මා වියෝ­වෙන් උපන් වේද­නාව වින්ද­නය කරන කෙනෙක් | Page 2 | සිළුමිණ

මා වියෝ­වෙන් උපන් වේද­නාව වින්ද­නය කරන කෙනෙක්

 

 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර දේශපාලකයකු වීමට බොහෝ කලකට පෙර සහෘදය රසික පර්ශද ආමන්ත්‍රණය කළ කලාකරුවෙක්. ගායකයෙක්. ඔහුගේ භාවමය හඬ පෞරුෂයට මේ රටේ බොහෝ දෙනෙක් ඇලුම් කළා. මෙවර හද බැඳි ගීය විශේෂාංගය වෙනුවෙන් අප හමුවන්නේ දයාසිරි ජයසේකරයන්. ගීතය හා මුසු වුණු ජීවිත අත්දැකීමක ගැඹුර ගැන ඇරඹෙන මේ කථිකාවේ තමන්ගෙ ජීවිතයේ පත්ල ස්පර්ශ කළ ගීතය ගැන ඔහු අප හා කතා බහට එක් වුණා.

 

ඒ වකවානුව මා භද්‍ර යෞවනයේ ගත කළ අවධිය. රසිකත්වය සම්බන්ධව පුළුල් සංවාදයක් ඇති වුණු කාලයක්. ඒ වකවානුවේ අප චිත්‍රපටය, වේදිකා නාට්‍යය, ගීත සම්බන්ධව විචාරාත්මකව අධ්‍යයනයක නිරතවෙලා හිටියා. මේ කාලයෙදී මා යාළුවො කිහිප දෙනෙක් එක්ක ‘එක්ටැම්ගේ‘ චිත්‍රපටය බලන්න ගියා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රූපණය කළේ රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම.

‘එක්ටැම්ගේ‘ චිත්‍රපටය ආදරය කියන මනෝභාවයේ ගැඹුර ස්පර්ශ කළ නිර්මාණයක්. සෙල්ලක්කාර සැහැල්ලු ජීවිතවල අධ්‍යාත්මයේ සැඟවී ඇති ගැඹුර, ආදරය ඉදිරියේ ගොඩනඟා පවත්වාගෙන එන ආදර්ශයන්හි ඇති බිඳෙන සුලු බව ‘එක්ටැම්ගේ‘ චිත්‍රපටයෙන් සංවාදයට ලක් වුණා.

‘එක්ටැම් ගේ‘ චිත්‍රපටය මට මතකයි. එය ඉතාම සරල තේමාවක් ප්‍රබලව ඉදිරිපත් කළ නිර්මාණයක්. ඒ කතා තේමාව යටින් දිවෙන්නෙ ඉතාම දුර්ලභ සෙනෙහසක්. ආදරයේ ගැබ් වුණු සංකීර්ණ ගැඹුර එකිනෙකාට තේරුම් ගන්න බැරි වීමේ ගැටුම මේ චිත්‍රපටය තුළ තිබුණා. ඒ සංවාදය උත්කර්ෂයට නැගුණු තැන තමයි මේ ගීතය.

ඒ ඇසුණු මුල්ම අවස්ථාව මට මතකයි. ඒ රංගනය, ඒ දර්ශන තල අතර ගුණදාස කපුගේ ශූරීන්ගෙ හඬ දෝංකාරය දුන් ආකාරය. ඒ පද පෙළේ ගැඹුර කපුගේගෙ හඬින් වඩාත් හොදින් දැනුණා. සරත් දසනායකයන්ගෙ සංගීතය ඒ භාව තවත් තියුණු කළා.

ඒක හරිම විරල එකමුතුවක් ලෙසයි මා දැක්කෙ. පද පෙළ, හඬ, සංගීතය වගේම රවීන්ද්‍ර මාලනී යුවළගේ රූපණය, එකම ඒකකයක් විදිහට එකට එකතු වෙලා තිබුණා. ඒ හින්දා වෙන්න ඇති ඒ ගීතය ඇසූ මුල්ම අවස්ථාවෙදී මා කම්පනයට පත් වුණේ.

අපි කම්පනයට පත් කරන භාව හුදු පෞද්ගලිකව අප ලබන දේවල්ම නෙමෙයි. නිර්මාණයකින් ඒ අත්දැකීම අපේ කරගන්න පුළුවන්. සහකම්පනයකින් වෙන කෙනකුගේ අත්දැකීමක් අපේ වෙනවා. මේ ගීතය මුලින්ම ඇහෙන අවධිය මා ලොකු ජීවිත අත්දැකීම් ප්‍රමාණයක් ඇති කෙනෙක් නෙමෙයි. ඒත් මොකක්දෝ චෛතසික කම්පනයක මේ ගීතය ඇසුණු වෙලාව ඉඳන් මා හිටියා.

උන්මාද සිතුවම් ගීතය නිසාම මා යළි යළිත් මේ චිත්‍රපටය බැලුවා. එක්ටැම් ගෙයක් කියන්නෙම හුදෙකලා තැනක්. ඒ හුදෙකලාව පිළිබඳ හැඟීම දරාගන්න අමාරුයි. ඒ වගේ තැනක ජීවත් වන මිනිසකුගෙ විරහව මොනතරම් ප්‍රබල ද කියන සිතිවිල්ල පවා මා තිගැස්සුවා.

ඉන් අනතුරු කාලයෙදි මා නිතරම මේ ගීතය ගායනා කළා. මට මතකයි මගෙ සරසවි අවධිය. ඒ වාකවානුවෙදි අපේ යාළුවො එකතු වෙලා පුංචි මධුවිතක් තොලගාන වෙලාවෙදි මුලින්ම ගැයෙන ගීතය මෙය වෙලා තිබුණා. ඔවුන් මට ආරාධනා කරනවා ‘උන්මාද සිතුවම්‘ ගීතය ගයන්න. ඒ හැම වෙලාවෙම මා ඉතාම කැමැත්තෙන් එය ගායනා කළා.

මේ පද පෙළ අතර තිබෙන භාව ඒ සෑම ගායනාවකදී මට වාඩාත් සමීපව දැනුණා. එක්ටැම් ගෙයක හුදෙකලා වූ මිනිසකුගෙ නෙත් මානයේ පෙනෙන මහා සාගරයේ ඇති ගැඹුරු තනිකම ඒ පද අතර තිබුණා.

“අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ - පාළු හුදෙකලා අඳුර පමණි උරුමේ“ වැනි වචන අතර වචනයට එහා ගිය සංවේදනාවක් මට දැනුණා. ඒ වගේමයි... අසීමිත ප්‍රේමවන්තයකුගේ ප්‍රේමය එක් තැනක නැවතුනාම එයින් ඇති වන තිගැස්ම ඒ පද අතර රූපණය වුණා. ඒ වියොවේ කම්පනය මට දැනුණා.

මීට දශක කීපයකට එපිට ඇසූ ඒ ගීය මුල්වර ඇසුණු විට ඇති වුණ කම්පනය වඩාත් තීව්‍රව මට අදත් දැනෙනවා. හුදෙකලා වුණු වෙලාවක නිරායාසයෙන්ම මේ ගීතය මගේ මනසට එනවා.

පසු කාලයක වියෝව විරහව මගේ ජීවිත උරුමය වුණා දෝ කියා මා හිතනවා. ඒත් වියෝවෙන් උපදින විරහ වේදනාව මා වින්දනය කරන්න හුරු වුණා. යළි යළිත් විඳින්න පුරුදු වුණා. ඇත්තටම විරහවෙන් ලැබෙන වේදනාවත් සුන්දරයි.

ඒ නිසාම වෙන්න ඇති මා විරහ ගීවලට ප්‍රිය කරන්න හුරුවෙලා තිබෙන්නේ. මට මතකයි මා ‘විරාගය‘ චිත්‍රපටය බොහෝ වරක් නැරඹුවා මගෙ තරුණ අවධියෙ. විරාගය කියන්නෙම ජීවිතාවබෝධයක් සමග කටුක යථාර්ථයක් ගැන කතා කරන නිර්මාණයක්. නිර්මාණයෙන් එන කම්පිත මනෝභා මා වින්දනය කළා. ඒ වින්දයට යම් සහජයක් තියෙන්න ඇති.

ඒ වගේම පසු කාලවල දී අමරදේවයන්ගෙ ගීත ගණනාවක්, ටී.එම්. ජයරත්නයන්ගෙ ගීත ගණනාවක් මා ආසක්ත කළා. සමහර සතුටු සැඳෑවල මට ගීත ගායනා කරන්න ඕනෑ තරම් ඉල්ලීම් එනවා. ඒ සෑම අවස්ථාවකම මා අතින් ගැයෙන්නෙ විරහව කැටි වුණු ගීතයක් වීම ගැන මා තවම කල්පනා කරනවා. ඒ තෝරා ගැනීම වෙන්නෙ නිරායාසයෙන්. එත් මා දකින දේ තමයි ඒ මොහොතේ හැමෝම ඒ ගීතය වින්දය කරනවා කියන එක.

අවසාන වශයෙන් ඔහු අපට කියන්නෙ හරිම අපූරු කතාවක්. විරහව වින්දනය කරන්න පුරුදු වෙන්න. එය හරිම සුන්දරයි.

 

 

 

Comments