එන්නත් දෙකම ලබා ගත්තත් කොවිඩ් හැදෙන්නේ ඇයි? | සිළුමිණ

එන්නත් දෙකම ලබා ගත්තත් කොවිඩ් හැදෙන්නේ ඇයි?

මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතර කුමන හෝ කොවිඩ් මර්දන එන්නතකින් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් කිහිපදෙනකුම විය. ඒ පිළිබඳ නිසි දැනුම්වත් භාවයක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ වසංගතයෙන් ආරක්ෂා වීමට එන්නත්කරණය අත්‍යවශ්‍ය වන නිසාය.

 

එන්නත් දෙකම ලබා ගත්තත් කොවිඩ් වැලඳීමට හේතුව ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය නියම ප්‍රමාණයට ගොඩනැඟී නොමැති වීම හෝ එම ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් කොවිඩ් ප්‍රභේදයක් ශරීරගත වීමය. ඒ හේතු නිසාම වරක් කොවිඩ් රෝගය ආසාදිත වූ අයකුට වුවත් නැවත කොවිඩ් ආසාදනය විය හැකිය. කෙසේවෙතත් තම සිරුර තුළ අවශ්‍ය පමණට කොවිඩ් ප්‍රතිදේහ තිබෙනවාදැයි මැන බලන Covid IgG Antibody test නමැති රුධිර පරීක්ෂණය තෝරාගත් අයට රජයේ රෝහල්වලදීත් පෞද්ගලික රෝහලකදීත් සිදුකර ගත හැකිය. මෙය කොවිඩ් ආසාදිත බව පරීක්ෂා කිරීමට සිදුකරන Covid antigen පරීක්ෂණය නොවන බවද කිව යුතුය.

ඕනෑම කෙනෙකුට Covid IgG Antibody test නමැති රුධිර පරීක්ෂණය සිදුකර ගත හැකි අතර විශේෂයෙන් කලින් කොවිඩ් රෝගය ආසාදිත වූවන්, එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන්, පළමු එන්නත් මාත්‍රව ලබාගෙන දෙවැනි එන්නත් මාත්‍රාව ප්‍රමාද වීම ගැන බියෙන් සැකෙන් සිටින පුද්ගලයන්ට පමණක් නොව සමාජයේ ගැවසීමේදී තමන්ගේ සිරුරට කොවිඩ් වයිරසය ඇතුළු වී සුව වුණාදැයි දැන ගැනීමට කැමති අයකුට පවා විශාල මුදලක් වැය නොකර පහසුවෙන් සිදුකර ගත හැකිය.

අවශ්‍ය තරම් ප්‍රතිදේහ ශරීරයේ තිබෙනවා නම් ආරක්ෂාව අතින් බොහෝ සුරක්ෂිතය. ඒ නිසා එන්නත් ගැන විශ්වාසය තබන්න. එසේ වුවත් ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් නව ප්‍රභේදයක් ශරීරගත වුවහොත් එයින් ප්‍රබල ආරක්ෂාවක් නොලැබේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා මාසයක් පමණ ගතවන විට බහුතරයකට පූර්ණ ආරක්ෂාවක් ලැබෙන අතර තම තමන්ගේ වයස, වෙනත් රෝගී තත්ත්වයන්, දුබලතා අනුව ශරීරයේ සෑදෙන ප්‍රතිශක්ති ප්‍රමාණයද වෙනස්වේ. එක් එක් එන්නත්වල ඵලදායිතාව සහ සාර්ථක භාවය වෙනස් වීමද එයට යම් ආකාරයක බලපෑමක් සිදු කරයි. එමෙන්ම එන්නත් නිසි ප්‍රමිතියකින් ගබඩා නොකර ප්‍රවාහනය කිරීම සහ නිසි ප්‍රමිතියකින් එන්නත ලබානොදීමෙන්ද ඇතැම් විට එන්නත්වල ක්‍රියාකාරිත්වය අඩපණ වේ.

ඒ සියල්ලටම වඩා කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීතිරීති පිළිනොපැදීම කොවිඩ් ආසාදනය වීමට ප්‍රධාන හේතුව බව අප අමතක නොකළ යුතුය. ඔබට මීට පෙර කොවිඩ් වැලඳී තිබුණත් එන්නතකරණය සම්පූර්ණ කර තිබුණත් සෞඛ්‍ය නීති රීති පිළිපැදීම අත්‍යවශ්‍ය වන්නේ තමන්ගේම වැඩි ආරක්ෂාව සඳහාය.

එසේ නොමැති වුවහොත් ඔබට කලින් වැලඳුණු කොවිඩ් ප්‍රභේදයට වඩා වෙනස්, නව කොවිඩ් ප්‍රභේදයක් වැලඳීමට ඉඩ ඇත. එමෙන්ම ඔබ එන්නත් ලබා සිටියත් ඔබේ නිවෙසේ සිටින එන්නත් ලබා නැති අයකුට ඔබෙන් කොවිඩ් වයිසරය ආසාදනය විය හැකිය.

කෙසේ වුවත් සතුටුදායක පුවත වන්නේ පූර්ණ එන්නත්කරණය සම්පූර්ණ කර සිටින අයට මෙන්ම කලින් කොවිඩ් වැලඳී නැවත රෝගය වැලඳෙන අයටත් ඒ අයගේ රෝගී තත්ත්වය භයානක වීම හා අසාධ්‍ය වීම අඩු වන අතර දැඩි සත්තාර ඒකකවලට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව අඩු බවද සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කිරීමයි. එන්නත්කරණය සම්පූර්ණ කළත් සෞඛ්‍ය නීතිරීති නිසි පරිදි අඛණ්ඩව පිළිපැදීම කොවිඩ් වසංගතය පැරදවීම සඳහා අත්‍යවශ්‍ය බව යළි යළිත් අවධාරණය කළ යුත්තේ ඒ නිසාය.

විශේ­ෂඥ වෛද්‍ය  ආර්.එන්.ජී. රාජ­පක්ෂ

 

 

Comments