ඉන්දියාවේ දෙබිඩි කණ්ඩායම් සංකල්පයට එල්ල වූ අතුල් පහර | සිළුමිණ

ඉන්දියාවේ දෙබිඩි කණ්ඩායම් සංකල්පයට එල්ල වූ අතුල් පහර

 

'අතුල් පහරක් වේදනාකාරී ය. එය කොපුල පිරෙන්නට වදින විට තවත් අසීරු ය. ක්‍රිකට් ලෝකයේ අයියාට ඇඳගෙන සිටින සිය ඇඟිලි තුඩු මත ලෝක ක්‍රිකට් ආර්ථිකය හසුරුවන ඉන්දියාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දී කදිම අතුල් පහරක් දුන්නේ ය. එසේ ප්‍රහාර එල්ල කර ක්‍රිකට් ලොක්කන් සතුටු කර ඉහළ පඬුරු පාක්කුඩම් දිනා ගැනීමට ද සමත් විය. මේ එම ජයග්‍රහණය ගැන ය.'

“ශ්‍රී ලංකාවට ඉන්දියානු කණ්ඩායමක් යැවූ එක ඉන්දියාව කරපු තේරුමක් නැති වැඩක්. ඒක නාස්තියක් විතරයි.” ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙහෙම කියන්නේ හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යජුවින්ද්‍ර සිං ය.

ඔහු තවදුරටත් කියා සිටින්නේ එක කණ්ඩායමක් එංගලන්තයටත් තව කණ්ඩායමක් ශ්‍රී ලංකාවටත් යැවීම ජාතික කණ්ඩායම නමැති සංකල්පයට නිගා කිරීමක් බවයි. කෙසේ නමුත් සංචාරක ඉන්දීය පිලේ අවසන් වූ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවට යළි සිතා බැලීමට කවුළුවක් විවෘත කර දුන්නේ ය. එම කවුළුවෙන් බලන විට ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් දෙකේ සංකල්පය සම්බන්ධයෙන් යළි සිතා බලන්නට සිදුවී ඇති බව පෙනේ.

ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර ඉන්දියාවේ අයි.පී.එල්.මායාවේ සිරවී සිටි ඇතැම් විදේශීය විචාරකයින් දක්වා සිටියේ ඉන්දියාව ජාතික කණ්ඩායම් දෙකක් නොව තුනක් වුව ද සෑදීමට තරම් ශක්තිමත් ක්‍රීඩකයන්ගෙන් ගහන බව ය. එහෙත් දසුන් ශානක ඇතුළු තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම මුල් තරගය පරාජය වුව ද එම පරාජයෙන් ඇද නොවැටී ඉතිරි තරග දෙකම ජයගැනීම එවන් විචාරකයින් හට එල්ල කළ කම්මුල් පහරක් ලෙස සැලකිය හැක.

“අයි.පි.එල්. තරගාවලිය හොඳ ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ මඟ පෙන්වීමක් වුවත් ජාත්‍යන්තර පිටිය ඊට වඩා මුළුමනින්ම වෙනස්. මේ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්‍ය අර්බුදයක සිටින අවස්ථාවක ඉන්දියාවේ හොඳ හිත පෙන්වීමේ උත්සාහයක්. අවශ්‍යම අවස්ථාවේ අසල්වැසියාට උදව් කිරීම යහපත් ක්‍රියාවක් බව ඇත්ත. ඒත් ඒ වෙනුවෙන් ජාතික අභිමානය අනතුරේ නොදැමිය යුතුයි.” මෙහෙම කියන්නේ යජුවින්ද්‍ර සිං ය. ඔහු මේ බව ඔහුගේ මාධ්‍ය කොලමේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

පළමු විස්සයි විස්ස තරගාවලි ජය

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලද පළමු විස්සයි විස්ස තරගමාලා ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. 2019-20 පකිස්තානයේදී ලද තරගමාලා ජයෙන් පසු දසුන් ශානක යටතේ ලත් දෙවැනි ජයග්‍රහණය ද මෙය ය.

මෙම තරග තුනම කලින් පැවති එක්දින තරගමාලාව මෙන්ම කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති අතර තරගමාලාවේ මුල් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදී ඉන්දියාව විස්සයි විස්ස ජයග්‍රහණයකට අවශ්‍ය ලකුණු සීමාවට පැමිණියේ 164/05 ලෙස ය. මෙහි දී නායක ශිකර් ධවාන් ලකුණු 46ක් හා සුරිය කුමාර් යාදව් ලකුණු 50 ක් ලැබු හ. පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර හා වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවාලුහ. ජයග්‍රාහී ඉලක්කය කරා යාමේදී චරිත් අසලංක එක්දින තරගමාලාවේ මෙන් මෙහිදී ද ලකුණු අතරට පිවිසුණේ ලකුණු 44 ක් ලබමිනි. ඉන්දියාව වෙනුවෙන් බුවනේශ්වර් කුමාර 22/04 සුපිරි පන්දු යැවීමක නිරත විය. මෙහිදී පන්දු වාර 18.3 ක් තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 126 ක ට බිඳ වැටුණේ ය.

දෙවැනි තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 132 ක ට සීමා කෙරිණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයෙන් අඩක් ජය ගෙන තිබූ අතර ඉතිරිව තිබුණේ පිතිකරුවන්ගේ කාර්ය භාරය ය.

ඉන්දීය නායක ශිකර් ධවාන් මෙහිදී රැස්කළේ ලකුණු 46 කි. තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන්දීය පිල පාලනය කිරීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් අට දෙනෙකුගේ සේවය සපයා ගැනීම ය.

”ජයග්‍රහණයට දායක වීමට ලැබීම ගැන සතුටුයි. අවසන් පන්දුවාරය වනතුරු කඩුල්ලේ රැඳී සිටීමට මට උවමනා වුණා. ඇත්තෙන්ම ඉන්දියාවත් සමඟ තරග වැදීම භාරදුර කාර්යයක්.” පන්දු වාර 19.3 ක් තුළ කඩුලු 06 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු 40 ක් නොදැවී ලබාගත් ධනංජය ද සිල්වා තරගයෙන් අනතුරුව පැවසී ය. එමෙන්ම අවසන් මොහොතේ චාමික කරුණාරත්න ලබාගත් වේගවත් ලකුණු 12 ද එම ජයග්‍රහණයට ඉවහල් විය.

උපන් දිනයේ පන්දු සැමරුම

මිට පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉම්රාන් තාහිර් තම 35 වන උපන් දින 21/04 ලෙස වාර්තා කර සිටි පන්දු යැවීම අභිබවා යෑමට මෙම තරගාවලියේ දී වනිඳු හසරංග සමත් වූයේ ඔහුගේ උපන්දිනය දා ම ය. ඒ 09/04 ලෙස වනිඳුගේ 24 වන උපන් දිනදා හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. එදින මුලින් පන්දුවට පහරදී ඉන්දීය පිල ලබාගත් ලකුණු ගණන කඩුලු 08 කට 81 කි. මෙය ඔවුන් විස්සයි විස්ස තරගයක දැවී ගිය තෙවන අඩුම ලකුණු ගණන ලෙස ද සැලකෙයි.

මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 74 කට ද නවසීලන්තයට එරෙහිව ලකුණු 79 කට ද ඔවුන් දැවීගොස් තිබේ.

ධනංජය මෙහිදී ද නොදැවී ලකුණු 23 ක් ලබා ගැනීමට සමත් විය. ඒ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක තරග අවසන් කරන්නෙකු වන ලකුණු පහළ කිරීමකි. එම තරගයේ වීරයා සම්මානය මෙන් ම තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවූයේ වනිඳු හසරංගට ය.

”මෙවන් කණ්ඩායමක නායකත්වය දැරීමට ලැබීම වාසනාවක්. මේ ක්‍රීඩකයින් තරුණයි. ඔවුන් තවමත් ඉගෙන ගනිමින් පසුවනවා, අනාගතයේ දී ඔවුන් හොඳින් දස්කම් දක්වාවි.” නායක දසුන් ශානක තරගමාලා ජයග්‍රහණයෙන් පසු පැවසී ය.

“අපේ අවශ්‍ය ගණනට වඩා අද කඩුලු දැවී ගියා. ඒ වගේම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා.”ඉන්දීය නායක ශිකර් ධවාන් අවසන් තරගයේ මෙන්ම තරගමාලා පරාජයෙන් පසු පැවසුවේ ය.

“ පිතිකරුවන් අවබෝධ කරගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි සැමදාම ඔවුන්ට වාසිදායක තණතීරු නොලැබෙන බව. ඒ වගේම ඔවුන් ඉගෙන ගත යුතුයි අවසන් තරගයේ ලැබුනා වගේ අඩු ලකුණු සහිත තණතීරුවල පිත්ත හැසිරවීමේ කලාව.” යැයි කියන්නේ කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ය.

ඉන්දියාව ලද පරාජය ගැන මේ වනවිට තව තවත් හිටපු ක්‍රීඩකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. හිටපු සුපිරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ඒ අතරින් අයෙකි.

“මම හිතුවේ අපේ ක්‍රීඩකයින් අඩුම තරමින් ලකුණු 130 ක් වත් ලබාගනිවි යයි කියා. නමුත් ඔවුන් ලකුණු 80 ගණනකට දැවී ගියා. පිතිකරුවන් අපොහොසත් වුණා. ඒ වගේම මට සිදුවුණා සම්පුර්ණ තරගය පුරාම මගේ දරුවන්ගේ සරදමට ලක්වීමට. අඩු තරමින් එකම ඉන්දීය පිතිකරුවෙක් හෝ ලකුණු 50 ක් ලබා ගත්ත නම් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබුණා. ඒ වගේම මුළු තරගයම හරිම උදාසීනයි.ඒ වගේම ශ්‍රී ලංකා පන්දු යැවීමේත් විශේෂත්වයක් මම දකින්නේ නෑ.”

“එමෙන්ම හිටපු පාකිස්තාන් ක්‍රීඩක කම්රන් අක්මල් පවසන්නේ රාජස්තාන් රෝයල් කණ්ඩායමේ නායක සංජු සමන් ශ්‍රී ලංකාවේ දී සිය බලාපොරොත්තු කඩකර ගත් බවය.” මහත් බලාපොරොත්තු තබා සිටි ඔහු අයි.පි.එල්.තරගවලදී හොඳින් දස්කම් දැක්වුවත් ශ්‍රී ලංකාවේ දී තරග තුනේදීම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 34 ක් පමණයි.” ඔහු පවසා තිබිණි.

එය කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ධනාත්මක වන්නේ පරාජය තුළ කරණම් පිට කරණම් ගසමින් සිටි හෙයින් එයින් මිදීමට මෙය අවස්ථාවක් වූ හෙයිනි.

 

 

අනිල් වීරසිංහ

 

Comments