හැට තුන්දහසකට සිනහව ගෙනා චූටි බර්මියුඩා රටේ සිත ලොකු වන මල | Page 2 | සිළුමිණ

හැට තුන්දහසකට සිනහව ගෙනා චූටි බර්මියුඩා රටේ සිත ලොකු වන මල

 

ෆ්ලෝරා ඩුෆී

 

මම මගේ සැමියාව පසෙකින් දැක්කා. ඔහු තමයි මගේ පුහුණුකරුවා.  ඔහුට මම පුංචිම පුංචි සිනහවකින් විතරක් සංග්‍රහ කළා.

 ‘ඈ මැකී ගියේ නැත. දොළොස් වසක් තාසිටසි ඈ දේදුන්නක් අඳින්නට උත්සහ කළා ය. එහෙත් ඈ අසමත් විය. නමින් ෆ්ලෝරා ඩුෆී වන ඈ මෙවර ඒ දේදුන්න වර්ණ ගැන්වූවා ය. ඒ සිය දිවියේ තුන්වැනි දසකය ගෙවමින් සිටිය දී ය. ජපානයේ ටෝකියෝ නුවර සිට ඇඳි ඒ දේදුණු සිත්තමෙන් තුටු පහටු වූවන් සංඛ්‍යාව

හැට තුන් දහසකට ආසන්න ය. මේ ඇගේ කතාව ය.’

චීනයේ බිංජි නුවරට ඈ එනවිට ඇගේ වයස යන්තමින් විසි එකකි. නව යොවුන් වියේ ඉස්මත්තේ සිටිය ද අත්දැකීම් ප්‍රමානවත් නොවූයෙන් ඇයට බීජිං ඔලිම්පික් උළෙලේ දී කිසිවක් හිමිවූයේ නැත. අත්දැකීම් සම්භාරයක් අත්පත් කරගනිමින් අවසන හිස් අතින් යැරී යන්නට සිදුව තිබිණි.

උත්සහය අතහැරියේ ඈ නොවේ. යළිත් දිගින් දිගටම පුහුණුවීම් හි නියැලුණු ඈ 2012 වසරේ එංගලන්තයේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලට ආවා ය. එහෙත් එවරද කිසිදු වෙනසක් වූයේ නැත. තුන් ප්‍රයාමය සුන් ප්‍රයාමයක් වූ හෙයින් යළිත් හිස නවාගෙන සහභාගිත්වයේ ගෞරවය සාක්කුවේ රුවාගෙන ඈ තමන්ගේ රටට ගියා ය.

ලෙහෙසියෙන් යමක් අතහැර දැමිය නොහැකි ය. සාධාරණ බලාපොරොත්තුවක් ගොඩනැගුණේ නම් එය කෙසේ හෝ ඉටු කළ යුතු ය. ඈ ගෙදර ගිය මොහොතේ සිට සුපුරුදු පරිදි පුහුණුවීම් සීඝ්‍ර කළා ය. එය ඇයට තවත් මහාද්වීපික සංචාරයක් නිර්මාණය කර දුන්නේ ය. එම මහාද්වීපය තිබුණේ අමෙරිකාවේ ය. අමෙරිකා මහාද්වීපය කීවාට දකුණු අමෙරිකා මහාද්වීපයේ බ්‍රසීල රාජ්‍යයේ ය. එහෙත් තුන් ප්‍රයාමය ඈට ජය නොගෙනාවේ ය. හිස් අතින් සියරට පැමිණි ඈ යළිත් පෙර ලෙදම පුහුණුවීඹ් ආරම්භ කළා ය.

‘මම යළිත් සුපුරුදු විධිහට පුහුණුවීම් පටන් ගත්තා. මහන්සියෙන් පුහුණු වුණා. ප්‍රයාම තුනටම මගේ දක්ෂතා වැඩිදියුණු කරගන්න උත්සහ කළා. නමුත් මෙවර මට ඔලිම්පික් එන්න තිබෙන අවස්ථාව අනාර්ක්ෂිත තලයකයි තිබුණේ. අන්තිම මොහොත වනතුරු මම එනවද නැද්ද කියන එක නිශ්චය කරන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒත් මට අන්තිමට ජපානයේ ටෝකියෝවට එන්න හැකියාව ලැබුණා.’ ෆ්ලෝරා කියන්නේ තමන්ගේ ජයග්‍රහණයෙන් අනතුරුව ය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා තුන්ප්‍රයාමය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් සංඛ්‍යාව පනස් හයකි. තෙවතාවක් අසමත් වුව ද මෙවර ඈ සමත් වූයේ පැයයි මිනිත්තු පනස් පහයි තත්ත්පර තිස් හයක් ගතකරමින් තුන් ප්‍රයාමය ජයග්‍රාහී ලෙස අවසන් කරමිනි.

ඇයට පසුපසින් මහා බ්‍රිතාන්‍යයේ ජෝර්ජියා ටේලර් බ්‍රවන් හා අමෙරිකා එක්සත් ජනපදයේ කේටි ෂෆරීස් පිළිවෙලින් ස්ථාන ගත වූහ. ෆ්ලෝරා ලොව විශිෂ්ටතම තුන් ප්‍රයාම ශූරිය බවට පත්වන්නේ එසේ ය.

මෙහි ඇති සුවිශේෂි භාවයන් අතර තවත් එක් විශේෂත්වයක් ලෙස ඈ නියෝජනය කරන රට සැලකිය හැකි ය. එය බර්මියුඩාව ය. බර්මියුඩාව යනු කුඩා රාජ්‍යයකි. එහි ජනගහනය හැට තුන්දහසකට ආසන්න ය. ඒ අනුව මේ හැටතුන්දහසෙන් එකකු ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමකි. එම පදක්කම ගැන තුටු පහටුවන ක්‍රීඩාලෝලීන්ට අවශ්‍ය නම් ෆ්ලෝරා පෞද්ගලිකව හමුවී සුබ පතන්නට වුව පිළිවන.

ඊළඟ විශේෂත්වය ලෙස සැලකිය හැක්කේ වසර හතළිස් පහකින් පසු බර්මියුඩාව දිනාගත් ඔලිම්පික් පදක්කම මෙය වීම ය. ඊට පෙර ඔලිම්පික් පදක්කමකට ඔවුන්ගේ කුඩා රට උරුමකම් කීවේ 1976 වසරේ දී ය. ඒ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් තරග වැදුණු ක්ලැරියන්ස් හිල් විසිනි. හිල් කිසිදු පළුද්දක් නැතිව ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනුවේ ය.

ඒ අනුව බලන කල බර්මියුඩාව දිනූ පළමු ඔලිම්පික් රන් පදක්කම වන්නේ ද ෆ්ලෝරා දිනාගත් තුන් ප්‍රයාම රන් පදක්කම ය. තමන් මෙම පදක්කම දිනාගත්තේ දැඩි පීඩනයක් සහිත වාතාවරණයක සිට බව ෆ්ලෝරා කියන්නී ය.

‘වසර පහක් මම හිටියේ පීඩනයක. මම දන්නේ නෑ මට ඔලිම්පික් තරගාවලියට යන්න ලැබේවිද නැද්ද කියලා. කොහොම හරි අවසානයේ මට මේ ගමන එන්න හැකිවුණා. ඒ ආපු එකෙන් රන් පදක්කමක්ම දිනාගන්නත් පිළිවන් වුණා.’ ෆ්ලෝරා පවසන්නී ය.

‘මට හිතෙන්නේ මගේ මේ පදක්කමෙන් පස්සේ මුළු බර්මියුඩාවටම පිස්සු හැදේවි කියලා. මේක මට කොයිතරම් සුවිශේෂී ජයග්‍රහණයක් ද කියනවා නම් එය ඒතරමටම වටිනවා. මේක තමයි මගේ සිහිනය වෙලා තිබුණේ. අනෙක මේ ජයග්‍රහණය මට වැඩිය විශාලයි.

ෆ්ලෝරා ඩුෆී යනු තවත් අතකින් සුවිශේෂී වන්නේ ඇයට මහා බ්‍රිතාන්‍යය නියෝජනය කිරීමට ලැබුණු අවස්ථාව අතහැර දමා බර්මියුඩාව නියෝජනය කිරීමට පෙළඹවූ නිසා ය. ඒ හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියක තුන් ප්‍රයාම ඉසව්ව ජයගනිමින් එලෙස පොදු රද මඬුලු ජයක් ලැබූ පළමු බර්මියුඩා ක්‍රීඩිකාව බවට පත්වීමට 2018 වසරේ දී ඇයට හැකිවිණි.

‘බර්මියුඩාවේ පළමු රන් පදක්කම් ලාභිනය වෙන්න ලැබුණු එක ගැන මට ගොඩාක් සතුටුයි. මේ නිසා මගේ මේ ජයග්‍රහණය නිදර්ශනයක් කරගෙන රටේ සියලු දෙනා තුළ තමන්ට යමක් කරන්න පුලුවන් කියලා ධෛර්යමත් භාවයක් ඇති වෙනවා දකින්න තමයි මම අපේක්ෂා කරන්නේ.’ ඇ පවසයි.

ෆ්ලෝරා ඩුෆී ජීවත්වන බර්මියුඩාව ඒ කෙළවරේ සිට මේ කෙළවරට ඇති දුර ප්‍රමාණය සලකද්දී එය කිලෝමීටර් හතළිහකි. එහෙත් ඈ ජයගත් තුන් ප්‍රයාම ක්‍රීඩාවේ දුර ප්‍රමාණය කිලෝමීටර් පනස් එකකි. ඒ කියන්නේ ඈ ඔලිම්පික් දිනුවේ තමන්ගේ රටට වඩා දුරක් ගමන් කරමිනි. අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බර්මියුඩා රාජ්‍ය මෙන් පහළොස් ගුණයක් විශාල ය. එයින් ෆ්ලෝරා ජීවත්වන රටේ විශාලත්වය ගැන තේරුම් ගන්නට පිළිවන.

ටෝකියෝව තුන් ප්‍රයාම තරගයට මුහුණ දෙනවිට එය ආරම්භ කළේ ද මිනිත්තු පහළොවක් ප්‍රමාදවී ය. ඒ වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගැටලුවක් නිසාවෙනි. ‘මම කොයි මොහොතකවත් මගේ හිතේ තිබුණු ඒකාග්‍රතාව කඩාගත්තේ නෑ. අරමුණු ගසාගෙන යන්න දුන්නෙත් නෑ. මේ සිදුවන්නේ කල්පිතයක් නොව සැබෑවටම වෙන දෙයක් කියන එක මම මගේ හිතට දැනෙන්න දුන්නේ අන්තිම කිලෝ මීටරය දුවද්දී යි.’ ඩුෆී සිය මනස හැසිරවූ ආකාරය ගැන කියන්නී ය.

‘මම මගේ සැමියාව පසෙකින් දැක්කා. ඔහු තමයි මගේ පුහුණුකරුවා. ඔහුට මම පුංචිම පුංචි සිනහවකින් විතරක් සංග්‍රහ කළා.’ ඈ තවදුරටත් පවසා ඇත්තේ මනස සන්සුන්ව පවත්වා ගැනීමට යාමේ දී ඈ කටයුතු කළ ආකාරය ගැන කියන්නට ය.

පුංචි බර්මියුඩාවට දැන් මඟුල් ගෙයක සිරියාව ලැබී ඇත. ඒ ෆ්ලෝරා ඩුෆී නැතහොත් තමන්ගේ රටේ වනමල සිදුකළ ආශ්චර්යමත් ජයග්‍රහණය භුක්ති විඳින්නට ය. ෆ්ලෝරාගේ මෙම ජයග්‍රහණය තවත් මල් සිය දහසක් ලෝකය තුළ පුබුදුවන්නට ඉවහල්වනු නොඅනුමානය. එසේම ඇගේ ජයග්‍රහණයේ ඇති විශිෂ්ටත්වය වනුයේ තෙවරක් අසාර්ථක වුවද සිව්වැනි වරත් උත්සහ කර සාර්ථකවීමේ අපූර්වත්වය නිසාවෙනි. ජයග්‍රහණයට වයස, වාර සංඛ්‍යාව, රට, විශාලත්වය බල නොපාන බවත් අවශ්‍ය වන්නේ උපරිම උත්සහ සැමවිටම දැරිම බවත් මෙමගින් ලෝකයට ෆ්ලෝරා කියාදුන් ලොකුම පාඩම ය.

කාන්ති ජයසිංහ

Comments