නූතන සිංහල අධ්‍යයනය සඳහා චිරස්තායී පදනම් සැකසූ මහාචාර්ය ඇම්. බී. ආරියපාල | සිළුමිණ

නූතන සිංහල අධ්‍යයනය සඳහා චිරස්තායී පදනම් සැකසූ මහාචාර්ය ඇම්. බී. ආරියපාල

 

ලංකා විශ්වවිද්‍යාලය නමින් එවක පැවති එකම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනය ප්‍රවර්ධනය සඳහා පුරෝගාමී වූ ආචාර්යවරුන් කිහිප දෙනා අතුරින් වැදගත් මෙහෙයක් ඉටු කළද වර්තමානය වන විට අඩුවෙන් නම සඳහන් වන ආචාර්යවරයෙකි මහාචාර්ය ඇම්. බී. ආරියපාල. ලංකා විශ්විද්‍යාල විද්‍යායතනය, ලංකා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල කිහිපයකම සේවය කළ ආරියපාල මහාචාර්යතුමා රුහුණ විශ්වවිද්‍යාලය ස්ථාපනයටද දායක විය. එමතු නොව වර්තමානයේ සිංහල විෂය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය මූලික ගද්‍ය පද්‍ය කෘති කිහිපයකම ශාස්ත්‍රීය සංස්කරණ එළි දැක්වීමෙන් සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයේ ජීවමාන පුරාවෘත්තයක් බවට පත් වූ විද්වතකු ලෙසද මෙතුමෝ සම්භාවනාවට පාත්‍ර වෙති. එසේම සමාජීය සාහිත්‍ය අධ්‍යයනය සම්බන්ධ පුරෝගාමී අධ්‍යයනය ආරම්භ කරන ලද්දේද මහාචාර්ය එම්. බී. ආරියපාල විද්වතාණන් විසිනි.

එකුන්විසි වන සියවසේ පහතරට සිදු වූ ධර්ම ශාස්ත්‍ර පුනරුද අරුණු දහරේ ප්‍රභාව ඇම්. බී. ආරියපාල චරිතය නිර්මාණය වීමට බල පෑවේය. 1916 ජූනි මස පළමු වෙනිදා දකුණු ලක දොඩන්දූවේදී උපත ලත් ආරියපාල බිලිඳාගේ පියා ඇම්. බී කරෝලිස් සිල්වා නම් සුළු ව්‍යාපාරිකයෙකි. මව කේ. පී. ඩබ්ලිව්. ජේන් නෝනා නම් විය. බිලිඳු වියේදීම සිදු වූ මවගේ අකල් වියෝව නිසා දරුවා අතිදැඩි වූයේ හික්කඩුවේ විසූ මවගේ වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේය. 1921 වර්ෂයේ හික්කඩුවේ රජයේ ස්වභාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලද ආරියපාල දරුවා 1924 වර්ෂයේදී හික්ඩුවේ රජයේ ඉංග්‍රීසි පාඨශාලාවට ඇතුළත් කෙරිණ. ඉගෙනීමට සමත්කම් දැක්වූ ආරිපාල ශිෂ්‍යයා පාසල් හැරයාමේ සහතික පත්‍ර විභාගය ඉතා ඉහළින් සමත් විය. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇම්. බී. ආරියපාල ශිෂ්‍යයා පරමවිඥානාර්ථ සමාගම මගින් ගාල්ලේ ස්ථාපිත කීර්තිමත් විද්‍යස්ථානයක් වූ මහින්ද විද්‍යාලයට ඇතුළත් කෙරිණ. එහිදී කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් වූ ආරියපාල ශිෂ්‍යයා 1936 වර්ෂයේදී ලන්ඩන් මැට්රිකියුලේශන් විභාගය සමත්ව 1937 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයට ප්‍රවිෂ්ට විය. 1940 වර්ෂයේදී දෙවන පෙළ සාමර්ථ්‍යයක් සහිතව ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය ලැබූ ආරියපාල විද්‍යාර්ථියා ඊළඟ වර්ෂයේදී සිංහල විෂයයෙන් විශේෂ උපාධිය සමත් වූයේ ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් සහිතවය.

උපාධිය ලද විගස ගුරු වෘත්තියට අවතීර්ණ වූ ආරිපාල තරුණයා කොළඹ ආනන්ද සහ ඕල්කට් යන විද්‍යාලයවල කෙටි කලක් සේවය කොට 1941 වර්ෂයේදී බෞද්ධ පාඨශාලාවක් ලෙස අභිනවයෙන් ස්ථාපනය කෙරුණු දැනට රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටා තිබෙන රෝහණ විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්ව ආවේ මහාචාර්ය ගුණපාල මලලසේකර සහ පී. ද ඇස්. කුලරත්න දෙපොළගේ කාරුණික ඉල්ලීම පරිදිය. පාසල් රජයට පවරා ගැනීමේ අවශ්‍යතාව ඒ වන විට මතුව තිබුණු අතර ආරියපාල විදුහල්පතිතුමාද ඒ ව්‍යාපාරයට ඉමහත් කැපවීමෙන් සහයෝගය ලබා දුන්නේය. එහෙත් කලක් ගත වන විට අලුතෙන් මතු වී ආ නිලධාරි තන්ත්‍රය නිසා ගුරුවෘත්තියෙහි ස්වාධීනත්වය සහ අභිමානය අහිමි වී යන තත්ත්වය හමුවේ ආරියපාල විදුහල්පතිතුමාට ගුරු සේවය එපා වන තත්ත්වයට කටයුතු යෙදිණ.

ගුරු සේවයෙන් ඉවත්වී පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිමග්න වීමට අදහස් කළද ඒ අපේක්ෂාවද නිසි පරිදි ඉටු නොවිණ. එසේ වුවද 1944 වර්ෂයේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි තාවකාලික කථිකාචාර්ය තනතුරක් එතුමන්ට ලැබිණ. මෙසේ කටයුතු කරමින් සිටින අතරේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන සහ අප්‍රිකානු අධ්‍යයනාංශයේ කථිකාචාර්ය තනතුරෙහි කටයුතු කිරීමට එම් බී. ආරියපාල වෙත ලැබුණු අවස්ථාව වෙස්වලාගත් ආශීර්වාදයක් විය. මන්ද යත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගත කළ 1947 – 1950 තෙවසර ඇතුළත ස්වකීය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා වූ බැවිනි. The State of Society in Mediaeval Ceylon යන මැයෙන් යුත් ආචාර්ය උපාධි නිබන්ධය ලන්ඩන් විශ්වවිද්‍යාලයට සමර්පණය කොට ස්වකීය පශ්චාද් උපාධිය ලබා ගත් හෙතෙම 1962 වර්ෂයේ ඒ නිබන්ධය මධ්‍යකාලීන ලංකා සමාජය මැයෙන් සිංහලයට පරිවර්තිතව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස පළ කළේය. ඒ කෘතියෙන් විමර්ශනයට බඳුන් වූයේ 13 වෙනි ශත වර්ෂයට අයත් සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ, විශුද්ධිමාර්ග සන්නය, පූජාවලිය ආදි සාහිත්‍ය කෘතිවල නිරූපණය වන ලංකා සමාජයේ තත්ත්වයයි. එබැවින් එය ලංකාවේ සමාජීය සාහිත්‍ය අධ්‍යයනය පිළිබඳ ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලෙස හැඳින්විය හැකිය.

ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සාර්ථක අයුරින් නිම කළ ආචාර්ය එම්. බී. ආරියපාල 1950 වර්ෂයේ ලංකාවට පැමිණි අතර ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්ය තනතුරකට බඳවා ගැනිණ. ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යාමත් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ එදිරිවීර සරච්චන්ද්‍ර, පී. ඊ. ඊ. ප්‍රනාන්දු ඇතුළු සෙසු අචාර්යවරුන් සමඟ එක්ව කලා සංස්කෘතික ප්‍රබෝධයට ආරියපාල ආචාර්යවරයාගේ නොමඳ දායකත්වයක් ලැබිණ.

1963 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ශාස්ත්‍ර පීඨය කොළඹ ස්ථාපනය කිරීමත් සමඟ ආචාර්ය ආරියපාලට එහි වගකීම් පැවරිණ. 1967 වර්ෂයේ මහාචාර්ය තනතුරට පත් වූ ඇම්. බී. ආරියපාල ඒ වර්ෂයේදීම කොළඹ අලුතෙන් ආරම්භ කෙරුණු ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුරට පත් කෙරිණ. විවිධ පරිපාලන තනතුරුවල වගකීම් දරමින් ස්වකීය ශාස්ත්‍රීය කටයුතුද අඛණ්ඩව කර ගෙන යාමට මහචාර්ය ආරියපාල සමත් විය. 1965 වර්ෂයේ පළ වූ කව්සිළුමිණ සංස්කරණය එතුමන්ගේ සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණ විෂයයෙහි පරිචය විදහා පාන්නකි. මේ වන විට ලක්ෂ සංඛ්‍යාත විද්‍යාර්ථීන් කව්සිළුමිණ මහා කාව්‍ය උද්ග්‍රහණය කර තිබෙන්නේ එතුමන්ගේ සංස්කරණයෙහි පිහිටෙනි. සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණ විෂයෙහි මහාචාර්ය ආරියපාල විද්වතුන්ගේ දායකත්වය තවත් සම්භාවනීය සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් වන සද්ධර්ම රත්නාවලී සංස්කරණයටද ලැබිණ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිහල අධ්‍යයනාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගම මගින් ලංකාවේ සිටි ඉහළම ප්‍රාචීන උගතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් කෙරුණු සංස්කරණ ක්‍රියාවලියෙහි කමිටුවෙහි අධ්‍යක්ෂ ධුරය උසුලන ලද්දේ මහාචාර්ය ඇම්. බී. ආරිපාල විසිනි. ප්‍රාචීන භාෂෝපකාර සමාගම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සහයෝගයෙන් පළ ලද සද්ධර්මාලංකාරයේ පාඨ සංස්කරණය සම්බන්ධයෙන්ද මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතාගේ මග පෙන්වීම ලැබීම නිසා උසස් ශාස්ත්‍රීය ප්‍රමිතියෙන් යුත් ග්‍රන්ථයක් සම්භාව්‍ය සාහිත්‍ය සේවීන්හට ලද හැකි විය.

ලංකාවේ පැවතුණු විශිෂ්ට ශාස්ත්‍රීය සංවිධ­ානයක් වූ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ධුරය ඉසිළුෑ අවසන් ප්‍රාඥ පරපුර අතරට මහාචාර්ය ඇම්. බී . ආරියපාල මහතා ඇතුළත් වෙයි. 1980 සිට 1986 දක්වා මෙතුමා රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ලෙස කටයුතු කරමින් සංගමයේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් ඉටු කළේය. ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිව වර්ෂ 142 පමණ කාලයක් තැනින් තැන පවත්වාගෙන ගිය ආසියාතික සංගමයේ පුස්තකාලය හා එහි කාර්යාලය දැනට තිබෙන මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ලේ නිශ්චිත ස්ථානයකට ගෙන ඒමට හැකි වූයේ ආරියපාල මහාචාර්යතුමාගේ විශේෂ උනන්දුව නිසාය. අන් සියලු කර්තව්‍යයන් අබිබවා මතු වී පෙනෙන විශේෂ කර්තව්‍යයකටද මෙතුමා දායක විය. රාජකීය ආසියාතික සංගමය මෙරට ඇරඹු පසු ප්‍රකාශයට පත් කරන ලද සඟරාවල පළ වූ සියලුම ශාස්ත්‍රීය නිබන්ධ (1845-1989) සූචිගත කොට වෙනම වෙළුමක් ලෙස පළ කිරීම ශාස්ත්‍ර ගවේෂකයන්ට කෙරුණු දැවැන්ත ප්‍රදානයකි. සිය ජීවිතය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය උදෙසාම කැප කළ මහාචාර්ය ඇම්. බී. ආරියපාල විද්වතාණෝ වසර අනූවකට අධික කාලයක් ආයු විඳ 2006 වර්ෂයේ දෙසැම්බර් මස 10 වෙනි දින ආයු සංස්කාරය හළහ.

Comments