පළමු ඔලිම්පික් ගමන් ගිය සිරිලක ප්‍රදීපය | Page 2 | සිළුමිණ

පළමු ඔලිම්පික් ගමන් ගිය සිරිලක ප්‍රදීපය

 

පළමු ව ඔලිම්පික් ගිය කාන්තාව කවු ද? ඇතැමුන් ඒ තිලකා ජිනදාස බවයි පිළිගන්නේ. තිලකා ජිනදාස තමන් එක්ක ඔලිම්පික් ගිය තවත් කාන්තාවක් ඉන්නා බවත් ඒ නිසා ඇයටත් ඒ ගෞරවය හිමි විය යුතු යැයි කියා සිටියා. ඒ තමයි දීපිකා චන්මුගම් කියා කියන්නේ.

කොළඹ බිෂොප් විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ලැබූ දීපිකා අමෙරිකා එක්සත් ජනපදයේ ලොලානි ජාත්‍යන්තර පාසලට සම්බන්ධ වූයේ පිහිනුම් ක්‍රීඩාව වැඩිදියුණු කර ගැනීමට හා තවදුරටත් සිය අධ්‍යාපනය වැඩිදියුණු කර ගැනීම සඳහායි.

ඇය ආසියානු ශූරතා වයස් සීමා තරගාවලියට තරග වැදී තිබෙනවා. ඒ තරගය පැවැත්වුණේ 1985 වසරේ තායිලන්තයේ බැංකොක්හි දී යි. 1989 වසරේ දී ත් එම තරගාවලිය ම සංවිධානය වුණා. එයටත් දීපිකා තරග වැදුණා. ඇය බීජිං නුවර පැවැත්වුණු ආසියානු පිහිනුම් ශූරතාවයට තරග කළේ 1990 වසරේ දී යි.

ඈ අමෙරිකාවේ දී යාර දෙසීය ළය ආර තරගයකට ඉදිරිපත් වෙමින් තෙවැනි ස්ථානය දිනා ගත් අතර, යාර සියය ළය ආර තරගයෙන් ඈට හිමි වුණේ පස් වැනි ස්ථානයයි. දකුණු කොරියාවේ පැවැති ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්නට ඇයට ඒ අනුව අවස්ථාව හිමි වුණා. එහි දී මිටර් 100, 200 ළය ආර හා මීටර් 200 ඒකල මෙඩ්ලි ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඈට අවස්ථාව උදා වුණා.

ඇය තමයි ශ්‍රී ලංකාවේ පිහිනුම් වාර්තා රැසක් තමන් සතු කර ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව ලෙස සැලකෙන්නේ. මීටර් 100,200,400,800, නිදහස් ආර මීටර් 100, 200 පසුපස ආර, මීටර් 200 ළය ආර මීටර් 200 හා 400 ඒකල මෙඩ්ලි ඉසව්වන්ගෙන් වාර්තා තබන්නට ද ඇයට හැකි වුණා.

ඇගේ මව ඕෂා චන්මුගම්. ඈ විවාහ වීමට පෙර ඕෂා ද සේරම්. ඕෂා කියන්නේ හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකාවක්, ටෙනිස් ශූරියක්. ඈ එෆ්.සී. ද සේරම් නමැති පැරැණි විශිෂ්ට ක්‍රීඩකයාගේ බාල දියණිය යි.

1991 වසරේ මෙරට පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී නව වාර්තා පහක් සමඟින් ජය ගැනීමට සමත් වුණා. ඇයව පුහුණු කරනු ලැබුවේ තාරා ද බෝලිං විසිනුයි. පසු කාලීනව ඇය අමෙරිකාවේ ලාස් වේගාස් හි නෙවාඩා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කළා. දැනට ඇය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වනවා.

කාන්ති ජයසිංහ

Comments