රුදුරු දිය කඳ මැද ත්‍රාස­යට පෙම් බැඳි මොහොත | Page 2 | සිළුමිණ

රුදුරු දිය කඳ මැද ත්‍රාස­යට පෙම් බැඳි මොහොත

 

 

ත්‍රාසය කියන දේ සංචාරකයෙක්ගේ ජීවිතෙන් ඈත් කර තබන්න අපහසු දෙයක්. ත්‍රාසය, කුතුහලය පිරුණු අත්දැකීම් ගොඩකින් හොඳ සංචාරකයෙක් පරිපූර්ණයි. ත්‍රාසජනක අත්දැකීම්වලට පෙම් බඳින්නෙක්ට මොන බාධක තිබුණත් එවැනි අලුත් අත්දැකීම් විඳින්න අවස්ථා තමන් පසුපස හඹා එන්නේ අන්න ඒ නිසාවෙන්. රටේ පැවති සංචරණ සීමා තුළදී ලද විශේෂ අවසරයක් මත Ceylon Extreme Adventures කණ්ඩායමෙන් ලැබුණු විශේෂ ආරාධනය බොහොම කැමැත්තෙන් බාර ගත්තේ කාලයක් තිස්සේ නිවෙසේම රැඳී සිටි මට ත්‍රාසය පිරුණු මේ අත්දැකීම විඳගන්න තිබුණු කැමැත්ත නිසා. ගමන් සැලසුම් කර තිබුණේ ගෙවුණු සති අන්තයේ.

 

මගේ ගමන් සගයන් වුණු සඳමාල් කෝරාළත්, චාමර රාජපක්ෂත් සමඟ උදෑසනම වාහනයෙන් මාව ගන්න ඇවිත් හිටියේ උදේ 6 වෙද්දීවත් කොළඹින් පිටත් වෙන්න අපි කලින්ම සැලසුම් කරගෙන හිටපු නිසා. සැලසුම් කළ වෙලාවටම පිටත් වෙන්න හැකි වූ අපට මුලින්ම හමුවුණු කෑම කඩයකින් උදේ කෑම ගත්තේ ඒ වෙනකොට බඩගින්න සැරටම දැනුණ නිසා. වැහිබර කාල ගුණය නිසාම ගමනාන්තය වූ කිතුල්ගල බලා ගමන් ගත්තේ බොහොම පරෙස්සමට

කිතුල්ගලට ආ අපට එතැනින් මුණගැසුණු කණ්ඩායමේ අනිත් සගයන් සමඟම කිතුල්ගල බටකිත්ත හන්දියෙන් වමට ඇති මහබාගේ පාරේ ඉදිරියට ඇදුණා. එය තරමක් දුෂ්කර මඟක්. මෝටර් රථය පැදවිය යුත්තේ බොහොම සීරුවට. මඟ දෙපස රතු පාට විදුලි බුබුළු එල්ලුවා වගේ දිදුලන රඹුටන් ගස් පේළිය දුෂ්කර මඟෙහි විමසිලිමත් බව මඳකට අමතක කරන බව නම් මතක් කළ යුතුමයි. කිලෝමීටර අටක් පමණ ඉදිරියට ඇඳුණු අපිට එතැනින් එහාට යන්න වුණේ පොඩි Bolero Truck එකක. තවත් කිලෝ මීටර 2 ක දුෂ්කර මඟක් ඔස්සේ ඉහළට ගිය පසු ඉතිරි ටික යායුතුව තිබුණේ පයින්.

උදේම කොළඹින් පිටත් වුණු අපි මෙහෙම දුෂ්කර මඟක් පසු කරමින් අාවේ Water Fall Rappelling කරන්න. ඒ කියන්නේ ගලා හැලෙන ජල පහර මධ්‍යයේ දිය ඇල්ලක් මුඳුනේ සිට පහළට ඒම. කියන එතරම් පහසු ක්‍රියාකාරකමක් නම් නෙවෙයි.

එදා දවසේ අප සූදානම් වුණු මේ ත්‍රාසජනක ක්‍රියාකාරකම ගැන අපේ කණ්ඩායමේ නුවන්ගෙන් හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා.

කඹ සහ ආරක්ෂිත උපකරණ පැලඳගෙන Water Fall Rappelling කිරීම මානසික ඒකාග්‍රතාවකින් සහ අවධානයකින් කළ යුතු ක්‍රියාකාරකමක්. තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කර ගන්නත් මේ වඩාත් මහෝපකාරී වෙන බවයි නුවන්ගේ අදහස වුණේ.

