බැසිල්ට, මෛත්‍රී­ගෙන් දුක් ගැන­වි­ල්ලක් | සිළුමිණ

බැසිල්ට, මෛත්‍රී­ගෙන් දුක් ගැන­වි­ල්ලක්

සුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ මාතෘකා කිහිපයක් සමඟයි. වසර 24 ක් තිස්සේ පවතින විදුහල්පති - ගුරු වැටුප් විෂමතාවලට ස්ථාවර විසඳුම් ලබාදෙන ලෙසට ගුරු වෘත්තීය සංගම් ප්‍රකාශ කරද්දී ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කොවිඞ් -19 අර්බුදය සමඟ රටේ ආර්ථික අර්බුදයක් පවතින නිසා මේ අවස්ථාවේදී එකවර වැටුප් විෂමතා ඉවත් කිරීමට නොහැකි බවයි. මේ සමඟම ඩෙල්ටා ප්‍රභේදය සමඟ කොරෝනා යළි පැතිරයාමේ අවදානමක් ඇතිවී තිබෙන අතර ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකුට මේ වනවිටත් කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

 

බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති මාධ්‍ය ඒකකය පරිශ්‍රයෙහි පිහිටි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ තවත් එක් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

සාමාන්‍යයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි හා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සතිපතා පැවැත්වෙන මෙම මාධ්‍ය සාකච්ඡාව සැලසුම් කර තිබුණේ එම සතියේ සමාජයේ හා ආණ්ඩුව අභ්‍යන්තරයේ පිළිරැව් දෙන වඩා වැදගත්ම මාතෘකාව හෝ වැදගත්ම ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීමටය. ඒ පිළිබඳව ජනපතිගේ හා රජයේ ස්ථාවරය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීමටය.

 

ජනපති ස්ථාවරය වෙනස් නොකරයි

ඒ අනුව පසුගිය සතියේ මෙම සාකච්ඡාවේදී කතාබහට ලක්වූයේ රට තුළ කොවිඩ් එන්නත්කරණයේ ප්‍රගතිය හා කොරෝනාවේ හැසිරීම පිළිබඳව යි. එම සතියේ එම සාකච්ඡාව ඉතා විශේෂ වූ සංවාදයක් ලෙස සමාජයේ කාගේත් අවධානයට ලක් විය.

ඒ අනුව මෙම සතියේ ඊට වඩා වෙනස් මාතෘකාවක් සාකච්ඡාවට ගැනිණ. මාතෘකාව වූයේ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේත් සමාජයේත් විපක්ෂය තුළත් දැඩි ලෙස විවේචනයට මෙන්ම කතාබහට ලක් වුණු එක්තරා කාරණයකි. කාරණාව රසායනික පොහොර තහනම් කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ගැසට් පත්‍රය ආපස්සට හරවන්නට තවත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කර ඇතැයි කියා රටේ ඇතිව තිබූ සංවාදයයි.

රසායනික පොහොර තහනම් කරන්නට රජය විසින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය ආපස්සට හරවමින් රසායනික පොහොර ගෙන්වන්නට හා ගෙන්වීම සම්බන්ධයෙන් රටේ තිබෙන නීති රීති ලිහිල් කිරීමට රජය තීන්දුවක් ගෙන ඇතැයි කියා පසුගිය දිනවල රටේ ලොකු කතාබහක් පැතිර ගියේය. හර්ෂ ද සිල්වා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පවා මේ පිළිබඳ කථා කරමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්නට වූහ.

‘‘කිසි දෙයක් මේ ආණ්ඩුවට හරියට කරන්න බෑ. කරොත් වැඩක් නාගන්නවා. හරි ප්‍රතිපත්තියක් නෑ. අද ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය හෙට ආපස්සට හරවනවා... ‘‘ ඒ ආණ්ඩුවට එරෙහිව නැඟුණු චෝදනා අතර තිබූ සමහර ඒවා විය.

මෙම සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මුලින්ම මෙම පුවත සම්බන්ධයෙන් රටේ ජනමාධ්‍ය හා විපක්ෂය හැසුරුණු ආකාරය විවරණය වන සේ නිමවා තිබූ කුඩා වීඩියෝ පටයක් පෙන්වනු ලැබීය. ඉන් පසුව ඒ පිළිබඳ ඇත්ත ඇති සැටි විවරණය කරන්නට ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංගට වේදිකාව භාර කළේය.

'රසායනික පොහොර තහනම් කරන්න ආණ්ඩුව ගෙනාපු ගැසට් පත්‍රය ආපස්සට හරවලයි කියලා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියනවා. විශේෂයෙන්ම විපක්ෂය හා ඇතැම් මාධ්‍ය මේක ප්‍රසිද්ධ කරනවා. සමහර විට මෙම ප්‍රචාරය සාධාරණයි. පහුගිය දවස්වල රට තැන තැන ඇතිවෙච්ච උද්ඝෝෂණවලට ඇහුම්කන් දීලා රජය තම ප්‍රතිපත්තිය ආපස්සට හැරෙව්වා ද කියලත් කෙනෙක් හිතන්න බැරි නෑ.

එතනදී විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ කාරණාව හොඳ හැටි විවේචනය කළා. හැබැයි අපි ආණ්ඩුව හැටියට ඇත්තටම කලින් ගහපු ගැසට් පත්‍රය ආපස්සට හරවල රසායනික පොහොර ගේන්න ඉඩ දුන්නද..! නැහැ කිසිසේත්ම නැහැ.

එහෙම නම් ඇයි ඒ වගේ මතයක් සමාජය තුළ පැතිර ගියේ... මේ පිළිබඳ ඔබත් එක්ක ඇත්ත කතා කරන්න අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේ රටේ ප්‍රාමාණික උගතුන් කීපදෙනෙක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ. එස්. ආටිගල මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මැතිතුමා, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උදිත් කේ. ජයසිංහ මැතිතුමා.

අන්න ඒ අය මෙතන වුණේ මොකක්ද කියන එක පැහැදිලි කරාවි. ඊට කලින් මම මේ පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පැහැදිලි කරලා ඉන්නම්.

 

ලලිත් වීරතුංගගෙන් පැහැදිලි කිරීමක්

මේ රටේ කෘෂිකාර්මික බෝග සඳහා භාවිතා කරන රසායනික පොහොර වෙනුවට වස විස නැති කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා කියන එක අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කාරණයක්. එක පැත්තකින් ඒක ඡන්ද පොරොන්දුවක්. ඒ අනුව තමයි අපි ආණ්ඩුව භාර ගත්තට පස්සේ රසායනික පොහොර තහනම් කරල කාබනික වගාවට රට හුරු කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ. ඒ ගත්ත තීන්දුවේ කිසිම වෙනසක් නෑ. රසායනික පොහොර තහනම් කරන්න ගහපු ගැසට් පත්‍රය කිසිම ලෙසකින් රිවස් කරලා නෑ. රටේ තියෙන නීති රීති ලිහිල් කරලත් නෑ. හැබැයි යමක් වෙලා තියෙනවා. අන්න ඒ මොකක්ද. දැන් අපේ අනිත් නිලධාරි මහත්තුරු පැහැදිලි කරාවි ඒ වුණේ මොකක්ද කියලා. ‘‘

‘‘ ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල කතා කරමින් පෙන්වා දුන්නේ රටට අවශ්‍ය කාබනික පොහොර ගෙන්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයේ ඇති යම් යම් රෙගුලාසි සංශෝධනයට ලක් කරමින් නැවත ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවකි.

‘‘මෙරටට පිටරටින් දේවල් ගේන්නෙත් යවන්නෙත් ගේන ඒවා හොඳ නැත්නම් තහනම් කරන්නේත් රේගුව. රේගුව මෙම අමුද්‍රව්‍ය හා බෝග වර්ග හඳුන්වන්නේ 'එච් එස් කෝඩ්' (H S code) වලින්. එක එච් එස් කෝඩ් එකකින් රසායනික ද්‍රව්‍ය රාශියක් ආවරණය වෙනවා.

ප්‍රශ්නෙ තියෙන්නෙ යූරියා තහනම් කරන කොට එහි එච් එස් කෝඩ් එක ලියවෙන්නේ යූරියා කියලා නෙවෙයි. එහි ඇති රසායනිකය අනුව. ඒ නිසා එම රසායනිකය අඩංගු සියලු දේවල් තහනම් වෙනවා. ඔන්න ඔය කාරණාව නිසා රසායනික ද්‍රව්‍ය විතරක් නෙවෙයි, එම සංඝටක තියෙන කාබනික ද්‍රව්‍ය ගේන එකත් තහනම් වෙනවා.

 

මහකන්නයට කාබනික පොහොර

ඔන්න ඔය දුෂ්කරතාව මගහරවාගෙන යූරියා වගේ අත්‍යවශ්‍ය දේවල් වල තියන සංඝටක ඇති කාබනික ද්‍රව්‍ය ගේන්න තමයි අපි මේ ගැසට් එක සංශෝධනය කළේ. එහෙම නැතුව යූරියා ගේන්න නෙවෙයි.‘‘

මෙම පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නොයෙකුත් ප්‍රශ්න අහන්නට වූහ...

‘‘ඉස්සර රසායනික පොහොර ඕන කෙනෙකුට ගේන්න පුළුවන් විදිහට නීතිය තිබුණා. හැබැයි අපි ඒ නීතිය දැඩි කළා. හැමෝටම ගේන්න බෑ. අපි අනුමත කරන, අපි නිර්දේශ කරන කාබනික වර්ගය අපි අනුමත කරන ප්‍රමාණයෙන් ගෙන්වීම සඳහා සීමිත පිරිසකට අපි බලපත්‍ර ලබා දෙනවා.‘‘

කවුද නිර්දේශ කරන්නේ..?

'ජාතික පොහොර කාර්යාංශය හා කෘෂිකර්ම බලධාරීන්'

එතකොට මොනා හැටියටද ගේන්නේ..?

ගසට නයිට්‍රජන් අවශ්‍ය නම් එම නයිට්‍රිජන් ප්‍රමාණය දියර කාබනික පොහොරක් ලෙසත් ඝන ද්‍රව්‍යයක් ලෙසත් ගෙන්නන්න පුළුවන්. පස පරීක්ෂා කරලා බලලා ඒ ඒ පසට අවශ්‍ය විදිහට තමයි අපි කාබනික පොහොර වුණත් පිටරටින් ගේන්නේ...‘‘

මේ අතර වෙනත් සාකච්ඡාවක් සඳහා ලලිත් වීරතුංග එතනින් පිටත්ව ගියේය.

මාධ්‍යවේදීන් හා නිලධාරීන් අතර විෂය කරුණු සම්බන්ධයෙන් පුංචි සංවාදයක්ද ඇති විය.

ලබන සැප්තැම්බර් 15 වන දායින් පසු මහකන්නය පටන් ගන්නා බැවින් ඒ කන්නයේදී ගොවියන්ට ලබා දීමට ඇති තරම් කාබනික පොහොර ලබා ගත හැකි දැයි යන ප්‍රශ්නය මතුවිය.

එවන් කිසිදු හිඟයක් නොමැති බවට නිලධාරීන් සහතික වූහ.

ඉන්පසුව මාධ්‍යවේදීන් මතු කළේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම සඳහා ගොවියන් දැනුවත් කිරීම කෙසේ සිදුවන්නේද යන වගය.

මුලින්ම ඒ පිළිබඳව ලංකාව පුරා විසිර සිටින කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් දැනුවත් කර පුහුණු කර ඉන්පසුව ඔවුන් හරහා ගොවියන් දැනුවත් කර පුහුණු කරන බව කෘෂිකර්ම ලේකම්වරයා කීවේය...

‘‘ අපි දැනටමත් ඒ පුහුණු කිරීමේ කටයුත්ත අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා තියෙනවා. මුලින්ම මහ කන්නයේ වැඩ පටන් ගන්නේ අම්පාරේ. ඊට පස්සේ මඩකලපුව . ඊට පස්සේ පොලොන්නරුව. ඊට පස්සේ අනුරාධපුර, ත්‍රිකුණාමලය පැත්ත. ඔන්න ඔහොමයි එම වැඩපිළිවෙළ ඉදිරියට යන්නේ..‘‘ කෘෂිකර්ම ලේකම්වරයා කීවේය.

මේ අයුරින් දිගින් දිගට ඇදී ගිය එම සාකච්ඡාව තුළ රජය ගෙන යන කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහන පිළිබඳ හොඳ අවබෝධයක් මාධ්‍යවේදීන් වෙත ලබා දෙන්නට අදාළ නිලධාරීන්ට හැකි විය.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ලොබියෙ වාඩිවෙලා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ක සුහද කතාබහක ඉද්දි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතනින් ගියා..

ආ... හිටපු ජනාධිපතිතුමා එන්න වාඩි වෙන්න..බැසිල් එහෙම කිව්වෙ බොහොම සුහද සිනහවකින්.. ඊයෙ ඔබතුමාලගෙ පැත්තෙ සත්තුන්ගෙන් වෙන වගා හානි ප්‍රශ්න ගැන සාකච්ඡා කළා..පුදුම විදිහට මොනරු ඉන්නවලු නේද ?...මුදල් ඇමතිතුමා හිටපු ජනාධිපතිතුමාට සාකච්ඡාවේ තොරතුරු ගැන කිව්ව....

මොනරා ඉතින් කතරගම දෙවියන්ගේ වාහනේනෙ..ඒ නිසා මිනිස්සු කිසි කරදරයක් කරන්නෙ නෑ..රිලව් ප්‍රශ්නෙත් ලොකු කරදරයක් ....... මෛත්‍රී හිටපු ජනාධිපතිතුමා එහෙම කියද්දි මුදල් ඇමති බැසිල් අතීතය මතක් කළා.... මට මතකයි ඔබතුමා කෘෂිකර්ම ඇමති කාලෙ ඉඳලම මේ ගැන හැමදාම කතා කළා.... ඔව් ඔව් ජනාධිපති කාලෙත් මම කිව්ව රිලව් පරිස්සම් කරන්න මට බෑ කියල...

පහුගිය බදාදා අවම වේතන සංශෝධන පනත පිළිබඳ විවාදයට එක්වෙමින් සජබ මන්ත්‍රීනී රෝහිණි කවිරත්න ආණ්ඩුවට විරුද්ධව චෝදනා රැසක් ඉදිරිපත් කළා. රෝහිණීගේ කතාවෙන් පස්සෙ ආණ්ඩුව පැත්තෙ කතාව තිබ්බෙ සංජීව එදිරිමාන්නට.

රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය හොඳයි ලස්සනටම ඔසරිය ඇඳල බොරු කීමේ තරගෙට යවන්න..මම අපේ ගමේ අවුරුදු උත්සවයට මේ ඉවෙන්ට් එක දානව ඔබතුමිය එන්න... සංජීව එදිරිමාන්න එහෙම කියමින් කතාව පටන් ගනිද්දී රෝහිණි කුමාරි ඔසරිපොට හදමින්ම හිනා වුණා...

ඊට ටික වෙලාවකට පස්සෙ රෝහිණි කවිරත්න පාර්ලිමේන්තු ලොබියේදී සංජීව එදිරිමාන්නව හම්බ වුණා....

මල්ලි ඔයාගෙ ඊයෙ කතාව ලස්සනයි..නරක වචන කියල රණ්ඩු කරගන්නෙ නැතුව එහෙම තමයි කතා කරන්න ඕනි. පාර්ලිමේන්තුව ගැන සමාජ මතය අපි වෙනස් කරන්න ඕනි මල්ලි. ඔයා දැක්ක ද ගිය සතියෙ මන්ත්‍රීවරුන්ගෙ දරුවො සහභාගී වෙච්ච ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට මිනිස්සු කමෙන්ට් කරල තිබ්බ දේවල්. මේව වෙනස් නොවී අපි දේශපාලන කරල වැඩක් නෑ. රෝහිණි කවිරත්න එහෙම කිව්වෙ අම්ම කෙනෙක් විදිහට සංවේදීව.

