මුලින් ලැබුණු නපුරු චරි­තය මම හරි­යට කරන්න ඇති | සිළුමිණ

මුලින් ලැබුණු නපුරු චරි­තය මම හරි­යට කරන්න ඇති

 

 

‘‘කාලෙකට පස්සේ පත්තරේකට කතා කරන්නේ....." ඒ ඇයි.. රසිකයන්ට සුනීතා විමලවීර අමතක වෙලා ද..? "අනේ නෑ, පත්තරවලට අමතක වෙලා. මේ දවස්වල මම නිර්මාණ කිහිපයකට ම සම්බන්ධ වුණා. ඉදිරියේදී අලුත් නිර්මාණ කිහිපයක් එන්නත් තියෙනවා. මේ දවස්වල විකාශය වන මහා විරු පණ්ඩු ටෙලි නාට්‍යයේ පණ්ඩුගේ නැන්දම්මණ්ඩිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා."

 

'දූ දරුවෝ,' 'දිය සුළිය', 'සිටු මැදුර', 'මිණි ගං දෑල', 'කටු ඉඹුල', 'පිටගම්කාරයෝ' ආදි වශයෙන් ටෙලි හා සිනමා නිර්මාණ සියයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති සුනීතා විමලවීර සිය රංග ප්‍රතිභාව උදෙසා 'නිරානන්දය' හා 'එකගෙයි කුරුල්ලෝ' ටෙලි නිර්මාණ ද්විත්වයෙන් සම්මානයට පාත්‍ර වන්නීය. නිර්මාණ රැසකදී සම්මාන උදෙසා නිර්දේශ වන්නීය. ඇගේ රංගප්‍රාප්තිය සිදු වන්නේ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'ගැලීලියෝ ගැලීලි' වේදිකා නාට්‍යයෙනි.

"මුල අවස්ථාවේ ඉඳල ම ප්‍රවීණ, දක්ෂ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න මට ලැබුණා. 'ගැලීලියෝ ගැලීලි' නාට්‍ය ජනගත කරන්න කලින් මාස තුනක් තිස්සේ අධ්‍යක්ෂවරයා විසින් අපව පුහුණු කරවනු ලැබුවා. ඒ ලැබුණු රංගන පුහුණුව වැඩමුළුවකින් වත් ලැබෙන්නේ නැහැ. උපතින් ගෙනාව යම් කුසලතාවක් තිබුණා නම් ඒක ඔප දමලා ඇද ඇරලා ඉස්මතු කරගත්තේ හා පුරා කියලා ලැබුණු ඒ දැවැන්ත පුහුණුව නිසා. ඒත් එක්කම වගේ 'යශෝරාවය' ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාවෙන් ටෙලිනාට්‍ය රංගනය පිළිබඳ අත්දැකීම් රාශියක් ලැබුණා. ජනතාව අතරට ඉක්මනින් ම යන්න මට ඒ නිසා හැකි වුණා. ඊට පස්සේ 'ගිම්හානයේ සිහිනයක්' ටෙලි නාට්‍යයේදී විදේශ නාට්‍ය ශිල්පී හෙලේනා මහත්මියගෙන් හොඳ පුහුණුවක් ලැබුණා."

පුංචි තිරයේ රණ්ඩු කෙක්ක හැටියට බොහෝ සේ ජනප්‍රිය වූ සුනීතා වැඩි කාලයක් ඒ හා සමාන නිරූපණයන්හි නියැළුණු නමුත් පසුකාලීන ව විවිධ චරිත නිරූපණය කළා ය.

"කැමරාවක් ඉස්සරහා රඟපාන එක ලේසි නැහැ. මුලින් ම ලැබුණු නපුරු චරිතය මම හරියට කරන්න ඇති මං හිතන්නේ. ඒ නිසා ඒ හා සමාන චරිත කිහිපයක් ම ලැබුණා. හැබැයි ඉතින් වැඩි දෙයක් කරන්න නැති, ලස්සනට පෙනී ඉන්න චරිතවලට වඩා මඩ නාගෙන, දුවලා පැනලා, වැඩි දේවල් නිරූපණය කරන්න ලැබෙන කටුක චරිතවලට මම ගොඩාක් කැමතියි. මම විතරක් නෙවෙයි බොහෝ රංගන ශිල්පීන් එහෙම අභියෝගාත්මක චරිතවලට කැමතියි. තමන්ගේ කුසලතා ඔපමට්ටම් වෙන්නේ සහ ජනතාව අතරට යන්නේ එවැනි රඟපෑම් හරහා යි. සමහර නාට්‍ය පිටපත් බැලුවා ම රඟපාන්න දෙයක් නෑ වගේ හැඟෙනවා. ඒවාට කාලය නාස්ති කරන්නේ අපරාදෙ නිසා අත්‍යවශ්‍යමයි කියලා මාව තෝරාගන්න චරිතවලට මම ප්‍රමුඛත්වය දෙනවා."

වෘත්තීය රංග ශිල්පියකුට එවැනි ස්වයං වාරණ උචිත ද යන්න අපි ඇගෙන් ප්‍රශ්න කළෙමු.

"වෘත්තිය කියලා මට බැරි නම් බැහැනේ. කරන්නම දෙයක් නැති චරිත බාර අරගෙන මුකුත් නොකර හිටියා ම ඉදිරියේදී ලැබෙන්න තියෙන හොඳ අවස්ථාත් නැති වෙනවා. හොඳට වැඩ කරන්න පුළුවන් චරිතයකට මගේ හැකියාවත් එකතු කරලා හොඳටම කළාම ඒ වගේ අවස්ථා ඕනතරම් අලුතෙන් ලැබෙනවා. දෙයක් නැති වෙන්නේ තව හොඳ දෙයක් ලැබෙන්න. ඒ නිසා ස්වයං වාරණය මට සාධාරණයි කියලා මම හිතනවා."

චරිත තෝරා තෝරාගැනීමේදී චරිතයේ බාහිර පෙනුම පිළිබඳ පවා සැලකිලිමත් වීමද සුනීතාගේ විශේෂත්වයකි.

"මම රඟපාන්නේ වේදිකාවේ දී හෝ කැමරාවක් ඉදිරියේ දී හෝ පමණයි. අනිත් හැම වෙලාවක ම මම සාමාන්‍ය ගැහැනියක්. ඕනෑ වෙලාවට බස් එකේ නැඟලා ගමනක් බිමනක් යන්න, කඩේකට පොළට යන්න, දරුවන්ගෙ පාසලට යන්න එන්න පුළුවන්කමක් මට තියෙන්න ඕනෑ. සාමාන්‍ය ජීවිතයේදී දණින් ඉහළට ඇඳුමක් ඇඳලා නැහැ. රඟපෑමේදී මම ඒ සීමා ඉක්මවා යන්න හිතන්නෙත් නැහැ. සිපවැලඳ ගැනීමේ චරිතයක් වුණත් මට කරන්න බැහැ. එහෙම ඒවා මම කෙළින් ම බැහැ කියනවා. මගේ සැමියා නලින් ප්‍රේමතිලක වේෂ නිරූපණ ශිල්පියෙක් හැටියට මේ ක්ෂේත්‍රයේ ම කටයුතු කරනවා. අපේ ලොකු පුතා පවන් අවුරුදු 16යි, චූටි පුතා ඩිවාන් අවුරුදු 13යි. අපි හතර දෙනාට ම එකට ගිහිල්ලා නරඹන්න පුළුවන් නිර්මාණ විතරයි මම භාර ගන්නේ. ඒක මගේ පැත්තෙන් මට සාධාරණයි. අද වන තුරු අර වගේ චරිතවල රඟපෑවේ නැහැ කියලා මට කිසිම පාඩුවක්, අසාධාරණයක්, ප්‍රතික්ෂේප වීමක් හෝ අවස්ථා නැති වීමක් සිදු වෙලත් නෑ. ලැජ්ජා බය යන දේව ධර්මය අනුව ජීවත් වීම හොඳයි කියලා මම දහම් පාසලෙන් ඉගෙන ගත්ත දේවල් අදටත් මම පිළිගන්නවා. එහෙම හිටියාම ප්‍රශ්න අඩුයි. හිතටත් සැනසීමයි."

රංගන ශිල්පීන්ගේ ආර්ථික ප්‍රගමනය රඳා පවතින්නේ තමාට ලැබෙන රංගන අවස්ථා හා ඒ සඳහා කරන ගෙවීම් මත යි. වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති නම් රංගනයෙන් උපයන ආදායම ප්‍රමාණවත් වන්නේදැයි අපි ඇගෙන් ඇසුවෙමු.

"අද මේ ක්ෂේත්‍රයට හතු පිපෙන්නා වාගේ පිරිස එනවා. එක රැයින් තරු වාගේ බැබ­‍ෙළනවා. දවසයි දෙකයි නිවිලා ආගිය අතක් නැති වෙනවා. සමහර ශිල්පීන් කාලයක් හොඳට වැඩ කරලා මුදල් උපයලා ඒ මුදල් විනෝද වෙන්න නැති නාස්ති කරලා අන්තිමට ජීවත් වෙන්න බැරිව අසරණ වෙනවා. තවත් සමහර ශිල්පීන් හොඳට උපයලා හොඳට රඟපාලා අවාසනාවන්ත විදිහට විවිධ ලෙඩ රෝගවලට අවාසනාවන්ත සිද්ධිවලට මුහුණ දී ආර්ථිකය කඩා වැටීමෙන් අසරණ වෙනවා.

මම දැන් කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ ඉන්නවා.. හොඳ චරිත ලැබෙනවා. සාධාරණ මුදලක් මගේ රඟපෑම වෙනුවෙන් අය කරනවා. ඒ ලැබෙන දෙයින් කොටසක් අනාගතයට ඉතිරි කරනවා. අපි උපයන්නේ කලාවෙන්. මේකෙන් ලැබෙන දේ අපට ඇති. ඉන්න ගෙයක්, යන්න එන්න වාහනයක් තියෙනවා. දරුවන්ගේ වැඩ කරගෙන කාලා ඇඳලා අරපිරිමැස්මෙන් සතුටින් අල්පේච්ඡ ව ජීවත් වෙනවා. අපි ලොකු දේවල් පස්සේ යන්නේ නෑ. හැබැයි ඉතින් අනාගතය ගැන විශ්වාසයක් නෑ. රඟපාන්න බැරි වුණොත් ආදායම නවතිනවා. බොහෝ කාලයක් එහෙම වුණොත් ඉතිරි කරපු මුදලක් වුණත් ඉවර වෙනවා. එතකොට ඉතිං ජීවත් වෙන්න බැරි කම් එනවා.. කලාකරුවන් අස්ථිරයි.

මේ රටේ කලාකාරයෙක් වෙනවට වඩා හොඳයි ඉන්දියාවේ නළාකාරයෙක් වුණා නම් කියලත් වෙලාවකට හිතෙනවා. කලාකරුවන් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. කලාකරුවන්ට බැංකු ණයක් ගන්න ගියත් සෑහෙන ප්‍රශ්න. අපේ කලාවට සැබෑ කාර්යයක් කරලා, අභිමානවත් ව කලාවේ ඉඳලා, සමාජ ගරුත්වයක් ඇති ව මැරිලා යන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒකට අපිත් දක්ෂ බුද්ධිමත් විය යුතුයි. රටක් හැටියටත් ඒ සහයෝගය කලාකරුවන්ට ලැබෙනවා නම් වටිනවා."

 

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments