එදා මෙදාතුර ලංකාව බිහි කළ විශිෂ්ටතම ආශ්චර්ය | සිළුමිණ

එදා මෙදාතුර ලංකාව බිහි කළ විශිෂ්ටතම ආශ්චර්ය

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය පරිහරණය නොකළ ශ්‍රී ලාංකිකයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ සුඟක් සොයා ගැනීම තරම්ම අපහසු ක්‍රියාවලියකි. අදටත් ඇම්. ඩී. ගුණසේන සමාගමේ වැඩියෙන් ම විකිණෙන පොත මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයයි. ජීවිතයේ කොයියම්ම මොහොතක හෝ මලලසේකර ශබ්දකෝෂය එක්වරක් වත් භාවිත කර නැති අයකු සොයා ගැනීම උගහට ය.

මීට වසර 73කට පෙර එය මුලින් ම පළ කළ අවස්ථාවේ දී එහි සම්පාදකයා තම අරමුණ ගැන පෙරවදනෙහි සටහන් කර තිබුණේ මෙසේය. ‘ඉංග්‍රීසි ඉගෙනීමට ආශා ඇත්තවුන්ගේ ප්‍රයෝජනය සඳහා අංග සම්පූර්ණ ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් නැතිවීම මෙතෙක් පැවති බලවත් පාඩුවකි. මේ පො‍ත සකස් කරන ලද්දේ ඒ පාඩුව පිරිමැසීමේ බලාපොරොත්තුවෙනි.’ ඉංග්‍රීසිය කෙතරම් බලපෑමක් අනාගතයේදී සිදු කරයිද යන්න එදා දුටු තුන්කල් දැකි ප්‍රාඥයා අන්කවරකුවත් නොව ගුණපාල මලලසේකරයන් ය.

1948 දී එකී ශබ්දකෝෂය නිර්මාණය කර තැනැත්තා ම ඉන් නොනැවතී 1956දී බෞද්ධ විශ්වකෝෂය ද පළ කරනු ලැබීය. සමහර අනුස්මරණීය චරිත මිය ගිය ද සජීවී ය. නවීන චින්තන ධාරා විසින් ඒවා ආලෝකවත් කර තිබේ. ගුණපාල මලලසේකර නාමය ද ජීවතුන් අතර සිටින්නන්ටත් වඩා අමරණීය ව හා සජීවී ව බැබළෙන්නේ ඒ නිසා ය.

1899 නොවැම්බර් 09 වැනිදා පාණදුර මාලමුල්ලේදී උපත ලබන ජෝර්ජ් පීරිස් මලලසේකර; ගුණපාල පියසේන මලලසේකර යන ආර්ය නාමය භාවිත කරන්නට පටන් ගන්නේ අනගාරික ධර්මපාලතුමන් අනුදත් මඟ යෑමට පටන් ගැනීමත් සමඟිනි. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයකු වූ ජීවක වෙදආරච්චි රාලහාමි නමින් ප්‍රකට වූ එම්. එස්. පීරිස් මලලසේකර ය. මව දෝන සෙලෙස්තිනා ජයවර්ධන කුරුප්පු ය. පවුලේ දෙවැනියා ඔහු ය. හේ පාණදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයටත්, එතැනින් කොළඹ වෛද්‍ය විද්‍යාලටයත් යන්නේ ආයුර්වේද වෛද්‍යවරයකු වූ සිය පියා තම පුතුණුවන් බටහිර වෛද්‍යවරයකු වනු දැකීමේ අාශාව ඉටු කරනු වස් ය. එහෙත් දෛවය වෙනස් කිරීමට අපහසු බැව් පසක් කරමින් භෞතික කායට වෙදකම් කරන්නට ගිය මලලසේකර ලොව පුරා සිත් සුව කිරීමේ කාර්යයට තල්ලු වෙන්නේ ය; ඒ සිය පියාගේ හදිසි අභාවය හේතුවෙනි. වසරක් වෛද්‍ය විද්‍යාලයේ ගතකරන ඔහු එයින් නික්ම ලන්ඩන් බී. ඒ. උපාධියට පෙනී සිටින අතර; බටහිර සම්භාව්‍ය සාහිත්‍ය අරභයා ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගන්නේ ය. දෛවය ඉදිරිපත් වී පඬිවරයකු බිහි කරන්නේ එලෙසිනි. අනතුරුව 1923 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳෙන හේ ඉන්දු ආර්යා භාෂා අධ්‍යයනයට පෙලඹෙයි. අවුරුදු දෙකක් ඇතුළත එනම් 1925 වනවිට ඇම්. ඒ. හෙවත් ශාස්ත්‍රපති උපාධිය හා පී.එච්. ඩී. හෙවත් දර්ශන විශාරද උපාධියට ද හිමිකම් කියුවේ ය. ආචාර්ය උපාධිය සඳහා ඔහු ඉදිරිපත් කළ The Pali Litrature of Ceylon කෘතිය කෙතරම් සම්භාවනාවට පාත්‍ර වන්නේ ද යත් රාජකීය ආසියාතික සංගමය විසින් 1928 දී එය ප්‍රකාශයට පත් කරන්නේ ය. ඒ වනවිට ඔහු ට අවුරුදු විසි හතකි. අවුරුදු විසිහතක් යනු ජීවිතයේ මේරූ අවදියක් නොවේ; එවන් වයසකදී ඒසා විසල් ගැඹුරු කෘතියක් රචනා කිරීමේ ලා ඔහු දැක්වූ පරිචය අදටත් සිතා ගත නොහැක්කකි. වයසට නොගැළපෙන තරම් වූ විදග්ධ පර්යේෂණ ශික්ෂණයක් පළ කළ එකී කෘතිය පාලි බෞද්ධ සාහිත්‍යය සම්බන්ධයෙන් එදා මෙදා තුර නිකුත් වූ මහාර්ඝ ම ග්‍රන්ථය බැව් නොකියා බැරි ය.

1926 දී නැවත ලංකාවට පැමිණෙන මලලසේකර, නාදන්දාවේ විදුහල්පති ධූරයට පත්වෙයි. 1927 වනවිට කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර ශාලාව හෙවත් යුනිවර්සිටි කොලීජියේ සිංහල, පාලි, සංස්කෘත කථිකාචාර්ය පදවියට හේ පත් කරනු ලබයි. ඔහුගේ ශාස්ත්‍රීය ගමන්මගේ දීප්ත ම අවදිය ලෙස අවිවාදයෙන් සැලකිය හැකි සමයට ඔහු එළැඹෙන්නේ එතැන් සිට ය. The Dictionary of Pali Proper Names නම් ඔහුගේ මා හැඟි පර්යේෂණ කෘතියට ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් D.Litt උපාධිය පිරිනමනු ලබයි. පාලි සංඥා නාම පිළිබඳ ලියැවෙන ලද එකී සුවිසෙස් ග්‍රන්ථයට බෞද්ධ ත්‍රිපිටකයත්, එයට අදාළ වෙන අටුවා හෙවත් අට්ඨ කතා පද්ධතියත් ඇතුළු මහා තොරතුරු සම්භාරයක් ඇතුළත් ය.

කුඩා අවදියේ සිට වෘද්ධ අවදිය දක්වා ම දනන් මුවඟ කාලසීමාවකින් තොරව නිරන්තර රැව් දෙන නාමයක් බවට මලලසේකර නාමය පත් වෙන්නේ ඔහු විසින් 1948 දී සම්පාදිත ‘මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය‘ නිසා ය. පුරාවෘත්තයක් නොවී ඥාණනය පිණිස ම භාවිත වන මෙකී වෙහෙසකර ව්‍යායාමය විසින් මලලසේකර නාමය කෙතරම් සජීවී කරන ලද්දේ ද යත් සිය නාමය තරම් ම සමීප නාමයක් බවට එය පත් වී තිබේ. විශ්ව ඥානය ඇතැඹුලක් සේ දේශයට දායාද කිරිමට ද ලෝක සාහිත්‍යයේ සැරිසරන්නට ද මේ මාහැඟි ශබ්දකෝෂයෙන් ඉටු වූ මෙහෙවර ගැන පැටි වෘද්ධ බේදයකින් තොරව සැම දන්නා කරුණකි.

