කන්දක් සේම දරාගෙන අහසක් තරම් දේ දුන් සුමිත්‍රා රාහුබද්ධ | සිළුමිණ

කන්දක් සේම දරාගෙන අහසක් තරම් දේ දුන් සුමිත්‍රා රාහුබද්ධ

 

ලේඛකයකුට නිර්මාණයක් සම්පාදනය කිරීමට බලපෑම් කරන්නා වූ සාධක කවරේදැයි ලොව කිසිවකුත් නොදනී. ස්වකීය අත්දැකීමක් හෝ අනෙකකුගේ අත්දැකීමක් හෝ නිර්මාණය සඳහා පාදක විය හැකිය. එහෙත් ඒ අත්දැකීම ලේඛකයා තමන්ට අවැසි පරිදි ප්‍රතිනිර්මාණය කරයි. තමා අසන හෝ දකින දෑ එපරිද්දෙන්ම ලියන්නේ වාර්තාකරුවන් ය. නිරිමාණකරුවා එතැනින් වෙනස් වෙයි. නිර්මාණකරුවා ස්වකීය පරිකල්පන ඊට මුසු කර පාඨක පරිඥානය වෙනුවෙන් නිර්මාණයක් බිහි කරයි. තමාට හමුවෙන චරිත පාදක කරගනිමින් පරිච්ඡේද පුරවමින් විවිධ, විවිධ චරිත ඊට ඈදමින් කතාවට මස් ලේ එකතු කරන්නට නිර්මාණකරුවකුට සිය මනසේ ඇතිවන සිතිවිලි පරම්පරාව පමණක් ප්‍රමාණවත් ය. මනසින් වැඩෙන ඒ කතාව සුන්දර වචන, සුන්දර චිත්තරූප හා ‍බසෙන් වර්ණවත් ව නිර්මාණයක් සේ එළි දකී. කුඩා දසුනකින් කතාව ඇරඹියේ වී නමුදු එය පරිකල්පනයෙන් හැඩ වී සංකීර්ණ මනෝභාව විවරණය කරයි. තමන්ගේ ම සිතිවිලි බරෙන් වරෙක සිනාවෙන, වරෙක හඬා වැලපෙන, වරෙක ආත්මානුකම්පාවෙන් පීඩිත වන නිර්මාණකරුවන් අපට හමු වෙන්නේ එබැවිනි.

සුමිත්‍රා රාහුබද්ධ අපට හමුවෙන එවැනි අපූර්ව නිර්මාණවේදනියකි. ඇය දකින, අසන දෑ වෙන ම මානයක තබා එයට ලේ, මස්, ඇට, නහර එක්කර ජීවී වස්තුවක් කරන්නේ ය. ඈ ලියූ බොහෝ නිර්මාණ අතර ‘ඉටිපහන්‘ නවකතාව කියවා අදටත් හඬන, වැලපෙන, මතක අතර අතරමං වෙන බොහෝ පාඨකයෝ අපට හමු ‍වෙති. එහි අත්දැකීම ඔබ හා බෙදා ගන්නට සිතුවේ එබැවිනි.

