වැඩි­යෙන් සැල­කිය යුතු නිය­පොතු | Page 2 | සිළුමිණ

වැඩි­යෙන් සැල­කිය යුතු නිය­පොතු

 

 

බොහෝ දෙනකු තම මුහුණ, හිසකෙස් සහ ශරීරය පිළිබඳ සැලකිලිමත් වුවද තම නියපොතු වෙනුවෙන් යොදවන්නේ ඉතා අඩු අවධානයකි. නියපොතු පිළිබඳ නොසැලකිලිමත් වීමෙන් දීලීර ආසාදනය ඇති වී නියපොතු දුර්වර්ණ වීම, කහපැහැ වීම බහුලවම දක්නට ලැබෙනවා. ඇතැමුන් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැදින්වුවත් සැබැවින්ම එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් බව දන්නේ ටික දෙනයි. නියපොතු ආශ්‍රිතව ඇතිවන මෙවැනි ගැටලුවලට නි‍ෙවසේදීම සිදුකර ගත හැකි ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳයි රංගන ශිල්පිනියක සහ ආයූර්වේද වෛද්‍යවරියක වන අයෝමි ශානිකා මෙවර ඔබව දැනුම්වත් කරන්නේ.

 

"කාන්තාවක වුණත් පිරිමි පුද්ගලයකු වුණත් නියපොතු ඉතාම ලස්සනට පිරිසුදුව තබා ගැනීම ඉතාම වැදගත්. නියපොතු පිළිබඳ සැලැකිල්ලක් නොදක්වන්නේ නම් නියපොතු ආශ්‍රිතව විවිධ ලෙඩ රෝග ඇතිවෙනවා. ශරීර අභ්‍යන්තරයේ රෝග හඳුනා ගැනීමේ සංකේතයක් විදියටත් නියපොතු හඳුන්වන්න පුළුවන්.

තරමක් දිගට නියපොතු වවන්න කාන්තාවන් කැමති වුණත් නියපොතු ශක්තිමත් නම් පමණයි එසේ දිගට වවන්න හැකි වෙන්නේ. ඔබේ නියපොතු ඉතා තුනී නම් ඔබට වැඩි කාලයක් නියපොතු වවන්න බැහැ එහෙම නියපොතු කැඩි ගිය පසු අවලස්සන ස්වාභාවයක් ගන්නවා. ඒ නිසා නියපොතු වවන්න අකමැති අය සතියකට වරක් හෝ නියපොතු කපන්න. දරුවන්ගේ අතේ ඇඟිලිවල නියපොතු රවුම් ආකාරයටත් පාදයේ ඇඟිලිවල නියපොතු තිරස් ආකාරයටත් කපන්න. නියපොතු කපන විට නියමල පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍යයි. සමහර අය නියපොතු මතුපිට තිබෙන දිළිසෙන ස්භාවය නියපොතු කපන විට නියපොතු කපන කටර් එක ආධාරයෙන් පිරිමදිනවා. එයින් වෙන්නෙ නියපොතු මතුපිට දිළිසෙන ස්වාභාවය ක්‍රමයෙන් නැතිවී යාමයි.

වර්තම­ානයේ කාන්තාවන් විලාසිතාවක් ලෙස නිතර කෘත්‍රිම නියපොතු භාවිත කරනවා දකින්නට පුළුවන්. කෘත්‍රිම නියපොතු භාවිතයෙදි එයට යොදා ගන්නා මැලියම් වර්ගය ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසාම ඒ මැලියම් ඉවත් කිරීමට විවිධ රසායනික ද්‍රව්‍යය අනිවාර්යයෙන් භාවිත කළ යුතුයි. ආලේපන ඉවත් කරන රසයනික ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී බොහො අය ගන්නෙ මිලෙන් අඩු භාණ්ඩ. නමුත් ඔබ භාවිත කළ යුත්තේ ඇසිටෝන් ෆ්‍රී අඩංගු ආලේපනයක්. මිල අඩුවට මිලදී ගන්නා ආලේපන ඉවත් කරන රසයනික ද්‍රව්‍ය නිසා ශරීරයේ පිළිකා තත්ත්ව පවා ඇති කරන්නට පුළුවන්.

නිය ආලේපන නිතර ගැල්වීමත් එතරම් සුදුසු නැහැ. නිතර නිය ආලේපන ගැල්වීමෙන් නියපොතු තුළ වායු හුවමාරුව අවහිර වෙනවා. ටික කාලයක් යද්දී නියපොතු දුර්වර්ණ වෙන්නේ එනිසයි. නියපොතු වල නීරෝගිබව ගැන සිතා අත්‍යවශ්‍ය අවස්ථාවකදි පමණක් නිය ආලේපන ගල්වන්න.

නියපොතුවල දිස් වන විවිධ වර්ණවලින් ශරීරය තුළ තිබෙන විවිධ රෝගි තත්ත්ව කියාපාන බව අප ඉහත සඳහන් කළා. නියපොතුවල සුදු පාට ලප වැනි තත්ත්ව ඇතිවන්නෙ විටමින් ඌනතා නිසයි. එයින් ඔබ අවබෝධ කර ගත යුත්තේ ඔබේ ශරීරයට නිසි පරිදි පෝෂණය නොලැබෙන බවයි. සමහර පුද්ගලයන්ගෙ නියපොතුවල සිරස් අතට දුඹුරු පැහැති ඉරි දැක ගන්න පුළුවන්. එයින් සමහරවිට මෙලනෝම කියන පිළිකා තත්ත්වය පවා ඇති වෙන්න පුළුවන්. එනිසා හොඳින් ජලය පානය කරන්න. පෝෂණය සඳහා පිරිසිදු එළවළු පලතුරු ආහාරයට ගන්න. කැල්සියම් අඩු නිසා නියපොතු කැඩෙනවා යැයි බොහො දෙනා සිතුවත් නියපොතු වර්ධනයට ප්‍රෝටීන අත්‍යවශ්‍යයයි.

 

නියපොතු දුර්වර්ණ වීම

වළකා ගත හැකි

ආයූර්වේද ප්‍රතිකර්ම

 

නියපොතු අවපැහැ වී අත්නම් දෙහි බෑයක් ගෙන හොඳන් නියපොතු මත පිරිමදින්න. දෙහි යනු හොඳවිසබීජනාශකයකි.

වෙනිවැල් සහ කහ තැම්බූ මද උණුසුම් ජලයෙහි ඔබේ දෙපා සහ දෑත් මද වේලාවක දමාගෙන සිටින්න. එයින් අනවශ්‍ය ලෙස ඇතිවන දීලීර තත්ත්ව වළක්වයි.

මැදි වයසෙහි පසුවන කාන්තාවන්ගේ සහ පුරුෂයින්ගේ නියපොත්ත සහ සම මතුපිට අතර නියපොත්ත තරමක් ඉස්සී අතරමැද හිඩසැක් වගේ දැක ගන්න පුළුවන්. එවිට කුණු ආදිය තැන්පත් විය හැකියි. කලක් ගත වෙද්දී දුඟද හමන්නත් පුළුවන්. මෙයට ප්‍රතිකර්මයක් ලෙස සුදුලූනු අඹරා එය මඳ උණුසුම් ජලයට දමා නියපොතු එහි දමාගෙන සිටින්න. නැතිනම් අඹරාගත් සුදුළුෑණු නියපොත්ත මත තබා ගැටගසන්න. පැය දෙකක් පමණ ගිය පසු එය ගලවා බැලූ විට ඔබට වෙනස වටහා ගන්න පුළුවන්.

නිවෙසින් බැහැරව ප්‍රසිද්ධ ස්ථානයක වැසිකිළියක් භාවිත කරනවා නම් අනිවාර්යයෙන් සෙරෙප්පු පලඳින්න. සපත්තු මේස පැළඳගෙන රැකියාවල නිරතවන පිරිස් නිතරම නියපොතු පිළිබඳ අවධානයක් දෙන්න.

Comments