මම දිනුවේ ගණිතය යොදා ගෙන තරග කරලයි | සිළුමිණ

මම දිනුවේ ගණිතය යොදා ගෙන තරග කරලයි

ගණිතෙන් මිනිතෙන් ඔලිම්පික් දිනූ වගයි

අන්තිම මීටරය අවසන් වනතුරු දිනුවා කියලා මම හිතුවේ නෑ. එහෙම විශ්වාස කරන්න මට පුළුවන්කමක් තිබුණෙත් නෑ.

'රෝදය සොයා ගත්තේ ය. ඒ රෝදය මානව ඉතිහාසය ම වේගයෙන් කරකැවී ය. අනවරත ගමනකට යොමු කරවී ය. ඒ රෝදය හා කුඩා දැති රෝද එක් කරමින් ලෝකයට පාපැදියක් නිර්මාණය කරනු ලැබුණේ ය. ලෝකය කොතෙක් තාක්ෂණයෙන් ඉදිරියට පැමිණිය ද ඊට සාපේක්ෂව පරිසරයට සිදු වන බලපෑම ගැන සලකද් දී රෝදය සොයා ගැනීමෙන් මිනිසා මානව සමාජයට ලබා දී ඇති සදාකාලික ගෞරවය ලෙස සැලකිය හැක්කේ පාපැදිය සොයා ගැනීම ය. එහෙයින් චාලක විද්‍යාව ගැන කතා කරද්දී ගණිතඥයකුට, භෞතික විද්‍යාඥයකුට එසේත් නැත හොත් එම විෂයන් හි විශේෂණය වීමෙන් බිහි වන යාන්ත්‍රික ඉංජිනේරුවකුට රෝදය ප්‍රතික්ෂේප කරන්නට බැරි ය. ඔස්ට්‍රියාවේ සිටින ආචාර්ය උපාධිධාරී ගණිතඥවරියක් වූවා යැයි කියා එය අමතක කරන්නට ඇයටත් නොහැකි ය. එය ඇයට ටෝකියෝවේ දී රන් දිනා දුන්නා ය.'

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කාන්තා පාපැදි ධාවන ඉසව්වට පෙර ඇනා කීසන්හෝෆර් යනු කිසිවෙකු හෝ එතරම් උනන්දුවකින් කතා නොකළ ක්‍රීඩිකාවකි. ඇගේ රට කුමක් දැයි යන්න පවා කිසිවකුත් අවධානයෙන් විමසුම් නොකෙරුවේ ය. අන්තර්ජාලයේ ඇගේ නම යතුරු ලියනය කළ තොරතුරු සෙවූවන් ලෝකය තුළ ඉතා විරල වූයේ ය. ඒ සියල්ල වෙනස්වන්නට ගත වූයේ ඉතා සුළු කාලයකි. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී තිබේ.

දැන් ඇනා කීසන්හෝෆර් පාපැදි ධාවන ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභිනියකි. ඒ ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රියාවට එය හිමි කර දෙමිනි.

කවුද මේ ඇනා

ඇනා කීසන්හෝෆර් (උපත 1991 පෙබරවාරි 14) යනු නිකංම නිකං පාපැදි ධාවිකාවක් නොවේ. ඈ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි. ඈ 2004 පසු ඔස්ට්‍රියාව වෙනුවෙන් ගිම්හාන ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් එකම ක්‍රීඩිකාව ලෙස ද වාර්තාගත වූවා ය. එසේම 1896 සිට පැවැති නූතන ඔලිම්පික් උළෙලේ ඔස්ට්‍රියාව වෙනුවෙන් පාපැදි ඔලිම්පික් රන් පදක්කමක් පළමු වරට දිනා ගැනීමට සමත් වූයේ ද ඇය ය.

ඈ ටෝකියෝ හි පැවැති ඔලිම්පික් පාපැදි මාර්ග ධාවන තරගය තමන්ගේ ම තරගයක් බවට පෙරළා ගත්තා ය. තිස් හැවිරිදි වියේ පසුවන ඇනා එම ධාවන තරගයේ අවසන් කිලෝ මීටර් 40 ක දුර සෙසු ක්‍රීඩිකාවන්ගෙන් වෙන්ව එකලාව ඉදිරියට ඇදෙමින් පැය 3 යි විනාඩි 52 යි තත්ත්පර 45 ක දී තරගය නිමා කළා ය.

එය කොතරම් සූක්ෂ්ම හා සැලසුම් සහගත ජයග්‍රහණයක් ද යත් සෙසු ක්‍රීඩිකාවන් ඇය පෙරමුණේ ගමන් කරනා බව හෝ නොදැන සිටිය හ. ඒ බව වඩාත් තහවුරු වූයේ ඇනා ට වඩා විනාඩියයි තත්ත්පර 15 කින් පසු තරගය නිමා කළ නෙදර්ලන්ත ක්‍රීඩිකා වැන් ව්ලූටන් විශ්වාස කළේ තමන් රන් පදක්කම හිමිකරගත් බව ය. එය එක්තරා ආකාරයක ගණිත සමීකරණයක් වැනි යැයි කිව හැකි ය.

