විඳීමක් නැති කොට ලිවීමක් කොයින් ද? | සිළුමිණ

විඳීමක් නැති කොට ලිවීමක් කොයින් ද?

 

හවානා හි හොඳින් හිරුඑළිය වැටෙන වපසරියක පිහිටි දෙමහල් මන්දිරයකි. එහි ඉදිරිපස බිත්තිවල ඇති ආරුක්කු හා කැටයම් සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරයි. පරණ ධීවර බෝට්ටුවක්, පිහිනුම් තටාකයක් හා මනරම් ගෙඋයනක් ගෘහයට අයත් බූදල් ලෙස පවතී. දෙපස මල් වැවූ ප්‍රවේශ මාර්ගය කෙළවර වන්නේ දික් හැඩයේ පඩි පෙළකින් ය. මන්දිරයට ඇතුළු විය යුත්තේ එම පඩිපෙළ නඟිමින් ය. පැතිර ගිය සාලයෙහි බිත්තිවල වෛවර්ණ චිත්‍ර හා දඩයම් කරන ලද සතුන්ගේ අං තට්ටු සවිකර තිබේ. ඊට පහළින් විශාල පොත් අල්මාරි කිහිපයකි.

ෂා! ශේක්ෂ්පියර්, ටී. එස්. එලියට්, ටර්ගිනිව්, ෆ්ලෝබෙයාර්, ජේම්ස් ජොයිස් එම අල්මාරි තුළ වැඩ සිටිති. සාලය කෙළවරක ජනේලයට සමීපව මැහෝගනී ලීයෙන් තනන ලද ලියන මේසයක් ඇත. එහි බොර පැහැති සිනිඳු ඇතිරිල්ල මත පරණ යතුරු ලියනයක්, පැන්සලක් හා වෘත්තාකාර රාමු සහිත උපැස් යුවළක් පිළිවෙළට තබා ඇත. බැලූ බැල්මට පෙනී යන්නේ උගත් සෙල්ලක්කාර ජවසම්පන්න ලේඛකයකු මෙහි වසන්නට ඇති බව ය.

ඔබ නිවැරැදි ය. අප මේ පැමිණ සිටිනුයේ ලෝක ප්‍රබන්ධ කථාවේ අද්විතීය සටහනක් තබා ඇති අමෙරිකන් ලේඛක අර්නස්ට් හෙමින්ග් වේගේ කියුබාවේ නිවසට ය. ඔහු 1939 සිට 1960 දක්වා වසර විසි එකක් එහි වාසය කළේ ය. හෙමින්ග් වේගේ වැදගත් ම කෘති කිහිපයක් රචනා වූයේ මේ ගෘහය තුළ දී ය. එය අද වන විට සංචාරක ආකර්ෂණය දිනා ගත් කෞතුකාගාරයකි. කියුබාවේ විප්ලවීය නායක පිදෙල් කැස්ත්‍රෝ හා හෙමින්ග් වේ අතර මිතුදමක් පැවැතිණි. කියුබානුවෝ මේ ලේඛකයාට බෙහෙවින් ආදරය කරති. ඔවුනට අනුව හෙමින්ග් වේ යනු අමෙරිකාව හා කියුබාව යා කන සිහින පාලමකි.

අර්නස්ට් මිලර් හෙමින්ග් වේගේ එකසිය විසි දෙවන උපන් දින සැමරුම ජූලි 21 දාට යෙදී තිබිණි. එහෙත් කෙනඩි පුස්තකාලය හෝ හෙමින්ග් වේ සාහිත්‍ය සමාජ හෝ උත්කර්ෂවත් ලෙස හෙමින්ග් වේ සමරන්නට ඉදිරිපත් වූයේ නැත. කොවිඩ් ලෝක වසංගතය ඊට හේතු වන්නට ඇත. හෙමින්ග් වේ ජීවත්ව සිටියේ නම්; අද ඔහුගේ වයස අවුරුදු එකසිය විසි දෙකකි. එය අප අදහන පරමායුෂටත් වඩා වැඩි කාලයකි. ඒ අනුව ඔහුට මෙපමණ කාලයක් ජීවත්වීමට හැකියාවක් නැත. ඔහු 1961 ජුනි 26 දා දිවි නසා ගත්තේ මිනිසා මරණයට නො බියව මුහුණ දිය යුතුය යන ඔහුගේ ම පරමාදර්ශය සනාථ කරමින් ය. එවිට ඔහුගේ වයස අවුරුදු හැට දෙකකි.

