හතළිහ පැන්නත් ගේල් නොගසත් බිමින් | Page 2 | සිළුමිණ

හතළිහ පැන්නත් ගේල් නොගසත් බිමින්

 

42 වැනි වියේ පසුවන ගේල් පිතිකරණයෙහි දක්වන දක්ෂතාවය වර්තමානයේ දක්ෂ තරුණ පිතිකරුවකුට නොදෙවැනි බව ඉඳුරාම කිව හැකි ය.

ගේල් සිය විශ්‍රාම සුවය පෙනෙන මානයේ සිට වුවද තරුණ පන්දු යවන්නන්ගේ පන්දුවලට පෙරළා පහර දෙන්නේ දක්ෂයකුට වයස යනු ඉලක්කමක් පමණකැයි යන කියමන මොනවට පසක් කරමිනි

'හැට පැන්නත් වඳුරන්ගේ බිමින් ගමනක් නැත. වැඩක් ඇතත් නැතත් බල්ලන්ගේ සෙමින් ගමනකුත් නැත. කොතරම් වියපත් වුවද ක්‍රිස් ගේල්ටත් බිමින් ගහන්නට හැකියාවක් ඇත්තේම නැත. මේ බිමින් නොගසන උඩින් ගසන ගේල් ගේ පුරසාරම් ගැන කතාවකි.'

 

ඔහු විටෙක ප්‍රවේගකාරී පිතිකරුවෙකි. තවත් විටෙක දක්ෂ දඟ පන්දු යවන්නෙකි. පන්දු රකින්නටද සමත් ඔහු ජගත් ක්‍රිකට් පිටියෙහි තුන් ඉරියව් දක්ෂයෙකි. තවත් විටෙක හෙතෙම පිටියෙහි විනෝදයෙන් නර්තනයේ යෙදෙන්නේ අපූරු නර්තන ශිල්පියෙක් ලෙස ය. ක්‍රීඩා පිටියේ අතිශයින්ම පීඩාකාරී අවස්ථාවක වුව ද විහිළුවක් කර විනෝදයක් ලබන ඔහු හොඳ විනෝදකාමියෙක් ද වෙයි. මේ සැම දෙයකට ම වඩා ඔහු ක්‍රිකට් ලොව දැවැන්ත පුරාවෘත්තයකි. ඔහු නමින් ක්‍රිස් ගේල් ය. ඒ ගේල් පසුගිය දා විස්සයි විස්ස පිටි‍යෙහි අසමසම වාර්තාවකට හිමිකම් කීවේ ය.

ඒ විස්සයි විස්සයි පිටියෙහි ලකුණු 14000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසිනි. ක්‍රිස් ගේල්, 2005 වසරේ සිට මේ දක්වා විස්සයි විස්ස තරග 433 ක ඉනිම 425 ක දී ලකුණු 14060 ක් රැස් කර ගෙන තිබේ. එහි දී ගේල් ශතක 22 ක් මෙන්ම අර්ධ ශතක 87 ක් ලබාගෙන තිබේ. විස්සයි විස්ස ශතක ලැයිස්තුවේ මෙන්ම අර්ධ ශතක ලැයිස්තුවේ ද පෙරමුණෙහි පසුවන්නේ ඔහුම ය. එපමණක් නොව විස්ස විස්ස පිටියෙහි හතරේ පහර සහ හයේ පහර දහසේ සීමාව පසු කර ඇති ලොව එකම ක්‍රීඩකයා වන්නේ ද ගේල් ම ය.

මේ වන විට 42 වන වියෙහි පසුවන ගේල් සිය විශ්‍රාම සුවය පෙනෙන මානයේ සිට වුවද තරුණ පන්දු යවන්නන්ගේ පන්දුවලට පෙරළා පහර දෙන්නේ දක්ෂයකුට වයස යනු ඉලක්කමක් පමණකැයි යන කියමන මොනවට පසක් කරමිනි. පසුගිය දා ඕස්ට්‍රේලියාවට එරෙහිව ගේල් ලකුණු 67ක් ලබා ගත්තේ පිටියේ සිව්දිගට හයේ පහර සහ හතරේ පහර වරුසාවක් එල්ල කරමිනි. පන්දු 38 කින් ගොඩනැඟූ එම ආකර්ෂණීය ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 7 කි න් වර්ණවත් වී තිබුණි.

බටහිර ඉන්දිය කොදෙව් පිල නියෝජනය කරමින් ගේල්, ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගත්තේ 1999 වසරේ දී ඉන්දියාවට එරෙහිව ය. ඔහු ටෙස්ට් පිටියට එක්වුණේ 2000 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය. 2014 වසරේ දී ටෙස්ට් පිටියෙන් නික්ම යන විට තරග 103 ක ඉනිම් 182 ක දී ලකුණු 7214ක් ලබාගෙන තිබුණි. සිය ටෙස්ට් දිවියේ ශතක 15 ක් සහ අර්ධ ශතක 37 ක් වාර්තා කර ඇති අතර ලොව ත්‍රිත්ව ශතක 2 ක් ලබාගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට ද එක්ව තිබේ. ජාත්‍යන්තර ටෙස්ට් තරගයක ආරම්භක පන්දුවේ දී ම හයේ පහරක් එල්ල කළ ක්‍රීඩකයකු ලෙසද ක්‍රිස් ගේල් හැඳින්විය හැකි ය.

වසර 19ක් පුරා ජාත්‍යන්තර එක්දින පිටියෙහි රැඳී සිටි ගේල් එක්දින තරග 301 ක දී ලකුණු 10480 ක් රැස් කොට තිබේ. එහිදී ඔහු ශතක 15 ක් සහ අර්ධ ශතක 37 ක් මෙන්ම ද්විත්ව ශතකයක් ද වාර්තා කරන්නට සමත් විණි. 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගේල් ලබාගත් ලකුණු 215 ඔහුගේ එක්දින දිවියේ වර්ණවත් සලකුණකි. එම තරගයේ දී ම දෙවැනි කඩුල්ල වෙනුවෙන් මාලන් සැමුවෙල්ස් හා එක්ව ගේල් ගොඩනැඟූ ලකුණු 372 ක සම්බන්ධතාව ජාත්‍යන්තර එක්දින පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිට වූ ඉහළම ලකුණු සම්බන්ධතාව සේ සැලකෙයි.

ගේල් 2004 වසරේ දී සිය සිය වැනි එක්දින තරගයට මුහුණ දුන් අතර එහි දී ලකුණු 132 ක් ලබා ගන්නට සමත් විය. ජගත් එක්දින ක්‍රිකට් වංශකතාවේ ක්‍රීඩකයෙක් තම සියවැනි තරගයේ දී ශතකයක් රැස් කළ පස්වන අවස්ථාව එය විය. එසේම ක්‍රීඩකයෙක් තම සියවැනි එක්දින තරග‍යේ දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද එය විය.

ලොව දීර්ඝතම කාලයක් විස්සයි විස්ස පිටියේ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ක්‍රිස් ගේල්ය. 2006 වසරේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගේල් සිය පළමු විස්සයි විස්සයි තරගය ක්‍රීඩා කළ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අඛණ්ඩව වසර 15 ක කාලයක් රැඳී සිටී. ජාත්‍යන්තර තරග 70 ක දී ලකුණු 1818 ලබාගෙන ඇත. ජාත්‍යන්තර පිටිය තුළ පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද දස්කම් දක්වා ඇති ‍ගේල් ටෙස්ට් කඩුලු 73 ක්, එක්දින කඩුලු 167 ක් සහ විස්සයි විස්ස කඩුලු 19 ක් බිඳ හෙළා ඇත. සිය ක්‍රිකට් දිවිය පුරාවට හයේ පහර 546 ක් එල්ල කර ඇති ගේල් ක්‍රිකට් ලොව වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්ව ඇත.

වසර 15ක් පුරා නොවෙනස්ව පවතින ප්‍රවේගකාරී පිතිකරණය නිසාම ගේල් යනු විස්සයි විස්ස පිටියට නැතිවම බැරි චරිතයකි. ඔහු ලොව පුරා ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කරන්නේ ඒ පදනම යටතේ ය. මේ වන විට කණ්ඩායම් 25 ක් නියෝජනය කර තිබීම තුළින් එ් බව සනාථ කර ගැනීමට හැකි ය. මේ වන විට 42 වැනි වියේ පසුවන ගේල් පිතිකරණයෙහි දක්වන දක්ෂතාවය වර්තමානයේ දක්ෂ තරුණ පිතිකරුවකුට නොදෙවැනි බව ඉඳුරාම කිව හැකි ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments