වර්තමානය යනු ඉතිහාසයේ ම ප්‍රතිනිර්මාණයක් ද? | සිළුමිණ

වර්තමානය යනු ඉතිහාසයේ ම ප්‍රතිනිර්මාණයක් ද?

 

කෘතිය - කටු තියඹරා

කර්තෘ - ජයරත්න වීරක්කොඩි

සරසවි ප්‍රකාශනයකි

මිල. රු. 550/-

දුරකථනය - 076 8602578

 

එක්තරා තරුණියක් කටු තියඹරා ගැට සපා කන්නට වූවා ය. තරුණ පුරුෂයෙකු හා සිදුවුණු අනියම් සංවාසයක් හේතුකොටගෙන තමන් ගැබ්ගෙන ඇතැයි බියගත් ඇය එසේ කටු තියඹරා හෙවත් අන්නාසි ගැට එසේ මහත් අපහසුවෙන් අනුභව කරමින් ගැබ් ගැනීම වළක්වා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටියා ය. කටු තියඹරා නවකතාව ද එවැනිම තත්වයක් විදාරණය කරන්නේ යැයි සිතමි. එහි එන බොහෝ අවස්ථා සිද්ධීන් කළලයන් සේ වැඩී අවසානයේ දි අකල් විනාශයන් අත් කරගන්නේ කටු තියඹරා ගැට කෑ කලෙක මෙනි.

මේ වසරේ ප්‍රකාශයට පත් වු මෙම නවකතාවේ කතුවරයා ජයරත්න වීරක්කොඩි ය. උඩරට රාජධානියේ රාජසිංහ සමය පාදක කරගනිමින් විකසනය වන මෙම කෘතියේ සමාජ දේශපාලනය රොබට් නොක්ස් නම් කීර්තිමත් ඉංග්‍රීසි කතුවරයා විසින් ද අත්දැක තිබේ. ඔහු උඩරට රජුගේ සිරකරුවෙක් ලෙසින් ගත කළේ ද මේ කියන කාල වකවානුවේ දී වීම ඊට හේතුව යි.

ඒ ආකාරයට බොහෝ විදේශික සිරකරුවන් මේ කියන කාලයේ දි උඩරට වාසය කොට තිබේ. ඒත් සමඟම අසල්වැසි ඉන්දියාවේ රාජ වංශිකයන් අතර යුද හටගත් අවස්ථාවලදී පරාජිත රාජ වංශිකයන් සිය දිවි බේරාගෙන ලංකාවට පලා ඒම ද ඒ කාලයට අදාළ දේශපාලන සංසිද්ධියක් විය. මෙහි එන රාමසාමි චරිතය ඊට හොඳ නිදසුනකි. එසේ පලා විත් යාපනයට ගොඩ බසින විට රාජ්‍ය ඔත්තුකරුවන් විසින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලය වන්නේ ඔහු ද අර නොක්ස් මෙන් උඩරට රාජධානියේ සිරකරුවෙකු බවට පත් වීම යි. එහෙත් රාජසිංහගෙන් පසුව ඔහුගේ පුත්‍රයාගේ පාලන කාලයේ දී සිංහල තරුණියක හා විවාහ වී සිටි රාමසාමි රාජ්‍ය සේවයේ නිලයකට පත් වීම ඉන්දියාව හා ලංකාව අතර ක්‍රමයෙන් වැඩුණ දේශපාලන ගනුදෙනු සම්බන්ධයෙන් ද යම් අනාවරණය කරන්නක් වැන්න.

ජෝති හා හපුමලී මෙහි එන ප්‍රධාන ධාරාවේ චරිත දෙකක් හැටියට හඳුන්වා දිය හැකි ය. උඩරට ඉතිහාසයට ම අයත්වන අඹතැන්න, රන්දෙනිවල, ගන්නොරුව යන සටන් මෙහි නිරූපණය වන්නේ ජෝතිගේ සටන් කෞශල්‍යය ද සමඟ එක්ව යමිනි. දක්ෂ දුනුවායෙකු වන ඔහු මීගස්තැන්න නිලමේ වැනි ප්‍රභූ පාන්තික නිලධාරීන්ගේ ද ආශිර්වාදය මැද රාජ්‍ය සම්මානිත තත්වයට පත්වන තරමටම, එකල රාජධානිය තුළ පැවැති කූඨ කුමන්ත්‍රණ මොනවට පෙන්වා දෙමින් ඊට ගොදුරුවන චරිතයක් ද වේ.

ජෝති සිය තරුණ වයසේදී ම ඝාතනය වන්නේ ඒ නිසා ය. යටත්විජිත පාලන සමයේදී අවසානය දක්වාම අපරාජිතව පැවති උඩරට රාජධානිය කෙළවර දී නින්දා සහගත ලෙසින් පරාජයට පත් වන්නේ ද ප්‍රභූන් හා රජු අතර පැවැති විවිධාකාර වු කේලාම්, කුමන්ත්‍රණ නිසා බව මතක් කරදීමට සුදුසු අවස්ථාවක් ලෙසින් ද මෙය දකිමි.

නවකතාවක් වශයෙන් ගත් කල කටු තියඹරා රජ කතා, ගම කතා, ඵෙතිහාසික කතා වශයෙන් බෙදා වෙන් කළ හැකි තැනක නොපවතින්නේ යැයි ද එය ඉතිහාසයේ අවස්ථා සිද්ධි වර්තමානය තුළ ද හඳුනාගනිමින් කියවෙන්නා වු ආඛ්‍යායනයක් ලෙසින් දකින්නට කතුවරයා කැමති වෙයි. ඒ අකාරයෙන් අපට හමුවන ගොවිතැනට මෙන් ම කැඩුම් බිඳුම් වෙදකමට ද අතහුරු කෙන්දාගේ පුරුෂාධිපත්‍යය, ගොවිතැනින් ජීවත්වෙමින් එක ගෙයි කන සේතුවා හා සේදරාගේ ජීවිතය මෙන්ම චාම් දිවිපෙවෙතකට හුරු වු රංහවඩියේ මේ ඉතිහාසය තුළ ජීවත් වී මියගිය මිනිසුන් ඇසුරින් නිරූපණය වූ චරිත වෙති.

නවකතාකරුවාගේ අදහසට අනුව මෙම චරිත ම අද අප වෙසෙන වර්තමානයට ද රූපාන්තරණය වෙති. එහෙත් එය එසේ වන්නේ හුදෙක් ඒ චරිත වශයෙන් ම නොව විශේෂයෙන් ම ප්‍රභූත්වය මුල් කොටගත් සමාජ සංස්කෘතියේ එන සමාජ පීඩනයේ රූපාන්තරණයක් වශයෙනි. අනිත් අතට එකල පැවැති සමාජ, දේශපාලන හා සංස්කෘතිය සමඟ ගත් කළ ඒවා වර්තමානයට අදාළව ප්‍රති නිර්මාණය වීම ද නොවැළැක්විය හැකි තත්වයක් වේ. එසේ ගත් කල යම් කාල වකවානුවක් ඉතිහාසයට එක් වු පමණින් එය අතීතයක් ලෙසින් මුළුමනින් ම බැහැර කර දැමීම කළ නොහැක්කකි. ඊට සුදුසු ම උදාහරණයක් ලෙස කටු තියඹරා නවකතාව පෙන්වා දිය හැකි වේ.

Comments