මේඩ් ඉන් ශ්‍රී ලංකා බේස්බෝල් සන්නාමයෙන් ලෝකය තුළ ක්‍රීඩා විප්ලවයක් කළ ශ්‍රී ලන්කන් හපනා | සිළුමිණ

මේඩ් ඉන් ශ්‍රී ලංකා බේස්බෝල් සන්නාමයෙන් ලෝකය තුළ ක්‍රීඩා විප්ලවයක් කළ ශ්‍රී ලන්කන් හපනා

 

J.R. ගෙන් පසුව ජපානයේ හොඳ හිත දිනූ ලංකාවේ S.W.

වී.අයි.පී. නිරෝධායන නීති යටතේ ප්‍රමිතිය බලන්න ජපන් නියෝජිතයෙක් ගේන්න සැලසුම් කළා

රටට ලබා දිය හැකි උපරිම වටිනාකමක් මම දිනා දුන්නා කියලා ආඩම්බරයක් තියෙනවා

ජපානයට, අමෙරිකාව සමඟ ඇත්තේ ගැඹුරු ඉතිහාසයකි. අමෙරිකාවට ද එය එසේම ය. එයින් වැඩිම කැලල් ඇත්තේ ජපානය තුළ ය. ඒ හිරෝෂිමා හා නාගසාකි නගරත් අමෙරිකානු පරමාණු බෝම්බ පෙළත් හේතුවෙනි. එය සාධාරණී කරණය කරන්නට අමෙරිකානු ධනේශ්වරය යොදා ගත් ප්‍රබලම තර්කය ජපනා පර්ල් වරායට බෝම්බ හෙළුවාට හා ලෝක යුද්ධයක පරසතුරු පාර්ශ්වයක සිට ගැනීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය.

ජපානයට ලොව පුරා සම්බාධක වැටිණි. ජපනා සිටියේ ලෝකයෙන්ම නොතකනා තැනක ය. එය දෙකේ කොළයට දැමීමකි. ඒ දෙකේ කොළයෙන් ජපානය මුදාගන්නට අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිකෝ නුවර පැවැති නොබැඳි සමුළුව අපිරිමිත මෙහෙවරක් කළේ ය. එයට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා රජය වීම විශේෂිත ය. ඒ අනුව ජපානය - අමෙරිකාව හා ශ්‍රී ලංකාව සමකෝණී ත්‍රිකෝණයක එකිනෙක රටවලට සම්මුඛ වූ හ.

ජපානය ලෝකයේ දෙකේ කොළයෙන් මිදීමට ශ්‍රී ලංකාව ලෝකයට කීවේ ‘නහී වේරේන වේරානී’ කියා ය. ඒ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ලෝකය ඉදිරියේ ප්‍රකාශයට පත්කළ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සිදුකරනු ලැබිණි. ලෝකය එය පිළිගත්තේ ය.

නහී වේරේන වේරානී හොඳින්ම පිළිගත්තේ ජපානයයි. තමන්ට පරමාණු බෝම්බ දමා දහස් සංඛ්‍යාත මිනිසුන් මරා පරම්පරා ගණනාවක් න්‍යෂ්ඨික අංග විකලයන් කළ සමාජයක ඛේදනීය හිමිකරුවන් වූවාට එය මත පිහිටා ලෝකයෙන් පළිගන්නට, අමෙරිකාවෙන් පළිගන්නට ජපනුන් කටයුතු කළේ නැත. ඒ අනුව සිදුවූයේ කාලයාගේ ඇවෑමෙන් ජපානය හා අමෙරිකාව සියලු පසමිතුරුකම් අතහැර හොඳ මිතුරෝ බවට පත්වීම ය. එහි ඇතැම් කොටස්හි දේශපාලන සමීකරණ තිබේ. අපි යන්නේ එය ගැන කියන්නට නොවේ.

