කොළඹින් අධි­වේ­ගයක් කොළඹින් අධි­වේ­ගයක් | සිළුමිණ

කොළඹින් අධි­වේ­ගයක් කොළඹින් අධි­වේ­ගයක්

කුරු­ණෑ­ග­ලට පිවි­සුම් 3ක්

 

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල බාධාවක්ව පැවතියේ රටේ සම්පත් නිසි අයුරින් සංවර්ධනයට යොදා ගැනීමට නොහැකි වීමයි. එයට ප්‍රධාන හේතුව වූයේ ගමන් කාලය අධික ලෙස වැඩිවීම නිසා බොහෝ සම්පත් කළමනාකරණය අපහසු වීමයි.

උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ නම් දකුණේ හම්බන්තොට, එමෙන්ම නොනිදන නගරය ලෙස හැඳින්වෙන දඹුල්ලේ සිට කොළඹට එළවළු පලතුරු ආදිය ගෙන ඒමට පැය 5කට අධික කාලයක් ගතවීම අභාග්‍ය සම්පන්න සිදුවීමක් විය.

රටේ සිදුවන මේ විශාල නස්පැත්තිය දුටු එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා දක්ෂිණ අධිවේගී මාර්ගය කඩිනමින් ඉදි කිරීමට හා එය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට කටයුතු කිරීමටත් දඹුල්ල හා මහනුවර දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේ මූලික අඩිතාලමද දමන්නටත් විය.

අදියර 4ක් යටතේ ඉඳි වන එහි දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස එළැඹෙන දෙසැම්බර් මාසයේදී ජනතාවට විවර වනු ඇත.

ඒ ගැන සොයා බැලීමට පසුගියදා අපි කුරුණෑගල හා දඹුල්ල දක්වා ඉදිවන සිවුවැනි මාර්ග කොටසද බලන්නට ගියෙමු.

මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන්නේ කඩවත - අධිවේගී අන්තර් හුවමාරුවෙනි. (වර්තමානයේ ඇතුළුවීම් හා පිටවීම් සිදු වන හුවමාරුව නොවේ) මාතර හෝ හම්බන්තොට වැනි ප්‍රදේශයේ සිට එන අයකුට තම වාහනය නැවැත්වීමකින් තොරව ඍජුවම මධ්‍යම අධිවේගයට පිවිසීමටත් අවශ්‍ය අයකුට ඍජුවම කටුනායක දක්වා යාමටත් මේ පිවිසුම නිසා හැකිවනු ඇත.

කඩවතින් ඇරැඹෙන අධිවේගී මාර්ගයේ ඊළඟ අන්තර් හුවමාරුව ගම්පහ වන අතර එතැනින් පසුව වේයන්ගොඩද මීරිගම දකුණු හුවමාරුවද එම මාර්ග කොටසට අයත්ය. එහි දිග කිලෝමීටර් 37 වන අතර පමා වී ඉදි කිරීම් ආරම්භ වූ නිසා හා බෙම්මුල්ල ප්‍රදේශයේ පඬුකරඳ ගහක් සම්බන්ධව ඇති වු අර්බුදය හේතුවෙන් එහි ඉදිකිරීම්වලට බාධා සිදු විය. එහෙත් මේ වන විට එහි ඉදි කිරීම්ද ලහි ලහියේ සිදු කෙරේ.

එහෙත් එහි දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන අදියර මේ වසර නිමවීමට පෙර විවෘත කෙරෙනු ඇත. ඒ සඳහා වන අධිවේගී මාර්ගයේ බොහෝ වැඩ කටයුතු මේ වන විට නිම කර ඇති බව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර කෙහෙල්ඇල්ල සිළුමිණට කීවේය.

‘‘දෙවන අදියරේ කිලෝමීටර් 40.91 වන කොටස මේ වන විට අවසන් අදියරේ පවතින්නේ නාකලගමුවේ සිට දම්බොක්ක දක්වා වන කොටසේ වැඩ කටයුතු නිම වූ පසුව එහි ඉදි කිරීම් 90%ක්ම අවසන් වේවි. කොහොම වුණත් මේ වසර නිමවීමට පෙර මේ වැඩ කටයුතු නිමා කර 2 අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ගය ජනතා අයිතියට පවරන්නට අපට ඉඩ ලැබේවි. මේ ඉදි කිරීම් සියල්ල කරන්නේ දේශීය සමාගම් විසින්. ඒ හරහා රටේ සල්ලි පිට රට ඇදී යන්නේ නැහැ. ඒ වගේම ණය මුදල් ලබා දී ඇත්තේත් දේශීය බැංකු විසින්. අප වැනි සංවර්ධනය වන රටකට එය ඉතා වැදගත් වනවා ‘‘

මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 අදියරේ මීරිගම උතුර සිට, නාකලගමුව (අලව්ව- නාරම්මල මාර්ගය), දම්බොක්ක (කුරුණෑගල - කොළඹ මාර්ග අංක 6 ) මාර්ගයට පිවිසුම් ස්ථාපිත කර තිබේ. දම්බොක්කට කලින් පොතුහැරදී මහනුවර බලා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය දකුණට හැරී යයි. එතැනින් ඇතුළුවීමට හෝ පිටවීමට හැකියාවක් නැත. ඒ පොතුහැර ස්ථාපිත කර ඇත්තේ අධිවේගී - අධිවේගී අන්තර් හුවමාරුවක් (System Interchange) නිසාය.

නාකලගමුව අන්තර් හුවමාරුවෙන් පසුව හමුවන දම්බොක්ක හුවමාරුවේ සිට පොතුහැරට කිලෝමීටර් 5ක පමණ දුරක් හා කුරුණෑගලට කිලෝමීටර් 4ක පමණ දුරක් තිබෙන හෙයින් දම්බොක්ක හුවමාරුව පොතුහැර, පොල්ගහවෙල, කෑගල්ල ජනතාවට බෙහෙවින් වැදගත්ය.

එමෙන්ම කුරුණෑගල - මහනුවර මාර්ගයේ කුරුණෑගල දුම්රිය ස්ථානය අසලින් (ගැට්ටුවාන) කුරුණෑගල පිවිසුම ඉදි කර තිබේ. එසේම කුරුණෑගල දඹුල්ල පාරේ (මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානය අසල) තවත් පිවිසුම් මාර්ගයක් ස්ථාපිත කර ඇත. එය හඳුන්වන්නේ යග්ගපිටිය අන්තර්හුවමාරුව නමිනි.

ඒ අනුව කුරුණෑගල ආසන්නයේ අන්තර් හුවමාරු 3ක් ඉදිව ඇති අතර මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ දැනට නගරාශ්‍රිතව වැඩිම පිවිසුම් ගණනාවක් ඇත්තේ කුරුණෑගල ආසන්නයේය.

මංතීරු 4කින් යුක්තව ඉදිවන මේ අධිවේගී මාර්ගය දැනට හඳුනාගෙන ඇත්තේ අලංකාරම අධිවේගී මාර්ගය ලෙසය.

එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂ­යන් 2014 වසරේ නොවැ­ම්බර් 15 වැනිදා කුරු­ණෑ­ග­ලදී අධි­වේ­ග­යට මුල් ගල තැබූ අව­ස්ථාව.
 

ඒ අලංකාර වන පෙත් මැදින් දිවෙන මාර්ගයක් ලෙසයි. එය එතරම්ම ස්වභාවික සෞන්දර්යයෙන් යුක්තය. රජරට අඩවිය සිහි ගන්වන පරිසරය මෙන්ම වයඹ කලාපයට හුරු ශේෂ ගල් කඳු හා බස්නාහිර තෙත් කලාපයට හුරු වන වඳුල් ඇතුළු ස්වභාව ධර්මයාගේ බොහෝ දේ මේ මාර්ගයේ ගමන් ගන්නා අයකුට දැකගත හැකිය.

වයඹ කලාපයටම අනන්‍ය වූ පොල්වතු මැදින් මෙන්ම සශ්‍රීක කුඹුරු යායන් මැදින් ගමන් ගන්නා මේ මාර්ගය සංචාරක ආකර්ෂණයටද අනිවාර්යෙන්ම හේතුවක් වනු ඇත.

මා ඔයේ පාලම දෙවන අදියරේ හමුවන තවත් දැකුම්කලු ස්ථානයකි. පොල්වතු රැසක් එම ස්ථානය අසලදී දැකගත හැකිය. ජලය වැඩි දිනවලදී ඔය විශාල ගංගාවක සිරිය ගන්නා අතර එය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නන්ට අලුත් අත්දැකීමක් වනු ඇත.සොබා සෞන්දර්යයයෙන් අනූන වූ මේ මාර්ගයේ එසේ සොබා දහම් රසනම් විඳිය නොහැකිය. ඒ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් වාහන ගමන් ගන්නා නිසාය.

මධ්‍යම අධිවේගයේ සිවුවන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ මේ වන විට අවශ්‍ය සියලුම මූලික කටයුතු නිම කර ඉඩම් පවරාගෙන මාර්ගය තැනීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම්ය. සිවුවන අදියර කිලෝමීටර් 58.6 කින් යුක්ත වන අතර එහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කි. ඒ රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල හා දඹුල්ලේ පිවිසුම් මාර්ග දෙකක් ලෙසිනි. දඹුල්ලේ එක් පිවිසුමක් ඒ - 9 මාර්ගයේ දඹුල්ල - මහනුවර මාර්ගයටත්, අනෙක් පිවිසුම දඹුල්ල - හබරණ මාර්ගයටත් විවර වනු ඇත

මේ ව්‍යාපෘතියේ විශේෂිතම කොටස වන්නේ 3 වන අදියරයි. ඒ පොතුහැර සිට ගලගෙදර දක්වා වන (මහනුවර දක්වා) මාර්ගයයි. එ පොතුහැර සිට ගලගෙදර දක්වාවන සමස්ත දුර කිලෝමීටර් 32.5 කි.

මේ වසර නිමවීමට පෙර විවෘත කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම කුරුණෑගල අතර කොටසට රුපියල් බිලියන 137ක පිරිවැයක් දරනු ඇත. මාර්ගය විවෘත වූ පසුව කඩවත සිට දඹුල්ල දක්වාම විනාඩි 80කින් පමණ (පැය එකහමාරකට ආසන්න කාලයකින් ) ගමන් කළ හැකි වනු ඇත.

 

Comments