උගත් පාඩම් අනුව සැලසුම් හදමු | සිළුමිණ

උගත් පාඩම් අනුව සැලසුම් හදමු

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියෙන් ජය ලැබූවේ දින කීපයකට පෙර ය. ඒ අතරවාරයේ ම ජපානයේ ටෝකියෝ නුවර පැවැති තිස් දෙවැනි ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ නව දෙනෙක් තම තරග අවසන් කළේ කිසිදු සාධනීය ජයග්‍රහණයකින් තොරව ය.

මෙහි දී සාධනීය ජයග්‍රහණ යැයි අප අදහස් කළේ ඔලිම්පික් පදක්කම යන කාරණය නොවන බව පළමුව පැවසිය යුතු ය. එසේ නම් අප කියන සාධනීය ජයග්‍රහණ වන්නේ මොනවා ද? එය විමසා බැලිය යුතු ය.

ඒ අන් කිසිවක් නොව ක්‍රීඩකයන් දක්වා ඇති උපරිම පෞද්ගලික දක්ෂතා ඉක්මවා යෑම ය. ආසන්න වශයෙන් එය ඉක්මවා යන්නට නොහැකි නම් ඒ අසලට හෝ පැමිණීමට සමත් වීම ය. එහෙත් මෙවර ඔලිම්පික් උළෙලේ දී පදක්කම් කෙසේ වෙතත් එවැනි දක්ෂතාවයක් පවා ඉස්මතු වූයේ නැත.

එය එසේ වන්නේ ඇයි? යන්න ගැඹුරින් විමසා බලා වහා වහා ඊට පිළියම් යෙදිය යුතු ය. අප එසේ කියන්නේ අපේ ක්‍රීඩකයන් විදේශ තරගාවලි සඳහා සහභාගි කරවනුයේ ජනතා බදු මුදල් විය පැහැදම් කරමින් වන හෙයිනි.

රටකට අනිවාර්යයෙන් සිදු කළ යුතු ව ඇති පුරවැසියා ජීවත් කරවීමට, ඒ වෙනුවෙන් යටිතල පහසුකම් ගොඩනැංවීමට යෙදවීමට ඇති මුදලින් යම් ප්‍රතිශතයක් එලෙස වැය කරන බව කිව යුතු ය. එය එසේ නම් රජයේ මුදල් නිකරුණේ කිසිදු ප්‍රයෝජනයකින් තොරව විදෙස් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයන් වන්දනාවේ යවන්නට ඒවා නාස්ති කිරීම ප්‍රතිඵලයක් නැත.

සහභාගිත්වය ජයග්‍රහණයකැයි සිතා අත පිස දමා ගන්නට හෝ පදක්කමක් දිනා ගත යුතුමය කියා ක්‍රීඩකයන් උල තැබීම මෙහි දී අප උත්සහය නොවේ. එහෙත් විදෙස් තරගාවලියකට සහභාගි වන බොහෝ අවස්ථාවන් හි දී අවම වශයෙන් තම පෞද්ගලික දක්ෂතා වර්ධනය කර ගනිමින්, මූලික වටයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා කිරීමට සමත් වීම අතිශය වැදගත් ය. එය රටේ හෙට දවසේ පිපීමට බලා සිටින යොවුන් ක්‍රීඩකයන්ට මහඟු ආදර්ශයකි.

මීට වසර කීපයකට පෙර මෙවැනි අර්බුදයක් මතුවූ සැණින් ඊට හේතු වශයෙන් ඉදිරිපත් වූයේ දේශගුණික අසමානතා එලෙස තම උපරිම දක්ෂතා අතරට පැමිණීමට බාධාවක් සිදු කළ බව ය. ශීතල, උණුසුම, ආර්ද්‍රතාව ආදි මෙකී නොකී හේතූන් ඊට පිටුබලය සැපයූ චූදිතයෝ වූ හ. එසේත් නොමැති නම් තමන්ගේ ශරීරයේ ඇතිවූ ක්ෂණික ආබාධයක් ඊට බාධකයක් වූ බව හෝ කියූ හ.

ඊටත් පසු ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පැමිණියේ සංස්කෘතික කාරණා ය. ඒ ආහාර නොගැළපීම හේතුවෙන් සිය දක්ෂතා මතු කර ගැනීමට අසීරුතා නිර්මාණය වූ බව පවසමිනි. එයින් පසු යුගය වන විට තාක්ෂණය, පෝෂණ ක්‍රමවේද, නව විද්‍යාත්මක දැනුම මෙන්ම මනෝ විද්‍යාත්මක හේතූන් ද පෙරට පැමිණෙමින් ඇත.