1924 දී යුනිවර්සිටි කොලීජියේ සිංහල, පාලි හා සංස්කෘත මහාචාර්ය පදවියට පත් වූ ගුණපාල මලලසේකර, ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු එහි පාලි දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙයි. 1956 වසරේදී හේ තවත් සුවිසෙස් අනන්‍යතාවක් තහවුරු කරන්නේ කොමියුනිස්ට් රටක පළවෙනි ශ්‍රී ලංකා තානාපති වෙමිනි. සෝවියට් දේශයත් මහජන චීනයත් සමඟින් ප්‍රථම වරට තානාපති සම්බන්ධතා ඇති කරගත් එකල අගමැති බණ්ඩාරනායක සෝවියට් දේශයේ ප්‍රථම තානාපති ලෙස මලලසේකර පත්කරන්නේ ය. ඒ අනුව හේ 1957 දී සෝවියට් දේශය බලා යන අතර, ඔහුගේ එකී සේවාව ගෞරවනීය හා ආදර්ශවත් වූවක් විය. ඊට දස වසකට පසු 1967 වසරේදී ඔහු නැවත ලංකාවට එන්නේ පෝලන්තය, රුමේනියාව හා චෙකෝලොස්වැකියාව යන සමාජවාදී රටවල් ද ඇතුළු ව සෝවියට් තානාපතිකම පමණක් දරා නොවේ; ඔහු ඒ වනවිටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිත ධූරය ද, එහි ම ආරක්ෂක මණ්ඩලයේ සභාපතිධූරය ද හෙබවීමෙන් අනතුරුව ය. ශාස්ත්‍රීය විශිෂ්ටත්වයත්, බුදුදහම විසින් ඇති කරන ලද ශික්ෂණයත්, පෞරුෂවත් ජාතික නායකත්වයත් එක්තැන් කළ පුද්ගලයකු වී නම් ඒ මලලසේකර බව අවිවාදයෙන් කිව හැක්කේ මෙකී කරුණු නිසා ය. බුදු දහම නොව බෞද්ධ දර්ශනය යන්න ගැන මැනවින් සවිඥානික හේ, එකී දර්ශනයෙන් ස්වකීය ජීවිතය සුසර කරගැනීමට බලාපොරොත්තු වෙන සැම වෙනුවෙන් ලෝක බෞද්ධ සම්මේලනය පිහිට වූයේ ය. හැමවිටම අන්‍යයන් වෙනුවෙන් ස්වකීය දැනුම හා පරිචය දානය කිරීමට සිතූ ඔහු ඒ වෙනුවෙන් වෙහෙස නොබලා ක්‍රියාකාරී විය. භාෂා 32ක් දැන සිටි ඔහු සිය භාෂාමය පරිචයෙන් ලංකාව ලෝකය ඇතුළත බබළවන්නට කළ කාර්ය සටහන් කිරීමට මේ වැනි කුඩා වපසරියක් ප්‍රමාණවත් නැත.

රාජ්‍ය තාන්ත්‍රිකයකු සතු විය යුතු ප්‍රතිපත්තිමය හා ගෞරවනීය බව ඔහුගේ ජීවන විලාසයෙන් ම සාක්ෂාත් විය. ඔහු ඒ තනතුරු සඳහා ආභරණයක් වූවා විනා ඒ තනතුරු ඔහුට ආභරණයක් වූයේ නැත. ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයකු ඔහු ඉදිරියේ ඔහුගේ ප්‍රතිපත්තිගරුක බවට ගරු කළේය. ඒ තත්ත්වය රැක ගන්නට තරම් අදීන බවක් ඔහු සතු විය.

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් ඉනික්බිති මහාචාර්ය මලලසේකරට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ආරාධනයක් ලැබෙයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිස් වුණු නායකත්වය හා අගමැති ධූරය බාර ගන්නා ලෙස ය. ආචාරශීලීව මෙකී ආරාධනය ප්‍රතික්ෂේප කළ මහාචාර්ය මලලසේකර, ස්වකීය කුෂාග්‍ර බුද්ධිමත් පරිචය ඉන් ප්‍රකට කළේ ය. බලය නිසා අපට අහිමි ව ගිය බොහෝ වටිනා චරිත ගැන අපට වෙන කම්පාව තමන් නිසා දැනෙන්ට හේ ඉඩ හැරියේ නැත. ජනතාවට සේවය කිරීමට බලය අවැසි නැති බවත් ක්‍රියාව පමණක් අවැසි බවත් හේ පෙන්වුවේ ක්‍රියාවෙනි. ස්වකීය අභිමානය රැක ගනිමින් දේශපාලනය නොකළ ජාතික නායකයකු සේ සැමදා ඔහු දීප්තිමත් ව බබළන්නේ ඒ නිසා ය. තමාගෙන් ඉටු විය යුතු සේවය විනා අන් යමක් ඔහුට කිසිසේත්ම අවැසි නොවීය. ජීවිතය යනු තමා ජීවත් ව සිටින කාලය ඇතුළත අන් අයට සේවය කිරීම බැව් හේ තරයේ විශ්වාස කෙරූවෙකි.

ගුණපාල මලලසේකරයන් ට දරුවන් සය දෙනෙකි. චිත්‍රා, අනෝමා, කාන්තා, ඉන්ද්‍රජිත්, අර්ජුන හා විජය මෙකී දරුවන්ගේ නාම ය. මලලසේකරයන්ට මුනුබුරු මිනිබිරියෝ 16 දෙනෙකි. මුනුබුරන් වන්නේ රුවන්, ප්‍රදීප්, ගිහාන්, ශිවන්තා, සන්දීව්, රජීව්, සත්‍යජිත්, අෂාන් හා ප්‍රශාන් ය. මිනිබිරියන් වන්නේ අනෝදි, මේනකා (ජීවතුන් අතර නැත), මයන්ති, දිනාලි, ආනන්දි, සොනාලි හා අරුණි ය. 1973 අප්‍රේල් 23 වැනිදා දිවි ගමන නිමා කරන විට මලලසේකරයෝ 74 වැනි වියේ පසු වූහ. අෂාන් මලලසේකර ප්‍රමුඛ මලලසේකර තෙවැනි පරම්පරාව, මහාචාර්ය මලලසේකරයන් කළ මෙහෙය අනාගත පරපුර වෙත ගෙන යෑමට කරන මෙහෙවර සැමගේ ඇගයුමට ලක්විය යුතුය. සියවස් ගණනක වැඩ දශක හතකින් නිම කළ හේ දෙස් විදෙස් එකසේ පතළ විශිෂ්ට බුද්ධිමතෙකි.

