මගේ සිහිනය වු‍ණේ සිනමා විචාරකයකු වීම නොවේ | සිළුමිණ

මගේ සිහිනය වු‍ණේ සිනමා විචාරකයකු වීම නොවේ

 

ජයවිලාල් විලේගොඩගේ සිනමා විචාරය සම්බන්ධයෙන් ඔබට තිබෙන්නේ විචාරයක් තිබුණා නේද?

පාසල් යන කාලයේ සිට ම අපි ජයවිලාල් විලේගොඩගේ විචාර කියෙව්වා. එතනදී අපිට නීර්ණායකයක් ලැබුණා අවරගනයේ හා උසස් යැයි සම්මත චිත්‍රපට අතර බෙදීමක් තියෙනවාය කියලා. ඒ අනුව යමින් මම මුලින් ම චිත්‍රපට විචාරයක් ලිව්වෙ “රේඛාව” ගැන යි.

නමුත් 60 දශකය අවසාන කාලයේ දී තිරගත වන “මොකද වුණේ” චිත්‍රපටයේ කතා නායිකාව වෙසඟනක වීම, ඒ හා බැඳුන මුඩුක්කු යැයි කියන දර්ශන පැවතීම ඒ වගේම මෙම චිත්‍රපටය ජාත්‍යන්තරව ප්‍රදර්ශනය වීම ගැන ජයවිලාල්ගේ විරෝධය මට තේරුම් ගත නොහැකි වුණා. ඔහුට අනුව මෙවැනි චිත්‍රපට විදේශයන්හි තිරගත වීම තුළින් ලංකාව ගැන හොඳ හැඟීමක් නෙවෙයි ලෝකයට ඇති වෙන්නෙ. ඒ වගේ ම “පරසතු මල්” චිත්‍රපටය ගැන ඔහුගේ ප්‍රශංසාවත් මට ප්‍රශ්නයක් වුණා. අන්තර්ගතය අනුව ගත්තම හුදු සල්ලාල චරිතයක් මත ම කේන්ද්‍රගත වෙමින් නිර්මාණය වූ ඒ චිත්‍රපටය ගැන මට ලොකු විවේචනයක් තියෙනවා. ජයවිලාල්ගේ විචාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු යැයි මම හිතන්න ගත්තෙ ඔහු ගැන ඇති වු ඒ විසංවාදයන් ද සමඟ යි. ඒ කොහොම වුණත් මම හිතනවා ඔහු අපිට හොඳ මඟ පෙන්වීමක් කළාය කියලා.

 

සිනමා විචාරයේ දි ජනප්‍රිය හා විදග්ධ යන බෙදීම ගැන ඔබේ මතය කුමක් ද?

කලක් මමත් ජනප්‍රිය සිනමාව මගේ බැහැර කළා. මේ නිසා ම එච්. ඩී. ප්‍රේමරත්න වැනි චිත්‍රපට අධ්‍යක්ෂවරු මාත් සමඟ හිත නරක්කර ගත්තා ද කියලත් මට හිතෙනවා. නමුත් අද මම හිතන විදිහට කොන්දේසි විරහිතව ජනප්‍රිය සිනමාව ගැන එවැනි ආස්ථානයකට යෑම සුදුසු නැහැ. ඒ කොහොම වුණත් පතිරාජගේ සිනමාව සම්බන්ධයෙන් මා සතුව විශේෂ ඇගයීමක් පවතිනවා.

අහස්ගව්වේ සිට ඔහුගේ සිනමාව ඇති කළා වූ ඒ දේශපාලන දැක්ම හරි වැදගත්. ඒ කාලයේ මට උණක් තිබුණා චිත්‍රපට විචාරය හා ජනමාධ්‍යවේදය ගැන. “සකුරා” කියන පුවත් පත නිර්මාණය වුණේ ඒ නිසා යි. ඒ විදිහට මම තනියම කියවගත්ත පත්තර කලාවක් තුළ කටයුතු කරන අතර “බඹරු ඇවිත්” චිත්‍රපටය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. මේ කටයුතුවල දී රනිල් ඇල්විටිගලගේ දායකත්වයත් විශේෂයෙන් ම සඳහන් කරන්න ඕනෙ. අපි මේ සම්මන්ත්‍රණයට මහාචාර්ය සරච්චන්ද්‍ර, අමරසේකර යන විද්වතුන්ට ආරාධනය කළත් ඔවුන් ඊට කැමති වුණේ නෑ. ඒ නිසා අපිට විකල්පයක් සොයන්න සිදු වුණා. ඒ විදිහට තමයි මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය සංවාදය ඇති වුණේ. ඉන් පසුව ලංකාවේ සිනමාව, එහි දේශපාලනය, හා විචාරය සම්බන්ධයෙන් ඇති වුණ බලපෑම මම අමුතු වෙන් කිව යුතු නෑ.

 

එහෙම තිබියදීත් පතීගේ “පාර දිගේ” චිත්‍රපටය හමුවේ සම්මත විචාරයේ අර්බුදයක් ඇති වුණා නේද?

මුලින්ම චිත්‍රපටය වෙනුවෙන් පවත්වපු මාධ්‍යවේදීන්ගේ දර්ශනයේ දීම බොහෝ විචාරකයින් ඇඹරෙන්න පටන් ගත්තා. පතිරාජ මොනවද මේ කරල තියෙන්නෙ වැනි අදහසක තමයි ඔවුන් පසු වුණේ. ඒත් මම ඇත්ත පත්තරේට ලිව්වා පාර දිගේ හමුවේ සම්මත විචාරය අර්බුදයකට ගිහින්ය කියලා. පසුව “සම්මත විචාරය පුපුරුවාහල පාර දිගේ” නමින් අපි සම්මන්ත්‍රණයක් ද සංවිධානය කළා. මේ විදිහට හුදෙක් සිනමා විචාරය තුළ ම නොනැවතී මම හිතනවා ඉන් එහාට ගිය කාර්යභාරයක් එදා අපි සිනමාව වෙනුවෙන් කළාය කියලා.

 

සිනමා විචාරකයෙක් වෙන්න මුල සිටම ඔබට ලොකු බලාපොරොත්තුවක් තිබුණ ද?

මට ඕනෑ වුණේ නිර්මාණකරුවෙක් වෙන්න. මම මුලින්ම ලියුවේ නවකතාවක්. සුසිත ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනයෙන් සහන මිලකට ඒ පොත පළ කරගන්න එදා මට ගිය මුදල රු. 650 ක්. මගේ අලුත්ම කෘතියත් නවකතාවක්ය කියලා කියන්න ඕනෙ. “එළියක් නැති ගමනක්” ඇතුළුව කෙටි කතා සංග්‍රහ කිහිපයක් ම පළ කරලාත් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ නිර්මාණකරුවෙක් වීම කියන එක මං හිතන්නෙ කවුරුවත් දන්නෙ නෑ. “චාරයක් නැති මිනිහෙක්, ගැහැනියක් සහ ඛේදවාචකයක්” ලියවුණෙත් නවසිය හැත්තෑ ගණන්වලදී යි. අදටත් මම නිර්මාණකරුවෙක් වීමේ බලාපොරොත්තුව අත් ඇරලා නෑ.

 

ඔබේ අලුත්ම නවකතාව ගැන විස්තරයක් කළ හැකි ද?

“සිත්තරෙකුගේ ආදර කතාව” නමිනුයි එය නම් කළේ. අපි දන්නවා ලලිත කලා විෂය හදාරන චිත්‍ර ශිල්පීන් නිරුවත් ගැහැනියකගේ ආලේඛ්‍යය චිත්‍රයක් අඳින්න, එහෙම පැවරුමක් ඔවුන්ට තියෙනවා. ඒ වෙනුවෙන් මොඩ්ල්ස්ලා කියල හඳුන්වන ස්ත්‍රී නිරූපිකාවන්ව ගෙවීමක් සහිතව යොදා ගන්නවා. විදේශීය රටවල එය පිළිගත් වෘත්තියක්. ඒ නිසා ඒ කටයුත්ත හමුවේ ඔවුන්ට සමාජ සංස්කෘතික අපහසුවකට ලක් වෙන්න සිදු වෙන්නෙ නෑ. නමුත් අපේ සමාජ සංස්කෘතිය තුළ එහෙම ඉඩක් ඔවුන්ට තියෙනවද? ඔවුන් මේ කටයුත්තේ යෙදෙන්නේ හුදෙක් ජීවත්වීම වෙනුවෙන් ද? ඒ විදිහට ඔවුන් ගත කරන්නේ සමාජයෙන් සැඟවුණ ජීවිතයක් ද? එවැනි පසුබිමකත් ඔවුන්ට නිසි වැටුපක් ලැබෙනව ද? මෙන්න මේ සංවේදිතාවන් තමයි මේ නවකතාවෙන් නිරූපණය වෙන්නෙ.

 

ඒ කොහොම වුණත් පොදු හඳුනාගැනීම තුළ ඔබ චිත්‍රපට විචාරකයෙක්. ඒකට හේතුවක් තියෙනව ද?

විශේෂයෙන් 60 දශකය තුළ පිළිගත් චිත්‍රපට විචාරකයින් හිටියා. ඒ. ජේ. ගුණවර්ධන, පියල් සෝමරත්න, සිරිල් බී පෙරේරා වැනි බොහොමයක් විචාරකයින් එදා සිටියා. නමුත් 70 න් පසු නව දේශපාලන වෙනස්කම් හමුවේ චිත්‍රපට විචාරයේ මතවාදී වෙනස්කම් වගේ ම 80 වෙනකොට නව ආරක චිත්‍රපට ප්‍රබෝධයක් හමුවේ සාම්ප්‍රදායික විචාරය ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය ඇති වුණා.

එතනදී පියල් සෝමරත්නට සුදුසු දේශපාලන දැනුමක් තිබුණත් ඔහු ඒ වන විට අප අතහැර ගොස් තිබුණා. 80 වෙනකොට සිනමා විචාරයට අදාළව පැවති පුරප්පාඩු තත්වයක් මා අතින් පිරවුණා ද කියලත් අද මට හිතෙනවා.

මුලින්ම ඇත්ත පත්තරෙනුත්, පසුව තවත් පුවත්පත්වලිනුත් මට මේ කාර්යය නිල වශයෙන් ම පැවරුණා වගේ තත්වයක් තමයි ඇති වුණේ. පසුව මම ම එය විෂය හැදෑරීමක් බවට පත් කර ගත්තා. ඔය විදිහට තමයි කරුණාසේන ජයලත්ගේ ලිපි නාමාවලිය, “ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය”, ලෙස්ටර්, පතිරාජ, එච්. ඩී. ප්‍රේමරත්න වැනි සිනමාකරුවන්ගේ සිනමා භාවිතාව ගැන ලියු “ප්‍රතිරූප”, රුක්මණීගෙන් ආරම්භ වන මෙරට නළු නිළියන් හා සම්බන්ධ “තාරකා මේඝය” වැනි කෘති මා අතින් ලියවුණේ. ඒ වගේ ම “තරු විනිවිද දුටු අදියුරු” යන මේ කෘති වලින් මා උත්සාහ කළේ අපේ සිනමාව හා සම්බන්ධ නළු නිළි රංග විලාසය, අධ්‍යක්ෂවරුන්ගේ සිනමා භාවිතාවන් වගේ ම සමාජ දේශපාලනය ගැන විමර්ශනාත්මකව දකින්න යි.

ඕනෑම කාලයක දී ලේඛකයෙකුට ඒ කාලය විසින් පවරන කාර්යභාරයක් පැවරෙනවා. එය ඉටුකිරීමේ වගකීමක් ද නියම වෙනවා. සමහර විට ඒ කාර්යභාරය අවසානයේ දී ඒ ලේඛකයා අර තත්වය හමුවේ තමන්ට මඟ හැරුණ තමන්ගේ හෘදය සංවාදී නිර්මාණකරණයකට යොමු වෙන්න ඉඩ තියෙනවා. අද මම ඉන්නෙ එහෙම එතැන.

Comments