ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනයට කැඳවන අශ්ව ධනවතී මැතිල්ඩා | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනයට කැඳවන අශ්ව ධනවතී මැතිල්ඩා

 

මුලික තරගය 03 දා

අවසන් තරගය 04 දා

'ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජනයේ අවස්ථාවන් මේ වනවිට එකින් එක නිම වෙමින් තිබේ. එහි අවසාන අවස්ථාව හා වඩාත් අපේක්ෂා සහගත අවස්ථාව හිමිව ඇතතේ අශ්වාරෝහක මැතිල්ඩාට ය.

මෙවර ගිම්හාන ඔලිම්පික් උලෙළේ අශ්වාරෝහක පැනීම් ඉසව්වට තරග වදින ක්‍රීඩකයන් සංඛයාව හැත්තෑ පහකි. ඉතිහාසයේ පළමු වතාවට එහි ඔසවා තැබෙන ධජ පතාක මැද ශ්‍රී ලංකා වේ ධජය ද වේ. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් අශ්වාරෝහක තරගයට එක් ජම්පර් රයිඩර් වශයෙන් ක්‍රීඩිකාවක් ඇතුළත්ව ඇති හෙයිනි.

ඒ G කාණ්ඩයේ (අග්නිදිග ආසියාව සහ ඕෂනියා) තනි පුද්ගල ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන දෙක ලබා ගනිමිනි. ඇය දැන් රටම හඳුනන මැතිල්ඩා කාල්සන් ය. ඈ සිංහ ධජය ළෙලවමින් ටෝකියෝවේ සරඹ කිරීම ආරම්භ කරන්නේ අගෝස්තු තුන්වැනි දා ය. ඒ ඈ සහභාගිවන මූලික තරගය යෙදී ඇති දිනය ය. එයින් ලබාගන්නා සාර්ථකත්වය මත අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ඊට පසුදිනයේ දී ය.

කෙසේ නමුත් මැතිල්ඩා ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ අධිකරණයට ගොස් ලබාගත් සාධාරණයක් හේතුවෙනි. ඒ මුලදී ඇයට ඔලිම්පික් සුදුසුකම් ලැබීමට හිමිවන සුදුසුකම් ලැබීමේ ලකුණු වලින් කොටසක් ඉවත් කරන්නට බලධාරීන් ක්‍රියාකළ හෙයිනි. කෙසේ වෙතත්, එම තීරණයට එරෙහිව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යන්නට ඈ ක්‍රියා කළා ය. ඒ හේතුවෙන් අවසන අදාළ තීරණය වෙනස් කරන්නට බලධාරීන්ට සිදුවිණි. මේ හේතුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබූ මුල්ම ක්‍රීඩිකාව බවට පත්වන්නටත් 35 හැවිදිරි මැතිල්ඩා කාල්සන්ට හැකිවිණි.

ස්වීඩනයේ කැපකරු මාපියන් යටතේ ජීවිතය ගෙවන මැතිල්ඩා පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ පුරවැසිභාවය ලබා ගත්තා ය. ඒ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ අරමුණින්ම ය. ඇය තරගයට සහභාගී වනු ඇත්තේ 'චොපින්' නම් අශ්වයා සමග ය.

ඔලිම්පික් සුදුසුකම් ලැබීම

'ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා තමයි මම ඔලිම්පික් තරගාවලියට තේරී ඇතිබව දැනගත්තේ. ඒ ප්‍රවෘත්තිය මට අදහා ගන්න බැරිවුණා. ඉතින් ඒ සුබ පණිවිඩය නව වසරේ දී ශ්‍රී ලාංකිකයන්ටත් තිළිණ කරන්න මට පුළුවන් වුණා.

මම තරගයට අශ්වයන් කිහිපදෙනෙක්ම යොදා ගන්නවා. ඔලිම්පික් වරම් ලැබුවේ ‘චොපි’ කියන අශ්වයා. චොපිට දැන් වයස අවුරුදු 10 ක්. එයා ‘ස්ටැලියන් හොල්ට්ස්’ ගණයේ කෙනෙක්. මේ වගේ අශ්වයෙක් සාමාන්‍යයෙන් යූරෝ මිලියන 6 ක් විතර වෙනවා. ඒ වගේ අශ්වයන් 15 දෙනෙක් මගේ ළඟ ඉන්නවා.' ඈ පවසන්නේ තම අශ්ව වත්කම් ගැන ය.

'මම ඉපදුනේ ලංකාවේ. ඉතින් මම ලංකාවට ගොඩක් ආසයි. දැන් මගේ එකම බලාපොරොත්තුව ටෝකියෝවේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එකයි. ”

බන්ධුල ජයමාන්න

Comments