මෙලෙස රන් දිනූ ඇනා සිය ක්‍රීඩාව අරඹන්නේ 2011 සහ 2013 තුන් ‍ප්‍රයාම සහ ද්විත්ව ප්‍රයාම ක්‍රීඩිකාවක වශයෙනි. එහෙත් අනතුරක් හේතුවෙන් ඇයට එම ඉසව් අතහැර දැමීමට සිදුවිය. එබැවින් 2014 වසරේ සිට පාපැදි ක්‍රීඩාව කෙරේ අවධානය යොමු කිරීමට ඇනා කටයුතු කළා ය.

ජපානයේ ටෝකියෝ නුවර දී ඈ මාර්ග ධාවන රන් පදක්කම දිනා ගන්නාතුරු ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා තරගකාරිණියක් වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත. ඒ ඇය වෘත්තීය ක්‍රීඩිකාවක් වශයෙන් ප්‍රකටව නොසිටි හෙයිනි. එසේම ඇයට පුහුණුකරුවෝ වෙනයම් සහය කණ්ඩායම් සිටියේ නැත.

තරගය ආරම්භයේ දී ම කණ්ඩායමෙන් වෙන් වීමට මුල පිරූ ඇනා තවත් තරගකරුවන් හතර දෙනෙකු ද ඉදිරියට ඇදිණි. තරගයේ අවසන් කිලෝමීටර 41 ක දුරින් පිහිටි කගෝසාකා කඳු මුඳුනට නඟින විට එසේ ඉදිරියට ඇදී ගිය පොකුරේ කීපදෙනෙකු අල්ලා ගැනීමට ඔවුන් හඹා ආ ලොව සුප්‍රකට පාපැදි ක්‍රීඩිකාවෝ සමත් වූ හ. එහි දී ඔවුන් පසුකර යාමට පසුපසින් ආ ක්‍රීඩිකාවන් සමත් වුවද ඔවුන් ඇනා කීසන්හොෆර් නමැති ක්‍රීඩිකාවක් ඉදිරියෙන් යන්නේ යැයි දැනසිටියේ ද නැත.

එයින් සිදුවූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයට කීසන්හෝෆර් ඔවුන් සියලු දෙනාටම පෙර ජය කනුව පසු කර යාම ය.

'මට මම දිනුවා කියලා සිතා ගන්නවත් බෑ.' තරගය නිමාකිරීමෙන් අනතුරුව කීසන්හෝෆර් පැවසුවාය.

'අන්තිම මීටරය අවසන් වනතුරු මම දිනුවා කියලා මම හිතුවේ නෑ. එහෙම විශ්වාස කරන්න මට පුළුවන්කමක් තිබුණෙත් නෑ.' ඈ කීවේ එහෙයිනි.

මේ සියල්ල අතරේ වඩාත්ම සුවිශේෂි කාරණය වන්නේ ඇනා කීසන්හෝෆර් ගණිතඥවරියක වීම ය. වියානා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් (2008-11) ගණිතය පිළිබඳ ප්‍රථම උපාධිය ලබන ඇනා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ( 2011- 12) දිනාගත්තා ය. කැටලෝනියාවේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයෙන් ඇය සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ 2016 වසරේ දී ය.

ඈ වෘත්තියෙන් තාක්ෂණය පිළිබඳ ස්විස් ෆෙඩරල් ආයතනයේ (EPFL) පර්යේෂිකාවකි. පශ්චාත් ආචාර්ය පර්යේෂකයෙකු වන ඈ භෞතික විද්‍යාවේ පැන නඟින රේඛීය නොවන අර්ධ අවකලන සමීකරණ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කණ්ඩායමක සමාජිකාවක් ද වෙයි.

ඔලිම්පික් රන් පදක්කම හිමි කර ගැනීමෙන් අනතුරුව CNN වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ඈ මෙසේ පවසා තිබිණි.

" ගණිතඥයෙක් සාමාන්‍යයෙන් තමන්ගේ ගැටලු තමන්ම විසඳා ගන්නවානේ. පාපැදි ධාවනයේ දී ත් මම ආදේශ කරගත්ත් ඒ ක්‍රමයමයි. බොහෝ පාපැදි ක්‍රීඩකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමට විශාල පිරිසක් සිටිනවා. උදාහරණයකට පුහුණුකරුවෙක් සිටිනවා. ඔවුන්ට පෝෂණවේදීන් සිටිනවා. තරගය සැලසුම් කිරීමට කෙනෙක් ඉන්නවා. මේ සියල්ල මම තනිව සිදු කර ගන්නවා. දැන් එය සාර්ථක බව මම ඔප්පු කරලා තිබෙනවා."

බන්ධුල ජයමාන්න

 

Comments