ඒ පැහැදිලි කරපු විදිහට අද දවසේ අත්දැකීම කෙසේ වේවි දැයි කුතුහලයකින් පසු වුණු මම අනිත් සඟයන් සමඟම සඳුන් ඇල්ල සමීපයට ළඟා වුණා. ඉදිරියෙන් කඩා හැළෙන මහ දිය කඳ දුටු විට හදවතේ රිද්මයද තරමක් වැඩි වෙන බව මට හොඳින්ම දැනුණා. වැහිබර කාලගුණය නිසාම මේ දිනවල සඳුන් ඇල්ලේ වතුර ප්‍රමාණයත් තරමක් වැඩියි. මෙතරම් උස ඇල්ලක මුඳුනේ සිට කඹයක් දිගේ බහින්නේ කොහොමද යන දෙගිඩියාවක් දැනුණත් ඒ අත්දැකීම විඳගන්න තිබුණු ආසාව කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් වගේම කඹ සහ උපකරණ අවශ්‍ය පරිදි සකස් කර ගෙන ලැබුණු උපදෙස් පරිදි ආරක්ෂිත උපකරණ පැලඳ ගත්තා.

ඇල්ල මුඳුනේ සිට මුලින්ම බහින්න පටන් ගත්තේ සඳමාල් අයියා. ඔහු Rappelling කරන අයුරු බලන් සිටි මට මේ කටයුත්ත ආරක්ෂිත අයුරින් සිදුවීම හිතට මහත් අස්වැසිල්ලක් වුණා. ඊළඟට එළැඹුණේ මගේ අවස්ථාව. මොහොතකට පෙර දැනුණූ අස්වැසිල්ල මතකයෙන් ගිලිහි ගොස් එක පාරටම උගුරකට වියැළී යනවා සේ හැඟුණේ මොකද්දෝ බයානක හැඟීමකින් මුළු සිරුරම වෙලා ගෙන තිබුණු නිසා. සංජීව අයියාගේ උපදෙස් පරිදි හිතට මහත් දිරියක් ගෙන Rappelling එකේදී කඹයත් සමඟ අත් පය හසුරවමින් දිය ඇල්ල පහළට ඇදෙන්න පටන් ගත්තා.

කඹය දිගේ පහළට ඇදෙන ගමන් පහළ බැලුවොත් නම් දැනෙන්නේ හිස බමණය වන්නා සේ හැඟීමක්. එ නිසා වඩා උචිත දිය ඇල්ල ගලා බසින ගල දෙස බලමින් හෙමින් හෙමින් සැඩ ජල පහර මධ්‍යයෙන් ඇල්ල දිගේ පහළට බැසීමයි. වේගයෙන් හද ගැහෙන මොහොතක නිවැරදි ඉරියව් ඔස්සේ ඇල්ලක් දිගේ පහළට බැසීමත් ඉතා දුෂ්කර කටයුත්තක්. දෙතුන් වතාවක් පය ලිස්සුවද නිවැරැදිව පැලඳගෙන සිටි ආරක්ෂිත උපකරණ නිසාවෙන් කිසිදු අනතුරක් තරමක් වෙහෙසකර ව්‍යායාමයකින් අනතුරුව දිය ඇල්ල පාමුලට ළඟා වුණත් ත්‍රාසය වැඩිපුරම හිතට දැනුණේ ඇල්ලේ පාමුල දිස්වල ගැඹුරු වළ දුටු විටයි. පීනන්නවත් හැකියාවක් නැති මට දිය ඇල්ල පාමුල තිබුණු ඒ ගැඹුරු වළේ නොගිලී ගොඩට එන්න පහළින් සිටි අපේ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් ලොකු සහයක් ලැබුණා.

" අම්මෝ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. " ගොඩට ආපු මම හොඳ හුස්මක් අරන් සීතලේ වෙව්ලමින් එහෙම කිව්වා මතකයි. මේ මොහොත වන තෙක්ම ත්‍රාසයෙන් භීතියෙන් වෙළි සිටි මට දැන් නම් මතකයට නැඟෙන විටත් එය හරි අපූරු අත්දැකීමක්. ඒ වන විටත් ඇද හැලෙමින් තිබුණු ධාරාණිපාත වැස්ස අඩු වෙලා තිබුණේ නැහැ.

කණ්ඩායමේ සියල්ලන්ම ඇල්ලෙන් පහළට ආවට පස්සේ නැවත අපි මෝටර් රථය නවතා තිබූ ස්ථානයට එන විට හිරු අවරට යන්න පටන් ගෙනයි තිබුණේ. ගමනේ මහන්සිය නිවා ගන්නත් එක්ක තවත් දිය පහරකින් ස්නානය කළ අපිට ලැබුණු කෙසෙල් කොළේ එතූ බත් සහ ව්‍යංජන රසය දැනුණේ උත්සන්නව තිබූ කුස ගින්න නිවා ලූ දිව්‍ය භෝජනයක් වගේ. නොනැවතී ඇද හැලෙන වැස්සෙම රෑ වෙන්නට මත්තෙන් නැවත නිවෙස් බලා පිටත් වුණේ සොබා දහමේ සුන්දරත්වයට මැදිව කළ ත්‍රාසජනක ක්‍රියාකාරකමේ මතක හිත් තුළ නොමැකෙන සේ සටහනක් කරගෙන.

ඡායාරූප : දිනුක අභයගුණවර්ධන

Comments