මේ මොනවා කීව ද පුද්ගල අසාර්ථකත්වයේ සෙළුව වසා ගැනීමට ඒ කිසිදු කාරණයකින් නොහැකි ය. රට නියොජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට ගියේය යන ඓතිහාසික ගෞරවය පමණක් හිමි කර ගෙන සිටින්නට වත්මන් ක්‍රීඩකයන්ට කිසිදු හැකියාවක් ඇත්තේ ද නැත. ඒ අද වන විට මෙරට බොහෝ ක්‍රීඩා අර්ධ වෘත්තී මය තත්ත්වයට පත්ව ඇති හෙයිනි.

උදාහරණයකට ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හෝ නාවික එසේත් නැත හොත් පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරන ක්‍රීඩකයන් වෙත් නම් ඔවුන් බොහෝ විට සේවයෙන් නිදහස් කර ක්‍රීඩා පුහුණුවීම් අරබයා පූර්ණව යොදවා තිබේ. වසර දහයක සේවා කාලයකින් පසු විශ්‍රාම වැටුප් සහිත ව විශ්‍රාම ගැනීමට ද ඔවුනට අවස්ථාව සපයා තිබේ.

ඒ වෙනුවෙන් අදාළ ක්‍රීඩකයන්ට බොහෝ විට පෝෂණ දීමනාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයයි. එහි ප්‍රමාණාත්මක භාව පිළිබඳ ගැටලු ඇත්නම් ඒවා වෙනම විසඳා ගත යුතු නමුත් යම් පෝෂණ දීමනාවක් ප්‍රදානය කෙරෙන බව පිළිගැනීමට සිදු වේ.

උදාහරණයකට මෙවර ඔලිම්පික් තරගාවලියට ගිය ක්‍රීඩකයන් නව දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට පමණක් රුපියල් ලක්ෂ හාරසිය හැට දෙකක් විය පැහැදම් කර තිබූ බව එම තරගාවලියට කණ්ඩායම පිටත්ව යෑමට ප්‍රථම ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ ය. එය ආසන්න වශයෙන් එක් ක්‍රීඩකයකු අරබයා රුපියල් ලක්ෂ පනස් එකක් වැය කිරීමකි. එහෙත් මිලියන පහක් එක් ක්‍රීඩකයකු වෙනුවෙන් විය පැහැදම් කර අපට ඔවුන් මූලික වටයෙන් ඔබ්බට හෝ යවා ගැනීමට හැකියාවක් තිබුණේ ද? එසේ නොහැකි වුණේ කවර ස්ථානයක සිදු වූ වරදක් හේතුවෙන් ද යන්න විමසා බැලිය යුතු ය.

මෙලෙස මූල්‍ය තිළිණ ලබා දීම, පෝෂණය, සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීම අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස සැලකීමට පිළිවන. එහෙත් එකී ප්‍රතිලාභයන් වෙනුවෙන් ක්‍රීඩකයන් විසින්ද පෙරළා රටට යම් යම් තිළිණ ලබා දිය යුතු ය.

එසේ නම් දැන් අප අපට මෙලෙස සිදුවූයේ කුමන හේතුවකින් දැයි සොයා බැලිය යුතු ව ඇත. එහි දී පළමුව විමසිය යුතුව ඇත්තේ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගෙනි. ඔවුන්ගෙන් එසේ විමසිය යුතු ව ඇත්තේ ඔවුන් දඩුකඳේ ගැසීමට නොව අනාගතයේ එවැනි අර්බුදයන්ගෙන් ගැලවීමට ය.

මෙතැන දී පුද්ගල අභිප්‍රේරණය අවබෝධයෙන් සිදු කළ යුතු බව ද සිහිපත් කළ යුතුව ඇත. මුදල් වියපැහැදම් කළාට එය සිදු කළ යුත්තේ හිතුමතයේ නොව නිසි සැලසුමක් හා අවබෝධයක් සහිතව ය. දැන් සංචිත පිහිටුවිය යුත්තේ මීළඟ ඔලිම්පික් උළෙල, මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමිනි. ඒවා සංශෝධනය වීම, නව ක්‍රීඩකයන් ඇතුළත් වීම, නම් කළ ක්‍රීඩකයන් ඉන් ඉවත්වීම තරගාවලිය ආසන්න වන්න, වන්නට සිදුවිය හැකි ය. එහෙත් දැන් සිදු කළ යුත්තේ කල් නොදමා වහ වහා අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම ය. මේ ඒ සඳහා උචිතම කාලය ය.

Comments