පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල කොඩි­වි­න­යක් නොව ජාතික සම්ප­තක් | Page 2 | සිළුමිණ

පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල කොඩි­වි­න­යක් නොව ජාතික සම්ප­තක්

 

විදේශරටක පිළිගත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට බොහෝදෙනා සිහින මවති. ඒ සිහිනය සැබෑ කරගැනීමට නම් ඉගෙනීමෙහි දක්ෂ විය යුතුය. මවුපියන්ට යහමින් මුදල්හදල් තිබිය යුතුය. එසේ වුවත් ලක්‍ෂ ගණනින් වියපැහැදම් කර විදේශ රටවල ඉගෙන ගන්නා ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජිවීතය එතරම් මිහිර නොවේ. මවුපිය රැකවරණයෙන් මිදී නිදහස උපරිමයෙන් භුක්ති විඳින ආකාරයත්, දරුවන් විදේශ රටවල අධ්‍යාපනයට පෙලඹවීම ගැන මවුපියන් කියන කතාත්, අධ්‍යාපනය හැදෑරීමට යන දරුවන් නිසා විදේශ රටවලට ඇදී යන කෝටි, ප්‍රකෝටි මුදල් කන්දරාව ගැනත් මට හොඳ අවබෝධයක් ඇත.

 

මා ඇමරිකාවට පැමිණ මේ වනවිට වසර හතළිස්හතකි. එම කාලය තුළ දී ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබා ඒවායේ ඉගැන්වීමට පවා මම භාග්‍යවන්ත වීමි. එහි දී ශ්‍රී ලාංකීය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විශාල පිරිසක් සමඟ කුලුපග වීමට මට අවස්ථාව උදා විය. ඔවුන් අතරින් වැඩිදෙනකු මධ්‍යම පන්තිකයන් වූ අතර, ඇමරිකාවට පැමිණ තිබුණේ ලොකු කැපකිරීමක් කර විශාල මුදලක් වියදම් කරමිනි.

ඇතැම් මවුපියන් තම වතුපිටි විකුණා, බැංකුවලට ණය වී තම දරුවන් ඇමරිකානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර තිබුණි. ඔවුන්ගේ මැසිවිල්ල වූයේ ‘‘අපේ ළමයි කොච්චර හොඳට විභාග පාස් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්න ලකුණු මදි වුණා... අපේ රටේ විශ්වවිද්‍යාවලට යවන්න බයයි... නවක වධය දීලා ළමයි මානසික රෝගීන් බවට පත් කරනවා... මෙච්චර උස් මහත් කරලා, උගන්වලා දැන, දැනම ළමයින්ව අසරණ කරන්න බෑ...’’ ආදී කතායි. ඒ කතාවේ සත්‍යතාවක් ඇත.

ලොව කිසිදු විශ්වවිද්‍යාලයක දක්න ට නොමැති ආකාරයෙන් මෙරට විශ්වවිද්‍යාලවල නවක වධය ලබාදේ. එහි දී ලිංගික හිංසනයන්ට පවා දරුවන් ගොදුරුවන බව තොරතුරු අනාවරණය වේ. එසේම අධ්‍යාපනයට වඩා සිදු කරන සිසු අරගලවල ද කෙළවරක් නැත. ඒවාට එක්වනවා හැරෙන්න දරුවන්ට ඉගෙන ගැනීමට කාලයක් නැත. ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භ වී අවුරුදු සියගණනක් ගෙවී තිබුණ ද ඉන් නොබෙල් ත්‍යාගය හිමිකරගත් එකදු මහාචාර්යවරයෙක් හමු නොවේ. එසේ වුව ඇමරිකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල පවා විවිධ අංශයන්වලින් නොබෙල් ත්‍යාගය හිමිකරගත් ආචාර්ය මහාචාර්යවරු බොහෝය. එමෙන්ම මෙම විශ්වවිද්‍යාලවල සෑම වසරකම අලුත් නිර්මාණ එළිදකී. අප රටේ එලෙස නව නිර්මාණ එළිදක්වා තිබුණද ඒ ඉතා ස්වල්පයකි.

එවැනි තත්ත්වයක් තුළ කොතලාවල විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර පහළවක් ඉක්මවා නොතිබුණ ද ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන බන්ධුල විජේරත්නගේ සංකල්පයක් අනුව යමින් කොතලාවල විද්‍යා පීඨයේ නාවික හමුදා ඉංජිනේරුවෝ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි වෙන්ටලේටර් උපකරණයක් නිෂ්පාදනය කළේය. ඇමරිකානු ඩොලර් පහළොස්දහසක් වන එම උපකරණය ඔවුන් ඩොලර් දහසක් වැනි ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කර තිබුණි. මේ වනවිට එම උපකරණය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර අැත. තවත් එවැනි වෙන්ටලේටර් පහළොවක් නිෂ්පාදනය කර රෝහල්වලට බෙදාදීමට අප විහාරයේ දායකයින් මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට සූදානම්ව සිටිති. එවැනි තාක්‍ෂණික ඉංජිනේරුවන් නිර්මාණය වුණේ නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබුණු නිසාය.

රජයේ විශ්වවිද්‍යාලවල උගත්, බුද්ධිමත් ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම දක්‍ෂ දරුවන් සිටිති. අවශ්‍ය සම්පත් ද ඇත. එහෙත් විද්‍යාර්ථීන්ට නිදහසේ අධ්‍යයන කටයුතුවල නිරතවීමට ශිෂ්‍ය සංගම් ඉඩ නොදේ. පළමු අවුරුද්දෙන් භාගයක් නවක වධයට ගෙවී යයි. ඊළඟට ශිෂ්‍ය සංගම් අරගලවලට සහභාගි විය යුතුය. මෙනිසා නිසි කාලසීමාව තුළ උපාධිය ලබාගෙන රැකියාවක නිරත වීමේ හැකියාව ඔවුන්ට අහිමිය. සමාජවාදී ලේබලයට මුවා වී සිටින දේශපාලන කණ්ඩායම් විසින් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය නැතිභංගස්ථාන කර ඇත. එවැනි පසුබිමක මුළු සේසතම වියදම් කර දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට යැවීමේ වරදක් පෙනෙන්නට නැත. මේ රටේ දරුවන් බහුතරයක් අතිදක්‍ෂයින් වෙති. එසේ වුව සියයට විස්සකටවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්ථාවක් නොලැබේ. ඒ මෙරට විශ්වවිද්‍යාලවල ඉඩකඩ අවම නිසාය. අද වන විට මෙරට තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටලුවකි. මුදල් ගෙවා දරුවන් පෙරපාසල් යවති.

රජයේ පාසල්වලට යන ළමයි බහුතරයක් එක විෂයකට ‘ටියුෂන්’ පන්ති දෙකකටවත් යයි. හතු පිපෙන ගාණට රට පුරා ජාත්‍යන්තර පාසල් විවෘතව ඇත. ඒ පාසල්වල ඉගෙන ගන්න ළමයින්ගෙන් අය කරන මුදල් ප්‍රමාණය අති විශාලය. මේ අධ්‍යාපන කඩ අය කරන අසාධාරණ මුදල් ගැන කිසිම දේශපාලන පක්‍ෂයක් කතා නොකරයි. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න බහුතරයක් ළමයින්ට ‘සිංහල’ කතා කළ හැකි වුවද ලිවීමට, කියැවීමට නොහැකිය. ඇතැම් දරුවන් සිංහල කතා නොකරයි. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා බොහෝ දරුවන්ට ඉතිහාසය, බෞද්ධ ධර්මය ගැන කිසිදු දැනීමක් නැත. එම පාසල්වලින් ඒ දරුවන් පුරුදු පුහුණු කරන්නේ පිටරටවල විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට සුදුසු ආකාරයටය. මෙරට ජාත්‍යන්තර පාසල්වලින් විභාග සමත් වන දරුවන් අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනය හැදෑරීමට පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය යුතුමය.

ඇමරිකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හා ඉන් ලබාගන්නා උපාධිවලටත් විශාල පිළිගැනීමක් තිබේ. ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට සාපේක්‍ෂව ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාලවල අය කිරීම ඉතා ඉහළය. එම විශ්වවිද්‍යාලවලින් ඇමරිකානු රජයට, මෙන්ම ප්‍රාන්ත රජයන්ට ද විශාල ආර්ථික ප්‍රතිලාභ අත් කර දී තිබේ. ලොස්ඇන්ජලීස් නුවර ‘යුනිවර්සිටි ඔෆ් සදර්න් කැලිෆෝනියා’ ටියුෂන් ගාස්තු සහ නවාතැන් පහසුකම් සඳහා පමණක් වසරකට ඇමරිකානු ඩොලර් හතළිස්පන්දහස් පන්සීය හැටඑකක් ගෙවිය යුතුය. ඊට අමතරව කෑම්බීම ඉඳුම් හිටුම්වලට වෙනම ගෙවිය යුතුය. මා අධ්‍යාපනය ලැබූ නෝර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ පන්ති ගාස්තුවලට පමණක් වසරකට ඇමරිකන් ඩොලර් දහඅටදහස් නවසිය දහඅටකි. ඒ වගේම ඇමරිකාවේ මැසිටියුට් ප්‍රාන්තයේ ලෝක ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියක් පිහිටා තිබේ. එම ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ විදේශීය රටවලින් පැමිණෙන සිසුන්ගෙන් ලැබෙන ආදායමයි. එමෙන්ම දක්‍ෂ දරුවන්ට ඇමරිකානු පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදෙයි. එකී විශ්වවිද්‍යාලවල කළමනාකාරිත්වය විසින් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් විධිමත් ලෙස පරීක්‍ෂා කොට ධනවත් පවුල්වල ළමයින්ගෙන් වැඩි මුදලක් අය කරගෙන, දුප්පත් පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙති. නොර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ මාහට ඉගෙනගැනීමට හැකි වූයේ එලෙස හිමිවූ ශිෂ්‍යත්වයක් නිසයි. එලෙස ශිෂ්‍යත්ව ලැබී ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ශ්‍රී ලාංකික දරුවන් විශාල පිරිසක් ඇමරිකාවේ සිටිති.

යුරෝපීය රටවල ඉගෙන ගන්නා බොහෝ දරුවන් නැවත ලංකාවට නොඑන්නේ එම උපාධියට සරිලන පිළිගැනීමක් හෝ රැකියා අවස්ථාවක් නොමැති බැවිනි. ඇමරිකාව, කැනඩාව වැනි යුරෝපීය රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන මෙරට දරුවන් කුමන දුකක් විඳගෙන හෝ උපාධිය ලබාගෙන ඒ රටවලම රැකියා කරගෙන ජීවත් වීමට පෙලඹෙන්නේ එනිසාය. යුරෝපීය රටවල දී උපාධියට නිසි ගෞරවයක් සමඟ හොඳ රැකියාවක නිරතවීමේ අවස්ථාව හිමිවේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පමණක් ශ්‍රී ලාංකික පවුල් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙති. ඒ බොහෝමයක් දෙනා මෙරට මධ්‍යම පාන්තිකයන් වෙති. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන, රැකියා කරගෙන පුරවැසිකම ලබා තම මවුපියන්ද එරටට ගෙන්වාගෙන ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඇමරිකාවෙත් විවිධ ප්‍රාන්තවල සිටිති. ඔවුන්ගෙන් රටට විදේශ විනිමය ලැබෙන්නේ නැත. සාමාන්‍යයෙන් මෙරට ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගෙන පිටරට අධ්‍යාපනයට යොමු වන බොහෝ දරුවන් නැවත ලංකාවට එන්නේ නැහැ. ඔවුන් ලංකාවේ ඉපදුනාට මෙරට සංස්කෘතිය, සිංහල භාෂාව දන්නේ නෑ.

ඇමෙරිකවේ ජීවත්වන මම දන්න ඇතැම් පවුල්වල මවුපියන් එරට ජීවත් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරුවන්ගේ බලකිරීම නිසයි. මේ දරුවන්ව තනි කර මෙරට ජීවත්වීමට ඇති අකැමැත්ත නිසයි. ඔවුන් ඇමරිකාවට පැමිණ ඇත්තේ ලංකාවේ ඔවුන්සතු සියලූ දේපළ විකුණාය.

යුරෝපීය රටවලට යන දරුවන් ඒ රටවල පදිංචි වුවද චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, නේපාලනය, බංගලාදේශය, ඉන්දියාව වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගන්නා ළමයි එම රටවල රැකියාවල නිරත වන්නේ කලාතුරකිනි.

නැවත ලංකාවට පැමිණෙන එම උපාධිධාරීන්ට මෙරට වෛද්‍ය සංගම්වලින් නිසි ගෞරවයක් ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ උපාධියට නිසි වටිනාකම ලබා දෙන්නේ නැහැ. විවිධ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් එකිනෙකට වෙනස් නිසා, ඒ ඒ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් අපේ රටට නොගැළපෙනවා වියහැකිය. ඒ වෛද්‍ය උපාධිවල යම් ගැටලු තිබිය හැකිය. එම ගැටලුව නිරාකරණය කිරීමට හොඳම විසඳුම මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමය. රජයේ විශ්වවිද්‍යාලවල උගන්වන විෂය නිර්දේශයම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළත් ක්‍රියාත්මක කිරීම ඊට හොඳම විසඳුමය.

ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ රාගම වෛද්‍ය පීඨයක් ආරම්භ විය. එම වෛද්‍ය පීඨයේ ඇමරිකානු දරුවන් ඉගෙන ගෙන ඇත. කාගේ වුවමනාවකට හෝ රටේ අවාසනාවට එම වෛද්‍ය පීඨයට විදේශ රටවල දරුවන් ඇතුළත් කරගැනීම නතර කළේය. නැවත මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර පිටරටවල ජීවත්වන ශ්‍රී ලාංකික පවුල්වල දරුවන්, විදේශීය රටවල දරුවන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්වී අධ්‍යයන කටයුතු කිරීමට ඉඩ සලසා දුනහොත් රට තුළට විදේශ විනිමය ගලා එයි. ඇතැම් යුරෝපා රටවල ජීවත්වන ශ්‍රී ලාංකීක පවුල්වල දෙවැනි පරම්පරාවේ දරුවන් මෙරට අධ්‍යාපනය ලැබීමට දැඩි කැමැත්තක් දක්වති. සිංහල භාෂාව, බෞද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට ඔවුන් බෙහෙවින් කැමැතිය. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් සලසා දීම වගකිවයුතු රජයක් සතු යුතුකමකි.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් ඒ දරුවන්ට පැමිණ නිදහසේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට අවස්ථාව සැලසේ. එමඟින් රටේ සංචාරක කර්මාන්තය ද දියුණු වේ. මෙරට දරුවන් සමඟ පිටරටවලට ඇදී යන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කන්දරාව ද රට තුළ ඉතිරි වේ. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තුළින් තරගකාරිත්වය ඇති වී බුද්ධිමත් පරපුරක් නිර්මාණය වීමට අවශ්ථාව සැලසේ. එසේ නොවන්නේ නම් තව අවුරුදු පනහක් පමණ යනවිට මෙරට සිංහල බෞද්ධ නාමයත් ඉතිරි නොවේ. ජාතිය, ආගම, රට රැකගැනීමට නම් මෙරට අනාගත පරපුර පිටරටවලට සංක්‍රමණය වීම නතර කළ යුතුය. අපේ සංස්කෘතියට ගැලපෙන අනාගත පරපුරක් ජාතියට නිර්මාණය කරදීමේ අරමුණු පෙරදැරි කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල එකක් නොව කිහිපයක් ආරම්භ කළ ද එහි වරදක් නැත.

1981 වසරේ සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්‍ෂක අභ්‍යාස ආයතනය ආරම්භ වී මේවනවිට වසර හතළිහකට වැඩිය. 1981 අංක 86 දරන පනතෙන් මඟින් මෙම අභ්‍යාස ආයතනය ආරම්භ විය. 1988 අංක 24 දරන පනත මඟින් නැවත එය සංශෝධනය විය. 2007 අංක 50 දරන පනතෙන් නැවතත් සංශෝධනය කර ‘ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්‍ෂක විශ්වවිද්‍යාලය’ ලෙස එහි නම වෙනස් විය. මේ අභ්‍යාස ආයතනයේ වෛද්‍ය පීඨය ආරම්භ කරන අවස්ථාවේ ජී.එම්. ඕ. එක මෙඩිකල් ඇසොයියේෂන් එක විරුද්ධ වුවද කොතලාවල විශ්විද්‍යාලය බඳවාගත් ළමයි තිදෙනකු පළමු අවුරුද්ද අවසානයේ පළමුවෙනි, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගෙන තිබුණි. මේ වෙනවිට ඉසෙඩ්කොර් අගයෙන් ඉහළින් ම ඉන්න දරුවන් කොළඹ, පේරාදෙණිය විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවී කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට කැමැත්තක් දක්වති. එවැනි ඉතිහාසයක් තියෙන විශ්වවිද්‍යාලයක් රටේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයට කොඩ්විනයක් නොවේ ආශීර්වාදයකි

එනිසා එවැනි විශ්ව විද්‍යාල ඇතිකිරිමට ඉඩදිය යුතුය. ඒ අතරම පවතින ‘නිදහස් අධ්‍යාපන ක්‍රමයට’ ඉන් අවැඩක් සිදු නොවිමට වග බලාගත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දරන වෑයමට වැඩි අවධානයකින් පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීමට ද මේ රජය කටයුතු කළ යුතුය. ඒ වගේම ආරම්භ කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් මෙරට දුප්පත් දරුවන් සියයට තිහකටත්, විදේශීය ළමයි සියයට දහයකටවත් ශිෂ්‍යත්ව පහසුකම් ලබාදිය යුතුය. ඒ තුළින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය වී අපේ රටටත් ඉහළ පිළිගැනීමක් ලැබෙන බව ඒකාන්තය.

Comments