සංගීත ලොව ඔමරිපාන කොමල කරන ‘ජිප්සීස්’ | සිළුමිණ

සංගීත ලොව ඔමරිපාන කොමල කරන ‘ජිප්සීස්’

 

බම්බලපිටියේ ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ සංගීතයට ආදරය කළ පසළොස් හැවිරිදි සිසුවෙක්, විද්‍යාලීය සැණකෙළියට ගීත ගැයීමට පැමිණ සී. ටී. ප්‍රනාන්දු, වොලී බැස්ටියන්, එම්. එස් ප්‍රනාන්දුගේ ගීත අසා ඒ ගීත අනුගමනය කරමින් ගීත ගැයීමට උත්සහ ගත්තේය.

 

එකල ජනප්‍රිය කණ්ඩායම් සංගීතය කෙරෙහි ඔහුගේ සිත් ගියේ තමාට ද එවැනි සංගීත කණ්ඩායමක් ඇරඹීමේ ආශාවක් ඇති කරමිනි. Jet Lines, Fishermen, Spit Fires The Fourtunes, Purple Rain, LaBambas, The Moonstone, Dhararatne Brothers, Eranga and Priyanga වැනි එකල ජනප්‍රියව සිටි තිබූ සංගීත කණ්ඩායම් හා සමාන කණ්ඩායමක් ඇති කර ගැනීමට ය.

මේ පාසල් ශිෂ්‍යයා වූ එවකට 16 හැවිරිදිව සිටි සුනිල් පෙරේරා ගේ සිහිනය සැබෑ කරමින් “ජිප්සීස්“ (Gypsies) සංගීත කණ්ඩායම 1968 වසරේ බිහි විය.

සුනිල් පෙරේරාට සංගීත පිස්සුව වැලඳුණේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිට ය. ඒ සංගීත පිස්සුව වඩාත් මෝදු වූයේ බම්බලපිටියේ සාන්ත පීටර් විද්‍යාලයේ දී ය. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් ඔහුට උසස් පෙළ කිරීමට තරම් සම්මාන සාමාර්ථ නොතිබිණි.

“මගේ තාත්තාගේ නම ඇන්ටන් පෙරේරා. විනෝදයට, ආගන්තුක සත්කාරයට කැමති පුද්ගලයෙක්. තාත්තාට ඉතාම පුංචි දෙයක් ඇති ගෙදර පාටි දාන්න. හමුදා නිලධාරියෙක් වූ තාත්ත රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස ද සේවය කරලා ඒවායින් අස්වෙලා තම සහෝදරයා සමඟ රත්මලානේ ගාලුපාරේ ව්‍යාපාරයක් පටන් ගත්තා. මුව රටම හඳුනන ‘ග්ලුකෝ රස ජුජුබ්ස්‘ නමින් උස්වත්ත කොන්පැක්ෂනරි නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගත්තේ තාත්තාත්, තාත්තාගේ සහෝදරයාත් විසින්. අර මම මුලින් කිව්ව විදිහට තාත්තා නිතර ගෙදර පාටි දමලා මිත්‍රයෝ සමඟ මධු සාද පැවැත්තුවා. අපේ අම්මත් ඩොරින් පෙරේරා තාත්තාට උදව් දුන්නා. අපේ පවුලේ දරුවන් 10 ක්. මම දෙවැනියා. නිහාල්, නිමල්, ලාල්, රංජිත්, පියල්, ශිරාණි, රමණි, ජීනා, දහවැනි නංගී පුංචි කාලෙම මිය ගිහිං. තාත්තා ගාව ඉංග්‍රීසි හා ගී තැටි ගොඩාක් එකතු කරලා තිබුණා. ඉරිදා දවස්වලට පල්ලි ගිහිල්ලා ඇවිත් තාත්තා ඩ්‍රින්ක් එකක් දාලා එම්. එස්. ගේ, වොලී බැස්ටියන්ගේ සින්දු දාගෙන සින්දු කියනවා. අපේ පවුලේ අය බිම ඉඳගෙන අහගෙන ඉන්නවා. මම සංගීතයත්, ගිටාර් වාදනයත් ඉගෙන ගත්තේ වින්ස්ටන් ජයවර්ධන මහතාගෙන්. තාත්තා සංගීතෙට කැමතියි. ආදරෙයි. තාත්තා තමයි මම කිව්වාම “සංගීත කණ්ඩායමක් දාමු ද?“ කියලා ඇහැව්වම “අපි ඕකට ජිප්සීස්“ නම දාමු කියලා යෝජනා කළේ. “ජිප්සීස්“ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ ඔහුයි.“ සුනිල් අතීත කතාව කීවේය.

1970 වසරේ පුළුල් ලෙස අරඹා ඇති “ජිප්සීස්“ කණ්ඩායම මුලින් කියා ඇත්තේ බටහිර ජනප්‍රිය ගීත ය. සුනිල්ගේ නායකත්වයෙන් මුල්ම ජිප්සීස් කණ්ඩායමට ඇතුළත් වූයේ පවුලේ සහොයුරන් පස්දෙනා ය. සුනිල්, පියල්, ලාල්, නිහාල් හා නිමල් ය. මීට අමතරව ඔවුන්ගේ ඥාති සොහොයුරු සොහොයුරිය ද එක්වූහ. 1971 වසරේ සිට සිංහල ගී ගයමින් “ජිප්සීස්“ කණ්ඩායම අහිකුණ්ඨිකයන් මෙන් ඇඳ නියම්ගම් වලට ගොස් ඔවුන් එම්. එස්., සී. ටී. ආදීන්ගේ ජනප්‍රිය ගීත ගැයූහ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද ‘ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය‘ නම් කෘතියේ දැක්වෙන පරිදි ‘ජිප්සීස්‘ කණ්ඩායමේ මුල්ම ස්වතන්ත්‍ර නිර්මාණ වූ‍යේ ‘ළිඳ ළඟ සංගමය, අම්මා අම්මා‘ යන ගීතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අවිරාම (NONSTOP) කැසට්පටය (‘ජොලිය‘-1981) නිර්මාණ කළෝ ද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ගීත හතරේ කැසට්පටය ‘ලුණුදෙහි‘ (1987) නිර්මාණය කළෝ ද, මොවුහුය. ප්‍රසංග වේදිකාවේ දී තමන්ගේ ගීත පමණක්ම ගායනා කිරීම ද සෙසු ගායන ශිල්පීන්ගේ ගායන සඳහා පසුබිම් වාදනයෙහි සහාය නොවීමද ප්‍රතිපත්තියක් කොට ගත් ජිප්සීස් කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදුව බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ ගීත රාශියකි. ඒ අතර ‘තොරන් බඳින්නට රබන් වයන්නට ‘සුබ නැකතක් ආවා, කුරුමිට්ටෝ, දැන දැන වැරදි කරනවා, ලුණු දෙයි, ඕයේ ඔජායේ, තාත්තා, සිඤ්ඤෝරේ‘ වැනි ගී දක්නට ලැබේ. ‘කුරුමිට්ටෝ‘ වැනි ගී කිහිපයක තනු විදේශීය ගී වලින් උපුටා ගෙන ඇතත්, ගීත වැඩි ගණනක තනු ස්වයං නිර්මාණ ය.

‘ජිප්සීස්‘ කණ්ඩායමේ මුල්ම ස්වතන්ත්‍රය නිර්මාණයක් වූ

‘ළිඳ ළඟ සංගමය‘ ඔවුනට ජනප්‍රියත්වය ළං කර දුන්නේය. මේ ඒ ගීතයේ ආරම්භයයි. මෙහි ගීත රචනය චන්ද්‍රා දේවාදිත්‍යගේ ය. සංගීත නිර්මාණය සී. එල්. ෆොන්සේකා ගෙනි.

“උදේ හවස මුණ ගැසෙන්න මුකුළු පාන්න

ගමේ ගොඩේ සිදු වෙන හැම දෙය දැනගන්න

ඔමරිපාන කොමල කරන

අඟනුන් සැම රැස් වෙන

ළිඳ ළඟ සංගමය මුල් තැන“

ඒ සමඟම සුනිල් විසින්ම තනු නිර්මාණය කොට ජිප්සීස් කණ්ඩායම සමඟ ගැයූ මේ ගීතය ද මුල් යුගයේ ජනප්‍රිය ගීතයකි.

“තොරන් බඳින්නට රබන් ගහන්නට

සුබ මොහොතක් ආවා

පැතුම් ලොවේ මල් සිහින සැබෑ වී අලුත් යුවළ ආවා

මල් අහුරක් ගෙන දෙදෙන තුරුලු වී සුපෙම් සිනහ පෑවා

ජය මංගලම් වේවා.“

මංගල උත්සවවලදී අතිශයින්ම ජනප්‍රිය වූ මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. සුනිල් පෙරේරා යනු ඇත්ත ඇති සැටියෙන් කියන, හදවත විවෘත, අවංක අව්‍යාජ නිර්භීත චරිතයකි. කිවයුතු දේ මුහුණට කියන නිසා දෝ ඔහුට බොහෝ විට පාඩු සිදු වුවත් ඒවා උපේක්ෂාවෙන් දරා සිටි චරිතයකි. තමා පාසල් යන කාලයේ සහභාගි වී ඇති නමුත් හැම තරගයකින්ම පැරදුණු බව ඔහු හඬ නඟා සිනාසෙමින් කියන්නේ මහා පුරාසාරමකිනි. තනු නිර්මාණයට මෙන්ම ගීත ලියන්න ද ඔහු හපනෙකි. ගීත රචනයට වෙන ගීත රචකයන් ද ඔහු සහභාගි කර ගත්තේය. ඒ අතර එම්. එස්. ප්‍රනාන්දු, හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ආනන්ද පද්මසිරි, කැලුම් ශ්‍රීමාල් ද වෙයි.

“මගේ පාසල් ජීවිතය එතරම් ලස්සන නෑ. මගේ මගෝඩි වැඩවලට මම අනන්තවත් තාත්තගෙන් ගුටි කාලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම අම්මා මාව බේරා ගන්නවා. හැම තාත්තාම තමාගේ පුතුන් සුමඟට ගන්න උත්සාහ කරනවා. ඒත් තාත්තා අපට ආදරෙයි. හැබැයි තාත්තා ඈත ඉඳලා ආදරේ කරන්නේ. මට පුතාලා දෙන්නෙකුයි (සජිත් හා ගයාන්) දුවලා දෙන්නෙකුයි (රෙහානා සහ මනීෂා) ඒ අය දැන් විවාහ වෙලා දරුවොත් ඉන්නවා. මම දැන් සීයා කෙනෙක්. මට දරුවෝ ලැබුණට පස්සෙ තමයි තාත්තා කෙනෙකුගේ අගය, වටිනාකම තේරුණේ. මගේ තාත්තා ගැන මට ගීයක් ගයන්න ඕනෑ වුණා. මේ අත්දැකීම් අළලා ගීතයක් ලියන්න එම්. එස්. ප්‍රනාන්දුට කියලා තිබුණා. ඒ ගීතයේ කෝරස් එක (ස්ථායි කොටස) එම්. එස්. ගේ. වර්ස් (අන්තරා කොටස) චන්ද්‍රදාස ප්‍රනාන්දුයි, කැලුම් ශ්‍රීමාල් එකතු වෙලා ලිව්වා. ගීයෙන් කොටසකි මේ.“

“තාත්තා මට ඇනපු ටොක්ක

දවාලෙ තරු පෙනුණා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ

අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ

දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනව තාත්තෙ“

අම්මා ගැනත් ගීතයක් මට චන්ද්‍රා දේවදිත්‍ය ලියලා දුන්නා. “අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි මේ මට“ කියලා. හේමසිරි හල්පිට රචනා කළ ‘කුරුමිට්ටෝ‘ ගීත කුඩා දරුවන් අතර ජනප්‍රිය යි. ‘අන්කල් අන්කල් කුරුමිට්ටෝ සිංදුව කියන්න කෝ‘ මම ප්‍රසංගවල සින්දු කියන්න ගියාම පුංචි දරුවන් කෑ ගහනවා.

“පාවෙන පීරිසියක් උඩ නැගලා

පිටසක්වළකින් මෙහාට බැහැලා

ආවේ කුමට ද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ

අපි නං නෑ කවදාවත් දැකලා

පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා

පොඩ්ඩක් බලමුද වතගොත අහල කුරුමිට්ටෝ“

සුනිල් පෙරේරා ප්‍රමුඛ ‘ජිප්සීස්‘ ගැයූ ජනප්‍රිය ගී රැස අතර ‘ලුනු හා දෙහි අපි දෙන්නා, ඕයේ ඔජායේ, අංකල් ජොන්සන්, පිටි කොටපං නෝනේ, සිංඤෝරේ, ලතා නෝ කතා, සයිමා කට් වෙලා, මෙන්ම ජාතික සමගිය ගැන ගැයූ ආනන්ද පද්මසිරි හා හේමසිරි හල්පිට රචනා කළ ගීතය විශේෂය.“ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදාවේවා.“

‘ජිප්සීස්‘ කණ්ඩායම රට පුරාත්, පිටරටවලත් ජනප්‍රිය වෙද්දි මොනික්, කමල්, ලාල්, සෙස්රි, දුෂාන් ඇතුළු පිරිසක් ජිප්සීස් වටා ඒකරාශී වූහ. 1952 සැප්තැම්බර් 14 වෙනිදා මොරටුවේ උපත ලැබූ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා නොහොත් ‘ජිප්සීස් සුනිල්ට‘ තමාටම ආවේණිකා ස්වාධීන ගති පැවතුම් තිබුණේය. ජංගම දුරකතන භාවිතා නොකරන ඔහු සංගීත කණ්ඩායම් සියලු සම්බන්ධතා තම වැඩිමහල් පුතු සජිත්ට භාර දී ඇත. සුනිල් තොප්පියක් පැලඳ ප්‍රසංග වේදිකාවේ ගී ගැයීම විශේෂයකි. 1980 දී ඇරඹූ මේ තොප්පි පැලඳීමට දැන් වසර 41ක ඉතිහාසයක් තිබේ. මුලදී ඔහුගේ කොණ්ඩය යන විට ‘ශීඝ්‍ර ලෙස කොණ්ඩේ යන නිසා ඒක වහගන්න මට තොප්පිය පිහිට වුණා. මම තොප්පිය දා ගත්තට අනුන්ට කිසිදා තොප්පි දාලා නැහැ.‘ සුනිල් සිනාසෙමින් කීය.

එකම වර්ගයේ තොප්පි 25ක් පමණ ඔහු සතුව ඇතත් සුදු පැහැති තොප්පි පැලඳීමට ඔහු කැමතිය.

‘අපේ පවුලේ කවුරුත් දේවස්ථානයටත්, පන්සලටත් යනවා. අපේ ගෙදර ක්‍රිස්තුස්වහන්සේත්, බුදුන් වහන්සේත් එක තැන වැඩ ඉන්නේ. මම බැතිමත් කතෝලික ආගමිකයෙක්. මගේ බිරිය බෞද්ධ, මගේ විවාහය ගැන මේ ටික කියලා ඉවර වෙලාම කියන්නම්. මාගේ ලොකු පුතා සජිත් අපේ ‘ජිප්සීස්‘ ඔෆීස් එකේ වැඩ සම්පූර්ණව භාරව සිටින්නේ.

එයා ගායකයෙක්. විවාහකයි. දුව රෙහානාත් විවාහකයි. පොඩි පුතා ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නවා.

එයත් ගායකයෙක්. බාල දුව මනීෂා ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. මමත් බිරිය ගීතා අපේ දරුවන්ට කිසිම අයුරකින් බලපෑම් කරන්නේ නැහැ. ඒ අය ස්වාධීනව තීරණ ගන්න ඕනෑ. අපිට ආගම්, ජාති, කුල භේද නෑ, අපි කවුරුත් මිනිස්සු. මගේ සජිත් පුතා විවාහ වෙලා සිටින්නේ මුස්ලිම්, බර්ගර් සම්භවයක් ඇති ගැහැනු ළමයෙක් සමඟ.‘ සුනිල් කීවේය.

සුනිල් හා ගීතු කුලතුංග විවාහය සිදුවන්නේ 1982 වසරේය.

‘අපේ විවාහය යුද්ධයක්. විප්ලවයක් කිව්වොත් වැරදි නෑ. 1982 අවුරුද්ද. මොරටුවේ ‘ජිප්සීස්‘ ගෘෘප් එක මොරටුවේ ප්ලේ කළ ලොකු ප්‍රසංගයක් තිබුණා. ඔන්න ප්‍රසංගය ඉවර වෙලා මම ටිකක් විවේකීව ඉන්න කොට ඉස්කෝලේ යන ගැහැනු ළමයෙක් සමරු පොතක් අරගෙන මා ගාවට ආවා.

‘නංගී කොයි ඉස්කෝලෙට ද යන්නෙ?‘

‘නුගේගොඩ අනුලා විද්‍යාලයට යන්නේ. මම සුනිල් අයියගෙ සින්දුවලට හරිම ආසයි.‘

‘ගෙවල් කොහෙද?‘

‘හෝමාගම‘

‘ඔයාගේ නම මොකක්ද?‘

‘ගීතා පෙරේරා කුලතුංග.‘

මට ඇය දැක්ක ගමන් හිත ගියා. එයාගේ වයස අවුරුදු 15යි. එතකොට මට වයස 30යි. අපි යාළු වුණා. ගෙදර ලොකු යුද්ධයක් මේක ආරංචි වෙලා. ගීතගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තද නීති කාරයෙක්. අපි හොරෙන් පික්චර්ස් බලන්න ගියා.

කොතරම් බාධා ආවත් අපි තනි තීරණයක හිටියෙ. ගීතට අම්මයි තාත්තයි තරවටු කළා. බැරිම තැන ගීතා ගෙදරට හොරා නෑ ගෙයකට ගියා. සැක කළේ මාව. ළා බාල ගැහැනු ළමයකු සඟවා ගෙන සිටීම ගැන හෝමාගම පොලීසියෙන් මට ‘චාජ් ෂීට්‘ එකක් ආවා. යුද්ධයක් කළාට පස්සේ ගීතාගේ තාත්තා අපට සමාව දුන්නා.

1982 ඔක්තෝබර් 26 වැනි දා අපි පොලිසියේ දී විවාහ වුණා. නැකැත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. එදා ඉඳලා අද වෙනකං අපි ඉන්නේ මාර ලව් එකේ. හරියට වැලන්ටයින් දවසේ වගෙ. ගීතා බෞද්ධාගමේ හරය මට පහදලා තියෙනවා. කොයි ආගමෙත් හරය මනුෂ්‍යත්වය. සමානාත්මක බව.‘ සුනිල් කීවේය.

සුනිල් චිත්‍රපට පසුබිම් ගායකයෙකි. සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කළ “චිට්ටි“ චිත්‍රපටයට ඩබ්ලිව්. ජයසිරි විසින් ලියූ “ලෝරන්සෝ ද අල්මේදා කොළොම් තොටට යහපත් නාවිකයා“ නම් සුනිල් ගැයූ ගීතයේ සංගීත නිර්මාණය කාලෝ විජේසිරි ගෙනි. ‘සිකුරු හතේ‘ චිත්‍රපටයේ සුනිල් ගී ගැයීය.

සුනිල් පවසන්නේ තමා ගැයූ කිසිම ගීතයකින් කිසිවෙකුට උපහාසයක් මිස අපහාසයක් නොකළ බවය.

 

 

Comments