ආටා පිටි­ව­ලින් හදපු ක්ෂණික කෑම | සිළුමිණ

ආටා පිටි­ව­ලින් හදපු ක්ෂණික කෑම

 

 

කාර්යබහුලත්වය ඇතුළු විවිධ කාරණා නිසා ක්ෂණික ආහාර රටාවට හුරු වී සිටින බොහෝ දෙනාට ශරීරයට ගුණදෙන ආටාපිටිවලින් ක්ෂණිකව සාදා ගත හැකි ගුණදායක ආහාර වට්ටටෝරු කිහිපයක් ගැනයි අද කටට රහට විශේෂාංගයෙන් ඔබට ගෙන එන්නෙ.

 

 

රස රහස්

කොත්තුවලට බී ලූනූ, තක්කාලි වැඩිපුර එකතු කර ගැනීමෙන් එහි වියළි ස්වභාවය මඟහරවා ගත හැකියි.

කොත්තුව පිස අවසානයේ ලීක්ස්, ලූනු කොළ වැනි දේ එකතු කරගන්නේ ලීක්ස්, ලූනු අවපැහැ වීම වළක්වා ගැනීමටයි.

කොත්තුවට බිත්තර එකතු කරන විට බිත්තරයේ තිබෙන පිළී දුඟද නොදැනෙන්න එයට කෑලි මිරිස් හෝ ගම්මිරිස් කුඩු එකතු කර ගන්න.

කඩල ඉක්මනින් තම්බා ගැනීමට පොල්තෙල් ස්වල්පයක් එකතු කරන්න.

කඩල තැම්බීමේදී තුනපහ ස්වල්පයක් එකතු කිරීමෙන් වෑංජනය වඩාත් රසවත් කරගත හැකිය.

කඩල වෑංජනයට සුදූරු සහ උළුහාල් කබලේ බැද එය කුඩු කර වෑංජනයට එකතු කරන්න.

 

උපදෙස් - නදීෂා දහනායක

ඡායාරූප - ඉඳුවර රාසිංගොල්ල

 

ආටා පිටි චපාති

 

අවශ්‍ය ද්‍රව්‍ය

ආටා පිටි කෝප්ප 3ක්

ලුණු තේ හැන්දක්

තෙල් මේස හැඳි 2ක්

දියකර ගත් බටර් හෝ

මාගරීන් මේසහැඳි 2ක්

අවශ්‍ය පමණට වතුර (ඇල් වතුර)

 

ආටා පිටි බඳුනකට දමා එයට ලුණු සහ තෙල් එකතු කර ඇල් වතුර ටිකෙන් ටික එකතු කරමින් පිටි මෝලිය අනා ගන්න. එය අනන අතරතුර දියකර ගත් බටර් ද එකතු කරමින් නැවත හොඳින් අනන්න. (ඇල් වතුර යම් ප්‍රමාණයකට එකතු කර එහි අඩුවට දියකරගත් බටර් එකතු කරගන්න). පසුව එය කුඩා බෝලවලට කඩා ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් තුනී කරගන්න. (රොටියක් ආකාරයෙන්. නමුත් රොටියක් තරම් ඝනකම් නොවිය යුතුයි ) පසුව කබල ලිපමත තබා එහි තෙල් ස්වල්පයක් ආලේප කර රොටිය එහි තබන්න. රොටිය පුළුස්සන ආකාරයෙන් කීහිප විටම එහා මෙහා නොදමා දෙපැත්තම දුඹුරු පැහැ වූ පසු ලිපෙන් බා ගන්න.

 

ආටා පිටි කොත්තු

 

අවශ්‍යය ද්‍රව්‍ය -

කුඩාවට කපාගත් චපාති රොටි කැබලි

අඹරාගත් ඉඟුරු, සුදු ලූනූ

සිහින්ව කපා ගත් බි ලූනූ ගෙඩියක්

සිහින්ව කැපූ තක්කාලි ගෙඩියක්

රම්පෙ /කරපිංචා

අමුමිරිස් කරල් 2-3ක්

මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු

තක්කාලි සෝස්/ සෝයා සෝස්

සිහින්ව කැපූ කැරට්/ ගෝවා

ලීක්ස්

කෑලිමිරිස් සහ ලුණු කුඩු එකතු කර ගසා ගත් බිත්තර දෙකක්

කුකුළු මස් කෑලි කිහිපයක්

කුකුළු මස් හොදි

ඉහත සාදාගත් චපාති කැමති ප්‍රමාණයකට කපා ගන්න. පසුව තාච්චියක් ලිපෙහි තබා එයට පොල්තෙල් මේස හැඳි හතරක් පමණ එක් කරන්න. එයට තලාගත් ඉඟුරු සහ සුදුලූනූ එකතු කරන්න. ඉන්පසු බි ලූනූ, තක්කාලි එක්කර කලවම් කරගෙන මද වේලාවකට පසු රම්පේ, කරපිංචා, අමුමිරිස් එකතු එකතුකර ගන්න. හොඳින් තෙම්පරාදුවේගෙන එන විට ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු කැමැත්ත අනුව චිලිපේස්ට් ස්වල්පයක් තෙලටම දමා කවලම් කර ලුණු ස්වල්පයක්ද එකතු කරන්න (චපාති සෑදීමේදී ලුණු එකතු කර ඇති නිසා). අවසානයේදී කැරට් සහ ගෝවා මිශ්‍රණයට එකතු කර බිත්තර ද කවලම් කරන්න. සියල්ල හොඳින් තෙම්පරාදු වූ පසු චපාති එකතු කර එයටම ලූනූ කොළ, ලීක්ස් ,තක්කාලි සෝස්, සෝයා සෝස් වගේම කුකුළු මස් කැබැලි සහ කුකුළු මස් හොදි එකතු කිරීමෙන් කොත්තුව වඩාත් රසවත් කරගත හැකිය.

 

 

ආටා පිටි පූරි

 

අවශ්‍යය ද්‍රව්‍ය -

ආටාපිටි

කෝප්ප 3ක්

ලුණු තේ හැන්දක්

තෙල් මේසහැඳි 2ක්

අයිස් වතුර

(අවශ්‍ය තරමට)

බැද ගැනීමට තෙල් (අවශ්‍ය තරමට)

 

බඳුනකට ආටා පිටි කෝප්ප දමා එයට ලුණු සහ තෙල් එකතු කර හොඳට කලවම් කරන අතරම අයිස් වතුර ටිකෙන් ටික එකතු කර හොඳින් මෙලෙක් ගතියට එනතුරු අනා ගන්න. පිටි මෝලිය විනාඩි පහළොවක් විස්සක් අතර කාලයක් වසා තබන්න. පසුව පිටි මෝලිය කුඩා බෝල ආකාරයට වෙන් කර ගෙන ලෑල්ලක් මතුපිට පිටි ස්වල්පයක් තවරා එහි සාදාගත් බෝල කුඩාවට තුනී කරන්න. (පපඩමක් ප්‍රමාණයට තුනී කරගන්න) දැන් සාදාගත් පූරි ගැඹුරු තෙලේ බැද ගන්න.

 

 

කඩල වෑංජනය

 

අවශ්‍යය ද්‍රව්‍ය -

කඩල ග්‍රෑම් 300ක්

(රැයක් පමණ

පෙඟෙන්නට තබන්න)

කහ තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැන්දක්

තුනපහ කුඩු තේ හැන්දක්

ගම්මිරිස් කුඩු

තේ හැඳි 1/2ක්

ලුණු තේ හැඳි 1/2

පොල්තෙල් මේසහැන්දක්

සුදුලූනූ බික් 4- 5

කරපිංචා,එනසාල් ,

කරාබුනැටි, කුරුදු

වතුර

 

කඩල ව්‍යාංජනය

තෙම්පරාදුවට

තෙල්මේස හැඳි 3ක්

අබ, ඉඟුරු,සුදු ලූනූ

සිහින්ව කපා ගත් බී ලූනූ ගෙඩියක්

කොටු හැඩයට කැපූ තක්කාලි ගෙඩියක්

මිරිස්කුඩු, තුනපහ කුඩු

මේස හැඳි 01 බැගින්

කහකුඩු තේ හැඳි 1/4ක්

සූදුරු තේ හැන්දක්

උළුහාල් තේ හැදි 1/2ක්

(කබලේ බැද කුඩු කරගත්)

 

 

කඩල තම්බා ගැනීමේදී මිරිස්කුඩු, තුනපහ, කහ, ලුණු, පොල්තෙල්, සුදු ළූනූ, එනසාල්, කරාබුනැටි ආදිය එකතු කර තම්බා ගන්න. වෑංජනයටද මේවා එකතු කිරීමෙන් රසය වඩාත් වැඩිවෙයි.

තම්බාගත් කඩල තෙම්පරාදු කිරීමට තෙල් මේස හැඳි තුනක් පමණ භාජනයකට දමා එයට අබ, ඉඟුරු සුදු ලූනූ නැවත දමන්න. බී ලූනූ සහ තක්කාලි ද රම්පේ කරපිංචා එකතු කර බැදෙන විට නැවත තුනපහ එකතු කරගන්න. (තැම්බීම සඳහා මිරිස් තුනපහ එකතු කිරීමේදි වෑංජනයට එකතු කරන මිරිස් තුනපහ වලින් හරි අඩක් එකතු කරගන්න. වෑංජනයේදී ඉතුරු මිරිස් තුනපහ එකතු කරගන්න) කඩල වෑංජනයේ රස වැඩිකර ගැනීමට සූදුරු සහ උළුහාල් එකතු කර කබලේ බැද කුඩු කර එයද එකතු කරගන්න. අනතුරුව තම්බාගත් කඩල සහ කඩල තැම්බීමට ගත් වතුර ව්‍යාංජනයට එකතු කර මද වේලාවක් උකුවන තුරු හැඳි ගා අවශ්‍ය තරමට පිස ගන්න. මෙයට පොල්කිරි අවශ්‍යය වන්නේ නැත. තම්බාගත් කඩල වතුර එකතු කිරීම තරමක් ප්‍රමාණවත් ය. මෙය චපාතිවලට සහ පූරිවලට වඩාත් හොඳින් ගැළපෙයි.

 

 

 

Comments