නිර්මා­ණ­යක ගුණා­ත්මක බව ර­කිද්දී එහි වටි­නා­කම නිසැ­ක­වම හැදෙ­නවා | සිළුමිණ

නිර්මා­ණ­යක ගුණා­ත්මක බව ර­කිද්දී එහි වටි­නා­කම නිසැ­ක­වම හැදෙ­නවා

 

 

සංගීත ක්ෂේත්‍රය ක්ෂේත්‍රයේ නව පරපුරේ නියෝජන බොහොම ය. නිසල් ගමගේ යනු සංගීතය හදාරමින් එහි නියැ­‍ෙළමින් සාරවත් නිර්මාණ කිරීමට උත්සාහ දරන නව පරපුරේ එවන් සංගීතවේදියෙකි. ගීත රචනයෙන්, තනු නිර්මාණයෙන් සහ ගායනයෙන් ද දිගු ගමනක සුබ නිමිති දකින ඔහු මේ දිනවල ෂර්ලි සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ 'පියාඹන්න ආයෙත්' චිත්‍රපටයෙහි තේමා ගීතය, 'අසීමාන්තික බැඳීම්' ගීතය ගායනයෙන් සහ පද නිර්මාණයෙන් එක් වෙයි.

 

නිසල් ගේ සංගීත දිවිය ඇරැඹෙන්නේ ජනප්‍රිය ගායක ළහිරු පෙරේරා ගේ Music Oven පරීශ්‍රයෙනි...

"කෑගල්ල තමයි මගේ ගම් පළාත. මම අධ්‍යාපනය ලැබුවේ කෑගලු විද්‍යාලයෙන්. කැම්පස් යන්න කලින් තිවංක කියලා මගේ යහළුවෙක් එක්ක මම තනියම ගීත හදන්න උත්සහ කළා. පස්සේ මොරටුව විශ්වවිද්‍යාලේ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන කාලයේදීමයි Audio Engineering ඉගෙන ගන්න ළහිරු පෙරේරා ගේ Music Oven ආයතනයට සම්බන්ධ වෙන්නේ. එතැනදී ළහිරු පෙරේරා, විරේෂ් කුරේ, චමිල් පතිරණ වගේම මගේ ගීත නිර්මාණය කරන්න සහය වුණු ,ළහිරු ඩි කොස්තා, අමිත් ගුරු , දිනේශ් ගමගේ යන සංගීතවේදීන්ගෙන් ලැබුණු සහයෝගය වචනයෙන් කියා නිම කරන්න බැරි තරම්. Music Oven හී සංගීතය ඉගෙන ගන්න කාලෙදීම මට පිරිසක් එකතු වෙනවා. ඊට පස්සේ ගීත නිර්මාණය කරන්න පටන් ගන්නවා. මම ලියපු ගීත යාළුවෝ ඉල්ලගෙන ගැයුවා. ඒ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. එතැනින් තමා මේ ගමන ඇරඹෙන්නේ.

එතැන් සිට ගී පද රචනයට එක් වන නිසල් අනුෂ්ක උදාන ගායනා කරන 'මැරුණු හිතේ', මිහිඳු ආරියරත්න ගායනා කරන 'අතහැරිම', හර්ෂ විතානගේ ගේ 'අවතැන්' සහ 'දෑත දරා' යන ගීත රචනා කළේය. ගීත තුනක් ගැයුවේය.

"පසුගියදා එළිදැක්වුණු 'අසීමාන්තික බැඳීම්' ගීතය මම ගායනා කළ තුන්වැනි ගීතය. මීට කලින් මම ගැයූ ගීතවල තනු නිර්මාණය මගේ නොවුණත් මේ ගීතයේ තනුව නිර්මාණය කළෙත් මමමයි. 'අසීමාන්තික බැඳීම්' කියන්නේ මගේ කුලුඳුල් චිත්‍රපට ගීතය. එහි රූප රචනය වගේම පද රචනය කළෙත් මම. සංගීතයෙන් අමිත් ගුරු, ගිටාර් වාදනයෙන් රනිල් ගුණවර්ධන සහ සංගීත සංයෝජනයෙන් කවිශ්ක දොඹවෙල මේ නිර්මාණයට සහාය වුණා.

නිසල් ගේ නවතම ගිය පසුගිය දා එළි දැක්වුණේ යූ ටියුබ් ඔස්සේ... ඒ ගැන ඔහුට කියන්නට විශේෂ දෙයක් තිබුණි.

"ඉස්සරට වඩා දැන් සමාජ මාධ්‍ය වටා මිනිස්සු එක්කාසූ වෙලා ඉන්නවා. රූපවාහිනි නාළිකාවල දැන් ගීත කලාවට ලබා දෙන ඉඩකට අඩුයි. ඉතින් අපිටම කියලා යූ ටියුබ් නාළිකාවක් හදාගත්තම අපේ නිර්මාණවලට කැමති පිරිසට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන්ට සෘජුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ ලැබෙන ප්‍රතිචාර විවේචන අපේ අඩුපාඩු හදා ගන්න ඉවහල් වෙනවා. දැනට ලැබෙන ප්‍රතිචාර නම් සුබදායකයි."

නිසල් උසස් අධ්‍යාපනයේ නිරත වන්නේ වෙනම අංශයකිනි. නමුත් මේ වන විට ඔහුගේ වැඩි නැඹුරුව සංගීත අංශයට බව ඔහුගේ කතාව අපට ඉඟි කළේය..

" මම පොඩි කාලේ ඉඳන් මම ආස කළේ සංගීතයට. නමුත් වැඩිදුර ඉගෙන ගත්තේ තොරතුරු තාක්ෂණය. මේ ෆීල්ඩ් එකට යොමු වෙන්න කලින් ඒ ක්‍රෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කළා. දැන් සංගීතය වැඩියෙන් නැඹුරු වුණාට ඉගෙන ගත්තු දෙයිනුත් පාඩුවක් නොවෙන්න මගෙ යාළුවො ටිකක් එක්ක එකතු වෙලා තොරතුරු තාක්ෂණය සම්බන්ධව ව්‍යාපෘති කිහිපයකුත් කරගෙන යනවා."

මේවන විට උත්තර භාරතීය සංගීතය හදාරමින් හා හඬ පුහුණුවීම් ද කරන නිසල්ගේ අරමුණ තමන් නිරතවන විෂය තුළ නිසි හැදෑරීමකින් යුතුව ක්ෂේත්‍රය තුළ ගනුදෙනු කිරීමයි. ඒ තුළ ඔහුගේ ඉදිරි ගමන ගැනද කියමින් අපේ පිළිසඳර අවසන් කළා..

"මම තවම මේ ක්ෂේත්‍රය හදාරමින් ඉන්නෙ..ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තීය මට්ටමකට එන්න අවශ්‍ය සාධක කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳ හැදෑරීම, ක්ෂේත්‍රයේ හරියාකාරව ගනුදෙනු කිරීම සහ මුදල්ම පරමාර්ථය කරගන්නෙ නැතිව නිර්මාණය ගුණාත්මක භාවය වෙනුවෙන් කැප වීම. නිර්මාණයක ගුණාත්මක බව සුරකින විට එහි වටිනාකම නිසැකවම හැදෙනවා.

මම නිර්මාණය කළ තවත් ගීත කිහිපයක් එළිදක්වන්න මේ දවස්වල සූදානම් වෙනවා. ශශිකා නිසංසලා, රුවන් හෙට්ටිආරච්චි, රිද්ම වීරවර්ධන වැනි ශිල්පීන් සහ ශිල්පිනියන් ඒ නිර්මාණවලට ගායනයෙන් එකතු වෙනවා. මගේ පද රචනයෙන් සහ මගෙම තනු නිර්මාණයෙන් නිමවුණු ගීති කිහිපයක් සහ ටෙලිනාට්‍ය කිහිපයකට නිර්මාණය කළ ගීත කිහිපයකුත් ඉදිරියෙදි නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ළහිරු ඩි කොස්තා, අමිත් ගුරු, දිනේෂ් ගමගේ කවිශ්ක දොඹවෙල සහ මම එකතු වෙලා සංගීත නිෂ්පාදන පවත්වාගෙන යනවා. මෑතකදි ශශිකා නිසංසලාගෙ ගායන ශිල්පිනියගේ 'චන්ද්‍රා පායන්න' ගීතය කළෙත් අපි තමයි.

Comments