අමෙරිකන් කතා කලාව තුළ ස්වකීය අනන්‍යතාව සටහන් කරමින් ලෝක සාහිත්‍යයෙහි අදටත් සංවාදයට ලක්වන නම් කිහිපයක් ඇත. එඩ්ගා ඇලන් ෆෝ, මාක් ටුවින්, හෙන්රි ජේම්ස්, විලියම් පෝක්නර්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් හා අර්නස්ට් හෙමින්ග් වේ ඒ අතර ප්‍රමුඛ වෙති. අමෙරිකාවේ කෙනඩි පාලන සමය තුළ සාහිත්‍යයේ නව පිබිදීමක් ඇති විය. හෙමින්ග් වේ යනු ද කෙනඩි සමයේ ප්‍රතිඵලයකි. ජෝන් එෆ්. කෙනඩි හා අර්නස්ට් හෙමින්ග් වේ අතර සමීප ඇසුරක් පැවැතිණි. කෙනඩි සමයේ පෙරැළිකාර සාහිත්‍යකරුවා ලෙස ද හෙමින්ග් වේ සැලැකිල්ලට ලක් වී ඇත.

හෙමින්ග් වේ අධ්‍යයනය කරන කෙනකුට ඔහුගේ කතා කලාවෙන් මතු නොව; ජීවන පැවැත්මෙන් ද යම් නිර්මාණා‘වේශයක් ලද හැකි ය. ඔහුගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට සංචාරය, ගවේෂණය හා සමාජානුයෝජනය යන සාධක තුන හොඳින් දැක ගත හැකි ය. ඔහු රට - රටවල සංචාරය කළේය. විචිත්‍ර ස්ථාන නැරඹීම හා ඒවා ගවේෂණය කිරීමත් විවිධ මිනිසුන්ගේ ජීවිත ඇතුළාන්තයට එබී බැලීමත් හෙමින්ග් වේගේ නිරන්තර පුරුද්දකි. ඔහු ඉතාලියේ රැකියාවක් කළේ ය. ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටියේ ය. කියුබාවෙන් ආවාහයක් කරගෙන හවානාහී වාසය කළේ ය. කෙන්යාවට හා උගන්ඩාවට ගොස් සතුන් දඩයම් කළේ ය. වාර්තාකරුවකු ලෙස එංගලන්තයට හා ජර්මනියට ගියේ ය. ස්පාඤ්ඤයට ගොස් ගොන් පොර නැරඹී ය. මෙබඳු අත්දැකීම් තොගයක් ඇත්තේ කවර නම්; ලේඛකයකුට ද?

ඔහුගේ අත්දැකීම් කෝෂයට හා ජීවන දෘෂ්ටියට අති මහත් බලපෑමක් කළ සිද්ධි - වස්තු හා ක්‍රියාකාරකම් කිහිපයක් ඇත.

(I) පළමුවන ලෝක යුද්ධයේ සජීවී අත්දැකීම්

(II) ගංගාව හා මහමුහුද ඇසුරු කිරීම

(III) දඩයමේ යෑම හා මාළු බෑම

(IV) මධුපානය හා අවන්හල් ආශ්‍රය

(V) විවාහය, ප්‍රේමය හා ස්ත්‍රී ඇසුර

(VI) සංගීතය හා වාර්තාකරණය

(VII) විවිධාකාර මිනිසුන් ඇසුරු කිරීම

(VIII) මරණය අත්හදා බැලීම

(IX) සන්ත්‍රාසයට මුහුණ දීම

හෙමින්ග් වේ ලිවීම සම්බන්ධයෙන් දක්වන ඍජු අදහසක් වන්නේ තමන් දන්නා දේවල් ගැණ පමණක් ලිවිය යුතුය යන්න ය. ඔහු යමක් ලියන්නට පෙර ඒ ගැන පූර්ණ හැදෑරීමක් සිදු කළේ ය. එලෙස ම ඔහු දැක්වූ තවත් අදහසක් වන්නේ තමන් ඒ ගැන සියල්ල දන්නේ යැයි ආඩම්බරයෙන් ලියන්නට වාඩි වීම අතිශය මෝඩකමක් බව ය. ඉන් හැඟෙන්නේ තව - තවත් දේවල් සොයා බැලීම හා නිවැරැදි කර ගැනීම සාර්ථක ලේඛකයකුගේ ක්‍රමය විය යුතු බව ය. ඇතැම් කතාකාරයෝ තමන් නො දන්නා දේවල් ගැන හිතලු ලියති. හෙමින්ග් වේ ඒවා හැඳින්වූයේ හැඟීමක් නැති නිකං බස - බස හැටියට ය.