 

ප්‍රසන්න රුසියාවේ

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේ දිනවල රුසියාවේ නිල සංචාරයක නිරතවී සිටියි. ඔහු එහිදී එරට සංචාරක ෆෙඩරල් ඒජන්සියේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් ගෙන්වා ගැනීම ගැනය.

“අපි රටක් විදියට එන්නත් කරන වැඩසටහන ඉතා හොදින් ක්‍රියාත්මක කරනවා. මේ මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය එන්නත් කරන්න අපිට පුළුවන්. එතකොට ශ්‍රී ලංකාව කොව්ඩි ආරක්ෂිත රටක් බවට පත්වේවි. ඒ නිසා රුසියානු සංචාරකයන් අතර ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කරන්න අපි අපේක්ෂා කරනවා. “ ඇමති ප්‍රසන්න කීවේය”.

රුසියානු සංචාරක ප්‍රධානීන්ද ඇමතිවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය. ඔවුන් කීවේ රුසියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමට සිය රජයේ පූර්ණ සහාය පළ කරන බවය.

රුසියානු නිල සංචාරය අතරතුර ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ගැනද, දැඩි අවධානයකින් සිටියේය. විටින් විට සිය නිලධාරීන්ට කථා කරමින් සෞඛ්‍ය ප්‍රධානීන් හා සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ සොයා බැලුවේය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය මන්ත්‍රී ධූරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පසුගිය බදාදා විශේෂ සාදයක් පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේගේ නිවසේය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු රැසක් ඊට සහභාගි වූහ. පසු පෙළ මන්ත්‍රීවරුන්ට අමතරව මේ සඳහා සහභාගි වූයේ නිමල් ලාන්සා සහ ලොහාන් රත්වත්ත යන රාජ්‍ය ඇමතිවරු පමණි.

මේ සාදයේදී ඌව හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක අපූරු නැටුමක් ඉදිරිපත් කළේ පැමිණි සිටි අයගේ අත්පොලසන් මැදය. ඒ “බදුලු නැටුම” රැස්ව සිටි පිරිස අමන්දානන්දයට හේතු වූහ. පසුදින පාර්ලිමේන්තු රැස්වීමේදී කථා බහට ලක්වූයේ චාමරගේ ඒ “බදුලු නැටුම” ගැනය.

 

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් ලොකු ලාභයක්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ සැලසුම් සහ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මෙහෙයවීමෙන් සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් මෙම වසරේ ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 425 ක වාර්තාගත ආදායමක් ලැබීමට සමත්ව සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය රජය සමයේ මසකට රුපියල් ලක්ෂ 15 ක ආදායමක් ලබමින් සිටි සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අගමැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය ජූනි මාසය වන විට එම ආදායම රුපියල් මිලියන 155 ක් දක්වා සහ ජූලි මාසයේදී එය තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ නංවාගෙන ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කරයි.

2020 වසරේ මාර්තු 05 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසින් විවෘත කරන ලද, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථාන ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 17 ක් රටපුරා මේවන විට ක්‍රියාත්මක වෙමින් සේවාවන් සපයන අතර, පසුගිය කාලයේ වැසී ගිය ශාඛා 03 ක් නැවත විවෘත කිරීමට ද සංස්ථාව පියවර ගෙන තිබේ.

 

සජිත් රහසේ රන්ජන් හමුවීමට යයි

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන්වූ වහාම සජිත් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට පැමිණියේය. සජිත් කණ්ඩායම් රැස්වීමෙන් පිටත්වූයේ මනුෂටද තමන් සමඟ පැමිණෙන ලෙස දැනුම් දෙමින්ය.

පින්නදුව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණි ඔවුන් කරාපිටිය රෝහලට පැමිණියේය. ඒ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ගෙනවිත් සිටි රන්ජන් රාමනායකගේ සුව දුක් විමසීමටය.

සජිත් හා මනුෂ, රන්ජන්ගේ සුව දුක් විමසා ඔහු වෙනුවෙන් ගන්නා ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළේය.

‘‘මනුෂ මන්ත්‍රීතුමා, එතුමාගේ ගෙදර මට දීලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම ඒකට ස්තුතිවන්ත වෙනවා’’රන්ජන් කීවේය.

එතැන් සිට සජිත් ගියේ හම්බන්තොට බලාය. නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නිවාස ලබාදුන් පුද්ගලයින්ගේ නිවාස ආණ්ඩුව ගන්නා බවට සජිත්ට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එහි ගිය ඔහු ජනතාවගේ ගැටලුවලට කන් දුන්නේය.

‘‘මේ ගෙවල් නීත්‍යානුකූල නැහැ කියලා කියනවා නම් ගෙවල්වලට විදුලිය, ජලය දුන්නේ කොහොමද? නිවාස ණය දුන්නේ කොහොමද? මේ සරල කාරණාවත් දන්නේ නැති ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ’’සජිත් කීවේය.

එතැන් සිට ලුණුගම්වෙහෙර බලා පිටත්ව ගිය ඔහු පසුදා කොළඹ පැමිණියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ විරෝධතාවකට සහභාගීවීමටය.

සජිත් මේ සතියේ පාර්ලිමේන්තුවට ගියේ කොතලාවල පනතට අඛණ්ඩව විරෝධය දැක්වීමේ අරමුණින්ය. එහෙත් පනත් කෙටුම්පත හකුලා ගන්නා බව චමල් රාජපක්ෂ කීවේය. චමල් එම කතාව කර ටික වේලාවකින් විපක්ෂ නායක කාර්යාලයට සජිත් පැමිණියේ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සමඟය.

‘‘විපක්ෂය කරන දේවල් නිසා ආණ්ඩුවට ගොඩක් දේවල් රිවස් කරන්න වෙලා තියෙනවා’’ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවේ රිවස් කිරීම් ගැන සිහිපත් කරමින්ය.

‘‘පාර්ලිමේන්තු ඡන්දය තියලා අවුරුද්දකුත් වෙනවා’’නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ සජිත් දෙස බලමින්ය.

‘‘මේක ඉතිං රිවස් ආණ්ඩුවක් නේ. රිවස් ආණ්ඩුවට අවුරුද්දක් පිරුණ එක තමයි වෙලා තියෙන්නේ’’සජිත් පැවසුවේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විරෝධතාවන්ට සජිත් අඛණ්ඩව සහාය ලබාදුන්නේය. නිරන්තරයෙන් විරෝධතාවයන්ගේ ප්‍රශ්නය ගැන සොයා බැලූ ඔහු අවශ්‍ය සහාය දීමට ද පියවර ගත්තේය.

පාර්ලිමේන්තුවේදී ද විශේෂ ප්‍රකාශයක් කළ ඔහු ගුරුවරුන්ගේ ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කළේය. මේ අතර විරෝධතාවේ යෙදුණ ගුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචිවූ වහාම සජිත් ඒ ගැන සොයා බැලුවේය. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට දුරකතනයෙන් ඇමතූ සජිත් බ්‍රහස්පතින්දා උදෑසන ඔවුන් රඳවා සිටි වරාය පොලීසියට ගොස් සොයා බැලිය යුතු බව දැනුම් දුන්නේය.

 

රනිල්ට මාධ්‍ය රහසක්

අඟහරුවාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා වාරයට එක්වූ අතර එහිදී කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය ඇමතිනියට කීවේ ලෝකයේ අනෙක් රටවල කරන්නාක් මෙන් සෑම සතියකම පාර්ලිමේන්තු රැස්වන අඟහරුවාදා කොවිඩ් ගැන වාර්තාවක් දීම උචිත බවයි. ඇමතිවරිය ද ඊට එකඟතාව පළ කළාය.

පාර්ලිමේන්තුව රැස්වූ දින හතරේම එජාප නායකයා පාර්ලිමේන්තුවට ගොස් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. පාර්ලිමේන්තුවේදී කරන කතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් ප්‍රචාරය කරවා ගැනීමට මැති ඇමතිවරු දරනා උත්සාහයක් ගැන පක්ෂ විපක්ෂ නවක මන්ත්‍රී පිරිසක් නායකයාට කරුණු දැක්වූහ.

‘‘මගේ ඥාතියෙකුටත් මාධ්‍ය ආයතනයක් තියෙන නිසා මේ ඉල්ලීම් ඉටු කරන්න තවත් පත්තරයක්වත් ගහමු ද කියලා අහන්න ඕනේ.‘‘ නායකයා කී විට පිරිස හරි හරියට රස කතා කියමින් මහ හඬින් සිනා සෙන්නට වූහ. පාර්ලිමේන්තු ලොබියේ මන්ත්‍රී පිරිසක් කොක්හඬලද්දී ඒ අසලින් ගිය අනෙක් මන්ත්‍රීවරු ද සභාවේ සිනා යැයි කීවේ පිරිසට එක්වෙමිනි.

කොවිඩ් තත්ත්වය හා ආර්ථික අර්බුදය ගැන ද ඔවුන් නායකයා සමඟ සාකච්ඡා කළහ. පොහොර ප්‍රශ්නය ද සාකච්ඡාවට බඳුන් වූහ.

එජාප නායකයා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අගය කළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රටේ සැබෑ තත්ත්වය පැහැදිලිව කීවේ නායකයා බව කීහ. කොවිඩ් වියදම් වෙනුවෙන් වැය ශිර්ෂයක් ගෙනෙන ලෙසට හා පවතින හදිසි තත්ත්වය හේතුවෙන් බෙහෙත් මෙන්ම වෛද්‍ය උපකරණ ගෙන්වීම ද ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කරන්නැයි එජාප නායකයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

 

නාමල්ගේ ඉල්ලීමට කටාර්වලිනුත් රැකියා පනස්දාහක්

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් අනුව යෞවන කටයුතු අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් පිරිසක් පසුගිය දිනක රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් හමුවන්නට ගියෝය. ඔවුහු මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළේ මේ රටේ තරුණ තරුණියන් විදේශ රැකියාවලට යොමු කරවීමේ වැඩසටහන ගැනය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මෙම වැඩපිළිවෙළෙහි වත්මන් ප්‍රගතිය ඇමතිවරයාට පැහැදිලි කළේය.

තරුණ සේවා සභාව හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් විදේශ රැකියා සඳහා පුහුණු කරන තරුණයන්ගේ හැකියාවන් ගැන මොහොතක් අසා සිටි අමාත්‍යවරයා දුරකථනය ගෙන ඒ මොහොතේම කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කළේය. මඳ වේලාවක් කතාකර දුරකථනය තැබූ ඇමතිවරයා නිලධාරීන් ලෙස සතුටුදායක සිනහවක් පාමින් මෙසේ කීවේය..

'ඔන්න ඔයගොල්ලන්ගේ පුහුණු ශ්‍රමික තරුණ තරුණියන්ට කටාර් රාජ්‍යයෙන් රැකීරක්ෂා 50 000ක් හොයා දෙන්න තානාපතිතුමා එකඟ වුණා. 2022 දී ලෝක පාපන්දු සැණකෙළිය කටාර් රාජ්‍යය පවත්වන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ රටේ රැකියා අවස්ථා බොහොමයි.‘‘

'අපේ තරුණ තරුණියන් පුහුණු කරලා වැඩි වැඩියෙන් පිටරට රැකියාවලට යවලා ලංකාවට විදේශ විනිමය ගේන්නයි නාමල් ඇමතිතුමාගේ සැලසුම‘‘ නිලධාරීහු කීහ.

‘‘ඔව්... සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් විදියටත් කටාර් රාජ්‍යයේ සංචාරය කරන්නත් තානාපතිතුමා ආරාධනය කරනවා. අපේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් ඒක ලොකු පිටිවහලක් වේවි. නාමල් ඇමතිතුමාටත් ලෑස්ති වෙන්න කියන්න...‘‘ ඇමතිවරයා දමිත වික්‍රමසිංහට සුබ පතන අතර ප්‍රසන්න ලෙස සිනහවක් පාමින් කියා සිටියේය.

Comments