ලෝකයේ හොඳ පැත්ත විත­රක් ගන්න.. එත­කොට ජීවිතේ ලස්ස­නයි | Page 2 | සිළුමිණ

ලෝකයේ හොඳ පැත්ත විත­රක් ගන්න.. එත­කොට ජීවිතේ ලස්ස­නයි

 SLASSCOM ආය­තන ඉති­හා­සයේ පළමු සභා­ප­ති­නිය  (ඩය­ලොග් ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක හා  සමූහ ප්‍රධාන පාරි­භෝ­ගික නිල­ධා­රි­නිය වන  සැන්ඩ්‍රා ද සොයිසා

ලෝකය හැල්මේ ඉදිරියට යමිනි. පෙරළිකාර තාක්ෂණික දැනුම් පද්ධතිය හා බද්ධ වූ විචක්ෂණ චින්තන රටා ඔස්සේ ලෝකය යන ඒ ගමන අපට මගහැරෙමින් ඇත. දැන් අපට නිශ්චිත ඉදිරිගාමී පරිවර්තනයක් අවශ්‍යය. ඒ තියුණු පරිවර්තනයට රටේ අනාගතය සූදානම් කරමින් සිටින පෞද්ගලික ව්‍යවසායකයෝ වෙති. අප කවුරුත් දන්නා ඩයලොග් ආයතනය ඇතුළු තවත් ප්‍රධාන ආයතන 15 අනුබද්ධව SLASSCOM නමින් විශේෂ ආයතනික ප්‍රවේශයක් නිර්මාණය වන්නේ ලෝකය සඳහා වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණ සහිත, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කලමනාකරණ කර්මාන්තයේ දේශීය ලකුණක් ලෙසය.

 

වෙළෙඳ හා ව්‍යාපාර සඳහා පහසුකම් සැපයීම, නව දැනුම හා සේවා නියුක්තිය ව්‍යාප්ත කිරීම, පර්යේෂණ හා නවෝත්පාදනයන් දිරිගැන්වීම, ඉදිරි චින්තනයක් හා ප්‍රගතිශීලී ජාතික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට සහාය වීම මගින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තයේ වර්ධනය උත්ප්‍රේරණය කිරීම SLASSCOM හී අරමුණ බව කියැවෙන්නේය.

ඒ SLASSCOM ආයතනයේ නව සභාපතිනිය ලෙස කාන්තාවක් පත්වී සිටින්නීය. අපේ ව්‍යාපාර ඉතිහාසයේ මෙවැනි තනතුරක් සඳහා පත්වන පළමු කාන්තාව ඇය ය. ඇය සැන්ඩ්‍රා ද සොයිසා ය.

ඇය ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියකි. පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය පිළිබඳ ජාත්‍යාන්තර සම්මානයෙන් පිදුම් ලද වෘත්තිකයෙකි. සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී තනතුරු නාමය ලංකාවේ පමණක් නොව, දකුණු ආසියානු කලාපයේ මුල්ම වරට දැරුවේ ඇයය. ඩයලොග් මවු සමාගම වන ආසියාටා මෙහෙයුම් කටයුතු දියත් කර ඇති රටවල් ගණන 07කි. එම රටවල “ඩිජිටල් කස්ටමර් එක්ස්පීරියන්ස් මැනේජ්මන්ට්“ විෂයය පිළිබඳ කණ්ඩායමේ සභාපතිනිය සැන්ඩ්‍රා ද සොයිසා ය.

දකුණු ආසියාතික පසුගාමී කාන්තා භූමිකාව අභියෝගයට ලක් කරමින් අනාගත ලෝකය සඳහා වෘත්තිකයන් මෙන්ම ව්‍යවසායකයන් බිහි කිරීමේ විදග්ධ දර්ශනය සහිතව සිය සැලසුම් ප්‍රායෝගික කරන මේ විචක්ෂණ ගැහැනියගේ ජීවිත අත්දැකීම් ඇසුරෙහි කෙරෙන කෙටි පිළිසඳරට මෙවර රසඳුන ඉඩ හසර විවර වන්නේය. මෙතැන් සිට දිගහැරෙන්නේ ඇය නිදහසේ කරන මතකාවර්ජනය ය.

“මම අපේ පවුලෙ එකම දරුවා. මගෙ අම්මගෙයි තාත්තාගෙයි අදහසක් තිබුණා විනයක් සහිතව සමාජ ඇසුරට මා හුරු කිරීම මගෙ අනාගතයට යහපතක් වේවි කියලා. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරමයෙ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න පටන් ගත් දිනයේ සිට විද්‍යාලයේ නේවාසිකාගාරයට මා ඇතුළු කළා. මට එවිට වයස අවුරුදු 07යි.

මුලදි අම්මයි තාත්තයි නැතිව ඉන්න එක දරුවෙක් විදිහට දුකක් දැනුණා. ඒත් මා ඊට හුරු වුණා විතරක් නෙවෙයි ඒ ජීවිතය විඳින්න පටන් ගත්තා. අධ්‍යාපනය ලබන අවුරුදු 10ම හිටියේ නේවාසිකාගාරයෙ. ළමයි සීයක් හිටියා. ඒක අක්කල නංගිලා සහිත විශාල පවුලක්. ඒ සමාජය ඇතුළේ ජාති කුල මල භේද උස් පහත්කම් තිබුණෙ නෑ. සෙල්ලම් කරන්නෙ, පාඩම් කරන්නේ එකට. ගෙදර යන්නෙ දිගු නිවාඩුවකට. මේ ඇසුර නිසා සමාජයෙ අපහසුවකින් තොරව පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය පරිචය මට ලැබුණා.

ඒ ජීවිතය ගැන ආපසු හැරී බලනකොට තිබෙන්නේ විශාල සතුටක්. ඒ නේවාසිකාගාර ජීවිතයෙන් අපි අතරෙ ඇතිවුණේ මහා මානුෂික බැඳීමක්. මම දැන් වයස පනහත් පසු කළ කෙනෙක්. ඒත් පුංචි දවස්වල ඉඳන් එකට හැදුණු අපි තවමත් පුළුවන් හැම වෙලාවෙම මුණගැහෙනවා.

පොඩි කාලෙ ඉඳන් අපි හුරුවෙලා තිබුණු ඉතාම හොඳ පුරුද්දක් තිබුණා. දවස පටන් ගන්නෙ වගේම දවස ඉවර කරන්නෙත් දේවස්ථානයෙන්. ඒ හොඳ ධනාත්මක සිතිවිලි එක්ක. ඒ පුහුණුව ලෝකය බිඳ වැටුණු මේ වගේ කාලයක මොනතරම් වැදගත් වුණා දැයි මා කල්පනා කරනවා.

පාසල් අධ්‍යාපනය නිමා කරන සැන්ඩ්‍රා අනතුරුව සිය වෘත්තිය තෝරන්නීය. ඒ අසූව දශකයේ අග භාගය ය. ලෝකය නූතන තාක්ෂණයේ පදනම නිර්මාණය කරමින් සිටි අවධියය. පරිගණක තාක්ෂණ අධ්‍යාපනය පැවතියේ බේසික්, කොබෝල්, අර්පීජී වැනි මූලික ඛේතමය භාෂා ස්වරූපයකිනි. ලංකාවටත් පැමිණි මේ අමුතු පරිගණක තාක්ෂණය ඇයව ආශක්ත කර තිබිණි. ඇය පරිගණක තාක්ෂණය හා අලෙවිකරණය විෂයක් ලෙස හැදෑරීම ආරම්භ කළාය.

“මෙහෙම අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නවා. ඒ 1989 අවුරුද්ද. මට අවුරුදු 21යි වයස. ඒ කාලයෙ මා පුවත්පත් දැන්වීමක් දකිනවා අලුත් සමාගමක් ගැන. ඒ සමාගම අතේ ගෙන යා හැකි දුරකතන විශේෂයක් ලංකාවට ඉස්සරවෙලාම හඳුන්වා දෙනවා කියලා තමයි තිබුණේ. ඒ සමාගම සෙල්ටෙල්. ඔවුන් තමයි ඉස්සරවෙලාම ලංකාවට ජංගම දුරකතන හඳුන්වා දුන්නු සමාගම. මට මෙතන රස්සාවට යන්න හරිම ආස හිතුණා. මට රැකියාවත් ලැබුණා.“

“මගෙ මුල්ම රැකියාව සෙල්ටෙල් සමාගමේ අලෙවි සංවර්ධන නිලධාරී තනතුර. අපේ කණ්ඩායමේ දහ දෙනෙක් හිටියා. අනික් අය ඔක්කොම පිරිමි ළමයි. මං විතරයි ගෑනූ ළමයකුට හි‍ටියෙ. අපි කණ්ඩායමක් විදිහට එකට වැඩ කළා. වැඩ කිරීම සම්බන්ධව මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. “

“මා අලෙවි සංවර්ධන අංශයේ සේවය කරමින් සිටි කාලයෙ දී මගෙ ප්‍රධානියා පාරිභෝගික සේවා අංශයක් පටන් ගන්න ඕන කියන අදහසේ හිටියා. පාරිභෝගික සේවා අංශය කියන සංකල්පයවත් ඒ වකවානුවේ ලංකාව දැනගෙන හිටියෙ නෑ. ඒත් අන්තර්ජාතික අත්දැකීම් එක්ක ආයතනය සැලසුම් වුණා. ඔවුන් මට කිව්වා “පාරිභෝගක සේවා කටයුත්තට සුදුසුම කෙනා ඔබ. ඔබ පාරිභෝගික සේවා අංශයක් සෙල්ටෙල් ආයතනය තුළ පටන් අරන් දියුණු කරන්න“ කියලා. ඒක රටෙත් නොතිබුණු වැඩක්. මා සෙල්ටෙල් ආයතනය තුළ පාරිභෝගික සේවා අංශයක් ආරම්භ කළා. තව දෙන්නෙක් ඒ සඳහා බඳවා ගත්තා. ආයතනය තුළ එම අංශය ඉතාම ඵලදායී විදිහට දියුණු වුණා. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ගැන කියන්න, ඔවුන්ගේ ගැටලු විසඳා ගන්න, ඔවුන්ගෙ පැමිණිලි භාරගන්න මේ අංශය කටයුතු කළා.

 

සැන්ඩ්‍රා සිය සැමියා ෂෙරමි සහ දියණිය සයෑන් සමඟ

 

මේ අතරෙ සිංගප්පූ ටෙලිකොම් ආයතනය ඔවුන්ගෙ ව්‍යාපාර ලංකාව තුළ පටන් ගත්තා. ඔවුන් පිහිටුවපු සමාගම තමයි කෝල් ලින්ක්. ඒ වෙනකොට මා සෙල්ටෙල් ආයතනයේ අවුරුදු තුන හමාරක් වැඩ කරලා. මීට වඩා පහසුකම් සහිත ආයතනයක මීට වඩා ඉහළ තනතුරකට යන්න තිබුණා නම් හොඳයි කියන අදහස මට තිබුණා.

මා කෝල් ලින්ක් සමාගමට අයදුම්පතක් දැම්මා. මට රැකියාව ලැබුණා. කොල් ලින්ක් සමාගමේ පාරිභොගික සේවා ප්‍රධානියා විදිහට මා වැඩ භාරගත්තා. අවුරුදු 24යි ඒ වෙනකොට මගෙ වයස. ඒ පොඩි වයසෙදි මට විශාල වගකීම් කොටසක් පැවරුණා. මා යටතෙ 15 විතර වැඩ කළා. අලුතින් ගොඩනැඟෙන ආයතනයක්. ගෘහ නිර්මාණ ශිල්පීන් සමග ගොඩනැඟිලි සැලසුම් කිරීමේ සිට බඳවා ගැනීම් සේවා ඇතුළු බොහෝ වැඩ සමග දැවැන්ත අත්දැකීම් ප්‍රමාණයක් මට ලැබුණා.

වැදගත්ම දේ මට විදෙස් පුහුණුවීම් සඳහා විශාල අවකාශයක් ලැබීම. සිංගප්පූරුවේ සංවිධානය කළ බොහෝ පුහුණුවීම්වලට මා එක්වුණා.

සැන්ඩ්‍රා විවාහ වන්නේ වයස අවුරුදු 25 දී ය. ඇයගේ ප්‍රිය සැමියා ඇයට හමුවන්නේ ඇය නිතර දෙවෙලේ යන පල්ලියේ දී ය.

“ මම පොඩි දවස්වල ඉඳන් උදේට පල්ලි යන පුරුද්ද රැකියාවට යන විටත් නොකඩවා පවත්වාගෙන ආවා. මගෙ සැමියා මට හමු වුණේ පල්ලියෙදි. ඔහු ෂෙරමි ද සොයිසා. ඔහුගෙ ගෙවල් හොර්ටන් ප්ලෙස්වල. ඔහු ශාන්ත ජෝෂප් විද්‍යාලයට ගියෙ. ෂෙරමි වැඩ කළේ ඔහුගේ පියා ගොඩනැගූ පවුලේ ව්‍යාපාරයවන ඊ.ඩබ්ලියු ද සිල්වා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයෙ. අක්කලා දෙන්නයි, සහෝදරයා තුන්දෙනයි ඉන්න පවුලේ බාලයා ඔහු. ඔහු තමයි තාත්තගෙ ව්‍යාපාරයෙ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙලා හිටියේ.

“අවුරුදු 25 වන විට අපි විවාහ වුණා. අවුරුදු 26 දි මට මගෙ දුව ලැබුණා. එයා සයෑන් ද සොයිසා. දැන් දුව ඔස්ට්‍රෙලියාවේ. දුවට වයස අවුරුදු 26ක්.“

“මා කෝල් ලින්ක් සමාගමේ අවුරුදු පහ හමාරක් වැඩ කළා. පසුව සමාගමේ කළමනාකරණය වෙනස් වුණා. ඒ වෙලාවෙදි මා එතැනින් ඉවත් වෙලා ඩයලොග් ආයතනයට සම්බන්ධ වුණා. එය මා මගේ ජීවිතයේ ගත්තු හොඳම තීරණයක්. මා සම්බන්ධ වන විට ඩයලොග් ආයතනය පටන් අරන් අවුරුද්දයි. දැනට ඩයලොග් ආයතනයේ මගෙ සේවා කාලය අවුරුදු 23යි.

මා මේ ආයතනයට සම්බන්ධ වෙන විට රටේ තරගකාරී ජංගම දුරකතන සමාගම් 04ක් තිබුණා. ඩයලොග් හිටියෙ හතරවෙනියාට. මේ අතරෙ ආචාර්ය හාන්ස් වීජේසූරිය ප්‍රධාන විධායක නිලධාරියා විදිහට පත්වෙලා ආවා. ඔහු ජංගම දුරකතන විෂය පිළිබඳ ආචාර්ය උපාධියක් කළ විෂය පිළිබඳ ප්‍රමාණිකයෙක් විදිහට ආයතනය ඉතාම විශිෂ්ට ලෙස හසුරවනු ලැබුවා. ලංකාවේ ජංගම දුරකතන සඳහා පෙර ගෙවුම් ක්‍රමය හඳුන්වා දුන්නෙ ඔහු. හැමෝටම පාවිච්ච කරන්න හැකි විදිහට ඉතාම ලාබයට ෆොන් දුන්නෙ ඩයලොග් එකෙන්. සියලු දෙනා ජංගම දුරකතනයක් භාවිත කළ යුතුයි කියන අදහසේ ඔහු හිටියා. මේ නව චින්තන රටාව මා ආශක්ත කළා. හතරවැනියාට හිටිය අපි. නමුත් මීට අවුරුදු 20කට පෙර සිට මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වුණා. දැන් පුරා දශක දෙක්ක තිස්සේ ජංගම දුරකතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා අපයි.

සැන්ඩ්‍රා ද සොයිසා සභාපතිනිය වන Slasscom පටන් ගන්නේ මීට අවුරුදු 13කට පෙරය. ඒ වන විට ඇය ඩයලොග් ව්‍යාපාර සේවා අංශයේ ප්‍රධානියා ය.

“ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය සම්බන්ධ සේවා සපයන්නන් එක්කරගෙන ආචාර්ය හාන්ස් ආරම්භක සාමාජිකයෙක් ලෙස ඩයලොග් වෙනුවෙන් ඊට සම්බන්ධ වුණා. අනතුරුව ආයතනය වෙනුවෙන් මා එතැනට යොමු කළා.“

“දැන් අවුරුදු 13ක් තිස්සේ මේ මා Slasscom ඇතුළෙ වැඩ කරනවා. මට කලින් Slasscom සභාපතිවරු 12ක් හිටියා. ඔවුන් සියලු දෙනාම පිරිමි. මා මේ වගකීම දරන පළමු කාන්තාව.“

ඇයගේ ජීවිත දර්ශනය වී තිබුණේ යමක් දෙස ධනාත්මකව බලා විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නේ නම් ජයග්‍රහණය ලබා ගත හැකිය යන්නය. ගැහැනියක් ලෙස රැකියාවක අභියෝගවලට මුණ දීම පහසු නොවන බව කියන සැන්ඩ්‍රා තමන් ලද සමහර කටුක අත්දැකීම් අනාගත ගැහැනිය විඳිය යුතු නැති බව පවසන්නීය.

“මා අවුරුදු 33ක් තිස්සෙ වැඩ කරලා කාන්තාවක් විදිහට විදපු දුෂ්කරතා දැන් මා සමග වැඩ කරන දරුවො ලබන්න ඕන නෑ. ඔවුන්ගෙ ඉදිරි ගමන අපට වඩා පහසු විය යුතුයි. එක දෙයක් මතක් කරන්නම්. දෙවැනි ජොබ් එකට ගියාම මා මගෙ මුල් දරු උපතට සූදානම් වුණා. මට මගෙ ප්‍රධානියා කිව්වා මාස දෙක තුනක් මැටිනිටි ලිව් ඉන්නවා නම් ගෙදර ඉන්නත් පුළුවන් කියලා. මා ප්‍රසූත නිවාඩු හිටියෙ මාසයයි. මා ඒ කැපකිරීම කරලා අභියෝගය භාර ගත්තා. “

“ජීවිතේ එහෙමයි. ලොකු වගකීමක් අරන් ලොකු තැනකට යන්න ඕන නම් හැම පොඩි දේම හොඳට කරන්න ඕන. අවස්ථා සහ අවදානම් ගන්න ගන්න ඕන. වැරදුනාම වැරැද්ද පිළිඅරන් නිවැරදි වෙන්න ඕන. මම මගෙ ජීවිතේ වැඩ කළේ එහෙමයි.“

ලද විරාමයක දී ඇයගෙන් මේ වෘත්තීය ජීවිතයේ ඉදිරි සැලසුම් ඇසුවෙමි. ඇය මදක් නිහඬ වී සිට යළි කතා කළාය.

“ලෝකයේ ඉස්සරහට එන්න තිබෙන රැකියා අවස්ථාවලින් සියයට පනහක් ගැන අපි දන්නේ නෑ. ඒ විෂයයන් ගැන ඉඟිවත් පාසල්වල විශ්විද්‍යාලවල උගන්වන්නෙත් නෑ. අපට පුළුවන් නම් දත්ත විද්‍යාඥයන් බිහි කරන්න, අපට පුළුවන් නම් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ විද්වතුන් ඇති කරන්න අනාගතය වෙනුවෙන් අප කළ යුත්තේ එයයි.

මේ අභියෝගයට මුහුණ දෙන්න අපේ රටේ තවම පරිණත තත්ත්වයක් නෑ. ලෝකය දිහා බලනකොට අපට පෙනෙන විශාල හිදැස හරහා පාලමක් හදන්න අප උදවු කළා නම් අපේ රට සපුරා වෙනස් තැනක් වේවි. මගේ අනාගත සැලසුම අනාගතය වෙනුවෙන් ඒ පාලම නිර්මාණය කිරීමයි.

එහෙම වුණොත් ලෝකයෙ ප්‍රධාන සමාගම්වල ප්‍රධාන වෘත්තිකයො අපට ගොඩනගන්න පුළුවන්. ඊට අධ්‍යාපනය, දැනුම සහ අභිප්‍රේරණය කියන දේ අපි සපයන්න ඕන.

අලුත් ව්‍යාපාර දහසක් 2025 දි ආරම්භ කරන්න ආයතනයක් විදිහට අපට දැක්මක් තියනවා. 2025 වෙද්දි ඩොලර් බිලන පහක දේශීය ආර්ථිකයට එක් කරන්න දර්ශනයක් අපට තිබෙනවා. ලක්ෂ දෙකක අතිරේක ශ්‍රම බලකායක් ඇති කරන්න අපේ සැලසුමක් තියනවා.

මගෙ අනාගත සැලසුම වෙන්නෙ Slasscom එකෙන් ඊට අවශ්‍ය අධ්‍යාපනය, දැනුම හා ප්‍රචාරණය ලබා දීමයි. සංවේදනය වන භාෂාවකින් ඒ ගැන දැනුම්වත් කරලා මවුපියන්ට කියන්න ඕන ඔබේ දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න ඔබ කරන බලපෑම නවත්වලා ලෝකය දිහා බලන්න කියලා. මහා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙමින් තියන වග ඔවුන්ට පෙන්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය පුහුණුව දැනුම දෙන්න ව්‍යාපෘති ගණනක් දැන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා.“

“මවක් බිරියක් ලෙස ඔබ මේ කාර්යබහුල ජීවිතය කළමනාකරණය කරගත්තෙ කොහොම ද?“ඇය සිනාසුණාය.

“ඇත්තෙන්ම මම හරිම වාසනාවන්තයි. මගෙ නැන්දනිය මගෙ අම්මා වුණා. ඔවුන් හිටියෙ අපිත් එක්ක. අම්මා තමයි ගෙදර සියලු කටයුතු කරගෙන ගියේ. මගෙ දරුවා බලාගත්තෙ ඇය. සැමියා දරුවා පාසල් ඇරලවලා ගෙනල්ලා සියලු දේ කළා. ඇත්තටම මට තිබුණෙ රස්සාවට යන්න විතරයි. දුව හැදුණේ ආච්චි සීයා වගේම එයාටම සමීප ඥාති සහෝදර සහෝදරියො ගණනක් එක්ක. ඇය පවුලෙ එකම දරුවා වුණාට කවදාවත් ඇයට තනියක් දැනිලා නෑ. “

අවසාන වශයෙන් ඇයව විමසුවෙමි. “යමක් ලබා ගන්න යම් කැපකිරීමක් කළ යුතුයි. ඔබ මේ තත්ත්වයට එන්න ඔබේ ජීවිතයේ කළ කැපකිරීම් මොනව ද?“ මදක් නිහඬව සිට ඇය පිළිතුරු දුන්නාය.

“කිසිම දෙයක් ලබා ගන්න බෑ ඒ දේ වෙනුවෙන් කැපකිරීමක් නොකර. පහුගිය වසර 26 තුළම මට මගෙ දුව එක්ක ප්‍රමාණවත් කාලයක් ගත කරන්න බැරි වුණා. පොඩි කාලෙදි ඇය එක්ක ගත කරන්න මට ලැබුණෙ නෑ. දැන් මට වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් දැන් ඇය මගෙ ළඟ නෑ. ඇය උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගිහින්. කැප කිරීම කියන්නෙ එයයි.“

“ඒත් මට ජීවිතේ වැරදිලා නෑ. මා සාර්ථකයි කියලා මා හිතනවා. වීදුරුවක් බාගෙට පිරිලා තියෙද්දි අපි කතා කරන්න ඕන පිරිලා නැති බාගෙ ගැන නෙමෙයි. බාගෙට දොරක් ඇරිලා තියෙද්දි බලන්න ඕන දොර බාගෙට වැහිලා කියන දෘෂ්ටියෙන් නෙමෙයි. හැමදේම හොඳ පැත්ත ගන්න. එතකොට ජීවිතය ලස්සනයි...“

මම ඇයගෙන් සමු ගතිමි.

 

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments