සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 මේෂ- සුබවාදී අරමුණු ඉටුවෙයි

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කිරීම වෙන දිනවලට වඩා යහපත් වන්නේ අගෝස්තු ආරම්භයත් සමඟ ජීවිතයේ බොහෝ සුබවාදී අරමුණ ද ඉටු කරමිනි. යහපත් දැක්ම හදිසි ධනය හා දේපළ උරුමකම් හිමිකම් මෙන් ම වාහන ලාභ නිවාස ඇතුළු බොහෝ භෞතික සම්පත් උරුමකම් ද මෙහිදී ඔබට ලැබෙනු ඇත.

 

වෘෂභ- දුර බැහැර ගමන්

වෘෂභ ලග්නයට අනුව ඔබගේ මෙම සතිය ඇරඹෙන්නේ හදිසි ගමන් මෙන් ම දුර බැහැර කටයුතුවලට මුල් තැන දීමෙනි. තම මවු පාර්ශ්වයේ අයකුට සිදුවන ආර්ථික ප්‍රතිලාභයක් නිසා එය ලබා ගැනීමට ඔබගේ ද උපකාරය අවශ්‍ය බැවින් ඔබට ඒ වෙනුවෙන් කැපවීමට සිදුවනු ඇත. ඒ නිසාම ඔබට අධික වෙහෙස මහන්සිය දැනුණද සතිය මැද භාගයේ සිට බොහෝ ප්‍රශංසා අත්වනු ඇත.

.

මිථුන-‍ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී

මිථුන ලග්නයට අනුව ඔබට මෙම සතිය ඇරඹුම චන්ද්‍රයා 11 වැන්නෙන් පටන් ගන්නා නිසා ආර්ථික ප්‍රතිලාභයක් සමඟ යහපත උදාවේ. තමා කලක සිට සැලසුම් කර තිබූ ව්‍යාපාරික කටයුත්තකට අත ගැසීමට ඔබට හැකිවෙයි. තම අයිතීන් වෙනුවෙන් පෙනී සිට ඒවා දිනා ගැනීමට වෙහෙස දරන සතියකි. නිවාස ගේ දොර ‍ඉඩකඩම් හිමිවීමේ වාසනාව ද ඇත.

 

කටක- පැරණි දේ ඉගෙනීමට උනන්දුවේ

කටක ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා වැදගත් වන්නේ තමාට වෘත්තීය මට්ටමේ ප්‍රතිලාභ රැසක් සමඟිනි. චන්ද්‍රයා 10, 11, 12, 01 යන ස්ථාන පසු කරමින් යද්දී රැකියා ව්‍යාපාර දියුණුව මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් ද කැප වන සතියකි. පැරණි දේ ඉගෙන ගැනීමේ උනන්දුව පුරාවිද්‍යා හා ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමේ උනන්දුව ඇතිවේ.

 

 

සිංහ- තමා වෙනුවෙන් කැපවන පිරිසක්

සිංහ ලග්නයට අනුව චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථාන පසුකර යද්දී ඉතා සුබ සතියක් ඔබට උදා කර දෙයි. ආගමික මුහුණුවරක් සමඟ ආරම්භ වන මෙම සතිය රැකියා - ආර්ථික පසුබිම ශක්තිමත් කෙරෙනු ඇත. තමා වෙනුවෙන් කැපවන පිරිසක් තමාට මුණ ගැසේ. ඒ නිසාම සිතේ ශක්තිය මතු කෙරෙනු ඇත. සතිය අවසානයේ පාදයේ වළලුකරට අගුණයි. ප්‍රවේශම් වන්න.

 

 

කන්‍යා- සිතට වද දෙන සිදුවීම්

කන්‍යා ලග්නයට අනුව ඔබට මේ සතිය ඇරඹුම සුබවාදී නැත. චන්ද්‍රයා 08, 09, 10, 11 යන ස්ථාන පසුකර යාමේදී චන්ද්‍රයා 08 හි හැසිරෙන මුල් දින දෙක තුන ප්‍රවේශම් වන්න. ධන හානි ශරීර සෞඛ්‍යය පිරිහීම මෙන් ම සිතට වද දෙන සිදුවීමකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇත. සතිය මැද භාගයේ සිට තම ආත්ම ශක්තිය ප්‍රබලවීම නිසා බොහෝ කැපවීම් කර ජීවිතය සඵල කර ගැනීමට උනන්දුවේ.

 

තුලා- අනාගත සැලසුම්

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂි ජයග්‍රහණ කීපයකට තමා මුහුණදෙනු ඇත. චන්ද්‍රචාරය 07, 08, 09, 10 යන ස්ථානවල සිදුවන නිසා තම සහකරු හෝ සහකාරිය අතර හොඳ හිත මතුවීම දෙදෙනා අතර කතා බහට ලක්වූ ආර්ථික ක්‍රියාදාමයකට නැඹුරු වීම සිදුවේ. මේ අතර තරුණ පෙම්වතුන් පෙම්වතියන් අතර සුහදත්වය අනාගත සැලසුම් ක්‍රියාවට නැංවේ. විවාහ මංගල කටයුතුවලට සහභාගිවීමට අවස්ථාව උදාවේ.

 

 

වෘශ්චික- සමාජ සේවා කටයුතු

වෘශ්චික ලග්නයට අනුව ‍ඔබ සතියේ මුල් දින දෙක තුන මෙන් ම සතියේ අග භාගය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල හැසිරීම අගුණ සහගත වන අතර දුර ගමන් බිමන් සමාජ සේවා කටයුතු නිසා වෙහෙස මහන්සිය මෙන් ම ධනය වැය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. තම නිවසේ සතිය අවසානයේ ආගමික කටයුත්තක් සිදුවනු ඇත.

 

ධනු- නව ආදායම් මාර්ග

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථාන පසුකර යාමේදී ‍ඔබට හමුවන හිතවතුන් ප්‍රමාණය ඉහළ යනු ඇත.

විශේෂයෙන් දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් උරුමවේ.

තම නිවසේ කටයුතු සඳහා නව ආධාරකරුවන් යොදා ගන්නා තත්ත්වයකි. ඒ හැරෙන්නට ඔබට නව ආදායම් මාර්ග පෑදෙන සතියකි. ආර්ථික ප්‍රතිලාභ ද ඉහළ යයි.

 

මකර- තම ගෞරවය සඳහා කරුණු යෙදේ

මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබ වන්නේ චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීමේ දී වාහන නිවාස හා වෙනත් භෞතික සම්පත් රැසක් උරුම කර දෙමිනි. තම ආදායම් මාර්ග සඵල වනු ඇත.

දූ දරුවන් නිසා ප්‍රතිලාභ මෙන් ම ඒ අය නිසා තම ගෞරවය සුරැකෙන කරුණු යෙදේ. තමා තම දිවියට තව බොහෝ අත්දැකීම් එකතු කර ගැනීමට උනන්දුවන බවක් පෙනෙන්නට තිබේ. නව ව්‍යාපාරික කටයුත්තකට අත ගසනු ඇත.

 

කුම්භ ලග්නය- වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ

‍ කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. අත්හැර දමා තිබූ ඉඩමක් යළි එළි පෙහෙළි කොට වැටමායිම් ගැසීමට උනන්දු වන සතියකි. තම ඥාති සබඳතා වැඩි දියුණු වන ලකුණු පෙනේ.

මවු පාර්ශ්වය පිය පාර්ශ්වය අතර සහයෝගිතාව එකමුතුකම ඇතිවනු ඇත. තම වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ අතර කලින් සැලසුම්කර තිබූ පරිදි ඔබගේ යෝජනා මාලාවක් බලධරයන් විසින් ක්‍රියාවට නංවනු ඇත.

 

මීන ලග්නය- ප්‍රතිලාභ රැසක්

මීන ලග්නයට අනුව මෙම සතිය පුරාවට ඔබට සතුටු විය හැකි කරුණු කීපයක් යෙදේ.

තමාට හිමි වන්නට තිබී අන් සතුවූ ඉඩමක් නිවසක් යළි ඔබගේ අයිතියට පැවරෙන සතියකි.

චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කිරීම මේ සඳහා දැඩි ශක්තියක් ලැබෙන සිදුවීමකි.

වාහන-නිවාස ඵල ලැබී ආර්ථික වශයෙන් ද ශක්තිමත් පසුබිමක් වැටෙන නිසා ඒවා ඉතා හොඳ සිහි බුද්ධියෙන් සුරක්ෂිත කර ගැනීමට උනන්දුවන්න.

Comments