දරු­වන් වෙනු­වෙන් එක් රටක එක් නීති­යක් | Page 2 | සිළුමිණ

දරු­වන් වෙනු­වෙන් එක් රටක එක් නීති­යක්

මේ වනවිට දරුවන්ට වන නොයෙක් හිංසන පිළිබඳ ව සමාජ කතිකා ගොඩනැඟී ඇත. මුලින්ම අපි මෙහිදී දරුවා වශයෙන් හඳුන්වනු ලබන්නේ කවරෙක්ද යන්න හඳුනා ගත යුතුයි. අන්තර්ජාතික වශයෙන් දරුවෙක් ලෙස හඳුන්වනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු පිරිසයි. නමුත් අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල දී වයස නියෝජනය වන්නේ විවිධාකාරයටයි. විවාහ විය යුතු වයස් සිමාව වයස 18 වැඩි විය යුතු අතර ඡන්ද අයිතිය හිමිවන්නේද වයස 18 පූර්ණය කළ පසුවය. එසේම, රැකියා කිරීමට හැකි වයස් සිමාව වයස අවුරුදු 16 වෙයි. කෙසේවෙතත්, වයස අවුරුදු 16-18 අතර ළමුන් සඳහා අනතුරුදායක රැකියා ක්‍රම තහනම්ය. අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වෙයි. එමෙන්ම ලිංගිකව යම් පුද්ගලයකු සමඟ හැසීරිම් සඳහා වයස අවුරුදු 16ක් සම්පූර්ණ කළ යුතුයි. අවුරුදු 16 වඩා අඩු දරුවකු සමඟ ලිංගික සේවනයෙහි යෙදේ නම් එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැදින්විය හැකියි. නමුත් විවාහ විය හැකි වයස සීමාව 18 වෙයි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඕනෑම වයස 16 අඩු දැරියක ගැහැනු දරුවකු ලිංගික සේවනයේ යෙදුණහොත් දැඩි නීති රීති ක්‍රියාත්මක වෙයි. දැරිවියගේ වයස් සීමා නොදැනීම දැරියගේ කැමැත්ත ඒ පුද්ගලයාට විත්ති වාචකයක් ලෙස ඉදිරිපත් කළ නොහැකි වෙයි. දරුවාගේ කැමැත්ත ලබාදීම කිසිඳු ආකාරයකට නිදහසට කරුණු කියා පෑමට නොහැකිය. වසර දහයක අනිවාර්ය සිරදඬුවමකට යටත් වෙයි. මේ ආකාරයට ම මේ නීති ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ ක්‍රියාකරනවාද යන්න ගැටලු මතු වෙයි.

දරුවන් රැකියා සඳහා බඳවා ගැනීමට හැකි වයස් සිමාව වයස අවුරුදු 16 වෙයි. කෙසේ වෙතත්, වයස අවුරුදු 16-18 අතර ළමුන් සඳහා අනතුරුදායක රැකියා ක්‍රම තහනම්ය. අපිට හැඟී යන කරුණක් නම් දරුවන් පිළිබඳව නීතිරීති ක්‍රියාත්මක වීමේදී යම් ව්‍යාකූලතා මතුවීමයි. එක් එක් ක්ෂේත්‍රවල එක් එක් වයස් සීමා තීරණය කිරීම යම් අර්බුදකාරී තත්ත්වයන් මතුවීමට ප්‍රබලතම හේතු සාධකයකි.

මෙතැනදි දරුවන් පිළිබඳව එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම මතුවෙයි. ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගෙ එකඟතාවකින් කේන්ද්‍රිය ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමේ ඉතා අහිතකරය විශේෂයෙන් දරුවන්ට වර්ධනයට අවශ්‍ය පරිසරය ඉතා වැදගත් වෙයි.දරුවන් ගොඩනැඟිම සමස්ත සමාජයේ වගකීමකි. අපේ සංස්කෘතිය තුළ එවැනි අංග විය. පැරුන්නෝ ගමක වගකීම රැක බලාගැනීම පිළිබඳ වගකීමක් ලෙස ගනු ලැබිණි. මෙවැනි ප්‍රශ්නවලදි බොහෝ විට ප්‍රතිපත්ති සම්පාදකයන් මේ ගැන තීරණ ගැනීමේදි විශේෂයෙන් දරුවන්ගේ මානසික වර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ඇති ළමා මනෝවිද්‍යාඥයන් සහ ළමා සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ දැනුමැති පිරිස් මෙන්ම අධ්‍යාපනඥයන් මේ සඳහා බඳවා ගත යුතුයි.

සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික වටපිටා තුළ දරුදැරියන් සම්බන්ධයෙන් නීති වෙනස් වෙයි. එක් එක් රටවල දරුවන්ගේ සමාජ ක්‍රමවල මුහුකුරා යාම් දැනුම් මට්ටම් වෙනස් වෙයි.

ඒ් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එතැනදි දරුවා යන සංකල්පය මත සියලුම සමාජ කරුණු සඳහා එක් වයස සීමාවක් පිළිබඳව යම් මතයක් ගොඩනැඟිය යුතුයි. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලු ආයතනය ඒ සඳහා සම්බන්ධීකරණයක් විය යුතුයි.

අපි එතැනදී ළමයා යනු කවරෙක්ද කියා නිශ්චිතව හඳුනාගනු ලැබිය යුතු සේම ළමා අයිතිවාසිකම් පිළිබඳව නිශ්චිතව එක් නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි. වෙන් වෙන් ආකාරයට බැලූවිට ළමයා පිළිබඳව අපිට පුර්ණ අදහසක් ගැනිමේ යම් දුෂ්කරතා මතු වෙයි. දරුවන් සමඟ කටයුතු කරන අය ඒ් සම්බන්ධ සියලු පරාසයන් පිළිබඳව ම අවබෝධය ලබා ගත යුතුයි. දරුවන් පිළිබඳව අදහස සමාජගතවී ඇත්තේ වෙන් වෙන්වූ කෑලි කැඩි ගිය ආකාරයකට බව ඉතා පැහැදිලියි. මේ තත්ත්වය වෙනස් කළයුතුයි. දරුවන්ගේ අයිතිවාසිකම් සහ දරුවා සම්බන්ධයෙන් වන නීති රීති පද්ධතියක අවශ්‍යතාව සුවිශේෂය. දරුවෝ බුද්ධිමත්ය.

අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත. දරුවා සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරින් ලෙස ජාත්‍යන්තර නීතිය බොහෝම ප්‍රබල ආකාරයට වෙයි. දරුවන්ගේ අයිතිවාසිකම් විශාල පරාසයක් මෙහි වෙයි. ඉන් පෙර දරුවාගෙ අයිතීන් පිළිබඳව සමාජ පිළිගැනීමක් නොතිබිණි.

මේ වනවිටත් ඇතැම් සමාජ කොටස්වල දරුවාගේ අයිතීන් පිළිගැනීමට යම් මැදිකමක් දක්වති. ජාත්‍යන්තර නීති සම්පාදනය කිරීමේදී ඒ සඳහා රටවල් ගණනාවක නීති රීති මතවාද මතුවිය. ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥාපත්තිය ඉදිරිපත් කිරීමේ දි රටවල් ගණනාවක මතවාද ඉදිරිපත් විය. සහභාගීත්වය, අධ්‍යාපනය, හැකියා වර්ධනය පිළිබඳව යම් සමාජවල උත්තේජනය ආහාර පෝෂණය අනුව වෙනස් විය හැකියි. ඒ ඒ සමාජවට පිටා ඒවා වෙනස් වෙයි. මේ සියල්ලම සැලකිල්ලට ගෙන ඒ අනුව දේශීය ප්‍රතිපත්තින් සකස් කළ යුතුයි.

දරුවා පිළිබඳව දේශිය එක් ප්‍රතිපත්තියක් වේ නම් ලිංගික හැසිරීම් අධ්‍යාපනය රැකියාවක යෙදිය යුතු වයස් සීමා කෙසේද යන්න තීරණය කළ හැකියි. දරුවා දෙස බැලිය යුතු වන්නේ පූර්ණ ආකාරයටය. 16 සීමාව ඉක්මවා දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුයි. ළමයාගේ හැකියාවන්ට එයින් ඉඩක් ලබාදිය යුතුයි. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයක් එක් නීතියක් ළමා කම්කරුවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය තවත් නීතියක් අධ්‍යාපන අමාත්‍යංශය එක් නීතියක් අධිකරණ අමාත්‍යංශය අනුව තවත් නීතියක් ළමා සෞඛ්‍ය පිළිබඳව වෙනත් පාර්ශ්ව නීතියක් පොලිසි මඟින් තවත් නීතියක් ක්‍රියාත්මක වෙයි. අධ්‍ය­ාපනය යන සාධකයේදීත් තවත් නීති ක්‍රියාත්මක වෙයි. මේ සියල්ලටම එක ප්‍රතිපත්තියක් වේ නම් ඒ මුලික ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කළ හැකිය. දරුවන් පිළිබඳව පූර්ණ විදිහට පිළිගැනීමක් විය යුතුයි. දරුවාගේ හැකියාවන් හඳුනා ගැනීම රැකවරණය, සේවය මොනවාද, රාජ්‍ය මට්ටමින් කළයුතු සේවා මොනවා ද මොන ආකාරයේ සේවා ද යොමු කළ යුත්තේ වැරදි දේ සඳහා යොමු වුවහොත් දරුවන්ගේ පුනරුත්තාපනය කළයුතු වන්නේ කෙසේද මේ සියල්ල එක් ආකාරයකට නියාමනය වන නීතිරීති පද්ධතියක් විය යුතුයි. මේ සියලු කරුණු සම්බන්ධයෙන් එක් තැනකට දත්ත සටහන් කර ඇතිනම් ප්‍රතිපත්ති සකස් කර ගැනීම ඉතාමත් පහසුයි. ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇත්නම් එක් එක් ආයතන අනුව වෙනස් නොකොට දරුවා සම්බන්ධයනේ නීති රීති සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවකින් එක් නීතියක් යටතේ ක්‍රියාත්මක කළ යුත්තේ ඒ හෙයිනි.

එක එක ප්‍රතිපත්ති එක එක දිශානතීන් වලට ගමන් නොකර දරුවෙක් ඇයි අපි මෙහෙකාර සේවයේ යොදවන්නේ කියන ගැටලුවයි මෙහිදි මතු කළයුතු වන්නේ. ඇයි අපි දරුවන් මෙහෙකාර සේවයේ යොදා ගන්නේ යන කරුණයි මෙහිදී වැදගත් වෙයි. දුප්පත්කම අවම කරගනිමින් අපි කළයුතු වන්නේ දරුවන් කෙසේද මෙවැනි සේවාවල නොයෙදවා රැක බලාගත යුත්තේ යන කරුණ වඩා වැදගත්‌ වෙයි.

මේ දිළිඳු දරුවන් රැක බලාගැනීම සඳහා නිසි අධීක්ෂණයකින් යුතු කේන්ද්‍රිය ආයතනයක් තිබිය යුතුයි. ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන වෙයි. එවැනි වැදගත් ක්ෂේත්‍රයක් එහි ව්‍යුහය නිර්මාණය වීම ප්‍රාමාණික නොවෙයි. දත්ත රැස් කිරීම දරුවාගේ අධ්‍යාපනය කටයුතු කිරීම දරුවාට වන හිංසනයන් සෞඛ්‍ය ප්‍රචණ්ඩත්වයන්ට අදාළ ආයතනයක නියාමනය විය යුතුයි. ඒ අදාළ ආයතයන්ට ව්‍යුහාත්මක ස්වාධිනත්වය තිබිය යුතුයි. ඒ නිසා මම හිතන්නේ ව්‍යුහාත්මක ස්වාධිනත්වය නැතිව කටයුතු කිරිම ඉතාමත් වැදගත් වෙයි.

සමාජයක් ලෙස අපි වැඩිහිටියන් සියලු දෙනා දරුවන්ට වගකිව යුතුයි. නමුත් මූලිකව වගකිව යුත්තේ රාජ්‍ය යැයි රාජ්‍ය දරුවන්ට පූර්ණ රැකවරණයට කටයුතු සැලසිය යුතුයි. එහිදි එවැනි පුර්ණ රැකවරණය ආරක්ෂාව ලබාදීමට නම් පැලැස්තර නීති අලවමින් සිටීමට වඩා නීති ක්‍රියාත්මක කිරිම දරුවන් සම්බන්ධ ආයතනයන් ස්වාධීන ආයතන බවට පත් කළයුතුයි.

දරුවන් පිළිබඳ ව ප්‍රතිපත්ති තිබිය යුතුයි. විශේෂයෙන් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. දරුවන් සම්බන්ධයෙන් කේන්ද්‍රිය ආයතන විසින් නීතියක් සම්පාදනය කිරීමේදි ඒ අනෙක් ආයතනවල මත විමසීම කළ යුතු වෙයි. ඒ නිර්දේශ මත විමසීමෙන් ඒ අයගේ අනුමැතිය ලැබුණ පසු නීතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. මෙය අනිවාර්යය කළ යුතුයි.

දරුවන් පිළිබඳව වන අපයෝජනය ආදිය පිළිබඳව 2006 වර්ෂයේදිත් නැවත වරක් දණ්ඩ නීති සංග්‍රහයේ නීති සංශෝධනයන් සිදු විය. නඩු විමර්ශනය කිරිමේදි සාක්ෂිකාරයෙක් ලෙස නඩු කටයුත්තකදි දරුවා යොදා ගන්නේ කෙසේද යන කාරණාව පිළිබඳව සැලකිලිමත්විය යුතුයි. පවුලේ අයගෙන් නම් හිංසන සිදුවන්නේ නම් දරුවා බලධාරීන්ගේ භාරයට ගෙන පරිවාස නිවාසයක රඳවයි. නමුත් අපයෝජනයට ලක් කරපු පුද්ගලයාට ඇප ලැබෙයි. මෙහිදි දරුවාට ඇතිවන මානසික කම්පනය කොතරම්ද යන කාරණාව අපි පැහැදිලිව හඳුනාගත යුතුයි. දරුවෙකුට සුදුසුම තැන තම නිවසයි. පරිවාස කරා යොමුවීමෙන් නිවසක දරුවෙකුට ලැබෙන මානසික සුවය නොලැබෙයි. දරුවට විරුද්ධව ළඟම ඥාතියෙක් නම් මේ දේ සිදු කළේ එතැනින් ඉවත් කළ යුත්තේ දරුවා නොවෙයි. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර ඒ අදාළ ඥාතියාව එතැනින් ඉවත් කළයුතුයි.

දරුවා රැක බලාගැනීමට නිවසක් තුළ සුදුසු පරිසරයක් නැතිනම් ළමා නිවාස වලට යොමු කරනවාට වඩා යම් කිසි රැකවරණය සඳහා කැපකරු මාපිය ක්‍රමවේදයකට යොමු කළ හැකියි. දරුකමට හදා වඩා නොගත්තත් දරුවා ඒවැනි අයගේ භාරකාරීත්වයෙන් යුතු යම් පාර්ශ්වයකට දරුවන්ගේ භාරකාරීත්වය ලබා දිය හැකියි. මෙවැනි ක්‍රමවේද ලෝකය පුරා පැතිර පවතියි.

විශේෂයෙන් ළමුන් ට යම් හිංසනයක් සිදුවන අවස්ථාවකදී ඒ සඳහා පුහුණු කරන ලද විශේෂ පොලිස් නිලධාරින් පොලිසිය තුළ සිටිය යුතුයි මානසිකව පීඩාවට පත් වී පොලිසිය තුළට යන ළමුන්ට නැවත මානසිකත්වය යළි ගොඩනගා ගැනීමේ යම් විශ්වාසයක් හෝ දරුවාට ඒතුළින් ලැබිය යුතුයි.

දරුවාට ඒ අවස්ථාවේදි ඇතිවී ඇති සහකම්පනයට යම් පිළියමක් ලැබෙන ආකාරයට කාන්තා පොලිස් නිලධාරිනියන් හෝ යම් පුහුණුවට හෝ ලක්කර දරුවන් පිළිබඳව මූලික පියවර ගැනීමට පෙර නීතියට පිටින් යම් උපදේශන සේවාවක් පොලිසිය තුළ හෝ ස්ථාපිත කළ යුතුයි. ළමා නිවාස පිළිබඳ ව යම් නියාමනයක් සැකසිය පරිවාස පද්ධතිය ගුණධාර්මික වර්ධනය අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ලබා දිය යුතුයි.

දරුවාගේ අවශ්‍යතා දරුවාගේ මානව හිමිකම් දරුවෙකුට හිංසනයකදි ක්‍රියාත්මක වන නීතිය ක්‍රියාත්මක විය යුත්තේ එකම ආයතනයක් මඟින් එක ම නීතියක් යටතේ බව අවධාරණය කළ යුත්තේ ඉහත කරුණු අනුවය. මේ සෑම සේවයක් ම අතර අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතුයි. දරුවා පිළිබඳ දැක්ම පූර්ණ ප්‍රතිපත්තියක් එකම නියාමනයක් යටතේ තිබිම අතිශයින්ම වැදගත් කාරණාවකි.

මේ අනුව කම්කරු දෙපාර්තමේන්තුව ළමා ආරක්ෂක අධිකාරිය පරිවාස දෙපාර්තමේන්තුව ළමා හා කාන්තා කාර්යාංශය අතර ලොකු පරතරයක් නොතිබිය යුතුයි. විශේෂයෙන් මෙවැනි දරුවන් පිළිබඳ ව සොයා බැලිමට යුතුයි වෙනත් රටවල මෙන් සමාජ සේවකයෝ එනම් SOCIAL WORKERS නොමැති වීම සමාජ සේවයේ යෙදෙන්නන් නොමැති වීම නිල තනතුරක් තිබිය යුතුයි. සමාජ සේවකයා කියන තනතුර අතිශයින්ම තිබිය යුතුයි. ලංකාවේ එවැනි තනතුරු නැහැ.

සමාජ සේවය ගැන හොඳ පුහුණුවක් ලද පිරිසක් මේ සඳහා පුහුණු කළ යුතුයි. බොහෝ රටවල ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් ලබා දෙනවා; ඒ සඳහා උපාධි පාඨමාලාද වෙයි. දරුවන්ගේ සමාජීය ජීවිතය පිළිබඳව සොයා බැලීමට මේ සමාජ සේවකයන් අවශ්‍යයි එමෙන්ම මේ සියලු ආයතනයන් හි දරුවන් වෙනුවෙන් යම් පුහුණුවක් ලද ඒ අදාළ අංශ සම්බන්ධයෙන් ප්‍රවීණයන් පත් කළ යුතුයි.

ඒ පිළිබඳව අවබෝධයෙන් ඒ අදාළ පාර්ශ්වයන්ට කටයුතු කිරීමට අන්තර් සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. නඩුකර පිළිබඳව විමර්ශනය කිරීමට සම්බන්ධයෙන් දරුවන් පිළිබඳව නඩු විමර්ශනය කරන වෙනම උසාවි සහ පුහුණු පාඨමාලා වැනි කටයුතු සිදුවිය යුතුයි.

දරුවෝ අපේ සම්පතයි. අපි ඒ අය රැක බලා ගත යුතුයි. යම් සිදුවීමක් ඇති වූ අවස්ථාවලදී අපි ලොකු කතිකාවක් මේ සඳහා ගොඩ නැඟුවත් උණුසුම ගිය පසු නැවත නිහඬ නොවී මේ පිළිබඳව යම් දිර්ඝකාලීන එක් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි.

Comments