සිව් වසරකට පසු ඉන්දීය නවකයන් ඉදිරියේ හුස්ම ගැනීම හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ ආයෝජන | Page 2 | සිළුමිණ

සිව් වසරකට පසු ඉන්දීය නවකයන් ඉදිරියේ හුස්ම ගැනීම හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ ආයෝජන

 

‘ඉන්දියාව පරාජය කිරීම හා ඉන්දියාවට පරාජය වීම සාමාන්‍ය තත්ත්වයකි. එදා ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ දැවැන්ත ප්‍රතිවිරෝධය වූ නමුත් පසුකාලීනව ඔවුන්ගේ ප්‍රබල අභියෝගය බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිවූ කාල සමයක් ද විය. එහෙත් ඒ අතීතයේ ය. ඉන්දියාවට එරෙහිව වසර හතරකින් මෙපිට එක්දින ජයක් ලබා නොගත් තරමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටෙන්නේ එහෙයිනි. එහෙත් පසුගිය දා ජයග්‍රහණ සොයමින් සිටි ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරමින් කලකට පසු එක්දින තරග ජයක් ලැබී ය.’

පසුගිය දා ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සහභාගි වී තිබූ එක්දින ජගත් තරග ගණන 861 ක් බවට පත්ව තිබූ අතර පරාජය වී තිබූ තරග ගණන 428 ක් ලෙස ද ජයගත් ගණන 390 ලෙස ද සටහන් වී තිබිණි.

ඒ මේ වන විට ලොව එක්දින ජගත් තරග වැඩිම ගණනක් පරාජය වූ කණ්ඩායම බවට ද පත්වෙමිනි. එමෙන්ම මෙවර පැවැති තරගාවලියේ අවසන් තරගය වන තෙක් 2017 වසරේ සිට ඉන්දියාව ඉදිරියේ එක්දින තරග පහක් අඛණ්ඩව පරාජය වී තිබුණේ ය. අවසන් වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2017 වසරේ දී වන අතර ඒ ඉන්දියාවේ ධර්මශාලාහි දී ය.

“මෙම තරගාවලිය මම දකින්නේ විශ්ව විද්‍යාල කණ්ඩායමක් හා පාසල් කණ්ඩායමක් අතර තරගාවලියක් වගෙයි.” පාකිස්තානයේ හිටපු නායක විස්තර විචාරක රමීෂ් රාජා පවසා තිබුණේ පළමු තරගයෙන් අනතුරුව ය.එයට හේතු වූ වේ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි, රෝහිත් ෂර්මා වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එංගලන්තයේ සංචාරක කණ්ඩායමට එක්ව සිටීම මත මෙම තරගාවලියට සහභාගී නොවීම ය.

ශ්‍රී ලංකාවෙන් අත්දැකීම් මඳ තරුණ කණ්ඩායමක් තරගාවලිය නියෝජනය කිරීම ද එම අදහස තීව්‍ර කර තිබුණේ ය. ‘මෙය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක තරගාවලියක්. ඔවුන් තරග වදින්නේ තම රට ඇතුළේ යි. ඔවුන් මුල් තරගය සඳහා පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් පිළියෙළ කර තිබුණත් ලබා ගැනීමට සමත් වුණේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් පමණයි.” රමීෂ් වැඩි දුරටත් පවසා තිබිණි.

මුල් තරගයෙන් ෂිකාර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිලට පහසු ජයක් අත්විය. ලකුණු 300 ක් 325 ක් පමණ රැස් කළ හැකිවූ කඩුල්ලක මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට හැකි වූයේ කඩුලු නවයකට ලකුණු 262 ක් පමණි. මෙහි විශේෂත්වය අවිශ්ක 33, මිනෝද් භානුක 27,භානුක රාජපක්ෂ 24,චරිත් අසලංක 38,දසුන් ශානක 39 ලෙස ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු අතරට පැමිණිය ද ඔවුන් එම ලකුණු සංඛ්‍යාවන් දිගු ඉනිම් බවට පත් කර ගැනීමට අපොහොසත් විය. එහෙයින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 හෝ ඊට වැඩි ලකුණු ගණනක් කරා වර්ධනය කිරීමට නොහැකි විය.

පහරවල් එල්ල කිරීමේ දී නිවැරදි පන්දුව තෝරා නොගැනීම ඔවුන්ගේ දැවීයෑම්වලට හේතු වූ බැව් මෙහි දී දැක ගැනීමට ලැබිණි. පසුපෙළ ශක්තිමත් කරමින් චාමික කරුණාරත්න නොදැවී ලබාගත් ලකුණු 43 මෙහි දී අමතක කළ නොහැක.”ප්‍රීත්වි ෂෝ ටෙස්ට් තරගවලට වඩා එක්දින හා විස්සයි විස්ස තරගවලට දක්ෂ පිතිකරුවෙකු ලෙස හඳුන්වන්න පුළුවන් ඔහු මගේ මතකයට ගෙන එන්නේ හිටපු ඉන්දීය ආරම්භක පිත්කරු විරේන්ද්‍ර ෂෙවාග් ” මෙරට හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තරගාවලියට පෙර සඳහන් කර අයුරෙන් මෙම තරගයේ දී ඉන්දීය පිතිකරු ප්‍රීත්වි ෂෝ ලකුණු 43 ක් ලබා ගැනීමට සමත්වූ අතර නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86 ක් ලැබීය. මෙහි විශේෂත්වය තම මුල්ම තරගය නියෝජනය කරමින් ඉන්දීය පිලේ ඉෂාන් කිෂාන් ලකුණු 59 ක් ලැබී ය.

දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගියේ යාන්තමිනි. එම තරගයේ පරාජය සම්බන්ධයෙන් ඇතැම් විචාරකයන් පෙන්වා දී තිබුණේ ලක්ෂාන් සඳකැන් ට එරෙහිව ඉන්දීය පිතිකරුවන් දිගින් දිගටම පහර එල්ල කරද්දීත් ඔහු පන්දු යැවීම සඳහා යොදවා ගැනීම මෙන්ම හොඳින් පන්දු යැවූ නායක ශානක හා චාමික කරුණාරත්න තීරණාත්මක අවස්ථාවේ පන්දු නොයැවීමත් ගැනය.

‘පන්දු යැවීම වෙනස් කළා නම් මෙය මෙසේ විසඳෙන්න නොතිබුණා. කියා අපට සෑම විටම පවසන්නට පුළුවන් කමක් නෑ, යම් හෙයකින් මා සහ චාමික එම අවස්ථාවේ පන්දු යවා ඔවුන් අප දෙදෙනාගේ පන්දුවලට පහර දුන්නා නම් සමහරු කියාවි සඳකැන් හා කසුන් රාජිතගේ පන්දු වාර ඉතිරිව තිබියදීත් ඔවුන් යොදවා ගන්නට තිබුණා කියා.කොහොම වුණත් සඳකැන් එම අවස්ථාවේ තීරණාත්මක කඩුල්ල වූ සුරිය කුමාර් යදාව් ගේ කඩුල්ල දවාලීමට සමත් වුණා.’ යැයි ශ්‍රී ලංකා නායකයා පවසා තිබිණි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් අවිශ්ක ප්‍රනාන්දු 50, මිනෝද් භානුක 36, ධනංජය ද සිල්වා 36 ලෙසද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තුවක් ලෙස සැලකෙන චරිත් අසලංක අගනා ලකුණු 65 ක් ද ,චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44 ක් ද ලබා ගැනීමට සමත් වූහ.

තුන් වැනි තරගය ජය ගැනීම තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ජයග්‍රාහි උත්තේජනයකි. එම තරගයට පෙර නායක දසුන් ශානක පවසා සිටියේ “දෙවැනි තරගය ජය ගෙන තිබුණා නම් අපට එය මෙම තරගය සඳහා විශාල ශක්තියක් වන්නට තිබුණා. නමුත් මට විශ්වාසයි මේ තරුණ කණ්ඩායම ඉක්මනින්ම ජයග්‍රාහී මාවතට පිවිසෙන බව.”යනුවෙනි.

මෙහිදී අකිල ධනංජය 44/03, ප්‍රවීන් ජයවික්‍රම 59/03 ලෙස පන්දුවෙන්ද අවිශ්ක ප්‍රනාන්දු 76, භානුක රාජපක්ෂ 65, චරිත් අසලංක 24 ලෙස පිත්තෙන් දස්කම් දැක්වූ හ.

“මගේ පිතිකරණයේ යම් සුළු සංශෝධන කිහිපයක් කර ගැනීමට හැකි වුණා. සාමාන්‍යයෙන් මම පන්දුවට පහර දෙන විලාශයට අනුව පවර් ප්ලේ අවස්ථාවේ දී මට ලකුණු රැස් කිරීමට හැකි වුවත් එතනින් ඉදිරියට යාමටයි මට උවමනා වුණේ. මෙම තරගාවලිය තුළ ඉදිරි පෙළ පිතිකරුවෙකු ලෙස දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට මට අවශ්‍ය වුණා. කණ්ඩායමට මගෙන් විය යුතු ලෙස දිගු ඉනිමක් කරා යෑමයි මගේ අවශ්‍යතාව වුණේ. ඒ අනුව කණ්ඩායමට මගෙන් අවශ්‍ය වූ දෙය ලබා දීමට හැකි වුණු එක ගැන සතුටුයි.” අවසන් තරගයේ විරයා බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු පවසා තිබිණි. මෙවර තරගමාලාවේ පිතිකරුවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නට ද ඔහුට හැකි විය.

ඉනිම් තුනක දී අර්ධ ශතක දෙකක් සමඟින් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 159කි.

‘ඔහු එල්ල කරන පහරවල් නියම ක්‍රිකට් පහරවල් ලෙස හඳුන්වන්නට පුළුවන්.’ මේ ඉන්දීය හිටපු ක්‍රීඩක විස්තර විචාරක මුරලි කාතික් ඔහුගේ පිතිහරඹය දකින අයුරු ය. එමෙන්ම තරග තුනේ දී අර්ධ ශතක දෙකක් ලැබූ එකම පිතිකරුවා ද අවිෂ්කය. පිතිකරුවන් අතරින් දෙවැනි තැනට පත්වූයේ තරග තුනේදී ලකුණු 128 ක් ලැබූ ඉන්දීය නායක ෂිකර් ධවාන්ය.

පන්දු යැවීමේ දී ඉන්දියාවේ වයි.එස්.චහල් කඩුලු පහක් දවා ගත්තේ 50/03 ලෙස හොඳ පන්දු යැවීමක් ද සමඟිනි. මෙහි තවත් විශේෂයක් ලෙස ඉන්දියාව තම අවසන් තරගයේ දී ක්‍රීඩකයන් පස් දෙනෙකුට එක්දින තරග වරම් ලබා දී තිබිණි. මිට පෙර ඔවුන් මෙසේ ක්‍රීඩකයන් පස් දෙනෙකු හට එක්දින තරග වරම් ලබා දී ඇත්තේ 1980-81 ඕස්ට්‍රේලියාවේ මෙල්ර්බන්හි දි ය.

සමස්ත තරගාවලිය දෙස බලන විට ශ්‍රී ලංකාව මෙම වසර තුළ මුහුණ දුන් 12 වන එක්දින තරග ය එය වූ අතර ජය ගත් දෙවැනි තරගය ද මෙය වෙයි. මෙම ජයග්‍රහණය ද සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුපර් ලීග් වටයේ ලකුණු 22 ක් ලබමින් 11 වන ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාවට පසුපසින් රැඳී ඇත්තේ පිළිවෙළින් නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල් ය.

චාමික කරුණාරත්න මෙම තරගා-වලිය තුළින් විශ්වාස තැබිය හැකි පසු පෙළ පිතිකරුවෙකු බව පෙන්වා දීමට සමත් වූ අතර මුල් පෙළ වේග පන්දු යවන්නෙකු ලෙසද කැපී පෙනෙයි. ඔහු සිහි ගන්වන්නේ 1990 දශකයේ කුමාර ධර්මසේනය. කුමාර එකල හැඳින්වූවේ උනන්දුවා ලෙස ය. චාමික තුළින් ද තවත් උනන්දුවෙකු බිහි වෙන ලකුණු දැක ගත හැකි ය.

”එංගලන්තයේ ඕල්ඩ් ට්‍රර්ෆඩහි මගේ කවුළුවෙන් ක්‍රීඩා පිටිය දෙස බලන විට නිතරම දුටු දෙයක් තමයි චාමික අපගේ පුහුණුවීම් සැසිවලට අමතරව ස්වයං පුහුණුවීම්වල යෙදෙන අයුරු. විටෙක ඔහු ග්‍රාන්ට් ෆ්ලවර් සමඟ අතිරේක පුහුණුවිම්වල යෙදෙන අතර තවත් විටෙක චමින්ද වාස් වෙතින් තම පන්දු යැවීම ගැන ද විමසිලිමත් වෙනවා.” මේ පුහුණුකරු මිකී ආතර් පසුගිය එංගලන්ත සංචාරයේ දී චාමික සම්බන්ධයෙන් වූ අත්දැකීමක් විස්තර කරන ආකාරයයි.

චාමිකට අමතරව චරිත් අසලංක මුල් පෙළ පිතිකරුවෙකු ලෙස ඉදිරියට එන ලක්ෂණ මෙම තරගාවලියේදී දැක ගත හැකි විණි. මිනොද් භානුක, භානුක රාජපක්ෂ දෙදෙනා ද තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සමත් වූ බවක් දිස්වේ. සුපුරුදු ලෙස පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි වුවද වනිඳු හසරංග පන්දු යැවීමෙන් දෙවැනි තරගයේ දී 37/03 දී ඉන්දීය පිතිකරුවන්හට තර්ජනයක් එල්ල කිරීමට සමත් විය. මුල් තරගය හැරුණු විට තරගාවලිය තුළ විශේෂයෙන් තෙවැනි තරගයේ ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම ද කැපී පෙනිණි. පන්දු රැකීම ද සමස්තයක් වශයෙන් තරගාවලිය තුළ හොඳ තත්ත්වයක තිබිණි. එයින් සිතිය හැක්කේ තවදුරටත් අත්දැකීම් හා පුහුණුවීම් සිදුකරන්නේ නම් ශ්‍රී ලංකාවේ සාර්ථක අනාගතයක් නිර්මාණය කළ හැකි ක්‍රිකට් කණ්ඩායමක් බිහි කර ගත හැකි බව ය.

 

අනිල් වීරසිංහ

Comments