වියපත් නොවී තිරිහන් වන ටෝකියෝව හා හිරෝහිතෝ වෙනුවට නරහිතෝ දුන් ඇරඹුම් සංඥාව | සිළුමිණ

වියපත් නොවී තිරිහන් වන ටෝකියෝව හා හිරෝහිතෝ වෙනුවට නරහිතෝ දුන් ඇරඹුම් සංඥාව

 

‘ටෝකියෝව මහලුවී නැත. එය තවදුරටත් තිරිහන්ව තිබේ. නූතන මානව දර්ශකවලට අනුව ටෝකියෝව ඉන්නේ සංවර්ධනයේ හිනි පෙත්තේ ය. (එහෙත් එය පරිසර දර්ශකවලට අනුව නම් නිසි සංවර්ධනයක් නොවේ.) අමෙරිකාවේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්ව සුනු විසුනු වූ හිරෝෂිමාව හා නාගසාකි නුවර හේතුවෙන් සමස්ත ජපානයේම කොඳු ඇට පෙළ බිඳී ගියාක් බඳු විය. එහෙත් එය සිදුවී දසක දෙකකට ආසන්න කාල සමයක් ගතවද්දී එනම් 1964 වසරේ දී ලොව අසිරිමත්ම ක්‍රීඩා සංස්කෘතික මංගල්‍යය වන ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දක්වමින් ජපානය ස්වකීය නැඟී සිටිම ගෙනහැර දැක්වූයේ ය. ඒ අද මෙන්ම ජපානයේ ටෝකියෝ අගනුවරදී ය.

එම අසිරිමත් සංසිද්ධියෙන් වසර පනස් හයක් ගත වන විට යළිත් ඔලිම්පික් තරගාවලියක සාඩම්බර සත්කාරකයා බවට පත්වන්නට ජපානය සමත්ව තිබේ. ඒ 2020 ඔලිම්පික් තරගාවලිය 2021 වසරේ දී ටෝකියෝ නුවරදී සංවිධානය කරමිනි. එදා සිට අද දක්වා සිදුවූ එම සුවිශේෂී විපර්යාසය සම්බන්ධ සංක්ෂිප්ත සටහනකි මේ.’

හිරෝහිතෝ අධිරාජ්‍යයා සමස්ත ලෝකයාම බලා සිටි ඒ අසිරිමත් දිනයේ දහ අට වැනි ඔලිම්පික් උළෙලේ සමාරම්භය සනිටුහන් කළේ ජපන් භාෂාවෙනි. එය ඉංග්‍රීසි බසින් දැක්වුණේ,

Celebrating the XVIII Modern Olympiad, I will declare the opening of the Olympic Games Tokyo competition here."

යනුවෙනි. එනම් ‘දහ අට වැනි නූතන ඔලිම්පියාඩ් සමරමින් ටෝකියෝ හි ඔලිම්පික් තරග ආරම්භ වන බව මම දැනුම් දෙන්නට කැමැතියි.’ කියා ය.

එදා 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගෞරවනීය සත්කාරකත්වය ලබා දෙමින් ජපානය ලෝකයට ප්‍රකාශ කළේ දෙවැනි ලෝක යුද්ධයෙන් ලැබූ පරාජයෙන් අනතුරව තමන් රටක් වශයෙන් යළි නැඟී සිටීම ගැනය.

මෙවර ඔවුන් ඔලිම්පික් සත්කාර-කත්වයෙන් අනතුරුව සාඩම්බරව ප්‍රකාශ කළේ 2011 වසරේ භූමි කම්පාව, සුනාමිය සහ න්‍යෂ්ඨික අර්බූදයෙන් අනතුරුව තම රටේ ශක්තිමත් භාවය ය.

සැබැවින්ම අතීතයේ දී මෙන්ම වර්තමානයේ දී ද ඔවුන් රටක් වශයෙන් කියන්නට උත්සහ කළේ එකම එක පණිවිඩයකි. එනම් කිසිදු අභියෝගයක්, බාධකයක්, විපතක් ඉදිරියේ තමන් රටක්, සමාජයක් ලෙස ඇද නොවැටෙන බවයි. ගෝලීය ආර්ථික අර්බුදයෙන් පහළ අඩියකට වැටෙමින් තිබූ ජපානය යළි පණ ගසා නැඟී සිටි බව ද මෙවර ඔලිම්පික් උළෙලේ දී ඔවුන් ප්‍රකාශ කරන බව පිළිගත යුතු ය.

‘ජපනුන් හපනුන්ය. ඔවුනට කළ නොහැක්කක් නැත. ඔවුන් එතරම් විශිෂ්ට ශික්ෂණයක් සහිත මිනිසුන් ය. අරමුණකට ඉලක්ක ගත කළ පසු ඒ අරමුණ හඹා ගොස් ජයග්‍රහණය සොයා නොගෙන කිසිදු උත්සාහයක් අතර මඟදී නවතා දමන්නේ නැත. මිනිසා විනාශ කළ හැක. එහෙත් පරාජය කළ නොහැක යන හෙමිංවේ කළ ප්‍රකාශය වඩාත් හොඳින් ගැළපෙන්නේ ජපනුන්ට ය. ඒ ජපනුන් 1964 වසරේ දී ත් 2020 ඔලිම්පික් තරගාවලියේ දී ත් මේ බව ඔප්පු කර පෙන්වා ඇති හෙයිනි.

නූතන ඔලිම්පික් විවෘත කිරීම

1896 ආරම්භ වූ නූතන ඔලිම්පික් උළෙලේ සමා-රම්භය ග්‍රීසියේ ඇතැන්ස් නුවර දී සිදු කෙරුණේ පළමුවැනි ජෝර්ජ් රජුගේ ප්‍රධානත්වයෙනි. ඔහු හෙ-ලීනස් හි රජු වශයෙන් කටයුතු කළේ ය. 1900 ප්‍රංශයේ පැවැති දෙවැනි ඔලිම්පික් තරගාවලියේ නිල විවෘත කිරීමක් සිදු කරනු නොලැබුවේ එරට සිදුවූ මහා විප්ලවයෙන් අනතුරුව ප්‍රභූ පෙළපත සම්බන්ධයෙන් දැක්වූ නොකැමැත්ත නිසා විය හැකි ය. සැබැවින්ම එය දේශපාලන කාරණා හේතුවෙන් සිදූවූවකැයි සිතිය හැකි ය.

තෙවැන්න අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණේ ඩේවිඩ් ආර්. ෆැන්සිස් හා සිව් වැන්න මහා බ්‍රිතාන්‍ය හත් වැනි එඩ්වඩ් රජු විසින් ද වශයන් නිල සමාරම්භය සනිටුහන් කර තිබිණි.

පස් වැනි හා සත් වැනි (පළමු ලෝක යුද්ධය හේතුවෙන් හය වැන්න නොපැවැත්විණි.) නූතන ඔලිම්පික් උළෙලේ සමාරම්භය දක්වනු ලැබුවේ පිළිවෙළින් ස්වීඩනයේ හා බෙල්ජියමේ රජවරුන් විසිනි. ඔවුන් නම් පස් වැනි ගුස්ටාෆ් හා පළමු වැනි අල්බර්ට් ය.

අට වැනි මහා කෙළි සැමරුම යළිත් ප්‍රංශයේ සංවිධානය කෙරුණේ 1920 වසරේ දී ය. එවර එහි සමාරම්භක උළෙල ප්‍රංශ සමූහ ආණ්ඩුවේ ජනාධිපති ගැස්ටන් ඩුමේගු විසින් සනිටුහන් කළේ ය. නව වැනි ඔලිම්පික් සමාරම්භය නෙදර්ලන්ත රජ කුමරු වන හෙන්ඩ්‍රික් කුමරු විසින් සිදු කරනු ලැබ තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ සංවිධානය කරනු ලැබූ දස වැනි ඔලිම්පික් උළෙලේ සමාරම්භය එරට උප ජනාධිපති චාර්ල්ස් කර්ටිස් විසින් ප්‍රකාශකයට පත්කෙරිණි.

1936 වසර අතිශය සුවිශේෂී වර්ෂයක් විය. එහි දී නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් බර්ලින් නුවර දී සංවිධානය කරන්නට යෙදුණු එකොළොස් වැනි ඔලිම්පික් උළෙලේ නිල සමාරම්භය සනිටුහන් කළ තැනැත්තා විය. එයින් අනතුරුව වසර අටක් යන තුරු යළි ලෝකයට ඔලිම්පික් තරගාවලියක උණුසුම ලබා ගැනීමට හිට්ලර්ගේ යුදවාදී පාලනය ඉඩහසර ගොඩනැඟුවේ නැත.

ඒ අනුව 1948 වසරේ මහා බ්‍රිතාන්‍යයේ පැවැති දහ හතර වැනි ඔලිම්පික් උළෙල අරඹන බවට සලකුණු කළේ හය වැනි ජෝර්ජ් රජතුමා ය.

පහළොස් වැනි ඔලිම්පික් උළෙල ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර සංවිධානය කෙරුණු අතර එරට සමූහාණ්ඩුවේ ජනපති ජුහෝ කුස්ටි පාස්කිවි විසින් ඇරැඹුම සලකුණු කරනු ලැබුණේ ය.

දහසය වැනි උළෙල ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ආරම්භ වුණේ එඩින්බරෝ ආදිපාදවරයාගේ ප්‍රධානත්-වයෙනි. එම උළෙලේ තුරඟ තරග සරඹ සංදර්ශනය පැවැතියේ ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවර ය. එහි සමාරම්භය සංකේතවත් කළේ ස්වීඩනයේ රජු වූ හය වැනි ගුස්ටාෆ් ඇඩොල්ෆ් ය.

ඉතාලියේ රෝම නුවර පැවැති දහ හත් වැනි ඔලිම්පික් උළෙල ගිවෝනි ග්‍රොනාචි විසින් ද 1964 ටෝකියෝ හි පැවැති දහ අට වැනි ඔලිම්පික් උළෙල හිරෝහිතෝ අධිරාජ්‍ය විසින් ද සමාරම්භය සනිටුහන් කරද්දී දහ නව වැන්න මෙක්සිකෝ ජනපති ගුස්ටාවෝ ඩයෂ් ඔර්ඩාෂ් විසින් විවෘත කරනු ලැබීය.

විසි වැනි ඔලිම්පික් උළෙල යනු ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වුණේ ගුස්ටාව් හෙයින්මන් නම් වූ එරට සමූහාණ්ඩුවේ ජනපතිවරයාගේ ප්‍රධා-නත්වයෙන් ආරම්භ කරමිනි.

විසි එක් වැන්න කැනඩාවේ රැජිනිය ලෙස සැලකෙන දෙවැනි එලිසබෙත් රැජින විසින් සිදු කරද්දී විසි තුන් වැන්න සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රධානියා වූ ලෙයොනිඩ් බ්‍රිෂ්හෙනව් සිදුකර තිබිණි.

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඇරඹුවේ එරට ජනපති රොනල්ඩ් රේගන් ගේ ප්‍රකාශයට පත්කිරීමෙනි. විසි හතර වැනි ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ සියොල් නුවර පැවැත්වුණේ එරට සමූහාණ්ඩු ජනපති රොහ් ටේ වූගේ සමාරම්භක සටහන සමඟ ය. ස්පාඥ්ඥ රජු වූ පළමු ජුආන් කාලෝස් රජු විසින් ස්පාඥ්ඥයේ පැවති විසි පස් වැනි ඔලිම්පික් උළෙලට සමාරම්භක සටහන දමනු ලැබිණි. ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල ඇරඹුණේ එවකට අමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන්ගේ ප්‍රධානත්වයෙනි. විසි හත් වැනි උළෙල සිඩ්නි නුවර දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩුකාර විලියම් ඩෙනීගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙද්දී ග්‍රීසියේ ඇතැන්ස් හි 2004 වසරේ පැවැති උළෙල කොස්ත්තීනුස් ස්ටෙපානෝපාලෝස් නමැති හෙලනික් සමූහාණ්ඩු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණේ ය. විසි එක්වැන්නේ හියු ජිනාටෝ විසින් බිංජි නුවර දී ආරම්භ කළේ එය චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

තිස් වැන්න දෙවැනි එලිසබෙත් රැජිනිය විසින් විවෘත කරද් දී තිස් එක්වැන්න බ්‍රසීලයේ මයිකල් ටීමර් නමැති එරට උප ජනාධිපති විවෘත කළේ ජනපතිවරයා අධිකරණමය අර්බුදයක සිරගතව සිටි හෙයිනි.

මේ අනුව ඔලිම්පික් සමාරම්භකත්වය එක් එක් රටවල් තමන්ගේ සුවිශේෂී පුද්ගලයකුගේ ප්‍රමුඛත්වය ලබා නිමින් සිදුකර ඇති බව දකින්නට ලැබෙයි. එවැනි තත්ත්වයක් යටතේ මෙවර ඔලිම්පික් උළෙල ජපානයේ නව අධිරාජ්‍ය විසින් සිදුකරන්නේ ඔහු එරට සංස්කෘතිකමය වශයෙන් වඩාත් වටිනා පුද්ගලයා සේ සැලකෙන බැවිනි.

එයින් ප්‍රකාශ වෙන පණිවුඩය වනුයේ ඔලිම්පික් තරගාවලියේ සංස්කෘතිකමය වටිනාකමට තවමත් විශාල ලංසුවක් පවතින බවය.

ඒ අනුව බලන කල හිරොහිතෝ අධිරාජ්යා එදා සිදුකළ ඔලිම්පික් සමාරම්භය මෙදා සිදුකළේ ජපානයේ අලුත්ම අධිරාජ්යා වන ඔහුගේ මුනුබුරු නරහිතෝ අධිරාජයා ය. එකී සංස්කෘතික අභිමානය පෙරදැරි කරගනිමිනි. කොවිඩ් වැනි ගෝලීය වසංගතයකින් ලෝකය පීඩා විඳිමින් සිටිය දී ටෝකියෝවට ලෝකයේ සියලුම රටවල් නියෝජනය කරන ඒ ඒ රටවල් සතු විශිෂ්ටම ක්‍රීඩකයන් කැඳවා පවත්වන තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රිඩා සත්කාරය කොතෙක් නරයාට නැත හොත් ජනතාවට හිතකර ද යන්න තීරණය කළ හැක්කේ ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව සිදුවිය හැකි කොවිඩ් බලපෑම සැලකිල්ලට ගැනීමෙනි.

නරහිතෝගේ ඔලිම්පික් සමාරම්භක සංඥාව මානව හිතවාදී එකකැයි ඉතිහාසය විසින් සනිටුහන් කරනු ලබන්නේ එකී ප්‍රතිඵලය සෘණාත්මක නොවී ධනාත්මක භාවයෙන් යුතු වන්නේ නම් ය.

කාන්ති ජයසිංහ

Comments