ඔලි­ම්පික් කෙළි බිමේ නොඇසූ කතා | Page 2 | සිළුමිණ

ඔලි­ම්පික් කෙළි බිමේ නොඇසූ කතා

 

 

ඇෆ්ගනිස්තානයේ උපන් නිගාරා ෂාහින් 1993දී පාකිස්තානයට සංක්‍රමණය වෙද්දී ඇයට යන්තම් මාස 6ක් ගත වුණා විතරයි. නිතර නිතර දරුණු යුද ගැටුම්වලට මැදි වුණු ඇෆ්ගනිස්තානයේ තව දුරටත් ෂාහින් හදා වඩා ගන්න සුදුසු පරිසරයක් නැති බව තේරුම් ගත් ඇගේ මවුපියන් සිඟිති දියණියත් තුරුලු කරගෙන පාකිස්තානයේ ජලාලාබාද් නුවරට පැන ගියා.

 

ඊට අවුරුදු 18කට පස්සේ ඇය යළි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට පැමිණියේ එරට අමෙරිකානු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමටයි. ජූඩෝ ක්‍රීඩාවට උපන් හපන්කම් ඇති මේ දිරිය දියණියට ඇගේ දස්කම් අන්තර්ජාතික තලයට රැගෙන යන්න අවස්ථාවක් නොලැබුණේ ඇෆ්ගනිස්තානයේ පැවැති ව්‍යාකූල තත්ත්වය නිසයි. රටක් හැටියට අන්තර්ජාතික ක්‍රීඩාවට එක්වෙන්න ඇෆ්ගනිස්තානයට අවස්ථාව අහිමිවීම නිසා ඇගේ ජූඩෝ සිහිනය තවදුරටත් සිහිනයක්ම පමණක් වුණා.

ඒ සිහිනයට පියාපත් ලැබුණේ රටක් නියෝජනය කරන්න අවස්ථාවක් නැති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් නියෝජනය කරන්න අවස්ථාවක් ලබාදීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය නිසයි. ඒ තීරණය ගත්තේ 2015 ඔක්තෝබරයේ පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුරදියි. සරණාගත‘ කණ්ඩායම ලෙස (Refugee Olympic Team) ඔලිම්පික් උලෙළ නියෝජනය කරන්න එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සැලසීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කළා. රියෝ ඔලිම්පික් උලෙළට එක් වුණු සරණාගත කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් ඇතුළත් වුණා. ඒ අතර සිරියාව, දකුණු සුඩානය, ඉතියෝපියාවේ ගෝත්‍රිකවාසීන් හා කොන්ගෝ වැනි ව්‍යාකූල තත්ත්වයක් ඇති රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියා.

ඒ අනුව 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පළමුවරට සරණාගත කණ්ඩායම නියෝජනය කිරීමට එවැනි රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මගින් අවස්ථාව ලැබුණා. ටෝකියෝ ඔලිම්පික් උලෙළට සරණාගත කණ්ඩායමක් සහභාගි වන්නේ දෙවැනි වතාවටයි.

අවුරුදු හතරකට වතාවක් අන්තර්ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ණවත් කරන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ හඳුන්වනු ලබන්නේ ගෝලීය ක්‍රීඩාවේ මහා මංගල්‍යයය ලෙසයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවුරුදු හතරක් මුළුල්ලේ මුවහත් කරගන්නා ඔවුනොවුන්ගේ දස්කම් ලෝකයාට ප්‍රදර්ශනය කරන්න ලැබෙන විරල හා වාසනාවන්ත අවස්ථාවක් හැටියටත් ඔලිම්පික් උලෙළ හැඳින්විය හැකියි. ඕනෑම පාටක පදක්කමක්..ඔව් ඒක තමයි මේ මහා ක්‍රීඩා මංගල්‍යයයට සහභාගිවන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම තම රටට අත් කර දිය හැකි ලොකුම ජයග්‍රහණය. මෙවර ජපානයේ ටෝකියෝ නුවරට ලොව දසදෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වුණේ ඒ හීනය සැබෑ කරගන්නයි.

ෂාහීන් ඒ කණ්ඩායමට එක් වුණු වාසනාවන්ත ක්‍රීඩිකාවක්. ලෝකය පුරා විසිරී සිටින රටක් අහිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් විදහා දැක්වීමට ලැබුණු මේ විරල අවස්ථාව ෂාහින් වගේම ඇය සමඟ ටෝකියෝ ගිය සරණගත කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනය සැබෑවීමක්. ඔවුන්ට මෙතෙක් පදක්කමක් දිනාගැනීමට අවස්ථාවක් නොලැබුණත් මේ විශිෂ්ට ක්‍රීඩා උලෙළ නියෝජනය කරන්න ලැබීම නිසා ඔවුන් දැනටමත් ඊට වඩා ලොකු ජයග්‍රහණයක් අත්කර ගෙනයි සිටින්නේ. සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ජාතික ධජ සහිතව ඔලිම්පික් සමාරම්භක අවස්ථාවට සහභාගි වෙද්දී සරණාගත කණ්ඩායම රැගෙන යන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය වීමත් විශේෂත්වයක්.

සරණාගත කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29දෙනකුට ලැබුණා. ෂාහීන් සමඟ විවිධ හේතු මත ඔවුනොවුන්ගේ රට නියෝජනය කරන්න අවස්ථාවක් නැති ක්‍රීඩකයන් 19කුත්, ක්‍රීඩිකාවන් 10කුත් ඒ අතර සිටිනවා. සිරියාව, ඇෆ්ගනිස්තානය, දකුණු සුඩානය, කොංගෝ ජනරජය, එනිට්‍රියා, ඉරානය, වෙනිසියුලාව, කැමරොන්, ඉරාකය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වැනි රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සරණාගත කණ්ඩායමට ඇතුළත්වෙනවා. ෂාහින් කියන්නේ මේ අතුරින් කාගෙත් අවධානය දිනාගත්තු ක්‍රීඩිකාවක්. ඇෆ්ගනිස්තානය වැනි මුස්ලිම් මූලධර්මවාදය ව්‍යාප්ත වුණු රටක තරුණියක් ජූඩෝ වැනි ක්‍රීඩාවකට යොමුවීම එරට දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නත් සියලු සීමා මායිම් කඩා බිඳ දමා අන්තර්ජාතික තරග බිමට එක් වෙන්න තරම් ඇය නිර්භීත වීම කාගෙත් කතාබහට ලක් වුණා.

ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් දිනූ ඉරානයේ ඩීනා පොරියුනිස් හා කිමියා අලිසාදී, ඇෆ්ගනිස්තානයේ පාපැදි ශූරිය මසෝමා අලි සාඩා, ජූඩෝ ක්‍රීඩාවෙන් එක්වුණු සිරියාවේ මුනා ඩාහූක් සහ සැන්ඩා අල්දාස්, සිරියාවේ පිහිනුම් ශූරිය යුස්රා මර්දිනි ඒ අතර ඉන්නවා. මේ හැමෝගෙම ජීවිත කතාව ඉතා දුක්බරයි. ඒ වගේම හැම අතින්ම දුෂ්කරයි. නමුත් සටන්කාමිත්වයත්, අධිෂ්ඨානශීලිත්වයත් ඔවුන්ගේ ජීවිතයට අලුත් පැහැයක් ලබාදීලා.

‘අපි සිරියාවේ ගත කළේ බෝම්බ වරුසාවකට මැදි වුණු ජීවිතයක්. ඒ කාලයේ මම හිතුවේ කාත් කවුරුවත් නැති අසරණයෙක් විදිහට බිඳ වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර මිය යාවි කියලයි. ඒත් ජර්මනියට පැන ගිහින් මගේ ජීවිතය අලුතින් පාට කරගන්න මට හැකිවුණා. ඔලිම්පික් උලෙළේදී මට මගේ රටේ ජාතික ධජය ඔසවන්න බැරි වුණාට ඔලිම්පික් කමිටුවේ ධජය ඔසවා මම මුළු ලෝකයම නියෝජනය කරන බව කියාපන්න අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.‘ පිහිනුම් ශූරිය යුස්රා මර්දිනි එහෙමයි කියන්නේ.

 

Comments