‘විශ්වවිද්‍යාලෙ මට වඩා වසර දෙකක් ජ්‍යෙෂ්ඨ වසරෙ ඉගෙන ගත්ත කෙනෙක් එයා ළඟ මම ලියන විදියේ කතාවක් තියෙනවා; ඒක මට කියන්න කැමතියි කියලා මගේ යාළුවෙක්ට කියලා තිබුණා. මම ගිහින් එයාව හමු වුණා. එයා මට කිව්වෙ මගේ වසරෙ මගේ යෙහෙළියක් ගැන කතාවක්. ඇය තමයි සෝමෙ. කතාවෙ එන විදියට ම සිරිනාථ කියන මේ පුද්ගලයා හා සෝමෙ අතර තිබුණු සම්බන්ධයක් ගැනයි ඔහු කීවේ. සිරිනාථට හිත්වේදනාවක් තිබුණා සෝමෙ සම්බන්ධ දේවල්වලට ඔහු වැරදිකාරයෙක් කියලා. ඔහුට ඕන වුණා, වැරදිකාරයා වුණාට මට එහෙම වෙන්න හේතු තිබුණා කියලා මට කියන්න. ඉතින් එයා කියපු දේ අහගෙන හිටියට මට සෝමෙ ගැන වෙනම කියැවීමක් තිබුණා. අපේ පන්තිවල ඇය සිටියා, ඇය නිරන්තරයෙන් ගුරුවරු කියන දේවල් ප්‍රශ්න කළා, ඇය හරිම ලස්සනයි. ඒ නිසා මම හිතුවා මෙයා කියන එකම නොවෙයි මම ලිවිය යුතු කියලා. පස්සෙ මං හොයන්න පටන්ගත්තා. මං හොයන කාලෙ වෙනකොට සෝමෙගෙ අම්මා ජීවතුන් අතර ඉන්නවා. අම්මා එක්ක මං කතා කළා; ඇය දුප්පත් නූගත් කාන්තාවක් වුණත් ඉතා ඥානාන්විත ව උත්තර දුන්නා. සෝමෙ ළඟින් ආශ්‍රය කරපු සුනිලා අබේසේකර, ඊවා රණවීර වගේ අයත් තව සෑහෙන පිරිසකුත් මම හමු වුණා. මම මගේ පශ්චාත් උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේ මට ලයනල් බෝපගේ හමු වුණා. ලයනල් විජේවීරව ළඟින් ඇසුරු කළ කෙනෙක්; ඉතින් මට ඒ පැත්තෙ කතාවත් හම්බු වුණා. මම පුස්තකාලයෙන් ඉතිහාස කරුණු හොයා ගන්න පුළුවන් වුණා. ලංකාවට ඇවිත් තමයි මම ලිව්වෙ. අර පුද්ගලයා මට කියපු කතාව ඔස්සේ තමයි මම තව තව පාරවල්වල ගියේ. මම සෝමෙව ඇසුරු කළ කෙනෙක්; ඇය හරිම අභීත කාන්තාවක්; දක්ෂයි. ඇයට තිබුණු දක්ෂකම, හැකියාව අනුව ඇය ඉදිරියටම යාවි කියන එක අපි හිතුවට ඇය හැමවිටම සිතුවේ මේ ගමන මම තනියෙන් නොවෙයි හැමෝම එක්ක යන්න ඕන කියලා. ඇය උදාර කාන්තාවක් වෙන්නෙ ඒ නිසා. මේ සිදුවීම ඒ කාලෙ දහස් සංඛ්‍යාත ගැහැනුන්ට, පිරිමින්ට සිදු වුණා. මම ලිව්වෙ ඒ පරම්පරාව ම ගැන‘

ලේඛකයාගේ මනසේ විවිධ හැඩතල, විවිධ චරිත පෙරළි කරන්නේ කලින් සැලසුම් කර නොවේ. ඒවා පරිකල්පනය දියුණු කළ ඇසිල්ලේ ලැබෙන සිතිවිලි පරම්පරාව ය. ඒ සිතිවිලි පරම්පරාව වැඩෙන්නට, පෝෂණය වෙන්නට කලක් ගත වෙයි. ඕනෑම නිර්මාණකරුවකුට සිත පුරා කාලයක් තිස්සේ පෙරළි කළ කතාව හෝ නිර්මාණය ලේඛනගත කරන්නට සැරසෙද්දී සිතේ තිබූ සැලැස්මට මුළුමනින් ම පරිබාහිර සැලස්මක් අනුව නිර්මාණය පෙළ ගස්වන්නට ද පුළුවන. නවකතාවක් නම් කතාව ලියාගෙන යද්දී ඒ චරිත තර්කානුකූල ව ලේඛකයා හා ගැටෙන්නට පටන් ගනී. එවිට ලේඛකයාගේ පෑන මෙහෙයවෙන්නේ අර චරිත වල ස්වභාවයට අනුකූල ව ය.

සුමිත්‍රා රාහුබද්ධ ජ්‍යෙෂ්ඨ ලේඛිකාව ලියූ ලංකාවේ සියලු සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලැබූ නවකතාව වන ‘කන්දක් සේමා‘හි අත්දැකීම වෙනස් ම එකකි. කන්දක් සේමා ඇයට සම්මාන සේම මහා අත්දැකීම් සම්භාරයක් ද අත්කර දුන්නේ ය. නූපා සේම හෝ ඊටත් වඩා සවිමත් ව ඇය ඊට මුහුණ දුන්නා ය.

‘අධිකරණ අමාත්‍යාංශයේ ඉද්දි මට එක්තරා කාන්තාවක් දිගින් දිගටම ඇගේ කතාව කියන්න ඕන කියලා කතා කළා. ඇය පළමු දවසෙ පැය එකහමාරක් කතා කළා. ඒ කතාවෙදි මම දැනගත්තා ඇය ළඟ හොඳ කතාවක් තියෙන බව. ඇයට පුදුම හැකියාවක් තිබුණා කතා කියන්න. ඇය කියන දේවල් මගේ හිතේ බරපතළ වෙනසක් ඇති කළා. මම මේ දේවල් හොයන්න ජපානයේ ඒ කාන්තාවගේ ගෙදරට ගියා. ටෝකියෝ ඉදන් නීගතාවලට පැය දෙකහමාරක දුර ගමනක්. එයා එක්ක නීගතාවේ එයා කියන හැම තැනකම මම ඇවිද්දා. එයා ඒ හැම තැනම විස්තර කළා. ඕනම දෙයක් හරි විවෘත ව කතා කරනවා. ඇය විශේෂ ගැහැනියක්. ගැහැනු ගැන කතා කිරීම ස්ත්‍රීවාදී වැඩක් නෙවෙයි. ඇය ඒ කාලෙ මේ රටෙන් ජපානයට අරන් ගිය ගැහැනු ගැන එයාලගේ ඛේදවාචකය ගැන කියන ජීවමාන සාක්ෂියක්. ඇය සංස්කෘතික කලාපයක්. මේක දේශපාලනික, සංස්කෘතික කතාවක්. ජපානය ගැන කිව්ව ගමන් අපට සකුරා මල් වගේ ලස්සන චිත්‍රයක් මැවෙන්නෙ. ඒත් සකුරා මල් පිපිලා තියෙන්නෙ දවස් 7යි. පිපෙන දවස හරියට කියන්නත් බෑ. කන්දක් සේමා චිත්‍රපටය හදද්දි අපට සකුරා මල් පිපෙනකම් බලා ඉන්න වුණා. නූපා අමුතු චරිතයක්. මේ කතාව ඇතුළෙ පරිකතා ගොඩක් තියෙනවා. ජපානයේ විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල අපේ කාන්තාව මේ විදියට අසරණ වෙනවා. කන්දක් සේමා සම්පූර්ණ ගෞරවය නූපාට. මොකද ඇය එතරම් ලස්සනට, තාත්විකව මේක මට නොකිව්වා නම් මේ කතාව බිහි නොවන්නට තිබුණා‘

සුමිත්‍රා රාහුබද්ධ මෑතකදී ලියූ ‘ මධුර මන්තර‘ නවකතාව අප ග්‍රාමීය සමාජය පිළිබඳ කැඩපතකි. ඇය ස්වකීය ජීවිතයේ මුහුණ දෙන බොහෝ දෑ අර පරිස්සමෙන් යුතුව අරන් තියන්නී ය. ඒ තම නිර්මාණ සඳහා වරින්වර යොදා ගැනීම පිණිසය. මධුර මන්තර ප්‍රධාන චරිතයක් වන ඩික්කා නිර්මාණය කිරීමට ඇයට ඒ පරිස්සමින් මතක තබා ගත් මතකයක් ඉවහල් වී තිබිණි. නිර්මාණකරුවාගේ සුවිසෙස් බව ලකුණු වෙන්නේ එතැන ය. ජීවිතයේ අත්විඳි දෑ තවත් දෑ සමඟ එක්කොට සුමට කර ඒවා බහුතර පාඨකයන්ගේ ඥාණනය වෙනුවෙන් නිර්මාණකරුවන් ලියා තබන්නේ ය.

‘ අපේ අම්මලා බලන්නෙ තමන්ට නැති දේ දරුවන්ට දෙන්න. ගම්වල ගෑනු කෙනෙක්ට කුමක් හෝ දෙයක් අහිමි වුණොත් ඒ ගමම බලන්නෙ ඇයට ඉතිරි සියල්ලන් අහිමි කරන්න. නැගිටින්න දෙන්නෙම නෑ. ගමට තරම් කුහක වෙන්න නගරයට වෙලාවක් නෑ. ලිලී වගේ චරිත මම ඕනතරම් දැකලා තියෙනවා. පළමුවෙනියටම කරන්නෙ ඒ ගැහැනියව තමන්ට නතු කරගන්න බලනවා. ඊට පස්සෙ බැරි වුණොත් ඇයට ගහන්න පුළුවන් අන්තිම පදයත් ගහනවා. සැමියා නිවෙසින් යෑමත් සමඟ ඉතා ඉවසීමෙන් තමන්ගෙ දරුවන් හදාගෙන එ් දරුවන් ඒ තත්ත්වයකට ගෙන එන්නට තරම් ඇයට මන්තරයක් තිබුණා. ඒ සෑම අම්මා කෙනකුටම තියෙන මන්තරය. දරුවන්ගේ දියුණුවම පතන මධුර මන්තරය. ඩික්කා කියන චරිතය මම ගොඩනඟන්නෙ මගේම අත්දැකීමක් අනුසාරයෙන්. එ්වැනි තරුණයෙක්ට මම මඟ පෙන්වලා අද ඔහු ඉතා උසස් තැනක ඉන්නවා. මේ කතාව පුරාම තියෙන්නෙ මිනිසුන්ගේ දෙබිඩි ස්වරූපය. ජබොස් නෝනා එවැන්නියක්. ගම කියන්නෙ කුහකම තැනක්. මට කියන්න ඕන වුණේ අපි මේ ගම කියල මවාගෙන ඉන්න ස්වර්ගය වගේ එක මවා පෑමක් විතරයි‘

නිර්මාණකරුවා තම නිර්මාණය ඔස්සේ තමා මවන චරිතවලට වැඩෙන්නට ඉඩ හරියි. ඒවා ඒවාට අවශ්‍ය පරිදි අව්‍යාජ ව වැඩෙයි. මේ චරිත වල නිර්මාපකයා ලේඛකයා වුව ද චරිතවලට ස්වාධීන ව වැඩෙන්නට නොදී දැඩි සේ පාලනය කළහොත් ඒ චරිත හුදෙක් යථාරූපී ස්වභාවයෙන් බැහැර වන්නට පටන් ගනු ඇත. සුමිත්‍රා රාහුබද්ධ ලේඛිකාව චරිතවලට සිය නිර්මාණ ඔස්සේ වැඩෙන්නට ඉඩ හරියි. ලේඛකයාගේ පරිකල්පනයෙහි කිසියම් කතාවක් ඇත්ත වශයෙන් ම ජීවත්වීමට පටන් ගන්නේ ඔහු එය ලේඛනගත කරන්නට හදන මොහොතේදී ය. එවිට බොහෝ විට සිදුවන්නේ සිතිවිල්ල කීතු කීතු වී‍ ගොස් පෑන් තුඩට හදවත ඇමිණීම ය. ඔබ මා විමතියට පත් කළ බොහෝ කෘතිවල ලේඛකයාගේ හදවතේ ඇති අසීමිත පරිකල්පනයෙන් බිහිවුණු මෙකී විදාරණ අඩංගු ය.

බුමුතුරුණු නවකතාව ලියමින් ස්වකීය නිර්මාණ දිවියට පිළිපන් සුමිත්‍රා රාහුබද්ධ ලාංකේය නවකතාකලාවේ ලකුණකි. ඇය නිරන්තරයෙන් විවිධ කෝණ ඔස්සේ සිය විචාරාක්ෂිය යොමු කළේ කාන්තාවන් කෙරෙහි ය. එය ඇය සතු අනන්‍යතාවකි. ඒ ලකුණ ඇය තබන්නේ නාමමාත්‍රික ස්ත්‍රීවාදිනියන්ට වඩා බෙහෙවින් ප්‍රායෝගික ව ය; සවිඥානික ව ය; සුමට ව ය. ඇගේ කතා ඇතුළේ ජීවත්වන චරිත බොහොමයක් අප එදිනෙදා දන්නා කියන චරිත තරම් අපට සමීප ය. එහෙත් ඈ එහි තබන සුවිසෙස් ලකුණ නම් ඒ කතාව ඇතුළේ ගොඩනඟන ජීවන පරිඥානයයි; කලාකරුවා සතු වගකීමයි.

 

Comments