ගංගාව, මුහුද හා විචිත්‍ර එළිමහන් ස්ථාන මිනිසාගේ සිතිවිලි ලෝකය අවදි කරයි. පෙරදිග චින්තනයට අනුව ගංගාව ජීවිතයට සමාන ය. මහ සයුර සංසාරයට සමාන ය. මහල්ලා සහ මුහුද කියවන අපට හැඟෙන්නේ එහි කතුවරයා සාගරය පිළිබඳ විශේෂඥයකු විය යුතු බව ය. මුහුදු කුණාටු, සාගර දියවැල්, සුළං හමන දිසාවල් ගැන පමණක් නො ව; මහ සයුරේ තෝරුන් - මෝරුන් ගැන බොහෝ දේවල් ද හෙමින්ග් වේ දැන සිටියේ ය. ඔහු කියුබාවේ ජීවත් වූ කාලය තුළ පාරම්පරික ධීවර ගම්මානයකට නිතර ගියේ ය. ඔහුට එහි මිතුරෝ රැසක් උන්හ. මසුන් මැරීමට ගිය හෙමින්ග් වේ තමන්ගේ උසට සරිලන විශාල මාළුන් බාගෙන ඡායාරූපවලට පෙනී සිටියේ ය. හෙමින්ග් වේට මසුන් ඇල්ලීම ගැන අලුතින් කියා දෙන්නට දෙයක් නැත.

ආදරය, රාගය හා මධු පානය ඔහුගේ ජීවිතයට ආවේණික පොදු ලක්ෂණයකි. ඔහු ආවාහ හතරක් කර ගත්තේ ය. යන - යන තැන දී පෙම්වතියක් අල්ලා ගත්තේ ය. නිතිපතා ම අවන්හල්වල විනෝද වූයේ ය. මධුපානය සංස්කෘතික අංගයක් ලෙස හුවා දැක්වූ හෙමින්ග් වේ අමෙරිකන්කාරයා වීදුරුව අල්ලන ආකාරයේ ද කලාවක් ඇතැ‘යි තර්ක කළේ ය. හෙමින්ග් වේගේ කතාවල එන බොහෝ මිනිස්සු හා ගැහැනු හොඳින් කති - බොති. විවෘත ලෙස ද නිදහස් ලෙස ද ඔවුනොවුන් ආශ්‍රය කරති. ඒ සෑම කතාවක ම ඇත්තේ මානව හැසිරීම් පිළිබඳ සැබෑ තතු ය.

“සන් ඔල්සෝ රයිසස්‘ ආදරය, රාගය හා ලිංගිකත්වය පිළිබඳ සංකීර්ණ හැඟුම් සමුදායක් මුදා හරින නවකතාවකි. පෙක් බාන්ස්, රොබට්, රොමේරෝ හා බෙට් මැතිනිය මූලික කොට කතාව ගලා යයි. පෙක් යනු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් වාර්තාකරුවෙකි. බෝම්බ පිපිරීමක් හේතුකොට පුරුෂ නිමිත්ත අහිමි වූ තැනැත්තකු ලෙස ඔහු හැඳින් වේ. රොබට් විශ්වවිද්‍යාල උපාධියක් හිමි බොක්සිං කාරයෙකි. ඔහු නිරන්තරයෙන් ම තම මුෂ්ටි ප්‍රහාරයේ බලවත්කම ගැන කයිවාරු ගසයි. එහෙත් ඔහු සදාකාලික ප්‍රේමයක් ගැන අපේක්ෂා දල්වාගෙන සිටින්නෙකි. රොමෙරෝ නිර්භීත ගොන් පොරකාරයෙකි. මේ තිදෙනා ම සුරූපී බෙට් මැතිනියට ආදරය කරති.

බෙට් මැතිනිය යනු විවාහ ජීවිතයේ කුරිරු අත්දැකීම් නිසා අවිනීත සමාජ ජීවිතයක් ගත කරන කාන්තාවකි. තමන් අභිමත සියලු පුරුෂයන් කැටුව කමින් - බොමින් හා යහන් ගත වෙමින් සල්ලාලකම්වල යෙදෙන ඇය ආදරය සලකන්නේ කායික සන්තර්පණයක් හැටියට ය. එහෙත් පුරුෂ නිමිත්ත අහිමි පෙක් බාන්ස් කායික සන්තර්පණයක් ලබන්නේ කෙසේ ද? ආදරය, ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ පැතිකඩ ගණනාවකින් කෙරෙන නිරීක්ෂණ මේ කෘතියට ඇතුළත් ය. ජීවිතය පිළිබඳ අලුත් කියැවීමක් ද එහි ඇත.

යුද්ධයේ ඛේදවාචකය, ප්‍රේමයේ සංකීර්ණතාව, බොහීවියානු ජීවිතවල නිස්සාරත්වය, සාරධර්ම පිරිහීමේ අවාසනාව හා මානවයාගේ අහිමිවීම් පිළිබඳ මනා වැටහීමකින් යුතුව කතා ගොඩනඟන්නට හෙමින්ග් වේ ශූර විය. ඔහු ජීවිතයක අහිමිවීම් පිළිබඳ අලුත් අර්ථ - කථනයක් ඉදිරිපත් කරයි. ඒ අනුව අහිමිවීම් යනු මිනිසාට තවත් අලුත් අවස්ථාවක් ලැබීමකි. විචාරක මතයට අනුව “සන් ඔල්සෝ රයිසස්“ යනු අහිමිවීම පිළිබඳ නවකතාවකි. අහිමිවීම හා අනිත්‍යතාව හෙමින්ග් වේගේ ජීවන දෘෂ්ටිය මුවහත් කරන ප්‍රධාන සාධක දෙකකි. ඔහුගේ ප්‍රධාන චරිතවලට ප්‍රේමය අහිමි වෙයි. ජීවන මාර්ග අහිමි වෙයි. ඇතැම්විට ජීවිතය ද අහිමි වෙයි. අහිමිවීම ස්වාභාවික බැවින් ඊට නොබියව මුහුණ දිය යුතුය යන්න හෙමින්ග් වේගේ දර්ශනය වෙයි. හෙමින්ග්වේට ඉතාලියේ දී සිය පෙම්වතිය අහිමි වෙයි. එහෙත් ඔහු අලුත් ජීවිතයකට හුරු වෙයි.

කතා කලාව, ලිවීම හා නිරූපණය පිළිබඳ අධ්‍යයනයක යෙදෙන කෙනකුට හෙමින්ග් වේගෙන් උගත හැකි පාඩම් බොහෝ ය. ප්‍රබන්ධ කථා අධ්‍යයනයේ දී ප්‍රධාන ශිල්පීය ලක්ෂණ හතක් ගැන කතා කරති. කතා වස්තු ගොඩනැඟීම, චරිත හා සිද්ධි නිරූපණය, පසුබිම තෝරා ගැනීම, දෘෂ්ටි කෝණය, භාෂාව හා ශෛලිය, තේමාව, උත්ප්‍රාසය හා සංකේත භාවිතය යනුවෙන් ඒවා හඳුන්වා ඇත. හෙමින්ග් වේ මෙකී ශිල්පීය ලක්ෂණ හසුරුවාගෙන ඇත්තේ ඔහුට ම ආවේණික නැවුම් ආකාරයකට ය. ඔහු කොපිකාරයකු වූයේ නැත.

හෙමින්ග් වේගේ කතා කලාව විමර්ශනය කරන බොහෝ දෙනා “අයිස්බර්ග් තියරි“ හෙවත් ග්ලැසියර න්‍යාය ගැන කතා කරති. එහි අර්ථය වන්නේ කතාවේ බරසාර කොටස කතාවෙන් පිටත ඇති බව ය. එය උකහා ගැනීමට අවශ්‍ය සාධක පමණක් කතුවරයා ගළපයි. මූලික සිදුවීම් හා හැඟවීම් පමණක් කතුවරයා ඉදිරිපත් කරයි. පාඨකයා සිය පරිකල්පනය ඔස්සේ ඉතිරිය ගොඩනඟා ගනී. එහෙත් මේ කාර්යය සිදු කළ හැක්කේ දැක්මක් ඇති ශූර ලේඛකයකුට පමණි.

හෙමින්ග් වේගේ ලියැවිල්ල හා ඔහුගේ ඇතැම් ප්‍රකාශ ඔස්සේ කතා කලාවට අදාළ උපදේශන කිහිපයක් සකසා ගත හැකි ය. ඒ පහත සඳහන් ලෙසින් ය.

(I) තමා දකින සත්‍යය පමණක් ලියන්න.

(II) සිදුවීම් ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න.

(III) විග්‍රහ, විවේචන හා විවරණ අත් හරින්න.

(IV) කතුවරයා කතාවෙන් ඉවත් වන්න.

(V) චරිතවලට නිදහසේ හැසිරෙන්නට ඉඩ දෙන්න.

ඔහුගේ කතාවල අනවශ්‍ය විග්‍රහ - විවේචන කිසිවක් නැත. පණ්ඩිතමානී විවරණ නැත. ඔහු කතාවේ පසුබිම ලෙස යොදා ගන්නේ සත්‍ය ප්‍රදේශ හා සත්‍ය ස්ථානයන් ය. හැකි නම්; අවන්හලේ ඇත්ත නම යෙදිය යුතු යැයි හෙමින්ග් වේ කියා ඇත. පුද්ගල නාම, නගර නාම එලෙසින්ම දැක්වීමට ඔහු උත්සුක විය. මේ ඔස්සේ විශ්වසනීය ගුණය ගොඩනැඟෙයි. අනතුරක් ගැන ලියන ලේඛකයා අනතුරක මුල සිට අග දක්වා ම හොඳින් නිරීක්ෂණය කළ යුතු බව ඔහු කියයි. හෙමින්ග් වේට අනුව අනතුර වැළැක්වීම ලේඛකයාගේ කාර්යයක් නො වේ.

හෙමින්ග් වේගේ ලිවීම පිළිබඳ අභ්‍යාසවලින් ද පාඩම් ගණනාවක් උගත හැකි ය. ඉන් කිහිපයක් සටහන් කර තැබීම වැදගත් ය.

(1) සරල කෙටි වාක්‍ය ලියන්න.

(2) අඛණ්ඩතාව හා ගලා යෑම ගැන සිතන්න.

(3) සාරාංශගත කිරීම වඩා වැදගත් ය.

(4) යළි යළිත් සංස්කරණයට යොමු වන්න.

(5) ශබ්ද කෝෂයක් භාවිත කරන්න.

හෙමින්ග් වේ හිමිදිරි පාන්දර ලිවීම ආරම්භ කරයි. ඊට පෙර පෙර දා ලියූ දේවල් කියවා සංස්කරණය කරයි. ඉර පායා අවුරැල්ලක් ජනේලයෙන් එබිකම් කිරීමට පෙර බොහෝ දේවල් නිරාකූල ලෙස ලියා තැබිය හැකි බව ඔහු විශ්වාස කළේ ය. ලියන අතර ශබ්ද කෝෂය භාවිත කළේ ය. බොහෝ ලේඛකයෝ ශබ්ද කෝෂ භාවිතය ප්‍රතික්ෂේප කරති. ලියන විට ශබ්ද කෝෂ එපා යැයි ඔවුහු කියති. හෙමින්ග් වේ ඒ සම්බන්ධයෙන් කියා සිටියේ ඔවුන් වචනයක ගැඹුර හා ශක්තිය නො දන්නා බව ය. හෙමින්ග් වේ සෑම වචනයක් ම හොඳින් තෝරා ගනී. වාක්‍ය ගැන ඉතා පරෙස්සම් වෙයි. “හව් ටු රයිට් අ සෙන්ටන්ස්“ නමින් කෘතියක් පළකරන මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් පෙන්වා දෙන්නේ වාක්‍ය හොඳින් ලියන තැනැත්තා හැම දෙයක් ම හොඳින් දන්නා තැනැත්තකු බව ය.

හෙමින්ග් වේගේ භාෂාව හා ශෛලිය සකස් වී ඇත්තේ පත්තර කලාවේ වාර්තාකරණයට අනුව යැයි සිතන්නට කරුණු තිබේ. වාර්තාකරණයේ පළමු පාඩම වන්නේ සත්‍යය ලියා තැබීම හා නිරාකූල සරල භාෂාවක් භාවිත කිරීම ය. හෙමින්ග් වේගේ භාෂාව සරල ය. සුන්දර ය. ආටෝප - සාටෝප එහි නැත. එහෙත් උත්ප්‍රාසය ඇත. උත්ප්‍රාසය හා සංකේත භාවිතය ඔහුගේ භාෂාවේ විශේෂ ලක්ෂණයකි.

හෙමින්ග් වේගේ කතා කලාව, ශෛලිය හා භාෂාව ගැන සලකා බලන විට අමෙරිකන් ලේඛකයකු වන ජෝන් ස්ටීන්බෙක් හා නයිජීරියානු ලේඛක චිනුවා අචෙබෙ සිහියට නැඟේ. මේ දෙදෙනා ද ටිකක් කියා හුඟාක් හඟවන ලේඛකයෝ ය. දෙදෙනා ම භාෂාව ගැන උනන්දු වෙති. එහෙත් අර්නස්ට් හෙමින්ග් වේ කිසිවකුට සමාන නැත. ඔහුට ඇත්තේ ඔහුගේ ම ක්‍රමයකි. මේ හිතුවක්කාර මිනිසා ගැන නැවත - නැවත නිරීක්ෂණය කිරීමය.

 

Comments