වේග­යෙන් දුවන ගම­නට වඩා හෙමින් යන ගමන හොඳයි | සිළුමිණ

වේග­යෙන් දුවන ගම­නට වඩා හෙමින් යන ගමන හොඳයි

 

 

ඔහු නමින් දිල්මින් පෙරේරා. එහෙම නැතිනම් අපේ රටේ ප්‍රවිණ කලාකරුවන් දෙපළක්වන ප්‍රියංකර පෙරේරා සහ දිල්හානි අශෝකමාලාගේ එකම ආදරණීය පුතණුවන් ලෙසත් ඔහුව හඳුනා ගන්න පුළුවන්. මවුපිය ආභාසය නිසාම කලාව උරුම කරගත් දිල්මින් වඩා ළැදි වුණේ සංගීතයට. නමුත් පසුගිය කාලෙදී දිල්මින් ඔහුගේ සැඟව තිබූ රංගන කුසලතාවක්ද ඉස්මතු කරගත්තා. කෙසේ වෙතත් බොහොම සෙමෙන් පරෙස්සමට කලාව තුළ සාර්ථක ගමනක් යන දිල්මින් පසුගිය දවසක් රසඳුනට ගොඩ වුණා.

 

කොහොමද දිල්මින්?

වරදක් නෑ. සංගීත කටයුතු කරගෙන හොඳින් සතුටෙන් ජීවත් වෙනවා.

 

ඔබේ සහකාරිය සමඟ ගත් අපූරු ඡායාරූප පෙළක් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරා

සංසරණය වුණා නේද?

අපේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් ගත් ඡායාරූප පෙළක් තමයි ඒ සමාජ මාධ්‍යවල එහා මෙහා ගියේ.

 

සංගීත කටයුතු පැත්තෙන් මේ දවස්වල අලුතින් මොනවද සිද්ධ වෙන්නේ ?

මගේ ගීත ඇල්බමය ලබන අවුරුද්දෙවත් එළිදක්වන්නයි සැලසුම් කරන්නේ. එහි ගීත 7ක් විතර මේ වෙනකොට නිර්මාණය වෙමින් තිබෙනවා.

 

දිල්මින් ගී ගයනවා වගේම අනෙක් ශිල්පීන්ටත් ගීත නිර්මාණය කරනවා නේද?

සුපුන් පෙරේරාට ගීතයක් හැදුවා ‘ඔබමයි ආලෝකේ‘කියලා. ඒ ගීතය රිලීස් වුණා. මගේ සංගීත කණ්ඩායමටත් ගීත දෙකක් හදලා තිබෙනවා. ‘වායෝ‘ වෙනුවෙනුත් ගීතයක් හැදුවා. මේ දවස්වලත් මගේ බෑන්ඩ් එකේ ධනුෂ්කට සහ නදීමාල්ට ගීත දෙකක් හදමින් ඉන්නේ.

 

දිල්මින් කලා ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ කාවද?

කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඉදන්ම සනුක සහ නදීමාල් මගේ යාළුවෝ. සනුක මගේ සංගීත කටයුතුවලටත් ගොඩක් උදවු කරනවා.

 

ඔබේ සංගීත කණ්ඩායමට මේ දවස්වල විවේකයක් ලැබිලා ඇති ?

කොරෝනා තත්ත්වය එක්ක අපිට ලැබිලා තිබුණු වෙඩින් කිහිපයක්ම කල් ගියා. ආයෙත් සුපුරුදු විදිහට වැඩ කරන්න බලාගෙන ඉන්නේ. බෑන්ඩ් එකේ මියුසික් වීඩියෝ එකක් සහ තවත් වැඩ කිහිපයක්ම ඉදිරියෙදි කරන්න සැලසුම් කරගෙන ඉන්නවා.

 

දිල්මින් ඇයි නිර්මාණයක් එළිදක්වන්න

ඔනෙතරම් කල් ගන්නේ?

මම හදිසියේ වැඩ කරගෙන යන කෙනෙක් නෙමෙයි. කරන නිර්මාණය මම විඳිමින් කරන්නයි උත්සාහ කරන්නේ. වේගයෙන් දුවන ගමනට වඩා හදාරමින් හෙමින් යන ගමන හොඳයි. මාස කිහිපයකට කලින් මම ‘ආයාචනා‘ කියලා ගීතයක් රිලීස් කළා. හසිත අබේවික්‍රම තමයි ඒ ගීතය ලිව්වේ. ඉදිරියෙදී ඒ ගීතයට විඩියෝවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අධ්‍යාපන කටයුතුත් නතර කරලා සංගීත කටයුතුවලට යොමු වෙන්න විශේෂ හේතුවක් තිබුණද ?

සංගීතය තුළයි මගේ සතුට තියෙන්නේ.. ඒ නිසයි අවුරුදු හතරකට කලින් විදේශ ගතව හදාරපු උපාධියත් අතරමඟ නතර කරලා මම ආදරය කරන මට වඩාත් දැනෙන දේ කරන්න යොමු වුණේ.

දිල්මින්ගේ ගීත වෙනස් කියලයි ඇතැමුන් කියන්නේ...මොනවද ඒ වෙනස ?

කලාකරුවෙක් විදිහට මගේම අනන්‍යතාවක් හදා ගන්නයි මට අවශ්‍යය. මම කමර්ෂල් ගීත නිර්මාණය කරන්නේ නැහැ. මගේ නිර්මාණ වෙනස් වෙන්න පුළුවන්. හැමෝම ඒ ගීතවලට ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගීත අහන බොහෝ දෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට දැනෙන දෙයක් කරලා ඒකට ප්‍රතිචාර ලැබෙද්දී සතුටයි. ඒ අතර මම සීයගේ ගීතත් ගායනා කරනවා. සීයගේ ගීත අලුත් කරන්න අදහසකුත් තියෙනවා.

 

දිල්මින් තේාරගත්තු ගමන ගැන

ඔබේ මවුපියන් සතුටුයිද ?

අම්මට නම් ඕනෑ වුණේ මම උපාධිය කරලා ඒ අංශයෙන් ඉදිරියට යනවා දකින්න. නමුත් සංගීතය තෝර ගත්තට පස්සේ අම්මා මට ලොකු සහායක් දුන්නා. මගේ ස්ටුඩියෝ එක හදන්නත් අම්මා සහ තාත්තා ගෙන්ට ලොකු සහායක් ලැබුණා. මගේ ආදරණීය බිරිය අංජුලා තමයි මේ වෙලාවේ මගේ නම්බර් වන් සපෝට් සිස්ටම් එක. ඇයත් කලාවට සම්බන්ධ නිසා මගේ ගමන ගැන හොඳ අවබෝධයක් ඇයට තිබෙනවා. එහෙම කෙනෙක් එක්ක ජීවත් වීම පහසුයි.

 

හා පුරා කියා රඟපෑ නිරිමාණයට මොකද වුණේ?

වෛද්‍ය නියෝමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘දඩඉම‘ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එහි සංගීතඥයකුගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ. ස්වර්ණා මල්ලවාරච්චි , ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා සහ අඛිල ධනුද්දර යන ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිස එක්ක තමයි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න වුණේ. ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් විතර වුණාට තවම එය තිරගත වුණේ නම් නැහැ.

 

තිරගත වුණු දවසක රංගනයට දිගටම ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවද ?

මම රංගනය ඉගෙන ගෙන නැහැ. හොඳ නිර්මාණයක මට කරන්න පුළුවන් දෙයක් තිබුණොත් ඉගෙන ගෙන එයට සම්බන්ධ වෙන්න කැමැතියි.

 

Comments