. අධ්‍යාපනය හදාරන අතරෙ ගිනුම්කරණය සම්බන්ධ රැකියාවක් කළා.“

ඇය වරලත් ගණකාධිකාරිනියක ලෙස සුදුසුකම් ලබා ලංකාවට පැමිණ කොළඹ සරසවියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගන්නීය. ඒ වකවානුව වනවිට හෝ ඇයට සිය පවුලේ ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමේ අදහසක් නැත. ඇය කල්පනා කරන්නේ එය අනවශ්‍ය බැඳීමක් ලෙසය.

“ලංකාවට ආවට පස්සෙ මම මුලින්ම වැඩ කළේ අන්තර්ජාතික පසුබිමක් තිබුණු දැන්වීම් කළමනාකරණ ආයතනයක. ඒ ආයතනයෙ දී මුල්‍ය කළමනාකරණය තමයි කළේ. ඒ ලැබුණු අත්දැකීම මගෙ ජීවිතයට ඉතාම වැදගත් වුණා. මට හිටියා ඉන්දියානු ප්‍රධානීන් දෙදෙනෙක්. මා ඔවුන්ගෙන් කළමනාකරණය, නායකත්වය, පිරිස් පාලනය වගේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. එතැන හිටියේ වෙනස් විදිහට හිතන මිනිස්සු. මම එතැනදි දැනගත්තා අධ්‍යාපනයටම පමණක් නොවෙයි, පුද්ගලයකුගෙ සහජ දක්ෂතාවලටත් ලෝකයේ තැනක් තිබෙන වග. එය මට ලැබුණු අලුත් දැනුමක්. “

“ එහෙත් මෙතන බොහෝ කල් වැඩ කරන්න බැරි වුණා. සමහර මූල්‍ය හැසිරීම් සම්බන්ධව මට විවේචන තිබුණා. මා ඒ පිළිබඳ නිරන්තරවම කළමනාකාරිත්වය සමඟ තර්ක කළා. ඒ වනවිට ආයතනේ ප්‍රධානියා ලාංකිකයෙක්. ඔහු කීවා ඔහුගේ ස්ථාවරයට අනුව තමයි මා පවතින්න ඕනෑ කියලා. මා රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර ආවා. ඒ 1992දී.“

ජෙට්වින් ආයතනයට සම්බන්ධ වෙන ලෙස ඇගේ පියා ඇයට අවවාද කරන්නේ ඒ අවස්ථාවේ දීය. ඒ වනවිට ජෙට්වින් ට්‍රැවල්ස් යනු කීපදෙනෙක් පමණක් සේවය කරන කුඩා ආයතනයකි. ඇය මුලින්ම සම්බන්ධ වන්නෙ ජෙට්වින් ට්‍රැවල්ස් ආයතනයටය.

“ ඒ තීරණය ගැන දැන් මට හරිම සතුටුයි. මම දැනගෙන හිටියෙ නෑ මේක මේ තරම් හොඳ වෘත්තියක් කියලා. මෙය යහපත් ව්‍යාපාරයක්. අපි විකුණන්නෙ බොරු නිෂ්පාදනයක් නෙමෙයි. අපේ රටේ සංචාරක අවස්ථා. මා කාට හරි ශ්‍රී ලංකාවට එන්න කිව්වොත් ඒ එක්කම කියන කිසිදෙයක් බොරු නෙමෙයි. මගෙ රට ලස්සනයි. මිනිස්සු හොඳයි. මේ රට සංචාරයට සුදුසුයි කියා මා කියනවා නම් එය ඇත්තක්. “

ඇය ජීවිතයේ දුර්ග අත්දැකීම් ලබන්නේ මේ වකවානුවේය. පාසලින් පිටවී නව යෞවනියක් සේ අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටිය දී ඇතිවන ප්‍රේම සම්බන්ධය විවාහයක් බවට පරිවර්තනය විය.

“ තරුණ කාලෙ මා තුළ බොහෝ ප්‍රබලව මතු වූ මුරණ්ඩුකමක ප්‍රතිඵලයක් තමයි මේ විවාහයත්. මේ සම්බන්ධයට ගෙදරින් ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. ඒ නිසාම මා මගෙ විවාහය තෝර ගත්තා. එහෙත් එය සාර්ථක එකක් වුණේ නෑ. මගේ පුතා හම්බවෙලා අවුරුදු දෙකකින් විතර අපි වෙන් වුණා.“

ගොඩක් වෙලාවක දී කාන්තාවක් විවාහයෙන් වෙන්වීමට ගන්න තීන්දුවෙන් ඇයට වඩා කම්පනයට පත් කරන්නෙ ඇය වටා සිටින සමාජය. එහෙත් මගෙ මවුපියන් කවදාවත් කොහොම හරි ඉන්න වගේ දෙයක් කීවෙ නෑ. ඔවුන් කිව්වෙ තමන් ගන්න තීරණය ගැන වගකීම තියෙන්නෙ තමන්ට. ඒ තීරණය නිවැරදි නම් කිසිම ප්‍රශ්නයක් නෑ... වෙන් වෙලා එන්න කියලා.“

“මා විඳපු අත්දැකීම දන්නෙ මා පමණයි. මේ තීරණය ගන්නකොට මා හිතුවෙ නෑ එය ලජ්ජාවක් කියලා. මගෙ අම්මා තාත්තා කිසිම අයුරකින් මගේ හිත රිදෙව්වෙ නෑ. මම ගැවසුණු පරිසරයෙත් පිටිපස්සෙ ඉඳලා මොනවා හරි කිව්වත් මගෙ මූණට කිසිම කතාවක් ඒ සමාජයෙන් කියැවුණේ නෑ.“

ඒත් ඔබට කිවයුතු දෙයක් තිබෙනවා. පිරිමියකුට වගේ නෙවෙයි, දික්කසාද වෙච්චි කාන්තාවක් දිහා සමාජය ගෞරවයෙන් බලන්නෙ නෑ. මගේ පරිසරය නිසා මට දැඩි ලෙස නොදැණුනත් ඒ වේදනාව මා අත්වින්දා. මටත් අකටයුතු සහිත බලපෑම් ආවා. එක එක කතා කියලා තිබුණා. විවාහයෙන් ගිලිහුණු ගැහැනු කෙනකුට කොහොමද මිනිස්සු සලකන්නෙ කියලා මා අත්විඳ තිබෙනවා. කවදාවත් තව කෙනෙක්ව විවේචනය කරන්න හොඳ නෑ යන පාඩම මම ඉගෙන ගත්තෙ මගෙ ජීවිතයෙන්. “

“අපිට මිනිස්සු දිහා බලලා නොයෙක් ප්‍රකාශ කරන්න ලේසියි. හැම දේම පැති දෙකක් තිබෙනවා. අප එක්වරම අනුන්ව විනිශ්චය කරන්න හොඳ නෑ.“ ඇය මඳක් නිහඬ වූවාය.

“කවදාවත් වැරදුණා කියලා පසුතැවීමක් ආව ද?.“ මම ඇසුවෙමි.

“ තිබුණ එකම වේදනාව පුතා ගැන පමණයි. ඔහු දන්නා කාලෙදි සමාජයෙ අනෙක් දරුවන්ට වගේ මවුපියන් සහිත පවුලක් එක්ක ඔහු හැදුණේ නෑ, ඒත් ඔහුට විශාල පිරිසක් හිටියා ආච්චි, සීයා, නැන්දා මාමා ඇතුළුව. මා හැම වෙලාවෙම ඔහු එක්ක ගත කරනවිට පුළුවන් උපරිමයෙන් ඔහුට අවධානය දුන්නා. ඒ වගේම මගේ වෙන් වී ගිය සැමියා සහ මා අතර විරසයක් වෛරයක් තිබුණෙ නෑ. අපි එකතු වෙලා දරුවාගෙ අධ්‍යාපන කටයුතු වගේ දේවලදි වැඩ කළා. ඒත් පුතාට අපි නිසා මගහැරුණු දෙයක් තිබෙනවා නේද කියලා හිතනකොට දුකක් එනවා. මොන දේ කිව්වත් දරුවකුට තිබෙන හොඳම දේ අම්මයි තාත්තයි එක්ක ඉන්න එක. මා කවදාවත් මවුපියන්ට කියන්නෙ නෑ වෙන් වෙන්න කියලා. නමුත් රණ්ඩුවෙලා ඉන්නවට වඩ හොඳයි වෙන්වෙලා එක. “

ඇය කියන්නීය. ඇගේ පුතු ගෙහාන් කුරේ ලෝක අවධානයට ලක්වන කලාකරුවෙකි. ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයෙකි. ඇය ගෙහාන් ගැන පිරී ඉතිරෙන සතුටකින් කතා කරන්නීය.

“ තනි මවක් ලෙස දරුවා හදාගන්න මට ගෙදරින් විශාල සහයෝගයක් ලැබුණා. අපි ඔහොම ජීවත් වුණා. අවසානයෙදි මට මා ප්‍රාර්ථනා කළ ජීවිතය ලැබුණා. අපේ ගිවිසුම දෙවියන් සමඟ. මට ජීවිතයේ පමා වෙලා ලැබුණු ආදරය මා පිළිගත්තා. “

ඇය ගොඩනැඟුණේ ඇගේ පියා නිර්මාණය කළ ව්‍යාපාරය තුළය. ඒ නිසාම සාමාන්‍ය ගැහැනියකට ඇති අභියෝග ඇය අත්දැක්කේ නැත.

“අපිට ඒ ඒ කාලවල දී හොඳ කණ්ඩායම් තිබුණා. ඔවුන් ගොඩක් උදව් කළා. මට මතකයි මා ජෙට්වින් ට්‍රැවල් එකේ වැඩ කරන්න ආවට පස්සෙ තාත්තගෙ යාළුවෙක් “ඔයා එකවුන්ටන් කෙනෙක්. ඒ ෆීල්ඩ් එක තෝරගන්න. ඔයාට බෑ මේ කම්පැනියක් රන් කරන්න කියලා මට කිව්වා.“ මං එදා හිතුවා කොහොම හරි කරනවා කියලා. මං හිතුවා මේක රොකට් සයන්ස් එකක් නෙමෙයි, අවධානයකින් අනික් අයගෙ උදව් අරන් මේක කරන්න පුළුවන් කියලා. මා එය කළා.“

“කොවිඩ් ඇතුළෙ ඔබ මේ ව්‍යාපාරය පවත්වා ගත්තෙ කොහොමද?“ මම ඇසුවෙමි. ඇය යළිත් සිනාසුණාය.

“දේව පිහිටෙන්ම තමයි. මට හිතාගන්න බෑ කොහොමද මේක මේ තරම් කළේ කියලා. අපි හිතුවේ නෑ මේ තරම් දුරට කොවිඩ් වසංගතය ඇදෙයි කියලා. අපේ මූල්‍ය හැකියාව බලලා සැලසුම් කළා. අවුරුද්දක් විතර එය පවත්වාගන්න පුළුවන් කියන තක්සේරුව විතරයි අපට තිබුණෙ. ඉන් ඉදිරියට මේක දුවවන්න අපට මුදල් තිබුණෙ නෑ. අපි සේවකයන්ට කතා කරලා පඩි අඩු කළා. ගොවිතැනට බරවුණු දේවල් කරන්න පුරුදු වුණා. කොහොම හරි තත්ත්වය කළමනාකරණය කර ගත්තා හැකි පමණින්.“

“ මම එක සීරුවට ප්‍රශ්න වැලක් ඇසීමට සූදානම් වුණෙමි. “ඔබට ජීවිතයේ මගහැරුණු දෙයක් තිබෙනවා ද ?

“තව මොනව හරි ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි යැයි හිතිලා තිබෙනවා.“

“ජීවිතයේ වඩාත්ම සංවේදී අවස්ථාව මතක ද?“

තාත්තා නැතිවුණු වෙලාව මට දරාගන්න බැරි වුණා. ගොඩාක් කල් ගියා ඒ දුක යන්න. මගෙ තාත්තා නැතිවුණු වෙලාවෙ ඉදන් මා ඔහුට ගොඩාක් ලියුම් ලියන්න ගත්තා. වෙන කාටවත් කියන්නෙ නැතිව තාත්තටම ලිව්වා. එහෙම ලියපු ලියුම් ගොඩක් මගෙ ළඟ තිබෙනවා. ඒකෙන් මට විශාල සැනසීමක් ලැබෙනවා. දැන් වුණත් විසඳගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තිබුණොත් මම තාත්තට තමයි ලියන්නෙ.“

මම මේ ආදරණීය දියණිය දෙස බලාගෙන සිටියෙමි. ඇය වැනි ගැහැනියකට අපේ කාන්තාවන් වෙත කියා දෙන්නට බොහෝ දේ ඇති බව සිතේ. අවසාන වශයෙන් විමසුවෙමි.

මේ රටේ ගැහැනියට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය කුමක් ද?

“ඉගෙනගෙන ආර්ථිකව නිදහස් වෙන්න. කාගෙවත් බලපෑමක් නැතිව ජීවත් වෙන්න පුරුදු වෙන්න. කාටවත් අත නොපා ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න. එවිට ඔබට ඔබව නොමරා ජීවත් වෙන්න හැකි වේවි.“

 

Comments