අභියෝග මැද අසිරිමත් වසරක් | සිළුමිණ

අභියෝග මැද අසිරිමත් වසරක්

බොරු පොරොන්දු සංස්කෘතියක් වෙනුවට ඉටුකර ගත හැකි පොරොන්දු දුන් ආණ්ඩුවක ඓශ්වර්යයවත් අවුරුද්දක් ගෙවී යමින් තිබේ. වසරක මතක සටහන් එක් කරන මේ මොහොතේ ද ආණ්ඩුව දිවුරුම් දුන් මොහොතේ මෙන් ම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ජනතාව තවමත් තැති ගැන්මෙනි. ඒ තැති ගැන්ම විසින් ආර්ථිකමය, සමාජමය හා සංස්කෘතිකමය හිදැසක් නිර්මාණය කර තිබේ.

ඒ හිදැස ඇතුළත ගෙවුණු ආණ්ඩුවේ වසරක කාලය අසිරිමත් කියනවාට වඩා අභියෝගාත්මක යැයි කීම නිවැරැදි ය. වෙන කවර හෝ ආණ්ඩුවකට මේතරම් අභියෝගයක් මැද වැඩ කරන්නට සිදු වී යැයි ඉතිහාසය පුරා පීරා හෝ අපට සොයා ගැනීමට නොහැකි බව සත්‍යයකි. එහෙත් ස්වකීය අනන්‍යතා හා දේශීය ලකුණ තබාගෙන ඒ වසර ජනතා හිතවාදී වසරක් කරන්නට ආණ්ඩුව දැරූ වෙහෙස ප්‍රශංසනීය ය. සංස්කෘතියේ, ආර්ථිකයේ, අධ්‍යාපනයේ ඈ සෑම දේකම ලාංකේය අනන්‍යතාව ගැබී වී තිබිණි. එනිසාම පසුගිය මැතිවරණ සමයේ වූ පොරොන්දු මේ වන විට ජනතාව ඉදිරියේ යථාර්ථයක් වී තිබේ.

2005 වසරේ මහින්ද චින්තනයෙන් ආරම්භ වී 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් විකසිත වුණු ජනතා අභිලාෂය 2020 ‍දී සෞභාග්‍යයේ දැක්මෙන් ඵලදරා තිබේ. දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වූ සෞභාග්‍යයේ දැක්ම චතුර්විධ අරමුණු ජයගැනීමට සැකසුණු වැඩපිළිවෙළක් විය. ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක හා සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යවත් දේශයක් යන මිනිසකුට ජීවිතයේ අවබෝධය, සතුට හා දියුණුව පතන අංග එහි ඇතුළත් ය. දේශපාලනඥයන්, විද්වතුන් සහ වෘත්තියවේදීන්ගේ එකඟතාවෙන් හා සහභාගීත්වයෙන් සැකසුණු එකී වැඩපිළිවෙළට ජනතා ආකර්ෂණය ලැබීම පුදුමයක් නොවන්නේ ඒ නිසා ය.

සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතා හිතවාදී ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය විසින් අඩපණ කරන ලද ලෝක හා දේශීය ආර්ථික පදනමක සලිත බව දරා ගනිමිනි. අධිවේගි මාර්ග, මහ පාලම්, ගුවන් පාලම් රැසක්, නාගරික ජනතාවට අලුත් නිවාස, අලුත් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩ දිගටම කිරීම ආදී භෞතික කඩිනම් සංවර්ධන ඉලක්ක රැසක් මේ වසර ඇතුළත යථාර්තයක් වූ සංවර්ධන ඉලක්ක ය. මීට අමතරව දීර්ඝකාලීන ඉලක්ක කිහිපයක් ම ජය ගැන්ම උදෙසා ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටී. බීජයක් වපුරා අස්වැන්න ලැබෙන තෙක් වස විස ම යෙදූ කාලය නිමා කිරීමට උත්සුක වීම එවැන්නකි. බත්පතට, බොන දියට, කන පළතුරට වස දැමූ යුගය ඒ අනුව නිමා වෙනු ඇත. නිරෝගී දිවිපෙවතක් හා නිරෝගී ජනතාවක් යනු රටක සම්පත යි. අනේකවිධ ගැටලු මධ්‍යයේ වුව ද ක්‍රියාත්මක කාබනික පොහොර පිළිබඳ පැහැබර බලාපොරොත්තුව ආණ්ඩුව සිය ජනතාව කෙරේ දක්වන අසීමිත රැකවරණය පිළිබඳ ජීවමාන සාක්ෂියකි.

ඕනෑම ආණ්ඩුවක් ලබා දෙන ඡන්ද පොරොන්දු අතර උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප්‍රධාන ය. විවිධ අවශ්‍යතා හා බලපෑම් නිසා උසස් අධ්‍යාපනය ලැබීමට නොහැකිවූ බහුතරයක් තරුණ පිරිසගේ අනාගතය ගැන මෙතෙක් කිසිදු ආණ්ඩුවක් සිතුවේ නැත. එහෙත් වත්මන් ජනාධිපතිවරයා සාමාන්‍ය පෙළ සමත් ලක්ෂයකට රැකියා ලබාදීම හා උසස් පෙළ සමත් 181,000කට උපාධි වරම් ලබාදීමට තීරණය කර තිබේ. මෙතෙක් ඒ චූල අධ්‍යාපනික අයවලුන් ගැන කිසිවෙක් සිතුවේ නැත. රටක ජීවනාලිය වන තරුණ පරම්පරාව රැක ගැනීමේ හා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට වත්මන් ආණ්ඩුව ප්‍රවිෂ්ට වූයේ එලෙසය. මේ වසරක කාලය ලොකු කුඩා සැමට ම පොදු සෞභාග්‍යවත් කාලයක් වන්නේ එලෙස ය.

උපාධිධාරීන් නිසි පරිදි රාජ්‍ය සේවයට එක්කර ගැනීමටත්, ඔවුන්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමත් වෙනුවෙන් රජය විසින් උපාධිධාරීන් 50,000කට රැකියා ලබාදීමට ගත් තීරණය ද වැදගත් ය. එමෙන්ම එසේ බඳවා ගන්නා උපාධිධාරින්ට නිදහස්, නිවහල් චින්තනයකින් යුතුව වැඩ කිරීමේ පරිසරය ද නිර්මාණය වෙමින් පවතී. මේ වනවිට රාජ්‍ය සේවය මේවැනි වසංගත සමයෙක පවා ජනතා හිතවාදී ලෙස සක්‍රිය ව පවත්වා ගන්නේ කෙලෙස ද යන්න ගැන සවිඥානික ආණ්ඩුව වැඩි සේවයක් සලසනු වස් ඔවුන් සේවයට කැඳවා තිබේ.

බටහිර රටවල් වැඩිහිටි ජනගහනය පාලනය කිරීමට කොවිඩ් 19 ආශීර්වාදයක් යැයි නොකියා කියන වාතාවරණයක; අප උත්සාහ කරනුයේ කෙසේ හෝ මානව සම්පත රැක ගැනීමට ය. එන්නත්කරණය කඩිනමින් සිදු කළ ලොව සාර්ථක ම රටවල් අතර ප්‍රමුඛ ම තැනක ලංකාව තිබෙන්නේ ආණ්ඩුව ඒ වෙනුවෙන් කළ කැපවීමේ හා සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වන විට ගණන් බලා ඇති ආකාරයට කොවිඩ් මර්දන කටයුතු සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 22,000 ඉක්මවා තිබේ. වසංගත රැලි තුනක් හමුවේ වුව ද කොවිඩ් පාලනය සාර්ථකව කිරීමට රජයට හැකියාව ලැබී ඇත. කොවිඩ් වසංගතය හමුවේ වුව ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඉටුකරලීම ජනාධිපතිවරයාගේ සැලසුම වන බැවින් ඒ ගැන සැක සංකා පවත්වා ගැනීම අවශ්‍ය නැත. ජනතාවගේ ඡන්දයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට පත්වෙන මහජන නියෝජිතයන් සැප විඳිද්දී, ඊට දරදිය ඇදි සාමාන්‍ය ජනතාව දුක් විඳි සංස්කෘතිය නිමාවට පත් වෙමින් තිබේ. මේ අප දකින්නේ ජනතාවගේ කඳුළු බරට වැඩියෙන් බර සතුටු කඳුළු ය.

එදා සිට අද දක්වා විවිධ වකවානුවල පාලකයන්ගේ බොරු පොරොන්දුවලට අපි රැවටුනෙමු. වසර 5ක් පුරා ‘යහපාලන‘ ආණ්ඩුව අප කෙතරම් රැවට‍ූවේ ද යන්න දැනෙන්නේ රටේ පොදු ජනතාව ඉදිරියේ එකල පාලක පන්තිය හාස්‍යයට උපහාසයට ලක් වූ වාර ගණන සිතද්දී ය; එසේත් නැත්නම් ජනාධිපතිවරයා ජනතාවට සහන දෙන්නට කරන අරගලය දකින විටදී ය. ගෙවන්නට නොහැකි තරම් ණය බරක් ඉදිරියේ වත්මන් ආණ්ඩුව ජනතාවට සහන දෙන්නට කරන අරගලය ජීවන අරගලය තරම් ම බර ය. ‍හොරු අල්ලන්නට කියා ජනතා ඡන්ද රවටා ගත් ‘යහපාලන‘ ආණ්ඩුවට අල්ලන්නට හොරෙක් සිටියේ නැත. මේ සියලු අපහාස, උපහාස මායිම් නොකළ වත්මන් ජනාධිපතිවරයා සැබෑ ජනනායකයකුගේ භූමිකාවට පණ පොවමින් ජනතා සේවක කාර්යයේ නියැළෙන්නේ, නායකත්වය කෙසේ විය යුතුද යන පූර්වාදර්ශය සපයමිනි. වන්දනාමාන කරන නායකත්වයක් වෙනුවට ඔහු තෝරා ගත්තේ ක්‍රියාවෙන් වැඩ පෙන්වන්නකුගේ භූමිකාව ය. රටට සෞභාග්‍ය උදා වෙන්නේ ඒ නිවැරැදි මඟ පෙන්වීමෙන් ලද ආශීර්වාදය නිසා ය.

නිවැරදි නායකත්වයක් හා දැක්මක් විසින් ජාතියක් සුරක්ෂිත කිරීම යථාර්ථයක් බවට පත් වී තිබේ. ඉදින් මේ එළැඹෙන්නේ ජනතා බලාපොරොත්තුවේ ඉදිරි දැක්මයි. වසරක් ඇතුළත පොදු ජනතාවගේ සිතිවිලි හා බලාපොරොත්තු මෙතරම් හොඳින් කියවා ගත් හා ඒ වෙනුවෙන් කැපවූ ආණ්ඩුවක් ලැබීම ජනතාවට භාග්‍යයක් වන්නේ ඒ නිසාය.

Comments