ස්වර්ණමාලි | සිළුමිණ

ස්වර්ණමාලි

 

“මට ආසයි සෝමාවතී බලන්න යන්න.

සුමාල්ගේ වදන් නෑසුනාක් මෙන් මම පොත කියවූයෙමි.

“මේ ඇහුණද?”

“මොකක්ද අනේ...”

“අර අපි ගමේ ඉන්දැද්දි අපිට වී තම්බගෙන ආ ගෑනු එක්කෙනා නේද? එයා දැන් ඉන්නවද දන්නෙත් නැහැ.” මම සිනාව තද කරගෙන පොත වැසුවෙමි.

“ඒ සෝමාවතී නෙවෙයි ගෑනියේ.”

“එහෙනම්...?”

“සෝමාවතී චෛත්‍යය...”

“සෝමාවතී චෛත්‍යය වදිනවා මිසක් බලනවයැ”

“ඔය කීවේ පණ්ඩිත වාක්‍යයක්...”

“බක පණ්ඩිතයා වගේ කියවන්නේ කවුද? මේ කොරෝනා කාලේ ගමන් යන්න හිතන්නේ ඊටත් වඩා දේශ සීමා සංචරණය, ඩිංගක් හරි එළියට බහින්නවත් ඉඩ දුන්නේ ඊයේ පෙරේදා.”

“ඒ වුණාට මේ බ්ලොක් අවුට් එක නවත්තන දවසක් ඒවිනේ.”

“ඒවා නැතිවෙන්න කොරෝනා නැතිවෙන්න ඕනෑ. තව අවුරුදු කීයක් යාවිද ඒකට?” මම ඇසුවෙමි.

“හැබෑටම මොකක්ද මේ ලෙඩේ... අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපානවා.

“ඇයි ඔයාට හිතෙන්නේ නැද්ද පිට සක්වලක ප්‍රහාරයක් කියලා...”

“කොහෙන්ද අනේ ඔය අදහස් එළියට එන්නේ, පිස්සුද හැටිද?

“මේ වගේ හැටි, කියන අයට පිස්සු තිබුණට මට නම් ඒ හැටි පිස්සුවක් නැහැ. අපේ ලෝකේ ජීවීන්ට නැති කරලා මේ ලෝකේ අයිති කරගන්න වෙනත් ලෝකෙකින් කරන ප්‍රහාරයක්” මම කීවෙමි.

“ඒ හැටි පිස්සුවක් නැති බව කී එක හොඳයි. ටිකක් හරි පිස්සුවක් තියෙන බව ඒකෙන්ම කියවෙනවා...

“මේ ඒක නෙවෙයි, මේ කො‍රෝනා කාලේ ඔයාට මොකද සෝමාවතී සෑය බලන්න යන්න හිතුනේ”?

“එතැන හරි හාස්කම් තියෙන තැනක් කියනවනේ. සුදු ඇත් පැටියෙක් එනවලු. තවත් නොයෙක් දේ කියනවා.”

“ම්...ම්...” මම අගුළු තැබුවෙමි.

“ඔයා ගිහින් තියෙනවද... සෝමාවතී සෑය බලන්න?”

“බලන්න නෙවෙයි වඳින්න ගිහින් තියෙනවා.”

“කොයි කාලෙද?”

“බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජතුමා රජ කරන කාලයේදී.”

සරසවි ජීවිතය මට යට ගිය අතීතයක් පමණකි.

“ඇත්තට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට කැඳවීමක් ලැබුණේ නැද්ද?”

“ඇයි නැත්තේ, මම අන්තඃපුරයේ හිටියා. මට ඉතින් අන්තඃපුර හුරු පුරුදුයිනේ. ඒත් අග්‍ර මහේෂිකාව වුණේ නැහැ.”

කිසිවක් නොකියා මා දෙස බැලූ සුමාල් නිහඬ වූයේ ඉදිරි ප්‍රහාරය කුමක්වේ දැයි නොදන්නා හෙයිනි.

“සෝමාවතී චෛත්‍යය ගැන මට විස්තරයක් කරන්නකෝ” ඔහු මාතෘකාව වෙනස් කළේය.

“කෝ ඉතින් මම විස්තරයක් අහන්න බලා ඉන්නවා.”

සුමාල් ගේ හඬින් මට දැනුණේ මා මාතෘකාවෙන් පිට පැන ඇති බවකි.

ගෙදරින් ම මෝඩයාත් මාය. ඒත් යමක් විමසන්නේ මගෙනි.

සෝමාවතී චෛත්‍යය හැදුවේ කාවන්තිස්ස රජතුමාගේ නංගි.

ඇත්තටම අම්මි ඩිග්‍රි එකක් ගත්තද? දිනක් පුතා මගෙන් විමසුවේ මගේ නොදන්නාකම දැනගත් හෙයිනි.

“ඔව්. නෑ. කියන්න බැහැ.” මම උත්තර තුනම දුන්නෙමි.

තවත් කිසිවක් නොවිමසූ පුතා ඔරවා බලා යන්නට ගි‍යේය.

“තාත්තා වගේමයි.” එදා මට සිතුනි‍.

“සෝමාවතී කියන්නේ මොඩ් නමක් නෙවෙයි නේද?”

“නෑ නේන්නම්. ඓශ්චර්යා රායි, මධුරි ඩික්ෂිත් වගේ නමක් තියන්න තිබුණේ” මම කීවෙමි.

තිස්ස අභය ගාමිණි වගේ නම් කුමාරයන්ට තිබුණා. ඒවාට පරිබාහිර නම් පට බැදුණා. දේවානම් පියතිස්ස, සද්ධාතිස්ස වගේ විශේෂණ. සුමනා වගේ නම් කාන්තාවන්ට තිබුණා. ඒ අතරේ වෙනත් නම් නොතිබුණා නෙවෙයි. ශාරවරි වගේ නම්. විහාර මහා දේවි අබි සවෙර කියා හඳුන්වන්නේ. පස්සේ කාලෙකදී සවෙර වෙහෙර කියා වෙනස් වුණේ මහාවංශය ලියන අපේ හාමුදුරුවන්ගේ ඕනෑකමටය.

“විහාර මහාදේවි ගැන විශේෂ විස්තරයක් තියෙනවා නේද මහාවංශයේ.”

“හ්ම්...සුනාමියක් ආවම බයවෙලා කැලණියේ තිස්ස රජ්ජුරුවෝ පුරෝහිතයන්ගේ කිමට දුව මූදට බිලිදුන්නා... ඒ කාලයේදී සවෙර කුමාරිට අවුරුදු දහ තුනක් විතර ඇති. ජීවත්වෙන්න පින තිබුණ නිසා කුමාරි පාවෙලා ගියේ මාගමට. එහේ හිටිය කළුම කළු පාට තිස්ස රජතුමා ඒ කියන්නේ කාකවර්ණ තිස්ස රජතුමා කුමාරිව පිළිගත්තා. කාවන් තිස්ස රජතුමා ඒ කාලෙදි තරුණ ළමයි ඉන්න වයස්ගත රජ කෙනෙක්. දිගාමඬුල්ලෙ කුඹුරු වවන්න යැව්වෙත් එක පුතෙක්.

“ඉතින්...”

“ඉතින් තමයි මේ අවුරුදු දාහත‍රේ කුමාරි සම්පූර්ණ රාජ්‍ය බලය අතට ගත්තා. එයාගේ දරුවන්ට රජකම පියාගෙන් පසු ලැබෙන හැටියට වැඩ සැලැස්සුවා.”

“එයාගේ දරුවෝ කීවේ?”

දුටුගැමුණු, සද්ධාතිස්ස දෙන්නා.

දුටුගැමුණු කියන්නේ දුෂ්ට ගාමිණී.

“නෑ එයා දෙටු ගැමුණු. පළමුවෙන් ලැබුණු පුතා.

“තාත්තට ස්ත්‍රී ආභරණ ඇරපු නිසා එයා දුෂ්ට ගාමිණී වුණා කියා මහාවංශයේ කියන්නේ.”

මොන පිස්සු කතාද කාවන් තිස්ස රජතුමා දස මහ යෝධයින් හදලා සේනාව පුහුණු ක‍ළේ අනාගතයේ යුද්ධයක් එන බව දන්නා නිසයි. එළාර මාගම ආක්‍රමණය කරන්නයි සූදානම්ව හිටියේ. අපේ හාමුදුරුවරුන් ලස්සන කතා හදා මහාවංශයට එකතු කරනව. අපිත් සාදු සාදු කියා ඒවා විශ්වාස කරනවා.

“එච්චර බලයක් කොහොමද විහාර මහා දේවිට ලැබුණේ...?

“ඇයි අහලා නැද්ද වාධස්‍ය තරුණි විෂම්” කියන කතාව. වයසක කාකවර්ණ තිස්ස රජ්ජුරුවන්ට බැරි වුණා තරුණ දේවියට විරුද්ධ වෙන්න. දැනුත් ඔය වගේ උදාහරණ ඕනෑ තරම් තියෙන්නේ. ගෑනු හින්දා ආගමත් වෙනස් කරන අය ඉන්නවා.

“එතකොට වයසක ගෑනු තරුණ කොල්ලන්ව බඳින්නෙ?”

“ඒ කතාව දෙපැත්තටම ඔට්ටු ඇති. කාන්තාව තරුණ පෙනුමට ඉන්න වැඩ කාරියක් නම් මොකක්ද තියෙන ගැටලුව?”

“ඉතිහාසේ ඒ වගේ කතා අඩුයි”

“අඩුවෙන්නේ කොහොමද, ක්ලියෝපැට්රාගෙන් පටන් අරන් බලන්න.”

මගෙන් තවත් කතාවක් අසනු පිණිස ඔහු සවන් යොමු කළ ද මම ඒ බවක් නොතකා පැරණි මාතෘකාවට එළඹුණෙමි.

“සෝමාවතී චෛත්‍යය හැදුවේ කාවන් තිස්ස රජතුමාගේ නංගි සෝමාදේවි. ඔන්න මම සෝමාවතී දේවි සෝමා දේවි කියලා මොඩ් කළා... හරිද?

“හ්ම්..‍.”

“ඔතන තව ලස්සන කතන්දරයක් තියෙනවා.”

“ඒ මොකක්ද?”

දුටුගැමුණු කුමාරයට ඕනෑ වුණා එළාරව පරදවන්න යන්න. පුතාගේ මෝඩකමට කාවන් තිස්ස රජ්ජුරුවෝ විරුද්ධ වුණා. එළාර කියන්නේ අවුරුදු හතළිහක් තිස්සේ රජරට පාලනය කළ රජෙක්. මිනිස්සු ඒ සාධාරණ පාලනයට කැමැති වුණා. එළාර දෙමළ කීවට සිංහල මිශ්‍රණයක් තියෙනවා.”

“ඒ කීවේ?”

“මුටසීව රජතුමාගේ නංගි කෙනෙක් දකුණු ඉන්දියාවේ රජ කෙනෙකුට විවාහ කර දීලා තියෙනවා. එළාර ඒ පරපුරෙන් ආ කෙනෙක්. මේ මිනිස්සු අපිට ඊළාම් රාජ්‍යයක් ඕනෑ කියා

කෑගැහුවට ඊළාම් කියන්නේ සීහලම් කියන එකමයි. ඉන්දියාවේ දී සීහලම් නාග ඉලනාග වුණා. ලංකාවට ආවට පස්සෙත් එය ඉලනාගම තමයි. එළාර සිංහල නොදැන හිටිය කියන්න පුළුවන්ද? පිය රජතුමා කීවා පුතා ඔය මෝඩ වැඩේ කරන්න එපා කියන සවෙර දේවිගේ දරුවන්ට මහලු රජු ආදරෙයි.”

“ඉතින්?”

“දැන්ම යුද බිමට යන්න එපා කියූ නිසා ගැමුණු තාත්තාට ස්ත්‍රී ආභරණ යැව්වේ තරහටයි. ඒ අතරෙ එළාර මාගම ආක්‍රමණයකටත් සූදානම් වෙන බව ආරංචියි. තාත්තාව තරහ ගැන්නුවත් රාජ කෝපයට බයෙන් එයා නැන්දා ළඟට ගියා. තමාව ලුහුබැඳගෙන නැන්දා ළඟට පිය රජතුමා නොඑන බව කුමාරයා දන්නවා.”

“ඒ කීවේ සෝමාදේවි ළඟට...?”

“ඔව්. ඔයත් යමක් කමක් දන්නවා එහෙනම්...”

“ඔයා වගේ ඉතිහාසය හැදෑරුවේ නැතුවට මට ඔයාට වඩා දැනුමක් තියෙනවා. රටේ ආර්ථිකය ගැන දේශපාලන වාතාවරණය ගැන ඔයා මොනවද දන්නේ. අඩු ගානේ කිරිපිටි පැකට් එකක්වත් ගන්නා ගාන දන්නවද?” සුමාල් ගොරවන්නට විය.

“කිරිපිටි ගණන දවසින් දවස වෙනස් වෙනවා. ලංකාව ඉතින් චීනේටයි, ඉන්දියාවටයි යටත් බව දන්නවා. ඒත් තව පැත්තක් ඇමෙරිකාවට...”

“ඔය කීවේ...”

“රටේ මිනිසුන්ගේ කෙරුවාවට පාලකයෝ මොනවා කරන්නද? වම දකුණ අඳුනන්නේ නැහැ. පාරේ යන්න දන්නේ නැහැ.”

“මාක්ස් එක දාන්න කීවාම නාහෙට පහළින් දානවා වහගන්න ඕනෑ නාහේ නේ කටට නම් සීල් තියන්න හරි බැරියැ කෝවිඩ් රැල්ල ගැන කියලා.”

“ඇති ඇති ඔයාගේ දැනුම පෙන්නුවා. දැන් සෝමාවතී චෛත්‍යය ගැන කතාව කියන්න.”

“ආ... නාහෙට අහන්නේ නැති පුතා පිය රජතුමාට බයෙන් නැන්දා ළඟට ගියා. නැන්දා කීවේ සෝමාවතී දේවි. මේ සෝමාදේවිට හිටියේ එකම එක දුවයි. බමුණෝ කීවේ මේ කුමාරි කියා යම් සේවයකට පැමිණි දෙව්දුවක්. ආපසු ඉක්මණින් දෙව්ලොව යන බවක්. ඒ නිසා දියණියට සරණ බන්ධනයක් කරදෙන්න සෝමාදේවි උත්සුක වුණේ නැහැ. හැබැයි මේ කුමාරි හරිම ලස්සනයි. එයාගේ නම මොකක්ද දන්නවද?”

“නැහ‍ැනේ...”

“එහෙනම් දැන ගන්නකෝ කුමාරිගේ නම ස්වර්ණමාලී.”

“ස්වර්ණමාලී?”

“හුරු පුරුදු නමක් නේද? නැන්දගේ ගෙදර ගිය කුමාරයා මේ ලස්සන කුමාරිට ආදරේ කළා. නෑනන්ඩිය කරකාර බන්දලා දෙන්න කියා එයා නැන්දාගෙන් ඉල්ලා සිටියා. නැන්දා බෑණට ආදරෙයි. ඒත් කුමාරිගේ කැමැත්තක් නැහැ ගිහි ජීවිතයට. ඒ තමුන්ට වැඩි ආයුෂයක් නැති බව දන්නා නිසයි‍.

“අයියණ්ඩි. මම ඔයාගේ මෙහෙසිය වෙන්නම්. ඒත් මට එක පොරොන්දුවක් වෙන්නම ඕනෑ. කුමාරි අවසානයේදී කීවා.”

“මම පොරොන්දු වෙන්නම්. ඔයා සදහටම මගේ ළඟ රැ‍ඳෙන්නේ නැති වුණත් ඔයාගේ මතකය මගේ හිතේ සදාකාලිකව රැ‍ඳේවි ගැමුණු කීවා.”

“මම මිය ගියාට පසුව අනුරාධපුරයේ යම් තැනක තෙලඹු ගසක වෘක්ෂ ‍දේවතාවියක් වී ඉපදෙනවා. අයියන්ඩි එතන මගේ නමින් චෛත්‍යයක් ඉදිකරන්න ඕනෑ. මේ රට ජාතිය පවතිනාක්කල් ඒ සෑය නිසා මගේ නම ජනතාවගේ හදවත් තුළ හැමදාමත් පවතීවි. ඒ දෙය කරන බවට පොරොන්දු වෙනවා නම් මම අයියන්ඩිගේ මෙහෙසිය වෙන්නම්.”

“මම ඒක කරන්න පොරොන්දු වෙනවා ස්වර්ණමාලි.”

තුන් කල් දන්නා ස්වර්ණමාලී කුමරිය අනාගතය දෙස බැලුවා. තමා නමින් සෑය ඉදිවේවි. තිස්ස කුමරු එය නිම කරාවි. රටම එක්සත් කළ බුද්ධාගම රැකගත් මහා වීරයෙකු වුණත් නාග කන්‍යාවක් ලුහු බඳින්න ‍ගිහින් ගැමුණු කරදරයක වැටේවි. ස්වර්ණමාලී ඒ බව දැනගෙනත් තමා නමින් ඉදිවන චෛත්‍යය ගැන සිතා ගැමුණු කුමරු සමඟින් විවාහ වුණා.

ගැමුණු කුමාරයා තිස්ස වගේ නෙවෙයි. ටිකක් දඟකාරයි. කතී කියන ගොවි කෙල්ලෙකුට ආදරේ කළා. සාලිය කුමාරයාගේ අම්මා ඒ. මව රජ කුමරියක් නොවුණු නිසා වෙන්න ඇති සාලියට රාජ්‍ය උරුමය නොලැබී යන්නේ. ගැමුණු දැන් බුදුන් පුදන්නට එන නාග කන්‍යාවන් ලුහු බඳිනවාලු. ඒත් ගැමුණු ස්වර්ණමාලි නමින් චෛත්‍යයක් හැදුවා. එය නිම කරවන්නේ තිස්ස කුමරුයි.”

“ඇයි ඔයා දුටුගැමුණු කුමාරයාට ගරහන්නේ.” සුමාල් ඇසුවේ කෝපයෙනි.

“තරහ ගන්න එපා සුමාල්. දුටුගැමුණු රජතුමා රට එක්සත් කළ මහා වීරයෙක්. එතුමා නොසිටියේ නම් අද සිංහල ජාතියක් බුද්ධාගම මේ රටේ නැහැ. අපි ඒ උත්තමයට ගෞරව කරන්න ඕනෑ. ඒත් පුහුදුන් පුද්ගලයින්ගේ අනුශය චිත්තය මතුවෙන වෙලාවක් තියෙනවා. ගැමුණු කුමාරයගේ හොඳ වැඩියි. නරක අඩුයි. ඔයාලගෙ හොඳ අඩුයි. නරක වැඩියි” මම කීවෙමි.

“ඔය කීවේ පරම සත්‍යයක්.”‍

“මං කියන්නේ ඇත්තක් සුමාල්. පොඩ්ඩක් හිතලා බලන්න.”

සුමාල් නාසය ‘පුම්බාගෙන සිටියා විනා කිසිවක් කීවේ නැත. කීවා වගේ ම ස්වර්ණමාලි කුමාරි ඉක්මනින් දිවංගත වුණා.

“දිවංගත වුණා?”

ඔව්, දෙවි කෙනෙක් වෙනවා කියන්නේ දිවංගත වෙනවා.

රුවන්වැලිසෑය හදන්නට නියමිත තැන ඇති තෙලඹු ගහේ එයා වෘක්ෂ දේවතාවියක් වෙලා උපන්නා. කාවන්තිස්ස රජතුමා ඇවෑමෙන් සවෙර දේවියගේ දෙටු පුතා රාජ්‍යත්වයට පත්වුණා.

තෙලඹු ගසේ වැඩ සිටින දේවතාවිය හැමදාමත් රෑට හීනෙන් පෙනිලා චෛත්‍යය සෑදීම ආරම්භ කරන්න කියනවා. ඔබට මෙය නිම කරන්න බැරි වුණත් මගේ නමින් මේ සෑය හදන්න ආරම්භ කරන්න. ඒ තමයි දෙන පණිවුඩය‍. සෑයේ අනුරුව කොයි වගේද කියා පුරෝහිතයන් විමසූ ගැමුණු රජතුමා රන්තලියකට වතුර පුරවා එයට ගලක් දැමුවා. උඩට නැඟුණු දිය බුබුළ චෛත්‍යයක් ස්වරූපයට යහපත් බව රජු ඇතුළු හැම දෙනාම පිළිගත්තා.

මේ කාලයේදී බුදුන් වහන්සේගේ ද්‍රෝනියක් ධාතූන් වහන්සේලා නාග ලෝකයේ ඇති බව රහතුන් වහන්සේලා පැවසුවා. උන්වහන්සේලාගේ ඍද්ධි බලයෙන් නාග ලෝකයට පණිවුඩ යැවූ රජතුමා ධාතූන් වහන්සේලා වැඩමවා දෙන ලෙස ඉල්ලා සිටිය‍ා‍. ඒ ඉල්ලීමට එකඟ වීමට නාග රජුට සිදුවුණා.

තෙලඹු ගසේ සිටි ස්වර්ණමාලී දේවතාවිය කැමැත්තෙන්ම ගසින් අයින් වූයේ මේ මහා සෑයට තමාගේ නම තබන බව දන්නා නිසයි.

නාග ලෝකයේ නාග කුමර කුමරියන් ධාතූන් වහන්සේලා නා ලොවින් අනුරාධපුරයට වැඩම වූයේ රහතුන් වහන්සේලාගේ ඉල්ලීම පැහැර හැරිය නොහැකිවූ නිසයි.

ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරවූ ගැමුණු රජතුමා පොරොන්දු වූ පරිදි ස්වර්ණමාලී ‍චෛත්‍යය ඒ නමින් ම ඉදිකරලීමට උපස්ථම්භක වුණා.

ස්වර්ණමාලී දෙව්දුව මේ දෙස බලා සිටියේ සිතේ ඉපිලෙන සතුටකින්. සිංහල ජාතිය පවතින තාක් කල් බෞද්ධ දර්ශනය ලක්දිව පවතින තාක් කල් ස්වර්ණමාලී නාමය මැකී යන්නේ නැහැ.

චෛත්‍යය ඉදිකිරීමේදී නාග කුමර කුමරියන් කඩුපුල් මල් රැගෙන රාත්‍රියට වන්දනාවේ පැමිණියා.

“ඉතින්”

එතැනදී තමයි අවුල ඇති වුණේ. නාග මහරජුගේ දූ කුමරියගේ රූපයට වසඟ වුණු ගැමුණු රජතුමා ඇය බලෙන්ම සිය මාලිගයේ සිරගත කළා.

තම දියණියට වූ අසාධාරණය ගැන නාග රජු කෝපයට පත්වුණා. නාග රජතුමා කෝපයට පත්වූ බව දැනගත් ස්වර්ණමාලී දෙව්දුව වික්ෂිප්තව බලා සිටියා. නාග ලෝකයේ රජතුමාගේ බල මහිමය හමුවේ ඇය අසරණයි.

නාග රජු කුපිත කරවීමෙන් වන්නේ අවැඩක් බව ඇය දන්නවා. වරද ඇත්තේ ගැමුණු රජතුමා අතමයි. ස්වර්ණමාලී කුමරියට කළ හැකි දෙයක් නැහැ.

මේ නිසා ඇයගේ නමින් බැ‍ඳෙන සෑය අතරමග නවතීද? නාග රජුගේ කෝපය සුළුකොට තැකිය නොහැකියි. නාග කුමරිය සිරවී සිටින්නේ කැමැත්තකින් නෙවෙයි. මහරජුගේ අන්තඃපූරිකාවක ලෙසින් දිවි ගෙවීම ඇයගේ අභිප්‍රාය නොවේ‍.

“ඉතින් මොකද වුණේ?”

“ගැමුණු රජුගේ අවසානය ළඟාවීම තමයි. නාග රජු චර පුරුෂයින් එව්වේ ගැමුණු රජුට දෂ්ට කොට මරා දමා දියණිය බේරාගෙන යෑමටයි.”

“ඒක සිද්ධ වුණා?”

“ඔව්, නාග රජුගේ බල පරාක්‍රමය නිසා ස්වර්ණමාලි දෙව්දුවට එය වළක්වාලීමට නොහැකි වුණා. සෑයේ වැඩ කටයුතු නිම වන්නට පෙරදී ගැමුණු රජතුමා නාගයකු දෂ්ට කිරීම නිසා මරණයට පත්වුණා. තම දියණිය ආපසු නාග ලොවට ගෙන්වා ගැනීමට පිය රජතුමා සමත් වුණා.

ස්වර්ණමාලී චෛත්‍යයේ වැඩ නිමවෙලා නැහැ. ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමට ඉදිරිපත් වූයේ තිස්ස කුමරු. සවෙර දේවි මෙවකට මහණ දම් පුරමින් සිටියා.

චෛත්‍යය වටා සුදු පිළි දවටා සෑය නිම කළ බවක් පෙන්වමින් තිස්ස කුමරු අයියන්ඩියගේ සිත පහන් කළාලු. ඒ චුති චිත්තය නිසා ගැමුණු රජතුමා දෙවි කෙනෙක් වුණා.”

“මං අහලා තියෙනවා මෙතේ බුදුන්ගේ දකුණත් සව් වෙන්නේ දුටුගැමුණු කුමාරයා කියා.” “හාමුදුරුවරු කතා ගෙතුවත් එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කළ උත්තමයෙක්. රට එක්සත් කළෙත් එතුමා. ගැමුණු රජතුමා එදා නොසිටියා නම් අපට රටක් ජාතියක් ආගමක් ඉතිරි වෙන්නේ නැහැ. දෙවි කෙනෙක් වුණු එතුමා නිවන් දක්නා ජාති දක්වා පින් පුරවා වැරදි අතීතය අමතක කරන්න ඇති.”

“ඔයාට කියන්න නම් ලේසියි. අපි වැරැද්දක් කළොත් තමයි දිගින් දිගටම කියවන්නේ.”

“බුදු හාමුදුරුවෝ වදාරලා තියෙන්නේ අතීතය ගැන පසුතැවිලි නොවී වර්තමානයේ හොඳින් ජීවත් වෙන්න කියලයි. ඔයාලා අතීතය වගේ ම වර්තමානයත් එක වගේ ගත කරන්න හිතන්නේ. අනාගතයේ මාර්ග ඵලයක් ලබාගන්න නම් වර්තමානය නිවැරැදිව ගත කරන්න ඕනෑ. අතීතයේ වැරදි වර්තමානයෙන් පලවා හරින්න ඕනෑ.” මම සැහැල්ලුවෙන් කීවෙමි.

සුමාල් නිරුත්තරව බලා සිටියේය.

“ඔය නාගයෝ කියන්නේ දිව්‍ය නාගයෝද?”

“ඔව්. එයාලට ඕනෑම වෙලාවක මනුෂ්‍ය වේෂය ගන්න පුළුවන්.”

“දැනුත් දිව්‍ය නාගයෝ ඉන්නවද?”

“සමහරවිට ඉන්නත් පුළුවන්. අපේ මහම්මා කෙනෙක් කීවා රෑට කැලණි විහාරය වදින්න දිව්‍ය නාගයෝ එනවා කියා. මනුස්ස වේෂයෙන්. මහම්මා දැක්කලු මූණෙන් බාගයක් වැහෙන්න තලප්පාවක් බැඳලා, සුදු සළුවක් ඇඳගෙන ලස්සන සුදු පිරිමි කෙනෙක් කැලණි විහාරය වඳින හැටි. මහම්මත් එදා රෑ බෝධි පූජාවක් තියන්න ගිහින් එයාගේ මහත්තයා වෙනුවෙන්. අවුරුදු පහළොවකට කලින් ඊරිසියාකාරයෝ මහත්තයව වෙඩි තියලා මරලා. හැමදාම විහාරය වැඳලා දෙවියන්ට පින් දීලා සතුරන්ට දඬුවම් කරන්න ඉල්ලනවලු.”

“එතැන තියෙන්නේ ද්වේෂයක්.”

“වෙන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයොනේ. ඒ මිනිස්සු හැම දෙනාම එක එක අන්දමට මැරිලා ගියාලු. ඉතින් මහම්මා රෑට කැලණි විහාරය වැඳලා හැමදාමත් දෙවියන්ට පින්දීලා සතුරන්ට දඬුවම් කරන්න කියනවලු.‍

“සතුරෝ මැරුවට ද දෙවියන්ට පින් දෙන්නේ?”

“වෙන්න ඇති. දෙවිවරු කියන්නේ තත්ත්වයෙන් උසස් වුණත් අධිගමයකට පත්වුණු අය නෙවෙයි.”

“ඉතින් කතාව කියන්නකෝ.”

“මහම්මා මටත් කියා තියෙනවා රෑට විහාර මළුවෙදි ඒ වගේ කෙනෙක් මුණ ගැහුණොත් සාමි කියා කතා කරන්න කියලා”

“ඔයත් එහෙම කියනවද?”

‍ “මං ඔය වෙලාවට කැලණි විහාරය වඳින්න යනවද? මහම්මා ඒ පුද්ගලයාට සාමි කියා කතා කරන කොට එයා මහම්මාගේ මූණ දිහා බැලුවලු. නළලේ තලප්පාව ලිහිල් වෙලා දෙබැම මැද්දේ ‘ප’ යන්න තියෙනවලු.”

“නයෙකුගේ වගේ...?”

“හ්ම්...”

“ඔයත් ලස්සන කතන්දර කියන්න දන්නවා‍”

“මං කීවෙ මට කියාපු දේ. නාග කන්‍යාවෝ විතරක් නෙවෙයි. මානවකයොත් කැලණි විහාරය වඳින්න රෑට එනවා ඇති...” මම කීවෙමි.

“ඉස්සර සිව් හෙළයේ සිටි බව කියන නාගයෝ මේ අයද?”

“නැහැ. එතැනදි නාගයෝ කියන්නේ නාග ගෝත්‍රික‍යන්ට. ඒ අය වැඩි දෙනෙක් නාවිකයෝ.“ඔයා නාගයෝ ගැන වැඩි විස්තරයක් කළේ නැහැ.”

එතැන ඇත්තේ පැමිණිල්ලක්.

“නාගයෝ කියන්නේ සශ්‍රීකත්වයේ සලකුණක්. පන්සල් ඉදිරිපිට දොරටුපාල රූප සත්පෙනයකින් අලංකාර කළේ අතීතයේදී. ජලයට අධිගෘහිත නාගයන්ට අද පවා සිංහලයා ගරු කරනවා. කිසි දවසක අපේ අය නයෙක්ව මරණවද? නයා දෂ්ට කරන්නේ කෝපයට පත් කළොත් විතරයි. පොළොංගු කුණකටුවෝ පැන පැන කනවා.”

“ඔයා කියන්නේ සිංහලයා නාග වන්දනාව කළා කියලාද?”

“වන්දනාවක් නොකළත් ගරු කිරීමක් තියෙනවා. කවුද දන්නේ ඒ එන්නේ දිව්‍ය නාගයොද කියලා...”

“පිස්සු හැදෙන සඳ” සුමාල් දෙනෙත පියා ගත්තේය.

ඒ නරමාලාපය දෙස මම සිනාමුසු මුවින් බලා සිටියෙමි.

“ඒ කාලයේදී සිව් හෙළයේ ජනතාව ධාර්මිකයි. මධ්‍යස්ථයි. අනෙක් අයට ගරහන්න ගියේ නැහැ. ඒකට අද...”

“මේ කොරෝනා අස්සේ සමාජය වෙනස් වෙනවා.”

“රට පාලනය කරන රජු ධාර්මික වේවා කියලයි ඒ කීවේ. පාලකයා ධාර්මික නම් පාලිත‍යනුත් ධාර්මික වේවි. තමුන් ඇදේට යන අතරේදි අනිත් අයට කෙළින් යන්න කියන්නේ කොහොමද?”

“ඒත් මිනිස්සුත් දැනගන්න ඕනෑ ඒ ගැන...”

“ජනතාව බලා ඉන්නේ දියසේන පහළ‍ වෙලා රට හදන තෙක්. මිනිස්සු එක්සත් වෙලා දියසේන කෙනෙක් බිහි කළ යුතුයි කියා කල්පනාවක් නැහැ.”

“නවසීලන්තයට, ඕස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් පත්‍ර විසි දාහකට වඩා ඇවිත්ලු.”

ඒ අතේ සල්ලි තියෙන ඇත්තන්ගේ වැඩ. දැන් සිව් හෙළය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියා එක් පණ්ඩිතයෙක් අර්ථ දැක්වූවේ. අපරාදේ මැලේ ජාතිකයන් මතක නැති කරලා. ඒ කියන්නේ ජාවකයෝ. ගලේ බණ්ඩාර දෙවියන්ට ඇහුණා නම් හොඳ දඬුවමක් දේවි.”

දැන් සංචරණ සීමා පනවලා තියෙන නිසා රට සුවපත් වුණු දවසක අපි සෝමාවතී චෛත්‍යය වඳින්න යමු.” මම කීවෙමි.

 

 

Comments