රටක් හඬවා නික්ම ගිය ප්‍රේමකීර්ති ද අල්විස් | සිළුමිණ

රටක් හඬවා නික්ම ගිය ප්‍රේමකීර්ති ද අල්විස්

 

පොළොව ඇද නටන්නට බැරි අදක්ෂයාට ය. ඕනෑ ම ඇද පොළොවක නටන්නට දක්ෂ නැට්ටුක්කාරයාට හැකි ය. ප්‍රේම් ලා වැන්නන්ට වැඩ බිම ප්‍රශ්නයක් නොවූයේ ඒ නිසා ය.

ජීවතුන් අතර සිටියදී ම ජීවතුන් අතර සිටින්නන්ගේ පුරාවෘත්තයක් වීම අරුමැසි ලැබීමකි. දන්නා කියන හැමෝටම සොඳුරු සිනහවෙන්, විහිළුවෙන්, තහළුවෙන් සංග්‍රහ කළ හේ ගී ලොව අස්වද්දා මාධූර්ය ස්වරයෙන් ජනහද අමතා රටක් නළවා නික්ම ගියේ ය. නික්ම ගියා නොව ඔහුගේ ජනප්‍රියත්වය දරා ගත නොහැකි වූ පිරිසක් අතින් හේ ඝාතනය විය. සේකරගෙන් හිස්වූ ලෝකයේ කිරුළු පලන් රජු වූ ඔහු සිය ගීතයෙන් හා වාක් කෞෂල්‍යයෙන් රට ම සබුද්ධික ව පිනවූයේ ය. ලොකු කුඩා කවරකු හෝ නම කියූ පමණින් දන්නා ප්‍රේමකීර්ති ද අල්විස් සහෘදයාගේ නික්ම යෑමෙන් වසර 32ක් සපිරෙන මේ මොහොතේ ඔහුගේ අවැසි බව තවතවත් දැනෙමින් තිබේ. ප්‍රේමකීර්ති නික්ම ගිය ද ඔහු වපුරා ගිය අස්වැන්නේ අපි තවමත් ඵල ලබමින් සිටිමු. ඒ නිර්මාණාවලෝකයෙන් තව සියවසක් ගිය ද අපට ආලෝකය ලැබෙන බව නිසැක ය.

නිමැවුම් අහසේ දිලෙමින් කිසිවකුටත් අබමල් රේණුවක හෝ වරදක් නොකරමින් සිටි ප්‍රේමකීර්තිගේ ඝාතනයෙන් රිදුණු හදැති ධර්මසිරි ගමගේ මෙසේ සටහන් කර තිබුණේ සහෘදයකු නික්ම යෑම කෙතරම් සිත් සන්තානය රිදවන්නේ ද යන බර රඳවමිනි.

"රුදුරු වෙඩි හඬින් අහසේ පෑයූ අඩ සඳ කැබලි වී ගිය එක් දුක්මුසු රාත්‍රියක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි...නාඩි වැටෙන හඬ තවම අප සිතට දැනෙයි...ඒ කවියකුගේ ගී පොත කිසිදා මළගමකදී දැවිය නොහැකි බැවිනි"

 

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපත ලැබූවේ 1947 ජුනි මස 03 දින කොළඹ සොයිසා කාන්තා රෝහලේදී ය. සයිමන් ද අල්විස් සහ මැස්ටියගේ අමරාදි ගුණතිලක මවුපියන්ට දාව උපන් ප්‍රේමකීර්ති ද අල්විස් මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා අනතුරුව ඇතුළු වූයේ කොළඹ ආනන්දයට ය. ප්‍රේමකීර්තිගේ පියා සේවය කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ය. සිය පුතු අධ්‍යාපනය නිමා කළ පසු තමා සේවය කරන ආයතනයේ ම සේවය කරනු දැකීමට පියා කැමති වුවත්, ප්‍රේමකීර්ති වැඩි කැමැත්තක් දැක්වූවේ ගුවන්විදුලියට සම්බන්ධ වී නිවේදකයකු වීමට ය.

ඔහුගේ කලා කෙත අස්වද්දන්ට මූල බීජ සැපයුණේ කොළඹ ආනන්දයෙනි. පාසල් සමයේදී ම විදුහලේ පළ කළ පුවත් සඟරා කීපයක ම සංස්කාරක ධූර දරන්නට ඔහුට හැකි විය.

 

ආනන්ද විද්‍යාලයෙන් පළ කළ ‘ආනන්දය’ වාර්ෂික සඟරාවේ සංස්කාරකවරයකු වන ඔහු ‘ධම්ම ජයන්ති’ මාසික පුවත්පතේ ද සම සංස්කාරකවරයකු වන්නේ අනාගතයේ සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමේ ලකුණු විද්‍යමාන කරවමිනි.

ප්‍රේමකීර්ති ගේ සිහින මාලිගාව වූයේ ගුවන් විදුලියයි. ඩී. එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර වැන්නන්ගේ කටහඬ අනුකරණයට ඔහු පෙලඹෙන්නේ ඒ අනුව ය. නිවේදක සිහිනය මෙන්ම ඔහුට ලේඛන සිහිනයක් ද තිබිණි. ඔහු එකල ස්වාධීන පුවත්පත් සමාගමෙන් මුද්‍රණය කළ දවස පුවත්පත් කාර්යාලයට යන්නේ ඒ සිහිනය සැබෑ කරගන්නට ය. එකල ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන ආතර් යූ. අමරසේන කර්තෘත්වය දැරූ ‘විසිතුර’ කලා සාර සංග්‍රහය නිකුත් වූයේ සිකුරාදාට ය. එක්තරා සිකුරාදා රාත්‍රියක ප්‍රේමකීර්ති ආතර් යූ. අමරසේන හමු වෙන්නට විසිතුරට ගොස් තමන් ලියන්නට කැමති බව පැවසීය. එකල ආධුනිකයනට සිහිනයක් වූ පුවත්පත් කන්තෝරුවක් ස්වකීය සිහිනය විසින් ම ප්‍රේමකීර්ති ජයගන්නේ එලෙසිනි. කරුණාරත්න අබේසේකරයන් සමඟ කරන ලද සාකච්ඡාවක් පළ වීමෙන් ඇරඹුණු ඔහුගේ පත්‍ර කලා දිවිය හා සමගාමී ව ගුවන්විදුලි ආගමනය ද සිදු වූයේ ය. 1967 උඳුවප් මාසයේ 17 වැනිදා සහන නිවේදකයකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට පිවිසෙන ප්‍රේමකීර්ති කලකදී එහි නැතිව ම බැරි කෙනකු වෙයි. එසේ වෙන්නට වැඩි කලක් ගත නොවන්නේ කවුරුත් දන්නා භාෂාවෙන් කියන්නේ නම් මාධ්‍ය උණ නිසා ය. 1971 වසර වනවිට ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්ථිර නිවේදකයකු බවට පත්වෙන අතර, 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ද 1975 දී ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ද අඩියෙන් අඩිය ඉහළට නඟින්නේ ය. ප්‍රේමකීර්තිට දරුවන් දෙදෙනෙක් සිටින අතර, වැඩිමලා සුරංගී ද අල්විස් ය; ඇගේ මවු දයා ද අල්විස් ය. පූර්ණ සම්පත් අල්විස් ඔහුගේ පුතණුවන් වන අතර ඔහුගේ මවු නිර්මලා ද අල්විස් වේ.

හද පුද අසුනේ සෙනෙහස මැවුණේ.. ගීතය 1969 දී ලියමින් ගේය පද කලාවට පිවිසෙන ප්‍රේමකීර්ති ස්වකීය ලකුණ තව තවත් තහවුරු කර ගන්නේ ය. ඒ වසරේ ම කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයට ප්‍රෙඩී සිල්වා ගයන ‘පරණ කෝට්’ ගීතයත් ප්‍රේම්ගේ අතින් රචනා වෙන්නේ ඔහුගේ පළමු චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.

ප්‍රේමකීර්ති තනන්නේ ප්‍රේමයේ නවාතැනයි. ඔහුගේ අකුරුවල මෙන්ම කතා කරන වදන්වල ද ඇත්තේ අසීමිත ප්‍රේමයයි. සරල නිරහංකාර දිවිපෙවතක් ගත කළ හේ ආදරය බෙදූවෙකි. පොදු බස් රථයේත්, පාරේ පෙට්ටි කඩේත් ඔහුට මිතුරෝ වෙයි. ගමට යන ඔහු නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින් ම දිය දෝතක් ගෙන බොයි. ඒ කිසිවක් ඔහු කරන්නේ සිතා මතා දැන් කාලේ මෙන් කාටවත් පෙනෙන්නට නොවේ. ඒ ඔහුගේ හැටි ය. හේ සරල සුන්දර මිනිසෙකි. පයට ලූ සෙරෙප්පු ජෝඩුවත්, ගත වැසූ කලිසමත්, කමීසයත් හැර අන් වස්තුවක් ඔහු ගත සැරසුවේ නැත. කඩපිල් ගානේ ගැමියන් හා මිනිසුන් සමඟ කතා කරන ඔහු දරුවන් සමඟ කාලය ගත කිරීමට මහත් රුචියක් දැක්වීය.නිර්මාණකරුවකුට රස්තියාදුව තරම් වටිනා යම් යමක් නැති බව හේ ක්‍රියාවෙන් ඔප්පු කළේ ය. අසල්වැසි ඉන්දියාවේ නාරායන් මෙන් ඔහු අත්දැකීම් එකතු කළේ තමා අවට සමාජයෙනි.

එනිසා ඔහුට මහා මානව ප්‍රේමයක් උපදින්නේ සහේතුක ව ය. ඔහු ලියූ සෑම පද වැලක ම ඒ ප්‍රේමය තැවරී තිබිණි. සිය නමේ අර්ථය සේ ම හේ ආදරයට, ප්‍රේමයට විසල් වටිනාකමක්, ආදරයක් එක් කළේ ය. ඔහුගේ කීර්තිය ප්‍රේමය වන්නේ එනයිනි.

අම්මාට දිය හැකි විපුල ම ආදරය ඔහු පුද කළේ ‘ආදරයේ උල්පත වූ අම්මා‘ ලියමිනි. වික්ටර් ප්‍රේම් සුසංයෝගය අමිල ගී රැසක් ගී කෙතට දායාද කළේ හදවතකට එතරම් ප්‍රේමයක් දරා ගත හැකි දැයි සහෘදය අප විස්මපත් කරමිනි.

තනි තරුවේ, සඳ කැන් වැසිලා, ඔබෙ දෙතොල් මත පිපුණු, අපි හැඟුම්වලට ඉඩ දී, ආදරයේ උල්පත වූ අම්මා, තරු අත් අකුරින් සහ මියුරු කල්පනා මේ ප්‍රේමයේ අස්වැන්නෙන් කොටසකි.

“අප දෙදෙනාගේ සුසංයෝගය හරියට රැයයි සඳයි වගේ වුණා. රැය බැබළුණේ සඳ නිසයි, සඳ බැබළුණේ රැය නිසයි‘ වික්ටර් ලෝබ නැතිව වරක් එසේ ප්‍රකාශ කළේ ‘සඳකැන් වැසිලා‘ ප්‍රසංගයට සුබ පැතුමක් එක් කරමිනි.

ඔහුගේ ආදරය අසීමාන්තික විය. කුරුල්ලන්ට ගී ගයන්න ගහට කොළට පාට දෙන්න කොහෝ කොහෝ කොහේ ඉඳන්, අඹ දඹ නාරන් කෙසෙල් දෙල්, සෙවණේ කුඹුක්‌ සෙවණේ, දකුණු ලකේ අග නගරේ, නුවරවැවේ ලියමින් හේ අසීමිත ව සොබාදහමට පෙම් බැන්දේ ය. ඔහුගේ ගී කෙත ගැන කතා කරන්නට අපට දවසක් දෙකක් නොව සතියක් මාසයක් ගත වෙනු ඇත.

දරුවන්ගේ ලෝකයට සැණින් ආ ඔහු අපේ ළමා ලෝකය විචිත්‍රවත් කළ ‘දොස්තර හොඳ හිත‘ වෙනුවෙන් ටයි මාමා හා එක් ව ගීත ලිව්වේ ය.

අඩි ගාණක වළක් කපලා

අඩි ගාණක් අනුන් හෙළලා

අඩියක්වත් ඉහළ යන්න

නුඹට බෑ පු‍තේ

අනුන්ට කැපූ වළේ වැටෙන්නේ

නුඹයි බොලේ...

තමාට සිදු වූ දේ අනාගත පරපුරට සිදු වනු දැකීම හේ රිස්සුවේ නැත. එබැවින් ඔහු දරුවන්ට එසේ නොවන මඟ කියන්නට සිය ගී කලාව භාවිත කළේ ය. ප්‍රේමකීර්ති හැමවිට ම දරුවන් සමඟ සිටීම ප්‍රිය කෙරූවෙකි. රූපවාහිනියේ "ශනිදා සාදය" හා "අඳුන" වැඩසටහන්වලින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ට ය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේ ය. කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ, පුංචි පන්තිවල, රූම් පෙත්ත කැරකෙනවා, සුරංගීට දුක හිතුනා, සමනළයා මල හා ළමයා්‍, මා එක්‌කලා අමනාපව වී දබර වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ දොස්‌තර හොඳහිත වෙනුවෙන් රචිත බෑ කියලා බැරිය මලේ ආදී වූ ගීත සමුච්ඡය අද ද දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය ය.

එකල ගුවන් විදුලියේ සිටි සමහරුන්ට ප්‍රේම්ගේ අසීමාන්තික ජනප්‍රියත්වය දරා ගැනීමට හැකි වූයේ නැත. 1969 සිට 1977 දක්‌වා කාලසීමාව ඇතුළත ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විණි. වසර දෙකක අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොර ව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කරන්නට ප්‍රේම් පසුබට වූයේ නැත. පොළොව ඇද නටන්නට බැරි අදක්ෂයාට ඕනෑම ය. ඇද පොළොවක නටන්නට දක්ෂ නැට්ටුක්කාරයාට හැකි ය. ප්‍රේම් ලා වැන්නන්ට වැඩ බිම ප්‍රශ්නයක් නොවන්නේ ඒ නිසා ය. හේ රජරට දොරෙන් දොර ඇසෙන එක ම ගුවන්විදුලිය බවට රජරට සේවය පත් කරන්නේ ඒ නිසා ය.

ඔහු නිතර පවසා ඇත්තේ ගුවන් විදුලියේ හරියට සේවය කරනවා නම් ඉතා හොඳ මිතුරන් 365 දෙනෙකු පළමු ව ඇති කරගන්නා ලෙසයි. ඒ ඇයිදැයි විමසූ විට ඔහු කියා ඇත්තේ හරියට වැඩ කරන විට වැඩතහනමට ලක්වන බවත්; එවිට දෛනික යැපීම සඳහා එක් එක් මිතුරකුගේ නිවසේ එක් දවසක් ගත කළ හැකි බවත් ය. එය මිතුරාට ද කරදරයක් නොවන්නේ වටයක් කැරකී යළි මුල් ම මිතුරාගේ ගෙදරට යාමට දවස් 365ක් ගතවන බැවිනි. ඒ ඔහුගේ අපූරු නිර්මාණාත්මක චින්තනයයි. හේ සිටින මැදිරිය රස ගුලාවකි; සිතා ගැනීමටවත් නොහැකි ප්‍රශ්න එක්වර ම ඔහු ඉදිරිපත් කරයි; ඒවා පොතපතේ හෝ ජනශ්‍රැතියේ තිබෙන ඒවා නොවේ ය; ඔහු අවට සිටින්නෝ ඒ කොණ සිට මේ කොණ දක්වා කල්පනා කරමින් ඒ ගැටලුවලට පිළිතුරු සොයයි. එහෙත් පිළිතුර අතිශය සාමාන්‍ය වූවකි. හේ පිළිතුර කියූ විට සිනහවෙන මිතුරන් දෙස බලා සතුටු වෙයි. ඕනෑ ම කුඩා දෙයකින් සතුටු වීමේ අමිල හැකියාවක් ඔහුට තිබිණි. හදවතේ අස්සක් මුල්ලක් නෑර අයිති කරගත් මේ සොඳුරු මිනිසාට වෙඩි තැබූ අත ගැනත්, වෙඩි තබන්නට හිතූ සිත ගැනත්, ඒ අණ ක්‍රියාත්මක කරන්නට යෙදූ හඬ ගැනත් අදටත් සිතා ගත නොහැකි ඒ නිසා ය.

ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ ඇතුළත ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ඔහු ස්වකීය නිහතමානීත්වය හා සරල බව කිසිවකින් අවම කර ගත්තේ නැත. මුව නිතර රැඳි පුළුල් සිනාව ඔහුගේ සොඳුරු බව උද්දීපනය කළේ ය. සොඳුරු මිනිසුන් මිය යන්නේ නැත. හදවතේ ඔවුන්ට ඇති ඉඩ සදාතනික වූවකි. දේශානුරාගයෙන් ඔද වැඩුණු සිතැත්තකුට ප්‍රේම්ගේ ගීයක් සිහි නොවන්නේ නම් පුදුමයෙකි; සොඳුරු මීවිතකින් සප්පායම් වෙමින් ගං තෙරක ගී ගයන සොඳුරු නිශාවක ප්‍රේමකීර්ති ලියූ ගීයක පද නොගැයුණොත් අරුමයෙකි; ආදරයෙන් ප්‍රමුදිත සිතක මෙන්ම විරහවෙන් රිදුණු සිතකට ද ප්‍රේම්ගේ ගීයක් මතකයට නොනැඟෙන්නේ නම් ඒ ද පුදුමයෙකි. අදත් අප අතර ඔහු හදවතේ වැඩි ම ඉඩක් අයිති කරගෙන ඇත්තේ එබැවිනි.

 

Comments