ඉතිහාසයෙහි සැඟව ගිය සඟ රුවන බෙන්තොට අත්ථදස්සි | සිළුමිණ

ඉතිහාසයෙහි සැඟව ගිය සඟ රුවන බෙන්තොට අත්ථදස්සි

 

සිංහල සහ බුදු දහම මෙරට විශ්වවිද්‍යාලයවල අධ්‍යයනය කෙරෙන විෂයයන් බවට පත්ව සියවසකට ආසන්න කාලයක් ගත වී ඇතත් තත්විෂය ප්‍රවර්ධනයෙහි ලා පුරෝගාමී මෙහෙයක් ඉටු කළ පුරාපුරුෂයන් පිළිබඳ ඉතිහාසය නොතකා හැරෙන තත්ත්වයක් යටතේ ඇතැම් පුද්ගල චරිත පිළිබඳ තථ්‍ය තොරතුරු මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක පවතී. සංස්කෘතික කටයුතු සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කොට ඇතත් මෙවන් සංස්කෘතික උරුම සංරක්ෂණය කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවක් නොපෙනේ. විශාල ජාතික ධනයක් වැය කොට පවත්වාගෙන යන ජාතික විශ්වවිද්‍යාලයවල ඉතිහාසය, සිංහල, සංස්කෘතික අධ්‍යයනය හා සමාජවිද්‍යාව ආදි විෂයන්ට අදාළ විශේෂ උපාධිපාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ගේ ස්වාධීන උපාධි නිබන්ධ යටතේ මෙවැනි අධ්‍යයන සිදු කළ හැකි වුවද කවුරුන් විසින් හෝ කලින් කරන ලද අධ්‍යයන පිටපත් කිරීමේ ලේඛන චෞර්යයට අනුබල දෙනු විනා හරවත් සම්ප්‍රදානයක් සිදු වන බවක් ද නොපෙනේ.

ඉතිහාසයෙහි යටපත් වෙමින් පැවති බෙන්තොට අත්ථදස්සි හිමියන් විසින් ඉටුකරන ලද මෙහෙය නැවතත් ශාස්ත්‍රීය ලෝකය අභිමුව අනාවරණ වූයේ මහචාර්ය ගණනාථ ඔබේසේකරගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූ පුස්කොළ ග්‍රන්ථ සංස්කරණ ව්‍යාපෘතිය යටතේ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න දෙදෙනාගේ සංස්කාරකත්වයෙන් පළ වූ ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක් සහ ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමැති ග්‍රන්ථය පළ වීමත් සමඟය. එතෙක් අත්ථදස්සි හිමියන් පිළිබඳ සඳහන් වූයේ ශාස්ත්‍ර සම්ප්‍රදායේ ප්‍රවර්ධනයට දායක වූ හිමි නමක ලෙසින් පමණි. යට කී ශාස්ත්‍රඥයන් තිදෙනා දැඩි වෙහෙසක් දරා අත්ථදස්සි හිමියන්ගේ ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක් කෘතියෙහි පිටපතක් සොයා පළ කිරීමෙන් පසු බෞද්ධ ක්‍රිස්තියානි වාද විෂයයෙහි උන්වහන්සේගේ මහාර්ඝ භූමිකාව අනාවරණය විය. එහි ලා සාහිත්‍ය ඉතිහාසයෙන් අත්ථදස්සි නාමය වසන් වූ අයුරු මෙසේ විස්තර කෙරේත ර්‍ණ19 වැනි සියවසේ එනම් අත්ථදස්සි හිමියන් වැඩ සිටි සියවයේදී සිංහල සාහිත්‍යය ගැන ලියූ ජේම්ස් ද අල්විස්ට හෝ මුදලි ලුයිස් ද සොයිසාට මේ බෞද්ධ පඬිවරයා හමු වූ බවක් හෝ අසා තිබූ බවක් නොපෙනේ. 20 වැනි සියවසේදී සිංහල සාහිත්‍යය ගැන ලියූ ගොඩකුඹුරේට මෙන්ම සන්නස්ගලට ද අත්ථදස්සී හිමි මුළුමනින්ම මඟ හැරී ඇත.”

බෙන්තර අත්ථදස්සි හිමියන්ගේ පැවිදි පරපුර ගැන තොරතුරු විද්‍යමාන වුවද ගිහි පරපුර හෝ ජීවත් වුණු කාල වකවානු පිළිබඳ හෝ නිශ්චිත තොරතුරු තවමත් අප්‍රකටය. පොල්වත්තේ බුද්ධදත්තල මැදඋයන්ගොඩ විමලකිත්ති, ප. බ. ජි. හේවාවසම් ඇතුළු ශාස්ත්‍රඥයන් කිහිප දෙනකු අත්ථදස්සි හිමියන් පිළිබඳ සාමාන්‍ය තොරතුරු වාර්තා කර ඇතත් උන්වහන්සේගේ අපදානය හා සම්ප්‍රදානය අසම්පූර්ණ බව පැහැදිලියග පැවිදි බිමට පිවිසෙන්නට පෙර අත්ථදස්සි චරිතය ගැන කිසිදු සඳහනක් දක්නට නොමැත. 1911 වර්ෂයේදී සිරිපවරයස පණ්ඩිත ධම්මතිලක හිමියන් විසින් රචිත විමතිච්ඡේදකය 1940 වර්ෂයේ වේරගම්පිට නන්දාරාම හිමියන් විසින් රචිත ලක්දිව ශාසන ප්‍රවෘත්ති සහිත කරතොට වත යන කෘතිවලද බෙන්තොට අත්ථදස්සි යතිඳුන් පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් නොලැබේ. අත්ථදස්සී හිමියන් ඍජු ලෙස සාහිත්‍යකරණයට දායක නොවීම නිසා සාහිත්‍ය ඉතිහාස රචකයන්ට උන් වහන්සේ මඟ හැරුණා විය හැකිය.

අත්ථදස්සි හිමියන් වැව ඉන්දසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු බෝධිමලු සඟ පරපුරේ සාමාජිකයකු බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අනුමාන කරති. මාතර සාහිත්‍ය යුගය කෘතිය රචනා කළ මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් බෙන්තොට වනවාස විහාරය සියැසින් දැක ඒ පිළිබඳ තොරතුරු විමසා රචිත මාතර සාහිත්‍ය යුගය කෘතියෙහි මෙසේ සඳහන් වෙයි. වනවාස විහාරය අප යන කාලය වන විටත් තරමක් තේජස්වී ගතියක් පාමින් තිබුණේය. පිහිටීම අතින් බැලූ විටත් වනවාස විහාරය මේ පෙදෙසෙහි අනෙක් විහාරයන් පසුබා සිටින බව පෙනේ. තුන් පැත්තකින් බෙම් ගඟෙන් වටවූ උස් බිමක පිහිටි හෙයිනි. සමීප අතීතයෙහි මේ විහාරය ප්‍රසිද්ධියට ගියේ බෙන්තර අත්ථදස්සි මහා ස්ථවිරයන් වහන්සේ නිසාය. අධිමාසවාදය, උපසම්පදා අරගලය ආදි කරුණු මෙන්ම කීර්තිමත් ශිෂ්‍ය සමූහයාගේ ඇසුරත් උන්වහන්සේගේ විශාල කීර්තියට හේතු විය.

කරතොට ධර්මාරාම හිමියන් වෙතින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ අත්ථදස්සි හිමියෝ පෙරළා බෙන්තොට වනවාස විහාරයට වැඩම කොට ඒ විහාරස්ථානය ශාස්ත්‍ර නිකේතනයක් බවට පත් කළාහු දීප්තිමත් සිසු සරපුරක් තනා ධර්ම ශාස්ත්‍ර ප්‍රතිස්ථාපනයට දායක වූහ. ඒ වන විට පහතරට භික්ෂූන් අරබයා මල්වතු අස්ගිරි උභය විහාර මඟින් සිදු කෙරුණු වෙනස්කම් හේතු කොට ගෙන අත්ථදස්සි හිමියන් සේම උන්වහන්සේ ඇසුරෙහි වැඩුණු ශිෂ්‍ය ගණයාද උඩරට උපසම්පදාව ගැනීමෙන් වැළකී වෙනත් ස්වාධීන මාර්ගයක් ගැන උත්සුක වෙමින් සිටියහග අත්ථදස්සී හිමියන් පළමුව රාමඤ්ඤ දේශයේ සඟරජුන්ට පාලි බසින් සන්දේශයක් රචනා කොට යැවූ නමුදු ඒ ප්‍රයත්නය නිර්ථක විය. දෙවනුව සියම් රට මහරජතුමන්ට පාලි ගද්‍යයෙන් සන්දේශයක් යැවුණු අතර එයද නිෂ්ඵල විය. තම උත්සාහය අත් නොහළ අත්ථදස්සි හිමි ප්‍රමූඛ භික්ෂූන් වලානේ සිද්ධාර්ථ හිමියන් හා එක්ව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාව පිහිටුවා උපසම්පදා කර්මය සම්පූර්ණ කිරීම ඔවුන්ගේ පෙරළිකාර පැවැත්මෙහි ජයග්‍රහණය විය.

අත්ථදස්සි හිමියන් විසින් බෞද්ධ ක්‍රිස්තියානි දෙපාර්ශ්වය අතර සිදු වූ වාද විෂයයෙහි ඉටු කරන ලද මෙහෙය සුවිශේෂයග ගොගර්ලි පූජකතුමා විසින් සම්පාදිත ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමැති කෘතියට 1848 වර්ෂයේදී අත්ථදස්සි හිමියෝ ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක් නමැති ග්‍රන්ථය සම්පාදනය කරමින් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙයක් කළහ. ත්‍රිපිටකය, පාලි අට්ඨකථා, වංශකථා මතු නොව බයිබලය පිළිබඳවත් අත්ථදස්සී හිමියන්ය පැවති පැතුරුණු දැනුම උන්වහන්සේගේ කෘතියෙන් අනාවරණය වන්නේයග ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක් ග්‍රන්ථය සංස්කරණ කළ විද්වත්හු අත්ථදස්සි හිමියන්ගේ පැතිරුණු දැනුම පිළිබඳ මෙසේ පවසතිත ර්‍ණබුද්ධ දේශනය පිළිබඳ උන්වහන්සේ සංයුක්ත නිකාය මජ්ඣිම නිකාය සහ අංගුත්තර නිකාය ප්‍රමාණ කොට සැලකූ සේක. ඓතිහාසික සහ ඇතැම් වෘත්තාන්ත කථනවලදී මහාවං දාඨාවංස ධාතුවංස සහ ජාතකට්ඨකථාව ප්‍රමාණ කොට ගත්හ. මිලින්ද පඤ්හය ප්‍රධාන වශයෙන්ම තර්ක විතර්ක සඳහා උපයෝගි කර ගත් අතර ධර්ම විග්‍රහයේදී ධම්මචක්ක පවත්තන සූත්‍රය බ්‍රහ්මායු සූත්‍රය, චූලසච්චක සූත්‍රය, චුල්ල දුක්ඛන්ධ, දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය සහ තිත්ථායතන සීවක වැනි සූත්‍රත් අපයෝගි කරගත් සේක”

ධර්ම ශාස්ත්‍ර විෂයයෙහි නිපුණත්වයට පත් අත්ථදස්සි හිමියෝ ශාස්ත්‍ර විෂයෙහි හසළ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් තැනීමෙන් ඇතැම් විෂයයන් ජගත් සම්භානාවට පාත්‍ර වීමට මාවත පෙහෙළි කළහ. යාත්‍රාමුල්ලේ ධම්මාරාම පොතුවිල, ඉන්දජෝති, අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි වැලිගම ශ්‍රී සුමංගල ඒ අතරින් ප්‍රමුඛ වෙ. රීස් ඩෙිවිඩ්ස් මහතා ගාල්ලේ දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා ලෙස සේවය කළ කාලයේ බෙන්තර විසූ යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් කරා එළඹ පාලි භාෂාව හදාළේය. ධම්මාරාම හිමියන් වෙතින් පාලි භාෂාව පිළිබඳ මනා පරිචයක් ලද රීස් ඩේවිඩ්ස් පඬිතුමා පසු කලෙක එංගලන්තයේ පාලි පොත් සමාගම ස්ථාපනය කිරීමෙන් පාලි අධ්‍යයයනය අන්තර්ජාතික තලයට ගෙන ආවේය. අත්ථදස්සි හිමියන්ගේ සෙසු ශිෂ්‍ය භික්ෂූන්වහන්සේද මේ අයුරින් තමන් හදාළ ශාස්ත්‍රය ප්‍රචලිත කිරීමෙන් ධර්ම ශාස්ත්‍ර ප්‍රවර්ධනයෙහි ලා විපුල මෙහෙයක් කළාහු.

Comments