අරුත් වෙනස දක්වන ල- ළ-3 | සිළුමිණ

අරුත් වෙනස දක්වන ල- ළ-3

 

‘ල’ - ‘ළ’ වෙනස නිසා අරුත වෙනස් වන තවත් වදන් කිහිපයක් අදත් හරි වහරින් විමසා බලමු. එ බඳු වදන් ගණනක් බස් වහරෙහි දැකිය හැකි වුව ද මෙහි ලා විමැසෙන්නේ නිතර ඇවැසි වන වදන් ම බව ද සැලැකීම මැනැවි.

දල - දළ යන වදන් යුවළ මුලින් ම විමැසීමට ලක් කරමු. ‘දල’ යන (දන්තජ) ‘ල’ යෙදෙන වදන බොහෝ අරුත් ඇත්තේ ය. බෙහෙවින් පතළ අරුතක් නම් දිය යනු යි. සංස්කෘතයෙහි ද පාලියෙහි ද ජල යනු මේ දල යන්නට අනුරූප වැ යෙදේ. සැබැවින් ම නම් සිංහලයෙහි ද දල යන්නට වඩා බෙහෙවින් යෙදෙන්නේ ජල යනු ම ය.

“උකැටලියට දලැඳිලි - දෙනු සමාම්හි” යැ යි සිදත් සඟරා කරුවෝ දල යනු ජල අර්ථයෙහි යොදති. සමාගමයෙහි, එක් වීමෙහි උකටලී වූ තැනැත්තියට දිය දෝතක් දෙන්න යනු සිදත් සඟරා කියමනෙහි අරුත යි. දිය දරන හෙයින් වලාව දලදර (සා.පා. ජලධාරා) නම් වේ. දලනිදු නම් මහ සයුර යි (සා.පා. ජලනිධි). ජල නිධානය ඒ වන හෙයිනි. දලනදන් වැනි වදනුදු පැරැණි වහරෙහි දැකිය හැකි ය.

දල යනු පත්‍ර (කොළ) මල් පෙති යන අරුතෙහි ද යෙදී ඇති

මරා මිණි තැටියොත - කොමළ මුතු සිරි බිජී

නෙළුඹු දල ගබැ සසිනිඳු - පැහැසර සැදි තුසර බිඳු

යන මුවදෙව් දා පැදියෙහි නෙළුඹු දලු යනු යෙදුණේ නෙළුම් පත් (නෙළුම් කොළ) යන අරුති නි. සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද මේ අරුතින් දල යනු ම යෙදේ. තව ද, පත්‍රයට මතු නොව අංකුරයට ද දල ‍යනු යෙදෙන බව

“අකුරු දල දැලි කුඹුල් වේ.” යන රුවන් මල් නිඝණ්ඩු පාඨයෙන් කියැවේ.

දල යනුයෙහි අනෙක් ප්‍රකට අර්ථය ගින්න නොහොත් ගිනි දැල්ල යනු යි. සංස්කෘතයෙහි ජ්වාල, පාලියෙහි ජාලා යනු ඒ හා අනුරූප වැ යෙදෙන බව පෙනේ. කව් සිළුමිණෙහි

සුගත පත කුරිරු - හිරු ගුණ තෙදෙ’නරවරා

ඔහු නුවන’ඩ බැල්මෙක් - සහදප් කප් දල කලබ

යන ගීයෙහි ගින්න දැක්වීමට දල යනු යෙදිණි.

මේ දැක්වුණු අරුත් හැර වෙනත් අරුත් දෙන පිණිස ද දල යනු යෙදුණු තැන් කලාතුරෙකින් දැකිය හැකි ය. එ සියල්ල මෙහි නො දැක්වේ.

‘දළ’ යන (මූර්ධජ) ළ සහිත වැ යෙදෙන වදනෙහි අරුත් දැන් විමසා බලමු. මෙහි වඩාත් ප්‍රකට වූ අර්ථය නම් දත් / දත යනු යි. එහි දළදා යන්නෙහි මැනැවින් යෙදී ඇති දළදා නම් දන්ත ධාතුව හෙවත් බුදුන් ගේ දන්තය යි. මෙහි දැක්විය යුතු තව ද කරුණක් නම් බොහෝ දෙන දළදා යනු ‘දළඳා’ යි සඤ්ඤකයක් සහිත ව කියන නමුත් ඒ ඉඳුරා ම වැරැදි බව යි. එ තන්හි සඤ්ඤකයක් යෙදීමට කිසි ම අවසරයක් නො ලැබේ.

මේ දළදා යන අරුත දීම පිණිස දන්ත ධාතු යනු යොදන නමුදු ඒ දළ (දා) යන්න හා අනුරූප වැ පාලියෙහි, සංස්කෘතයෙහි නොයෙදේ. සංස්කෘතයෙහි දංෂ්ට්‍රා යනු ද පාලියෙහි දාඨා යනු ද දළ යන්න හා අනුරූප වැ යෙදේ. දාඨා යන්නෙහි යෙදෙන ඨ හා අනුරූප වැ සිංහලයෙහි ද ළ යෙදෙන බව මැනැවින් දැකිය හැකි ය.

දළ යන වදනෙහි අනෙක් ප්‍රමුඛ අර්ථය නම් දැඩි, රළු යනු යි. සංස්කෘතයෙහි දෘඪ, පාලියෙහි දළ්හ යනු මේ අරුතෙහි දළ හා අනුරූප වැ යෙදේ.

දළ දළ උදුළ මොළ ගජ රළ ‍ෙතළ වතළ

දුළ ලෙළ පුවළ පෙර මඟැ වන ගළ නැබළ

යන හංස සන්දේශ පද්‍යාර්ථයේ දැඩි, දත් යන දෙ අරුත ම සඳහා දළ යනු යොදා ඇති සැටි මනහර ය.

බලා පුර සිරි දුළ

සිනාසෙන වැනි පබා දළ දළ

යන කාව්‍යශේඛ පද්‍යාර්ථයෙහි ද ඒ අරුතින් ම දළ දළ යනු යෙදී ඇත්තේ ය.

දළ යන්නෙහි තව ද අරුතක් වේ. ඒ හිස වටා බඳනා රෙදි කඩ හෙවත් ජටාව යනු යි. සංස්කෘතයෙහි ද පාලියෙහි ද ජටා ශබ්දය ම යෙදේ. එහි ‘ට’ මෙහි ‘ළ’ හා අනුරූප වෙයි. ජටා මණ්ඩලය දළමඬල / මඬුලු යැ යි යෙදේ.

නිසි අඳුන් දිවි සව් ඇඳි දිගු පුළුල

දිසී තඹර රොන් පැහැ බැඳි දළ මඬල

යන කාව්‍යශේකර පද්‍ය අර්ථයෙහි එය දැකිය හැකි ය.

පැරැණි වහරෙහි කලාතුරෙකින් දළ යනු නළල යන අරුතෙහිත් ධුරය, තනතුර යන අරුතෙහිත් යෙදී ඇති බව පෙනී යයි.

මෙ බඳු තව ද වදන් යුවළක් විමසා බලමු. නිතර වරදවා යොදන්නකි නල - නළ යනු. නල යන (දන්තජ) ‘ල’ යොදා ලිය වදනින් ගැනෙන්නේ සුළඟ, පවන යන අරුත යි. සංස්කෘතයෙහි ද පාලියෙහි ද සම වැ යෙදෙන ‘අනිල’ යනු මේ නල යන්නට අනුරූප වෙයි.

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි

පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි

යි සැලළිහිණියේ පවන් අරුතෙහි නල සඳහා (දන්තජ) ල ම යෙදෙන බව තහවුරු ව දැක්වේ.

සංස්කෘතයෙහි පාලියෙහි අනල යනු ගිනි අරුතෙහි යෙදේ. සිංහලයෙහි ද ඒ හා අනුරූප ව ‘නල’ යනු ගිනි අරුතෙහි යෙදේ.

(මූර්ධජ) ‘ළ’ යොදා ලියන ‘නළ’ යනු බට අරුතෙහි යෙදේ. සංස්කෘතයෙහි නාල යනුත් පාලියෙහි නාළ යනුත් මේ අරුත දෙයි. සංස්කෘතය අනුව යෑමෙන් දෝ ඇතැමුන් බට සඳහා ‘නල’ යි (දන්තජ) ල යොදා ලියන නමුදු සිංහලයට හුරු නළ යනු ම ය. උණ ගස නොහොත් බට ගස ද නළ යන්නෙන් ගැනේ. එ සඳහා ද ඇතැම් තැනෙක නල යනු යෙදුණු බව පෙනේ.

සිංහලයෙහි ‘නල’ යන (දන්තජ) ‘ල’ ඇති වදන පියුම් දඬුව සඳහා ද යෙදුණු බව දැකිය හැකි ය. ඒ හා අනුරූප වැ පාලියෙහි ද සංස්කෘතයෙහි ද ‘නාල’ යනු යෙදේ.

Comments