අපහාසය හා උපහාසය | සිළුමිණ

අපහාසය හා උපහාසය

 

සන්නිවේදන උගතුන් අපට පෙන්වා දෙන පරිදි අපහාසය (defamation) වටහා ගැනීමට අසීරු සන්නිවේදන සංකල්පය කි. සන්නිවේදනයේ සමාජවිද්‍යාව (Sociology of Communication) යනුවෙන් කෘතියක් සම්පාදනය කර ඇති ජෝර්ජ් ගාබ්නර් (George Gerbner) නමැති සන්නිවේදන මහාචාර්යවරයා පවසන දේ අපට වැදගත් විය හැකි ය.

අපහාසය කෙසේ හටගත්තේ ද යන්න සෙවීමේ දි මුලින්ම වටහාගැනීමට සිදු වන්නේ එය ගෝත්‍රික සමාජයෙන් ප්‍රභවය ලැබූවක් බව ය. ඒ කෙසේද යත් තමන්ගේ මානව කණ්ඩායමේ පවතින කිසියම් රහසක් තමන්ට සතුරු වූ හෝ පසමිතුරු වූ කණ්ඩායමකට හෙළි කිරීම සලකනු ලැබුවේ බලගතු වරදක් ලෙසිනි. ඒ රහස හෙළි කිරීමෙන් දෙවැනි කණ්ඩායමෙන් පළමු වන කණ්ඩායමට කිසියම් පසුබෑමක් අත්පත් වීම නිසා එය දණ්ඩනයට ලක්විය යුතු වරදක් ලෙස සලකනු ලැබී ය. මේ කාරණය කෙමෙන් විවරණය කරනු ලැබුවේ දඬුවම් ලද යුතු අපහාසයක් (A defamation that leads to punishment) යනුවෙනි. එබැවින් අපහාසය කෙමෙන් වළක්වාගත යුතු රහසක් සේ සලකනු ලැබිණ.

ගාබ්නර් මහාචාර්යවරයාගේ මේ සටහන විටෙක වාද විවාද වලට ලක් විණ. ඒ කෙසේද යත් යුද රහස් හෙළි කිරීම (revealing warfare secrets) හා රහසිගත සන්දේශ (confidential messages) යන්න අපහාසයට තුඩු දීමෙන් වළක්වා ගත යුතු ය යන්න ආචාරධර්මයක් (an ethical code) බවට කෙමෙන් පත් විය. එහෙත් විවාදයට තුඩු දෙන අතිරේක මාතෘකාවක් වූයේ උපහාසය (humour or satire) යන මානව නිර්මාණයක් මගින්ද විටෙක අපහාසයක් සිදු නොවන්නේ ද යන්න විමර්ශනය වීම යි. වෝල්ටෙයා (Voltaire) නම් වූ ප්‍රංශ නිර්මාණශිල්පියා මේ ගැන හඳුන්වා දෙන සටහන අපට වැදගත් විය හැකි ය. ඔහු මෙසේ කීය.

"ඇතැම් රදළ මිනිසුන් (aristocrats) හැසිරෙන්නේ මිනිසුන් සාමාන්‍යයෙන් හැසිරිය යුතු ආකාරයට නොවේ. ඔවුන්ගේ චරිත අලළා ලියැවෙන කවි හා ගීත නැති රටක් ඇත්ද යන්නත් සැකසහිත ය. රදළයන්ගේ හැසිරීම් දකින මගේ හිතට පැන නගින්නේ 'මේ දෙවියන්වහන්සේ විසින් මවන ලද මිනිසුන්ද රූකඩ ද' යන හැඟීම යි. එවිට මගේ දෙතොලඟට හිනා රැල්ලක් නැගී ඒම වැළැක්විය නොහැකි ය. ඒ හිනා රැල්ලත් සමඟ පසුබිම් කතාවක් ද නිපදවේ. මා පවසන හිනා කථා හුදු හිනා කථාම නොවේ. තරමක අපහාසය මුසු වූ උපහාස කථා ලෙස සැලකීම වඩාත් යුක්තිසහගත ලෙස මට පෙනේ. එපමණක් නොව, ඇතැම් රජවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ හැසිරීම් ද මා තුළ ඇති කරවන හැඟීම මම අපහාසයෙන් තොරව විඳ දරාගත්තේ ඒ සිද්ධීන්ට උපහාසය මුසු කිරීමෙනි.

ෙම් නිසා ඇතැම් හාස්‍යය හෙවත් උපහාසාත්මක කතාවක් මතු පිටින් අපහාසයක් මෙන් පෙනුණත් යටිතලයෙන් එසේ නොවන බව ද වටහා ගත යුතු ය. ප්‍රංශ ජාතික මොලියර් නාට්‍යකරුවාද ඊට සමාන කරුණක් ගෙන හැර දක්වන්නේ මෙසේ ය.

"මම අපහාස කිරීමට නොකැමැත්තෙමි. එහෙත් මා මවන නාටක වලින් මතු වන උපහාසය මගින් නොදැනුවත්වම කෙනෙකුට අපහාස වුවහොත් මා කුමක් කළ යුතු ද? මා කළ යුත්තේ සමාව අයැදීම වෙනුවට උපහාසය හා අපහාසය අතර පවතින වෙනස වටහා දීම යි. උපහාසය මගින් සිදු වන්නේ අපහාසයක් ය යනුවෙන් තීන්දු දී යම් යම් කෘතින් තහනමට ලක් වූ අවස්ථා දැක ගත හැකි ය. එය කෙසේ සිදු වන්නේ ද යන්න සෝදිසි කළ යුතු ය."

ෙමසේ බලන කල අපහාසය හා උපහාසය යනු බැරෑරුම් කාර්යයක් බවට පත් වූ ප්‍රබල අවස්ථාව ලෙස කෙන හැර දැක්විය හැක්කේ බ්‍රිතාන්‍ය මහා නවකතාකරුවා වූ ඩී එච් ලෝරන්ස් (DH Lawrence) ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා (Lady Chatterley's Lover) නමැති නකවතාව කලක් මුළුල්ලේ තහනමට ලක්වී තිබීම යි. එසේ තහනමට ලක් වීමෙන් අපහාසය පිළිබඳවත් උපහාසය පිළිබඳවත් අතිරේක සන්නිවේදන අර්ථ (communication meanings) සමුදායක් බිහි වූ බව සටහන් වී ඇත. ඉන් ප්‍රබලතම මතය ලෙස සැලකෙන්නේ සමස්ත සමාජයක් කෙරෙහිම බලපාන අශ්ලීලත්වය (obscenity) හා අසභ්‍යවාදය (pornography) යනු­‌ෙවන් සන්නිවේදන සංකල්ප දෙකක් නිර්මාණ ලෝකයට දායාද වීම යි. මේ සංකල්ප දෙකම යම් යම් සංස්කෘතීන්ට අනුකූලව පැලපදියම් වීමත් බැහැර වීමත් දැකගත හැකි ය. විටෙක උපහාසය කර්කශ විය හැකි ය. එවිට බිහි වනු ඇත්තේ අපහාසයක් විය හැකි ය. විටෙක ඒ අපහාසය පුද්ගල හානයක් වෙනුවට වාර්ගික හානියක් වනු ඇතැයි විශ්වාස කෙරේ. එක්තරා සුදු ජාතිකයෙක් මහත්මා ගාන්ධිතුමන්ට ගර්හා කළේ "ඔබ අඩනිරුවත් ෆකීර් කෙනෙකි," (you are a half-naked Fakir) යනුවෙනි. මහාත්මා ගාන්ධිතුමා ඊට ප්‍රතිචාර දක්වා ඇති අයුරු මෙසේ සටහන් වේ.

"ඔබ ඔය වචන වලින් දමා ගසා ගර්හාවට පත් කරන්නේ මේ මොහොතේ දී මා වුවත්, ඔබ නොදැනුවත්වම ගර්හාවට පත් කරන්නේ ඔබ නොදන්නා මානව කණ්ඩායමක් බව මතක තබාගන්න."

බුද්ධිමත් සුදු ජාතිකයින් පැවසුවේ යැයි සටහන් වන්නේ, "මහාත්මා ගාන්ධිතුමා අපූරු ලෙස අපහාසය උපහාසයකට හරවා ගෙන ඇති" බව යි.

පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, පත්‍රිකාව, නිර්මාණය මගිනුත් විවිධාකාර අපහාස සිදු වීම සම්මතයක් ලෙස පවතී. එහෙත් ඒ අපහාස කෙසේ කුමක් පසුබිම් වී බිහි වන්නේ ද යන්න විවරණය නොවී පවතින අවස්ථා අපමණ ය.

ඉහළ තනතුරක් දරන කෙනෙකුට එල්ල වන අපහාසය විටෙක වැටහෙන සුලු ය. එහෙත් සාමාන්‍ය කෙනෙකුට එල්ල වන අපහාස උපහාසය වී අමතක වී යන අවස්ථා ද කොතෙකුත් දැකගත හැකි ය. කලක් මුළුල්ලේම මාධ්‍යවේදීන්ට අපහාසය හා උපහාසය ගැඹුරු සන්නිවේදන අභ්‍යාස බවට පත් වී තිබේ.

Comments