පත්තර ලොව දැවැන්තයකු වන ඩී. බී. ධනපාල සුරීන් හරි අපූරු කතාවක් සිය Among Those Present කෘතියෙහි මලලසේකරයන් ගැන මෙසේ සටහන් කර තිබේ.

‘මලලසේකර හපුතලේ කපොල්ල වගේය. ඒ තරමට ම පළල් ය; ඒ තරමට ම විවෘත ය. ඒ ඇතුළතින් පෙනෙන දුර රූප දර්ශනය ඉතා රමණීය ය; ඉතා ම විචිත්‍ර ය‘

මලලසේකරයන් කෙතරම් පෘථූල ද යන්නත් කෙතරම් නිදහස් මනසක් සහිත වූවෙක් ද යන්නත් කියන්නට හොඳම විදිය එය බව නිසැක ය. පාලි ඉගැන්වීමත්, සුවහසක් විද්‍යාර්ථීන් ඥානනය කිරීමෙනුත් ඉනික්බිති හේ තවත් බොහෝ කාර්යයන් හි නිරත විය. ලංකා කලා මණ්ඩලය පිහිටුවීමත්, කලාභවන පිහිටුවීමටත්, ජනකවි ඒකරාශී කිරීමටත් අමතර ව ඔහු උඩරට නැටුම් කලාවේ වර්ධනය වෙනුවෙනුත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.

රාජ්‍ය සභා මන්ත්‍රී ඩබ්ලිව්. ආතර් ද සිල්වා සමඟ එක්ව මුල් ම සිංහල ජනකවි සංග්‍රහයක් නිකුත් කරමින් අස්පර්ශිත උරුම රැක ගැන්මේ ලා මලලසේකරයන් කළ කාර්යභාරය ද ඇගයුම් කටයුතු ය. සිංහල ජනතාව අතර නොයෙක් පළාත්වල නොනැසී පවත්නා ජනකවි දෙදහස් දෙසිය තිස්අටක් ඒකරාශී කර ලේඛනගත කිරීමෙන් අපේ උරුම සංරක්ෂණය කිරීමට හේ ක්‍රියා කළේය. තමන් උපන් දේශයේ අස්පර්ශනීය උරුම සංරක්ෂණය කිරීම යනු රට ජාතිය වෙනුවෙන් කිසිවකුට හෝ කළ හැකි අනූපමේය සේවයකි. ජාතිය, ආගම හා දේශය රැකීම සිය ජීවිතයේ ම කොටසක් කරගත් ඔහු ගේ පුළුල් හා නවීන චින්තනය අදටත් අප පුදුම කරවන සුළු ය.

ප්‍රංශ නවරැල්ලට මුල පිරූ පුරෝගාමී සිනමාවේදියකු වන ප්‍රාන්ශුවා ටෲෆෝ මෙලොවින් සමුගත්දා ඔහුට සමකාලීන ප්‍රංශ නවරැල්ලේ ප්‍රමුඛ සිනමාකරුවකු වන ශාන් ලුක් ගොඩාඩ් ඔහුගේ වියෝව දරා ගත නොහැකි ව මෙසේ ලියා තිබේ.

“ඔබ මිය ගොසින් ය. මම තවමත් ජීවත් වෙමි. මෙහි වෙනසක් ඇද්ද?”

මලලසේකරයන් ගැන ද කියන්නට ඇත්තේ එය ම ය. ජීවත් ව සිටිය ද නොසිටිනා සේ දැනෙන බොහෝ මිනිසුන් මැද හේ අද ද අබිමන් ව ජීවත් වෙයි. හේ නික්ම යෑමෙන් වසර 48 ක් ගෙවුණ ද අදටත් ඒ නාමය අමරණීය ය.

සියවස් ගණනක් පුරා දනන් මුවඟ රැව් පිළිරැව් දෙන නාමයක් කිසිදා මිය යන්නේ නැත. අමරණීය බව විසින් එක්කරන ආලෝකය කිසිවකුටත් සොරා ගත නොහැකිය. විසිවැනි සියවසේ ශ්‍රී ලංකාව විසින් බිහිකරන ලද විශ්ව ආශ්චර්යය ගුණපාල මලලසේකරයන් බව එදා මෙදා චින්තකයන් නිර්ලෝභීව පවසන්නේ එබැවිනි. 

Comments