හිරකාරයකු වූ මම තිර රචනය ඉගෙන ගත්තා | සිළුමිණ

හිරකාරයකු වූ මම තිර රචනය ඉගෙන ගත්තා

 

මෙතෙක් ඔබ ලියා ඇති නවකතා දෙස ආපසු හැරී බැලුවොත් ඒ ලිවීම ඔබ හඳුනාගන්නේ කොහොම ද?

මම නවකතා 14 ක් ලියා තිබෙනවා. මගේ පසුබිම ගැන කියනවා නම් මම 71 කැරැල්ලට අසු වී අවුරුදු පහමාරක් සිරගතව සිටියා. එහෙම ඉන්න අතරවාරයේ දී 74 අවුරුද්දේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී චිත්‍රපට තිර නාටක තරගයක් පැවැත්වුණා. මම යාපනයේ හිරගෙදර ඉඳලා ලියු තිර නාටකයට පළමුවන තැන ලැබුණා. සරත් අමුණුගම මහතා තමයි ඒ කාලේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළේ. ඊට පෙර යුනෙස්කෝව මඟින් පවත්වු කෙටි කතා තරගයකදීීත් පළමු තැන මට ලැබී තිබුණා. ඒ එක්දාස් නවසිය හැට ගණන්වල දී. නවසිය හැත්තෑ ගණන්වල තමයි චිත්‍රපට සංස්ථාවේ තිරනාටක බැංකුව ආරම්භ වුණේ. “අලුත් දවසකට” නමින් තිර නාටකයක් මම එයට ඉදිරිපත් කළා. ඒ කාලයේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරවරයා වුණේ නිහාල්සිංහ මහත්මයා.

පියසිරි ගූණරත්න මහත්මයත් සමඟ ඔහු බන්ධනාගාරයට ඇවිල්ලා චිත්‍රපට තිර නාටකයක් ලියන ආකාරය ගැන මට කියල දුන්නාය කිව්වොත් ඔබ විශ්වාස කරනව ද? ඒ කාලයෙ ම තමයි මම “ලොව සරසන මල්” නමින් ලියූ තිර පිටපතක් සංස්ථාවට යැව්වෙ. ඒ වගේම පළමු වතාවට හිරකාරයෙකු වු මට අවස්ථාවක් ලැබෙනවා බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා තිර නාටක පාඨමාලාවක් හදාරන්න. ඒ තමයි මම.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ ?

මුල දී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මා සමඟ ආවා. පසු කාලයකදී මම නිදහස් වෙනවා. නිදහසින් පසු “ලොව සරසන මල්” කතාවක් හැටියට ප්‍රකාශයට පත් කරගන්න හිතගෙන ප්‍රකාශකයින් කිහිප දෙනෙකු ළඟටම ගියත් ඒ අය කැමති වුණේ නෑ, සිරකරුවෙක් වශයෙන් හිටපු කෙනෙකුගේ පොතක් මුද්‍රණය කරන්න. ඒත් එක් ප්‍රකාශකයෙක් කැමති වුණා, හැබැයි කොන්දේසියක් උඩ. ඒ තමයි, කතා අන්තර්ගතයේ එන බඩු මිල වැඩියි, හාල් මිල වැඩියි කියන මේ දේවල් අඩු කරන්නය කියන එක. මම කිව්වා ඒක මට කරන්න බැහැ කියලා. මම අත් පිටපත ආපසු අරගෙන ආවා. පස්සෙ මගෙ මිතුරන්ගේ මඟ පෙන්වීමක් උඩ මහජන බැංකුවේ ණය ආධාරයක් යටතේ පොත් තුනක් තුන් වතාවකට මුද්‍රණය කරනවා. ඒ විදිහට බැංකුවක් පොත් මුද්‍රණය සඳහා පළමු වතාවට ණය මුදලක් ලබා දෙනවා.

ඔබ නවකතා පමණක් ම නෙවෙයි නේද ලිව්වෙ. ශාස්ත්‍රීය මට්ටමින් කළ හැදෑරීම් ද තියෙනවා නේද?

“පුලතිසි වංශය”, “මාතර වංශය” වශයෙන් ඒ විිදිහට කටයුතු කරන අතර සමහර වැරදීම් ද නිවැරැදි කරන්නත් මට සිද්ද වුණා. උදාහරණයක් විදිහට එක් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලියලා තිබුණා මහවැලි ගංගාවට උඩින් තියෙන මනම්පිටිය පාලම අඩි තුන්සිය ගණනක් ය කියලා. දවසක් මම මැනල බැලුවම එය අඩි දහස් ගණනක් වුණා. කථිකාචාර්යවරිය වැරදි යි. මම ඒ බව ඇයට පැවසුවා. තවත් තැනක දී සඳහන් වෙලා තිබුණා ලංකාවේ හාල් මෝල් පටන් ගත්තෙ එක්දාස් හත්සිය ගණන් වලය කියලා. ඒකත් බොරුවක්නෙ. නිදහස ලබන්න ටික කාලයකට කලින් සේනානායකගේ ගොවි ජනපද ව්‍යාපාරයත් එක්කනෙ හාල් මෝල් පටන් ගන්නෙ. මේ විදිහට මේ අය වරද්දගෙන තියෙන්නෙ කවුරුත් දන්න සාමාන්‍ය කරුණුනෙ. මහා ලොකු ශාස්ත්‍රීය දේවල් නෙවෙයි.

පසුගිය යුද සමය පසුබිම් කරගෙන ඔබ ලියු “රුහිරු පූජා” ගැන විශේෂ අදහසක් ඔබට තියෙනව ද?

ඒක වුණේ මෙහෙමයි වෘත්තීය වශයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරි මට්ටමෙන් කටයුතු කළ සමයේ දි යුද්ධය පසුබිම් කරගෙන ග්‍රන්ථයක් මම සම්පාදනය කරමින් සිටියා. ඒ වෙනුවෙන් ලියු දෑ සමඟ ඒ විස්තර පෙන්වන්න වරක් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හම්බ වෙන්නත් ගියා.

ඔහු එය කියවන්න කලින් දුරකථන මාර්ග මොහොතකට ක්‍රියා විරහිත කරලා තමයි ඒ වෙනුවෙන් අවධානය යොමු කළේ. ඔහු අද ජනාධිපති නිසා ම කියනවා නෙවෙයි. යුද්ධය ගැන ඔහුට හොඳ දැනීමක් තිබුණා. ඒ රැස් කරපු තොරතුරු වලින් තමයි, ඔබ කීව ආකාරයට විශේෂ හැගීමක් ඇති කරන “රුහිරු පූජා” ලියුවේ.

මේ විදිහට ලියවුණ නවකතා අතර මම විශේෂයෙන් ම හඳුනාගන්නා නවකතා තුනක් තමයි, “මල්ලිකාවෝ සහ නුතන අංගුලිමාල”, “රුහිරු පූජා”, “ලොව සරසන මල්”

සාහිත්‍යය සම්බන්ධයෙන් ඒ ආකාරයට විශේෂ හඳුනාගැනීම් අවශ්‍ය වෙන්නෙ ඇයි ?

ඒකට හේතුව තමයි මානව දයාව. සාහිත්‍ය නිර්මාණයේ මුලික ම දැක්ම වන්නේ මානව දයාව යි. මගේ ම කෘති පවා මම විශේෂයෙන් හඳුනාගන්නේ ඒ පදනමේ සිට යි. පොදුවේ ගත්තම කලාව පිළිබඳ මත දෙකක් පවතිනවා. එකක් තමයි කලාව කලාව සඳහාය කියන මතය. අනික තමයි විඳීම තුළින් ඥාන ගවේෂණය කියන මතය. එය මගේ ම අත්දැකීමකින් හඳුනාගත් තත්වයක් සමඟත් සම්බන්ධ යි. වරක් මම මගේ අත් පිටපතක් පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයට බාර දුන්නා.

මේ කතා අත් පිටපතේ ප්‍රගතිශීලි ලේඛකයින් හා දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වෙනවා. පසුව එය සමීක්ෂණය සඳහා විශ්ව විද්‍යාල මහාචාර්යවරු දෙදෙනෙකුට ලබා දී තිබුණා. ඉන් එක් අයෙක් භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ විශේෂඥයෙක්. ඔහු මේ අත් පිටපත ප්‍රතික්ෂේප කරනවා. අනික් කෙනා එය අනුමත කරනවා. පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයේ ඉල්ලීමට අනුව මම අභියාචනයක් ඉදිරිපත් කරනවා. අභියාචනා කමිටුවේ සභාපති වන්නේ අර භාෂා මහාචාර්යවරයා. ඔහු මගේ අත් පිටපතයි, අභියාචනා ලිපියයි දුටු වහාම “ඉන්සර්ච්, ඉන්සර්ච්, පොලිටික්ස්, පොලිටික්ස්” කියලා එය ප්‍රතික්ෂේප කළා. නමුත් මේ අත් පිටපත ජාතික අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් පාසැල් පුස්තකාල පොතක් හැටියටත් අනුමැතිය ලබනවා.

මම ඒ සිද්ධිය පැවසුවේ අර මහාචාර්යවරයා එහෙම හැසිරුණේ ඔහුගේ සම්භාවිත දැනුම නිසා ද? එහෙම නැත්නම් ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගේ නම් සඳහන් වී තිබීම නිසා උපන් කුහකකමින් ද? යන්න ගැන තීරණයක් ගැනීම පාඨකයාට පවරා දීමට යි. මෙතන දී අප මුලින් කී වින්දනය, විඳීම තුළින් ඥාන ගවේෂණය යන අරුත් කොයිතරම් ප්‍රෝඩාවක්ද කියන කරුණත් සලකා බැලිය යුතු යි. සුන්දර මටසිලිටි වදන් වලින් සැරසුව සාහිත්‍ය කෘති තාවකාලික ප්‍රමෝදයක්, නිලංකාර අලංකාරයක් පාඨකයාට ලබා දෙනවා විය හැකි යි. නමුත් එය සනාතනික ජීවන මඟ පෙන්වීමක් පාඨකයාට ලබා දෙනවාද යන්න සිතා බැලිය යුතු යි.

ඩේවිඩ් අගුල්තිනොෆ් පවසනවා සාහිත්‍යය යනු මානව වර්ගයාගේ හෘද සාක්ෂියයි කියලා. සාර් රුසියාවේ විසු මක්සිම් ගෝර්කි කියා තිබෙනවා මෙන්න මෙහෙම. “මට හිරගෙදර බන්ධනාගාරයක්, අපායක් නොවී විශ්ව විද්‍යාලයක් බවට පත් වුණේ පොතපත කියවමින් නිර්මාණකරණය ද හඳුනාගත් නිසා ය. මා ජීවිතය දුටුවේ පොතපතිනි.”

මම කියන්නේ වීදුුරු කැබලිත් දිලිසෙනවා. දියමන්තිත් දිලිසෙනවා. ඒත් දිලිසුණ පළියට වීදුරු කැබළි දියමන්ති වෙන්නෙ නෑ. බැලු බැල්මට දිලිසුණ පළියට දියමන්තියක සැබෑ වටිනාකම වීදුරු කැබලිවල නැහැ. සැබෑ සාහිත්‍ය කෘතියක වටිනාකමත් අපි තේරුම් ගන්න ඕනෙ ඒ විදිහට ම තම යි.

Comments