මේ අනුව ජපානය - අමෙරිකාව හා ශ්‍රී ලංකාව සමකෝණී ත්‍රිකෝණයක පාර්ශ්වකරුවෝ ය. ඒ සමකෝණී ත්‍රිකෝණයේ ප්‍රතිලාභීන් නොව ගෞරවනීය උපදේශකයන් වූ ශ්‍රී ලංකාව මෙවර ඔලිම්පික් උළෙලේ සිට යම් ප්‍රතිලාභයක කොටස්කරුවන් බවට පත-කරගන්නට ක්‍රීඩාව උපයෝගී කර ගත් අවස්ථාවක් වාර්තා වූයේ ය.

ඒ තනි පුද්ගල වෑයමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සංසිද්ධියට මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බිහි කළ අභිමානනීය පුත්‍රයකු වන සුජීව විජයනායකය ය. ඔහු මෙවන් වෑයමක නියැළී ඇති බව කලකට පෙර සිට දැන සිටිය ද එය ජනමාධ්‍ය ඔස්සේ සමාජයට හෙළිදරවු නොකළේ ඔලිම්පික් තරගාවලිය සමඟ එය හෙළි කළ යුතු බවට තිබූ ප්‍රවෘත්තිමය වටිනාකම සලකා බලා ය. මේ ඔහු සිදුකළ එකී අනභිභවනීය උත්සහය සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ ඔහු හා පැවැත් වූ සංවාදයක සංක්ෂිප්තයකි.

‘මේක ලොකු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. මොකද සාමාන්‍යයෙන් බේස් බෝලයක එය නිෂ්පාදනය කළ රට ප්‍රදර්ශනය කරන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ බේස්බෝලය ලෝකයට යන්නේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ කියන සන්නාමය සමඟ. ඒක රටක් වශයෙන් අපි ලබා ගන්නා දැවැන්ත ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.’ සුජීව විජයනායක පැවසී ය.

මොකක් ද මේ බෝල කතාව

අපි ඔහුගෙන් විමසූයේ බෝල කතාවේ සුල මුල පැහැදිලි ව සඳහන් කරන ලෙස ය.

‘අපිට මෙවර ඔලිම්පික් උළෙලේ දී බේස්බෝල් සහ සොෆ්ට් බෝල් තරග සඳහා යොදා ගන්නා පන්දුව ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වශයෙන් ලබා දෙන්න අවශ්‍ය කෝටාව දිනා ගන්න හැකි වුණා. ඒ පන්දුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන්නේ දූනගහ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකයි. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් යොදා ගන්නා බේස්බෝල් පහළොස් දහසක තොගයක් අපේ රටින් තමයි ජපානයට අපනයනය කළේ.’ ඔහු කීවේ ය.

එහි ඇති සුවිශේෂත්ව අතර ඔහු දකින්නේ අමෙරිකාව, ජපානය වැනි රාජ්‍යයන් අභිබවා එම අවස්ථාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව උදාවීම ය.

‘මේ අවස්ථාව දිනා ගන්න අප රටට අවස්ථාව උදා වීම විශේෂත්වයක්. සාමාන්‍යයෙන් ලෝකයේ බේස් බෝල් ක්‍රීඩාවේ අංක එකේ දෙකේ රාජ්‍යයන් වශයෙන් සැලකෙන ජපානය, අමෙරිකාව අභිබවා එය ලබා ගැනීමට රටක් වශයෙන් අප සමත් වීම සුවිශාල භාග්‍යයක්. ඒ වගේම තමයි එය ඩොලර් මිලියන ගණනක් වටින අවස්ථාවක් වන්නේ ‘මේඩ් ඉන් ශ්‍රී ලන්කා’ කියන සන්නාමය ලෝකය තුළ ප්‍රදර්ශනය වීමත් එක්කයි. එය සංචාරක ව්‍යාපාරයට, ආයෝජන අවස්ථාවන්ට කදිම පිටිවහලක්.’ ඔහු පැවසී ය.

සාමාන්‍යයෙන් අසාමාන්‍ය අවස්-ථාවක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි තවත් කරුණක් වනුයේ පන්දුව තුළ එම සන්නාමය ප්‍රදර්ශනය කිරීමට අවසර හිමි වීම හේතුවෙනි.

‘සාමාන්‍යයෙන් භාණ්ඩය නිෂ්පාදනය කළ සමාගමේ නාමය ගහන්න පිළිවන්. ඒත් රටේ සන්නාමය පන්දුවේ ගසන්න අවසර ලබා දෙන්නේ නෑ. ඔලිම්පික් තරගාවලියක් තුළදීත් එය එසේමයි. නමුත් මට හැකියාවක් ලැබුණා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය මෙවර ඔලිම්පික් උළෙලට භාවිත කරන බේස්බෝලය උඩ සටහන් කරන්න අවස්ථාව දිනා ගැනීමට. ඒක සුවිශාල වාසියක්. දැන් මුළු ලෝකයම දන්නවා බේස් බෝල් හදන ප්‍රමිතිසහගතම කර්මාන්තශාලාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. ඒ නිසානෙ මෙවර ඔලිම්පික් තරගාවලියට බේස්බෝල් රැගෙන ආවේ. ඒක අපිට රටක් වශයෙන් ලැබුණු විශාල වාසියක්.’ ඔහු සඳහන් කළේ ය.

‘ඇසුරුමේ තමයි නිෂ්පාදනය කරපු රටේ නම ගහන්න හැකි වෙන්නේ. ඒ අනුව අපි බෝල ජපානයට යවපුවහම ඒවා ඇසුරුම් කරලා යවන පෙට්ටිවල මතුපිට ‘මේඩ් ඉන් ශ්‍රී ලන්කා’ කියලා ගහන්න හැකියි. ඒත් මම පන්දුවේම එය සටහන් කරගන්න ගත්තු උත්සාහයේ ප්‍රතිඵලය සාර්ථක වුණා. සාමාන්‍යයෙන් පන්දුව උඩ සටහන් කරන්න අවසර තිබෙන්නේ අදාළ භාණ්ඩය නිෂ්පාදනය කළ සමාගමේ නම සහ ලෝක බේස් බෝල් සංගමයේ කෙටි නාමය වන WBSC පමණයි. එහෙම නැතිව නිෂ්පාදනය කළ රටේ නම පන්දුව මත ප්‍රදර්ශනය කරන්න බෑ. නමුත් මට එය සාර්ථක කර ගන්න හැකි වුණා. දැන් අපි මෙවර ඔලිම්පික් උළෙලේ බේස් බෝල් තරගවලට යොදාගන්න පන්දුව මතුපිට ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය මුද්‍රණය වෙලා තිබෙන්නේ ඒ අනුවයි. මේ සිද්ධියෙන් මගේ මව් බිමට උපරිම ගෞරවයක් හා ආර්ථික වටිනාකමක් එක්කර දෙන්න මට හැකියාව ලැබුණා කියා මා සිතනවා. ඒ ගැන මට හරි ආඩම්බරයි.’

ඔහු පවසන ආකාරයට මෙවර ඔලිම්පික් තරගා-වලියේ ක්‍රීඩා කිරීමට යොදා-ගන්නා බේස් බෝල් පන්දු මත ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’, නිෂ්පාදන වෙළෙඳ නාමය වන SSK යන්න හා ලෝක බේස් බෝල් සංගමයේ කෙටි නාමය වන WBSC යන්න සටහන්ව ඇත.

‘ජපානය, අමෙරිකාව, කොරියාව, මෙක්සිකෝව, ඩොමිනිකාව වැනි රාජ්‍යයන් මෙවර බේස් බෝල් තරගවල දී ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරපු බේස් බෝල් පන්දුවලින්. ඒ ගැන සත්තකින්ම ආඩම්බරයි. මම තාක්ෂණ කමිටු ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිට ගන්නේ ඔලිම්පික් තරගාවලියේ අපේ රටේ හදපු පන්දුවලින් ක්‍රීඩාව සිදුවෙමින් තිබියදී. ඒ වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථක වීම ගැන ඇත්තටම මට හරි සතුටුයි.’ සුජීව විජයනායක පවසන්නේ ය.

කොරෝනා මැද තත්ත්ව පරීක්ෂා මෙහෙයුම

ඔලිම්පික් තරගාවලියට භාවිත කරන්නට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුව යොදා ගන්නට පෙර එය ජාත්‍යන්තර තරගවලට යොදා ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නට සිදුවිය. එහි දී අදාළ නිෂ්පාදනය සිදු කරන ආකාරය පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ජපානයේ සිට විශේෂ නියෝජිතයකු මෙරට දූනගහ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාව වෙත එවීමේ වගකීම පැවරී තිබුණේ සුජීව විජයනායක අතය.

