හිට්ලර් ට ලැබුණු ඔලිම්පික් හාදුවක් කළ හදියක් | සිළුමිණ

හිට්ලර් ට ලැබුණු ඔලිම්පික් හාදුවක් කළ හදියක්

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දස වැන්න 1936 වසරේ පවත්වනු ලැබුවේ ජර්මනියේ බර්ලින් නගරයේ දී ය. එකල ජර්මනියේ පාලකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් පසු වූයේ ලෝකයම තමන්ගේ පාලනයට නතු කර ගැනීමේ උන්මාදයකින් පෙළෙමිනි.

යුදෙව් ජාතිය කෙරෙහි බද්ධ වෛරයකින් පසු වූ ඔහු ජර්මනියේ වාසය කරන යුදෙව් ජාතිකයන්ට මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීම තහනම් කර තිබිණි.

ඒ නිසාම වෙනත් රටවල වෙසෙන යුදෙව් ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවෝද බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමෙන් වැළකී සිටිය හ.

එහෙත් හිට්ලර්ගේ නියෝගයන්ගෙන් බේරී යුදෙව් ජාතික ඕස්ට්‍රියානු පිහිනුම් ක්‍රීඩිකාවක වූ හාංකා වියන්නා පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සමත්ව සිටියා ය.

බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග නැරඹීමට හිට්ලර් ද පැමිණ ප්‍රේක්ෂකාගාරයේ ඉදිරි පෙළ අසුනක රැඳී සිටියේ ය.

ප්‍රේක්ෂකාගාරය නරඹන්නන්ගෙන් පිරී පැවැතිණි. හතළිස් හැවිරිදි අමෙරිකානු ජාතික කාන්තාවක වූ ක්ලාරා ඩී රයිස් ද තම සැමියා සමඟ පිහිනුම් තරග නැරඹීමට පැමිණ සිටියා ය.

ඉදිරි පෙළ අසුනක හිට්ලර් රැඳී සිටිනු දුටු ක්ලාරා අත වූ කුඩා කැමරාවෙන් හිට්ලර්ගේ ඡායාරූප කිහිපයක් ගත්තා ය.

අනතුරුව ඔහු සමීපයට ගොස් කතා කිරීමට ලැබුණොත් අගනේ යැයි ඇයට සිතිණි. ඒ සඳහා කිහිප වරක්ම උත්සාහ කළ ද ඒ සෑම අවස්ථාවකම හිට්ලර්ගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඇගේ උත්සාහයන් වළකාලනු ලැබී ය.

මීටර් 1500 නිදහස් ආර පිහිනුම් ඉසව්ව ආරම්භ වූයේ ඒ අතරතුර දී ය. හිට්ලර්ගේ අවධානය තරග ආරම්භය වෙත යොමු විය. තවත් සුළු වේලාවක් ඉක්ම යද්දී තරග අවසානය තියුණු මුහුණුවරක් ගෙන තිබුණි. අමෙරිකාව හා ජපානය අතර පැවැතියේ උණුසුම් තරගයකි. මේ නිසා ප්‍රේක්ෂකාගාරයද කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් විය.

හිට්ලර්ගේ ආරක්ෂක නිලධාරීන්ට ද ඔවුන්ගේ රාජකාරිය අමතක වී ගොසිනි. ඒ වන විට ඔවුහුද නරඹන්නන් බවට පත්ව සිටිය හ.

ඒ අවසරයෙන් තමන්ගේ අරමුණ ඉටු කර ගන්නට සමත් වූ ක්ලාරා හිට්ලර්ට සමීප වූවා ය. එසැණින් ඔහුට අතට අත දී සුබ පැතූ ඇය ‘ඔබේ පෙනුම හරිම මිත්‍රශීලියි, කරුණාවන්ත පාටයි, යනුවෙන් පවසා හාදුවකින්ද ඔහුට සංග්‍රහ කළා ය.

මේ අනපේක්ෂික සිදුවීමෙන් කැලඹුණු ප්‍රේක්ෂකාගාරය සිනහ සාගරයක ගිලුණි. ඊට මුහුණ දුන් නාසි නායකයා ද සිටියේ උද්දාමයෙන් උද්දාමයට පත්වෙමිනි.

පසුව එම සිදුවීම පිළිබඳ ව අදහස් දක්වා තිබූ ක්ලාරා ප්‍රකාශ කර තිබුණේ එය කල් ඇතිව සූදානම් කළ සැලසුමකට අනුව සිදු වූවක් නොවූ බව ය.

‘හිට්ලර්ගෙ තේජාන්විත පෙනුමට මම ප්‍රිය කළා. ඒ නිසා ඔහු සමඟ වචන දෙක තුනක් කතා කරන්න මට හිතුණා. මම ඔහු සමඟ හිනා වුණාම ඔහුත් හිනා වුණා. ඒ හිනාව ප්‍රියමනාපයි. මොනව වුණත් ඒ සිදුවීමෙන් පස්සේ මම මගේ සැමියාත් සමඟ එතනින් ඉවත් වුණා.’ ක්ලාරා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කලකට පසු ලැබුණු ආරංචියකට අනුව එදින හිට්ලර්ගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවා තවත් කිහිප දෙනෙකු තත්ත්වයෙන් පහතට දමන ලද බව වාර්තා විය.

සීවලී එදිරිවීර

Comments