ප්‍රේම­කීර්ති ඝාත­නය කළේ මෙහෙ­මයි | සිළුමිණ

ප්‍රේම­කීර්ති ඝාත­නය කළේ මෙහෙ­මයි

 

එය සිදුවූයේ හරියටම මීට වසර 32කට ප්‍රථම ව ය. එනම් 1989 ජූලි 31 දා ය. ප්‍රවීණ කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් ගේ ඝාතනය ඒ ඛේදවාචකයයි.

ජවිපෙ 2වැනි කැරලි සමය අවසන් වන විට එනම්, 1986 සිට 1990 දක්වා මාධ්‍යවේදීන් 16ක් ඝාතනය වූ අතර 100කට ආසන්න සංඛ්‍යාවකට පැහැරගෙන යෑම්, ප්‍රහාර, වධ බන්ධන, තර්ජන, බලපෑම්, රැකියා අහිමිවීම්, දේශපාලන රැකවරණය පතා විදේශගත වීම් ඇතුළු බොහෝ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු විය. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 16 දෙනාගෙන් ජවිපෙ කැරලිකරුවන් විසින් 9 දෙනෙකු ද ආණ්ඩුවේ ආරක්ෂක හමුදා, අතුරු හමුදා කණ්ඩායම් සහ ප්‍රා සංවිධානය මගින් 7දෙනකු ද විණි.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී ආණ්ඩුවේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය, එනම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරිත්වය මුළුමනින් වාගේ 1989 මැද භාගය වන විට අඩපණ කිරීමට ජවිපෙ කැරලිකරුවන් සමත් විය. රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ වැඩ කරන සේවකයන්ට කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබූ බැවින් ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබිණි. සේවයට වාර්තා කළහොත් ඔවුන් ඝාතනය කරන බවට ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය. ඒ තත්ත්වය හේතු කොට ගෙන ඇතැම් මාධ්‍ය ආයතන අකර්මණ්‍ය විය. සේවකයන් කිහිපදෙනෙක් රැකියාව අත්හැර ගියහ.

රූපවාහිනි රාත්‍රී ප්‍රවෘත්ති සහ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අසන ප්‍රේක්ෂකයන්ට සහ ශ්‍රාවකයන් ඝාතනය කිරීමට තීරණය කර ඇති බව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කළේය. එයට අවනත නොවී ගුවන්විදුලිය සහ රූපවාහිනිය ඇසූ සහ නැරඹූ පුද්ගලයන් 219 දෙනෙකු රට පුරා ඝාතනය කර තිබිණි. එමෙන්ම ඇතමුන් තවදුරටත් තමන් රූපවාහිනී සහ ගුවන්විදුලිය භාවිත නොකරන බවට සන්නද්ධ කැරලිකරුවන්ගේ නියෝග තු‍ණ්ඩු අනුව බැනර් සහ පුවරු නිවසේ ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබිණි.

මේ අනුව රජයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය හමුදා පාලනය යටතට ගැනීමට එජාප ආණ්ඩුව තීරණය කළේය. රූපවාහිනී ඇතැම් ප්‍රවෘත්ති නිවේදකයන් බවට පත් වූයේ හමුදා සෙබළුන් සහ සෙබළියන්ය. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ නිලධාරින් හා සෙබළු ඉන් මුල්තැනක් ගනු ලැබීය. ගුවන්විදුලිය සහ රූපවාහිනිය ප්‍රධාන සහ ප්‍රාදේශීය කාර්යාල වලට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි. ජවිපෙ ඇඳිරි නීතිය පැන වූ දිනයන්හි රාජ්‍ය පාලනය මුළුමනින් අකර්මණ්‍ය විය. ලේක්හවුස් පුවත්පත්ද තහනම් කර තිබූ බැවින් රජයේ සියලු තොරතුරු ජනතාවට ගෙන ගියේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය මගිනි.

කැරලිකරුවන් ගේ තහනම් නියෝග නොතකා ගුවන්විදුලිය සහ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කිරීමට තීරණය කරන ලදී. ‍ජවිපෙ සංස්කෘතික අංශයේ දෙවැනියා වූ රවි ගමගේ හෙවත් මහානාම අදාළ ඝාතන ලැයිස්තුව සන්නද්ධ අංශය වෙත ලබා දීමේදී තීරක කාර්යය සිදු කරනු ලැබීය. අදාළ ස්ථානයන්හිදී ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන්ගේ, තොරතුරු සහ මඟ පෙන්වීම අනුව ඒවා ක්‍රියාවට නැගිණි. කැරලිකරුවන් මඟින් දේශදෝහීන් බවට නම් කළ මාධ්‍යවේදීන්ට ප්‍රථම පියවර වශයෙන් මරණ දඬුවම් නියෝගය ලිපි මගින් දැනුම් දෙන ලදී. එයට ප්‍රතිචාරයක් වශයෙන් බොහෝ දෙනා අදාළ රාජකාරිවලින් ඉවත්වූ අතර, සෙසු අය සිය මාධ්‍ය වෘත්තියෙහි තර්ජන නොතකා සේවය කළේ එය සිය එක ම ජීවිකා වෘත්තිය වූ බැවිනි. තර්ජන හමුවේ ආරක්ෂිත පියවර ගත් මාධ්‍යවේදීන් පමණක් සිය දිවි බේරා ගැනීමට සමත් විය.

ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරද හෙබ වූ තේවිස් ගුරුගේ කැරලිකරුවන් විසින් ඝාතනය කළේ 1989 ජුලි 23 ය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ පාලම මතින් උදෑසන වෙළෙඳසැලකට තනිවම යමින් සිටියදී 65 හැවිරිදි ඔහු මරා දමා තිබිණි. තේවිස් ගුරුගේ එසේ ගියේ උදෑසන සිය ආහාරය සඳහා ආප්ප ගෙන ඒමටය. ටී.56 ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබීම සිදු කළ අතර වෙඩි උණ්ඩ 5ක් ඔහුගේ සිරුරේ විය. ගුරුගේ හදිසි නීතිය යටතේ පැන වූ පුවත් වාරණයේ බලධාරියා වශයෙන් පත්වූයේ 1989 ජුලි 5දාය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග වෙඩි තබා ඝාතනය කළේ 1989 අගෝස්තු මස 13ය. ඒ රත්මලානේ ධර්මාරාම පාරේ සිය නිවසේ උදෑසන 8.35ටය. කැරලිකරුවන් දෙදෙනකු නිවසට ඇතුළු වී දුරකතනයේ වයර් කපා උරයේ එල්ලා තිබූ බෑගය ඇර මිලිමීටර් 7 රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා මරා දමා තිබිණි. කැරලිකරුවන් පැමිණෙන විට කුලසිරි අමරසිංහ පුවත්පතක් බලමින් සිටි අතර වෙඩි තැබූ පසු කැරලිකරුවෝ පාපැදියක නැඟී කෙටි දුරක් ගොස් යතුරුපැදිවලට නැඟ පලා ගියහ.

රූපවාහිනී නිවේදිකාවක් වූ වරදට චාන්දනී සාගරිකා ගෝමස්ට ද අත් වූයේ මරණ දඬුවමයි. ඇය 1989 සැප්තැම්බර් 13 රාත්‍රි 8.10ට කැරලිකරුවන් විසින් දෙහිවල ධර්මාලංකාර පාරේ නිවසින් පැහැර ගෙන ගිය අතර පසුව රත්මලානේ මුහුදු පාරේ ඔළුවට වෙඩි තබා බෙල්ලට පිහියෙන්ද ඇන ඝාතනය කර දමා ගොස් තිබිණි.

ගුවන්විදුලියේ සිවු දෙනෙකු කැරලිකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ විය. ඇතැම්හු නිවසින් බැහැර වූහ. ප්‍රේමකීර්ති ද අල්විස් සිය වාසස්ථානය වෙනස් නොකළේය. රජරට සේවයේ සිට කොළඹට පැමිණි ප්‍රේමකීර්ති විසින් සිදු කළ ප්‍රවෘත්තිමය වැඩසටහන සහ රූපවාහිනී සැරිසර වැඩසටහන එකල අතිශයින් ජනප්‍රිය විය. ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ සහන නිවේදකයකු ලෙස 1967 දෙසැම්බර් 17 බැඳුණු අතර ඝාතනය වන විට ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් සම්පාදකවරයෙකි.

ප්‍රේමකීර්ති අල්විස් සියලු හැකියාවකින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකි. එකල ප්‍රේමකීර්ති සහ බණ්ඩාර විජේතුංග ඇතුළු ගුවන්විදුලි සහ සිනමා කලාකරුවන් සමඟ නාරාහේන්පිට රන්දෝලියේ සහ නුගේගොඩ පුබුදුහි නිරතුරුව හමු වූ අයුරු ලේඛකයාට තවමත් මතකය. පක්ෂ දේශපාලනය හා බද්ධ වී කටයුතු නොකළ ද ගුවන් විදුලි මහගෙදර ජනප්‍රියතම නිවේදකයකු වූ ඔහුට ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් හි නිවේදකයකු ලෙස සේවය කරන්නට ද සිදු විය. විටින් විට ඔහු වැඩ තහනම්වලට ලක් වුව ද ඒ සෑම තැනකින්ම නැඟී සිටීමට තරම් ශක්තියක් ඔහු සතු විය.

මරදානේදී 1947 ජුලි 03 සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේය. ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඝාතනය වන විට දෙදරු පියෙකි. සුරංගි අල්විස් දියණිය වූ අතර පූර්ණ සම්පත් අල්විස් පුත්‍රයා විය. ඔහු 1989 ජුලි 31 පස්වරු 8.30ට ඝාතනය වන විට 42 හැවිරිදිය. බිරිඳ වූයේ නිර්මලා අල්විස්ය. පුතු සම්පත්ගේ වයස ඒ වන විට මාස 11කි. ප්‍රථම විවාහයේ බිරිඳ වූයේ දයා ද අල්විස් ය.

හෝමාගම කටුවාන පාරේ නිවසින් පැහැර ගත් ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රශ්න කිරීම සඳහා යැයි කියමින් කැරලිකරුවන් ඔහු මහමඟට ගෙන ගොස් හෝමාගම හන්දියට යාබඳව වෙඩි තබා ඝාතනය කර තිබිණි. අවසානයේදී සියලු පරීක්ෂණ කටයුතු සිදුවෙද්දී ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් කිහිපදෙ‌නෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් පරීක්ෂක රොහාන් ප්‍රනාන්දු ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් සමන් ප්‍රියංකර ගමගේ අත්අඩංගුවට ගැනීමට සමත්විය. අනෙක් පිරිස එකල පැවති වාතාවරණය මත අතුරුදන්ව සිටියහ.

කෙසේ වෙතත් වෛද්‍ය වී.එස්. පී.පන්නිල විසින් සිදු කරනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ ගිනි අවියකින් වූ තුවාලවලින් ප්‍රේමකීර්ති මිය ගොස් ඇති බවයි. මරණයට හේතුව එම තුවාල මඟින් වහනය වූ ලේ සහ ඒ මොහොතේ ඇති වූ කම්පනය බවත් වැඩි දුරටත් සඳහන් කර තිබුණි. මෙහිදී ප්‍රේමකීර්තිගේ මෘතදේහය හඳුනාගනු ලැබුවේ ඔහුගේ බෑනාවරයකු වන පුෂ්ප තරංග රණතුංග සහ ඥාතිවරයකු වන ලියනගේ දොන් ධර්මසේන විසිනි.

මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබූවේ නඩු අංක 5377/93 යටතේ 1992 දෙසැම්බර් 17 වැනි දා ය. කැරලිකරුවන් බොහෝ දෙනකු අතුරුදන් වී සිටීම නිසා ඝාතනය සම්බන්ධයෙන් හඳුනාගත හැකි වූ සමන් ප්‍රියංකර ගමගේ යන අයට විරුද්ධව ඝාතනය සම්බන්ධයෙන් හවුල් වූ අයකු ලෙස සලකා මහාධිකරණය නඩු කටයුතු සිදු කරගෙන යනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති හෙයින් විත්තිකරුවා විසින් දෙනු ලැබූ ප්‍රකාශය මත පිහිටා ය.

නඩුව විභාග වන දින පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ දෑ වන්නේ සැකකරු විසින් සහකාර පොලිස් අධිකාරීවරයා වෙත කරන ලද පාපොච්චාරණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවයි. එමෙන්ම පැමිණිලි පක්ෂය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ සාක්ෂිකරුවන් අතර හෝමාගම පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ප්‍රනාන්දු, පොලිස් සැරයන් 3632 ආරියරත්න, පොලිස් කොස්තාපල් මහින්දනාත්, පොලිස් කොස්තාපල් 2377 ආතර් බණ්ඩා, උප කාන්තා පොලිස් කොස්තාපල් 1662 සීතා සහ සහකාර පොලිස් අධිකාරී අනුර සේනානායක, නාවින්න රජ විහාර මාවතේ සී. රණතුංග, නුගේගොඩ පාගොඩ ඩී. ඩී. ධර්මසේන සහ හෝමාගම දිසා රෝහලේ වෛද්‍ය වී. එස්. පන්නිල යන අයයි.

ජවිපෙ සාමාජික සමන් ප්‍රියංකර ගමගේ තමාගේ ප්‍රකාශය තුළ පවසා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබුවේ නිවස පෙන්වීම පමණක් බවය. වැඩිදුරටත් තම පාපොච්චාරණ තුළ ඔහු මෙසේ පවසා තිබිණි.

තමා ඇතුළුව පවුලේ සහෝදර සහෝදරියන් දහ දෙනකු සිටින බවත් 1989 වසරේ ජූලි මාසයේ තමා පත්මසිරි යන මිතුරකු සමඟ මාගම්මන විහාරයේ ලොකු හාමුදුරුවන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් කොඩි කැපීමට යමින් සිටින විට රාත්‍රී 10 ට පමණ හයදෙනකුගෙන් පමණ යුත් මුහුණුුු බැඳගත් තුවක්කු අතේ ඇති පිරිසක් "ඉන්දියන් හමුදාව ලංකාව නැති කරනවා උඹලා අපේ ව්‍යාපාරයට බැඳියල්ලා" යනුවෙන් පැවසූ බවත්, එක් අයකු තමාව තම අයියා පැත්තකට රැගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණට බැඳී වැඩ කරන්නට කැමතිදැයි අසා සිටි බවත් ඊට තමා කැමැත්ත ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ. ඉන් දින කිහිපයකට පසු පත්මසිරි යන තම මිතුරාගේ නිවසට යන විට පියසිරි සහ ප්‍රාදේශීය නායකයකු ලෙසින් හඳුන්වා දුන් මිලින්ද නැමැත්තාද එම නිවසේ සිට ඇති අතර රටේ ඇති වී තිබෙන තත්ත්ව සම්බන්ධයෙන් හා ඉන්දීය හමුදාව ලංකාව ආක්‍රමණය කිරීමට සැරසීම පිළිබඳ කතාබහක් පැවතිණි.

ඉන් පසුව එදින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස තමා, පත්මසිරි, පියසිරි සමගින් තම සහෝදරයා මිලින්ද ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙසින් සම්බන්ධ වූ බවට කරුණු ප්‍රකාශ කරන්නට විය. එමෙන්ම 1988 ජූලි 29 වැනිදා මිලින්ද, වික්‍රම නමැත්තකු සමඟ පැමිණ වික්‍රම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයෙක් ලෙස සඳහන් කළ බවට ප්‍රකාශයක්ද එහි සඳහන් වේ. එමෙන්ම ජුලි 31 වැනිදා සවස හතට පමණ මිලින්ද තමාගේ නිවසට පැමිණ කටුවාන ස්කීම් එකට යන පාර පෙන්වන්නැයි කියූ නිසා ඔහු සමඟ එහි යන්නට එකඟ වූ බවද ප්‍රකාශයේ සඳහන් කරයි.

ඒ මොහොතේ දී තමාට මීට පෙර මිලින්ද පවසා තිබූ ලෙස දෑස් බැඳ ගැනීමට රෙදි කැබැල්ලක් මෙන්ම තොප්පියක් දුන් බවත් ඉන් පසුව ඔවුන් සමඟ නිවස ඉදිරිපිට පාරේ දී වික්‍රම ද එකතු වූ බවත් ඉන් අනතුරුව ඔවුන් තිදෙනාට රබර් වත්තේදී තවත් තිදෙනෙක් එක් වූ බවද ප්‍රකාශ කරයි. පසුව තමා සහ මිලින්ද රබර් වත්ත අසල තිබූ පොල් ඉඩමක පොහොර උරයක දමා තිබූ තුවක්කු දෙකක් සහ පතුරම් හයක් එම ස්ථානයට ගෙන ආ බවත් තවදුරටත් සඳහන් කර තිබෙන අතර ඉන් පසුව මෙකී හයදෙනකුගෙන් යුත් කණ්ඩායම ප්‍රේමකීර්තිගේ නිවසට යනවිට මිලින්ද අත තුවක්කුවක්ද අනෙක් තුවක්කුව වික්‍රම අතේ ද පැවති බව සඳහන් කරන අතරම, තමා නොහඳුනන තවත් තැනැත්තෙක් ෂොපින් බෑගයකින් හිස ආවරණය කර තිබූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ප්‍රේමකීර්තිගේ නිවසට යන විට නිවස ඉදිරිපිට පාරේ එක් පැත්තක සහ වෙල පැත්තට වන්නට නිවාස කිහිපයකද විදුලි පහන් දල්වා තිබුණු නිසා ඒවා නිවා දැමීමට වික්‍රම කළ නියෝගය මත තමා සහ ලක්ෂ්මන් එම නිවැසියන්ට එය දැනුම් දුන් බවත් ප්‍රකාශ කරයි. ඒ අනුව ඔවුන් විදුලි පහන් නිවා දැමූ පසු තමා සහ ලක්ෂ්මන් ප්‍රේමකීර්තිගේ නිවස ඉදිරිපිටට පැමිණි විට නිවස තුළ සිටි අයකු ගෙන් කෙනෙක් ජනෙල් රෙද්ද මෑත් කර බැලූ බවත් නිවස තුළ වයස අවුරුදු 18 ක පමණ තරුණියක් ද සිටි බව පවසා තිබිණි. එමෙන්ම නිවසේ පිටුපසින් ඒ තුළට ඇතුළු වූ තිදෙනාගෙන් එක් අයකු "උඹට අපි කිව්වා උඹ ඒවා ගණන් ගත්තෙ නෑ" යනුවෙන් කියූ දේ තමාට ඇසුණු බවත් එවිට නිවස ඇතුළත සිටි අය එම ලිපිය ලැබූ පසු තමා සේවයට නොගොස් නිවාඩු පිට සිටිනවා යැයි පිළිතුරු දුන් බවත්, තමන්ට එයද ඇසුණු බව ද විත්තිකරුවා ගේ ප්‍රකාශයේ සටහන් වේ. නිවස තුළ කාන්තාවක හා කුඩා දරුවකු සිටි බවත් ඉන්පසුව ප්‍රේමකීර්ති සමඟ පිරිස කටුවාන මාගම්මන හන්දිය අසලට පැමිණි බව ප්‍රකාශිතය.

හන්දියට පැමිණි පසු කතාබහ කරමින් සිටින අතරතුර එක්වරම ප්‍රේමකීර්තිගේ හිසට වෙඩිල්ලක් තැබූ බවත් ඔහු එකිනෙහිම බිම ඇද වැටුණු බවත්, මිලින්දගේ අනින් වික්‍රම නමැත්තාද වෙඩි තැබූ බවත් තුවක්කුවක් අතැතිව සිටි තමා නොහඳුනන පුද්ගලයාද බිම වැටී සිටි ප්‍රේමකීර්තිට වෙඩි තැබූ බවත් ප්‍රකාශිතය. ඉන්පසු කිසිදු අයකු කතාවක් හෝ නොමැතිව මාගම්මන දෙසට පැමිණි බවත් මිලින්ද විසින් තමාට ලබා දුන් තුවක්කු දෙක සහ පතුරම් යළි පොල්වත්තේ තිබූ ස්ථානයේම සඟවා තැබූ බව ඔහුගේ ප්‍රකාශය තුළ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් 1994 මාර්තු මස 12 කොළඹ මහාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම විසින් සමන් ප්‍රියංකර ගමගේට දඬුවම් ලබාදී තිබේ. ඒ විත්තිකරුට එරෙහිව ඇති චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බැවිනි. ඒ අනුව සමන් ප්‍රියංකර ගමගේට මහාධිකරණය විසින් බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

Comments