‘අප්‍රේල් මාසයේ තමයි ප්‍රමිති පරීක්ෂාවට ඔලිම්පික් සංවිධාන කමිටු නියෝජිතයන් ශ්‍රී ලංකාවට එන්න තිබුණේ. කෙසේ නමුත් ඒ වෙද්දී කොරොනා තත්ත්වය දැඩි ලෙස ඉහළ ගිහින් තිබුණා. එනවානම් දැඩි නීති රීති යටතේ සති දෙකක නිරෝධායන කාලසීමාවක් පසුකරන්නයි විදේශයෙන් පැමිණෙන නියෝජිතයන්ට සිදුව තිබුණේ. මේ තත්ත්වය දැඩි අසීරුතාවක් ඇති කළා. එතැන දී මම ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මුණ ගැසී එතුමා මඟින් ශ්‍රී ලංකාවේ කොරෝනා මැඬලීමේ කාර්ය සාධක බළකා ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මඟින් විශේෂ (VIP) අවසර සහිතව රටට ඇතුළු වීමට අවසර ලබා ගත්තා. මේ වෙනුවෙන් මට සහය දුන්නු අය අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර, ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂිතයි. ඔවුන්ගේ සහයෝගය නොලැබෙන්න මේ සඳහා අවස්ථාවක් උදාවෙන්නේ නෑ. කොහොම හරි අන්තිමට ජපානයේ ඔලිම්පික් සංවිධායකයන්ගේ විශේෂ අවසරය සහිතව එරට සිට මෙරට නිපදවන පන්දුවල ප්‍රමිතිය සහතික කර ගන්න මැදිහත්වීමට මට හැකියාව උදා වුණා. ඒ වෙනුවෙන් SSK ආයතනය විශේෂ සහයෝගයක් සැපයූවා. ඒ නිසා අපට හැකිවුණා ජපානයේ සිටම මේ ප්‍රමිති සහතිකය ලබා ගැනීමට. ඒ අයුරින් තමයි ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ පන්දුවට ප්‍රමිති සහතිකය හිමි වුණේ.’ යැයි සුජීව විජයනායක ‘ක්‍රීඩා’ වෙත පැවසූයේ එම සහතිකය දිනා ගැනීමේ අසීරුතා සටන ජයගත් ආකාරය සම්බන්ධව ය.

මේ යටතේ පසුගිය දා බේස්බෝල් 15000 ක් ජපානය වෙත නිර්යාත කිරීමට ශ්‍රී ලංකාවේ බේස්බෝල් නිෂ්පාදන සමාගම විසින් කටයුතු කර තිබිණි.

දීර්ඝ කාලීන ආයෝජනය

මෙය ඔලිම්පික් තරගාවලියට පමණක් නොව බේස් බෝල් ක්‍රීඩාව පවතින තුරු ඉතා තරගකාරී අයෝජනයක් වශයෙන් ශ්‍රී ලංකාව දිනාගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එය ලබා ගැනීමේ දී සුජීව විජයනායක විසින් සිදුකර ඇති මෙහෙය සැබැවින්ම ප්‍රශංසනීය වන අතර මෙවන් ශ්‍රී ලාංකිකයන්, රට නියෝජනය කරණ රටකට යම් යම් ප්‍රතිලාභ සොයා ගැනීමට සමත්වන සැබෑ තානාපතිවරුන් වශයෙන් දැක්විය හැකි ය. නොරටක සංවිධානය වන ඔලිම්පික් තරගාවලියේ බේස් බෝල් හා සොෆ්ට් බෝල් ක්‍රීඩාවේ තාක්ෂණ අංශ ප්‍රධානියා බවට ඔහු පත්වන්නට සමත් වන්නේ ද එකී ගෞරවනීය භාවය හා අතනොහැර වැඩ කිරීමේ හැකියාව හේතුවෙන් බව වෙසෙසින් සටහන් කිරීම යුතුකමකි.

 

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments