සකුණ පියා­පත් හැදුවේ මිනි­ස්සුන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කියන්න | Page 2 | සිළුමිණ

සකුණ පියා­පත් හැදුවේ මිනි­ස්සුන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කියන්න

 

 

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරණයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. ‘අරගලය‘, ‘තහනම් ගහ‘, ‘ඉන්ද්‍රඛීලය‘ ඔහු අතින් අධ්‍යක්ෂණය වූ සිනමා කෘතියි. ‘මඟුල් සක්වල‘, ‘විනිවිඳිමි අඳුර,‘ ‘ගල් පිළිමය සහ බොල් පිළිමය‘, ‘මේ වසන්ත කාලයයි‘ ආදී ටෙලි නාට්‍ය හතළිහක් පමණ මේ වන විට ඔහු අධ්‍යක්ෂණය කොට අවසන්. සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඇගයුම් ලැබූ ඔහු නිර්මාණය කළ ‘සකුණ පියාපත්‘ ටෙලි නාට්‍ය සතියේ දිනවල බදාදා දින හැර දිනපතා රාත්‍රී 7:30 ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශන වනවා. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අපූරු නිර්මාණකරුවා අද අපට සම්මුඛ වෙනවා.

 

‘සකුණ පියාපත්‘ටෙලි නිර්මාණය ගොනුවන අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී විඳින්න ඉඩ තබමින් අපේ කතාබහ ආරම්භ කළා.

‘සකුණ පියාපත්‘ කතාවේ නිර්මාණ නිමිත්ත කෙටියෙන් කිව්වොත් ගමේ හැදී වැඩුණු මුතු මැණිකා සිය විවාහය නිසා ගම අතහැර ගොස් දරු දෙදෙනෙක් සමඟ අග නගරයේ කුලී නිවෙසක ජීවත් වනවා. සිය ස්වාමියා හදිසි හෘදයාබාධයකින් මිය යාමත් සමඟ අසරණ වන ඇය යොවුන් වියට එළැඹි දරුවන් දෙදෙනා සමඟ ගමට එන්න තීරණය කරනවා.“

“ඇය තම දරු දෙදෙනාගේ ආරක්ෂාව සඳහා තම මව ජීවත්වන මහගෙදරට පැමිණිමත් සමඟ ගම තුළ ගැටලු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනවා. බොහෝවිට අපි දකින්නේ ගැමි පරිසරය තුළ සෞන්දර්යාත්මක වටපිටාවක සරල චිත්‍රය පමණයි. නමුත් ඒ තුළ මතුවන යථාර්ථය මේ ටෙලි නිර්මාණයට ප්‍රධාන වශයෙන්ම තේමාව බවට පත්වනවා. වර්තමානයේ මනුෂ්‍ය හැඟීම් අතින් මොන තරම් පටු තැනකද අපේ සමාජය ඉන්නේ කියන යථාව තමයි මේ නිර්මාණයෙන් සංවාදයට ලක් කරන්නේ.

අධ්‍යක්ෂවරයා සහ තිර රචකයාගේ සුසංයෝගය නිර්මාණයකට අතිශයින්ම වැදගත්. එහිදී තිර රචනයෙන් ඔහුට ලැබුණු සහාය පිළිබඳත් අප කතාබහ කළා.

"අරුණ ප්‍රේමරත්න තිර රචනය ලියන්නේ. ඔහු සමඟ වැඩකරන්න ලැබීම අතිශයින් තෘප්තිමත්. මොකද අපි දෙදෙනා එක්ව නිර්මාණ දහයක් පමණ සාර්ථකව කළ අද්දැකීම ති‍ෙයනවා. මෑතකදී විකාශනය වුණු ‘මේ වසන්ත කාලයයි‘ ටෙලි නාට්‍යයත් ඔහු මා වෙනුවෙන් කළ තිර රචනයක්.

විශේෂයෙන්ම ‘සකුණ පියාපත්‘ටෙලිනාට්‍ය තුළ අපි දෙදෙනාටම අවශ්‍ය වුණේ ප්‍රේම කතා රැල්ලෙන් එහාට ගිය හොඳ නිර්මාණයක් කරන්න. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි රස්සාවක් නොකර හරි කාලා බීලා ගමට වෙලා ජීවත් වෙන එක පහසුයි යන කාරණය. එහෙම තත්ත්වයක් අද දකින්න නැහැ. ගම සහ නගරය කියලා මිනිසුන්ගේ ජීවන ගැටලු වෙනස්ව දකින්න බැහැ .

“යාපනයට කොළඹ ඉඳලා පැය කිහිපයකින් අද යන්න පුළුවන්. ඒ වගේ පුංචි රටක අපි ජීවත් වන්නේ. මේ යුගයේ අත්දැකීම නිර්මාණය තුළට ගේන්න අපි උත්සාහ කරලා තියෙනවා."

නිර්මාණය ගොඩනඟන්න යොදා ගත්තු පසුතලය සහ පරිසරය විශේෂ වෙනවා. ඒ ගැන ක්‍රිස්ටි අපට කියන්නෙ මේ වගේ කතාවක්.

"මගේ ගම නාරම්වල. ඒ නිසාම ගල්ගමුව ප්‍රදේශය මං හොඳින් දැනගෙන හිටියා. මේ නිර්මාණය ප්‍රධාන දර්ශන තල අපි ගල්ගමුව ඇහැටුවැව සහ අවට ගම් කිහිපයක් යොදා ගත්තා. මේ ප්‍රදේශය වන අලි තර්ජන තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා හවස් වෙනකොට රූගත කිරීම් ඉවර කරලා පරෙස්සමට ආපහු පිටත් වෙන්න සිදු වුණා.

“ඒ වගේම ප්‍රදේශයේ සුන්දර වැව් ගණනාවක්ම තිබෙනවා. පෙර නිෂ්පාදන අවධියේදී මේ ප්‍රදේශයට අපි ආවා දර්ශන තල බලන්න. නිර්මාණයට අවශ්‍ය කරන වටපිටාව චරිත සහ සිද්ධීන් ගොඩනැඟෙන ස්ථාන සහ අවස්ථා කැමරා අධ්‍යක්ෂවරයාත් කලා අධ්‍යක්ෂවරයාත් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සමඟ එහිදී සාකච්ඡා කළා. ඒ නිසා රූගත කිරීම් වලදී අපිට ගැටලු මතුවුණේ නැහැ.“

“මේ නිර්මාණයෙන් ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ අලුත් පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් රාශියක් එකතු වෙනවා. ඒ වගේම කාර්මික ශිල්පීන් සම්බන්ධව කතා කළොත් ඔවුන් මගේ නිර්මාණ සමඟ මීට පෙර කටයුතු කළ පිරිසක් එනිසාම එකිනෙකා අතර අපිට හොඳ අවබෝධයක් තිබුණා."

‘සකුණ පියාපත්‘ ටෙලි නිර්මාණය හා ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඔහු අපිත් සමඟ කතා කරන්න අමතක කළේ නැහැ.

"ටෙලි නාට්‍යය විකාශනය ආරම්භ වෙලා සති දෙකකට ආසන්නයි. ප්‍රතිචාර ඉතාමත් හොඳයි. රූපවාහිනියෙන් මෙන්ම YouTube හරහා විශාල ප්‍රමාණයක් ටෙලිනාට්‍ය නරඹලා තිබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ප්‍රේක්ෂකයන්ට විඳින්න පුළුවන් හොඳ නිර්මාණයක් ගෙන එන එක තමයි මගේ මූලික අභිප්‍රාය.“

නිර්මාණයක් ප්‍රේක්ෂකයන් දකින්න කලින් අපි දකිනවා. ඒ අත්දැකීම අපි ප්‍රේක්ෂකයන් අතරට අරගෙන එන්නේ තනිව විඳින්න බැරි නිර්මාණයක් පොදුවේ ප්‍රේක්ෂකයන්ට දෙන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය තහවුරු කරගැනීම තමයි නිර්මාණකරුවෙක් විදියට මගේ බලාපොරොත්තුව.“

“මම සිනමා ක්ෂේත්‍රයට එන්නේ වසන්ත ඔබේසේකරයන් මෙහෙයවූ තිරනාටක පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීමෙන්. එම පාඨමාලාවේ තිර රචනා පරික්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නට සමත් වෙනවා.“

“ඒ නිසාම වසන්ත ඔබේසේකරයන්ගේ 'දඩයම' චිත්‍රපටයේ සම තිර රචකයා බවට පත්වන්නට මට අවස්ථාව ලැබෙනවා. ඔහු සමඟ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ආරම්භ කරපු ගමන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන රාශියක් සමඟ කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ යුගයේ විශිෂ්ට නිර්මාණ බිහිවුණා. ඒ අත්දැකීම් හරහා උත්සාහ කළේ හොඳ නිර්මාණයක් බිහි කරන්න. අනාගතයෙත් ඒ සඳහා කැප වෙන්න බලාපොරොත්තු වෙනවා.“

Comments